ඉන්දු කාශ්මීර අර්බුදය



කාශ්මීර ප්‍රදේශය ඇත්තේ ඉන්දියාවටත් පාකිස්තානයටත් ඉහළිනි. ඉන්දියාව සහ පාකිස්තානය කාශ්මීරයේ අයිතිය ඉල්ලයි. ඒ, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාව, පාකිස්තානය ලෙස දෙකඩ වූ අවස්ථාවේ එනම් 1947 වසරේ සිටය.

කාශ්මීරය කොටස් දෙකකි. ඒ ඉන්දීය පාලනයට නතු කාශ්මීරය සහ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරය ලෙසය. පාකිස්තානය සහ ඉන්දීය පාලනයට නතු කාශ්මීරය බෙදී වෙන්වන රේඛාව හැඳින්වෙන්නේ ‘එල්ඕසී’ එසේත් නැතිනම් ‘ලයින් ඔෆ් කොන්ට්‍රෝල්’ නමිනි.

කාශ්මීරය සහ හිමාල අඩවියට අයත් ප්‍රදේශය මුල්කොට ගනිමින් න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාවත් පාකිස්තානයත් අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති කර ගත්තේය. 1947 වසරේ ඉන්දියාවට නිදහස හිමිවී, පාකිස්තානය කැඩී වෙන් වෙද්දී, කාශ්මීරය මුල්කොට ගනිමින් පළමු යුද්ධය ඇරැඹිණි. එදා කාශ්මීරයේ පාලකයා මහරාජා කෙනකුය. මහරාජා පාකිස්තාන සටන්කාමීන් මෙහෙයවමින් ඉන්දියාවට පැමිණ පහර දුන්නේය. දෙවැනි වරට ඉන්දියාවත් පාකිස්තානයත් අතර ගැටුමක් නිර්මාණය වූයේ 1965 දීය.

එම අවි ගැටුම සටන් විරාමයකින් අවසන් විය. 1971 දී, ඉන්දියාවත් පාකිස්තානයත් යළිත් යුද වැදුණි. ඒ, කාශ්මීරය මුල්කොට ගනිමින් නොව, ‘නැගෙනහිර පාකිස්තානය’ මුල්කොට ගනිමිනි. බංග්ලාදේශයf ලස වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ නැගෙනහිර පාකිස්තානයයි. 1971 වෙද්දී, ‘නැගෙනහිර පාකිස්තානය’ පාකිස්තාන පාලනයට යටත්ව පැවැතිණි. නැගෙනහිර පාකිස්තානයේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු බෙංගාලි ජාතිකයන්ට ඉන්දියාවේ සහාය හිමිවිය.

1984 දී, ඉන්දීය හමුදා කරාකෝරාම් කඳු වැටියේ පිහිටි සියාචෙන් ග්ලැසියර ප්‍රදේශය බලෙන් අල්ලා ගත්තේය. ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් ගැටුම් අවසන් වූයේ 2003 දීය. 1999 දී, පාකිස්තානයේ සහාය ලැබූ බෙදුම්වාදී සටන්කාමීහු කාශ්මීර දේශසිමාව හරහා ඉන්දීය පාලනයට නතු කාර්ගිල් කඳුකරයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරු පහර දී අල්ලා ගත්හ. සති 10 ක් පුරාවට යුද ගැටුම් පැවැතිණි.

2016 දී, පාකිස්තාන සටන්කාමීහු පිරිසක් ඉන්දියාවේ යූරි නගරයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට කඩා වැදී දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. එයින් ඉන්දීය හමුදා සොල්දාදුවෝ 19 ක් ජීවිතක්ෂයට පත් වූහ. 2016 වසරේ නොවැම්බරයේ, පොලිස් නිලධාරීන් ලෙස වෙස්වළාගෙන පැමිණි පාකිස්තාන සටන්කාමීන් ඉන්දීය හමුදා කඳවුරකට කඩා වැදී කළ ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


RECOMMEND POSTS