ඇෆ්ගන් දැරියන්ට ට්‍රම්ප්ගෙන් වීසා



ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන රොබෝ තරගාවලියකට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් පාසල් දැරියන් සය දෙනකුට වීසා නිකුත් කිරීම ඇමෙරිකන් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණ ද ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී, එම දැරියන් ට වීසා නිකුත් කිරීමට පියවර ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ හේරත් පළාත නියෝජනය කරන මෙම දැරියන්, මෙම ජාත්‍යන්තර රොබෝ තරගාවලියට තෝරා ගෙන ඇත්තේ ඔවුන්ගේ දස්කම් ඇගැයීමට ලක් කරමිණි.

දැරියන්ට වීසා නිකුත් කිරීමට ඇමෙරිකන් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණේ, මුස්ලිම් රටවල වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් ට්‍රම්ප් විසින් පැනැවූ තහනම හේතුවෙනි. ජනපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් වීසා ලබා දී ඇත්තේ සතියක කාලයක් තෙක් පමණි.

මෙම ජාත්‍යන්තර රොබෝ තරගාවලිය ලබන 16 වැනිදා සිට 18 වැනිදා දක්වා වොෂින්ටන් නුවර පැවැත්වෙයි. එය සංවිධානය කරනු ලබන්නේ ෆස්ට් ගෝබල් නමැති ඇමෙරිකන් තාක්ෂණ ආයතනයේ මැදිහත් වීමෙනි. රටවල් 157 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 163 ක් තරගාවලියට ඉදිරිපත් වන බව ද පැවැසෙයි.

ඊට අමතරව, ඉරානයෙන්, සුඩානයෙන්, ලිබියාවෙන්, මොරොක්කෝවෙන් පමණක් නොව, සිරියානු සංක්‍රමණික ප්‍රජාව නියෝජනය කරමින් එරට කණ්ඩායමක් ද රොබෝ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින අතර ට්‍රම්ප් මැදිහත් වී මෙම පිරිසට ද වීසා ලබා දී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS