ඇස්ට්‍රාසෙනකා තාවකාලිකව අත්හිටුවයි



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිතයට ගන්නා ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත තාවකාලිකව නවතා දැමීමට,  යුරෝපා සංගමයේ ප්‍රබල රටවල් වන ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඊයේ (15) තීරණය කළේය.

එන්නත භාවිතය තාවකාලිකව නවතා දැමීමට තීරණය කෙරුණේ, එය ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසී මරණ සිදුවීමෙනි. ඊයේ (15) වනවිට  ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය අනුගමනය කරමින්, සෙසු යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, පෘතුගාලය, ස්ලොවේනියාව සහ ලැට්වියාව ද එන්නත ලබා දීම තාවකාලිකව නවතා දැමීය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත මේ වනවිට ලෝකයේ රටවල් 50 කට පමණ ලබා දීම සිදුවී තිබේ. එන්නත සම්බන්ධයෙන් මෙසේ බියක් නිර්මාණය වූයේ, එය ලබා ගත් යුරෝපා රටවල 30 දෙනකු මියයෑම නිසාය.

එම 30 දෙනා මියගියේ, එන්නත ලබා ගැනීමෙන් පසු සහ රුධිරය කැටි ගැසීමෙන් යැයි තහවුරු වී අවසන්ය. එම 30 දෙනා මියගොස් ඇත්තේ එන්නත ලබාගෙන පැය 24 කින් හෝ සති දෙකකින් බව ද විදෙස් පුවත් සේවා සඳහන් කරයි. එම 30 දෙනා අවුරුදු 40 ත් 50 ත් වයස් කාණ්ඩයේ පසුවෙන බව ද පැවැසෙයි.

යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සහ යුරෝපා ඖෂධ පාලන අධිකාරිය, එම මරණ සම්බන්ධයෙන් සහ ඇස්ට්‍රාසෙනකා එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එන්නත භාවිතය නවතා දැමීමට රටවල් තීරණය කර ඇත්තේ එම විමර්ශන සිදුවෙද්දීය.

යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා ඖෂධ නිර්දේශ කරන්නේ යුරෝපා ඖෂධ පාලන අධිකාරියයි. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා‘ එන්නත, යුරෝපා රටවල භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ මෙම මෙම ආයතනයයි. යුරෝපා ඖෂධ පාලන අධිකාරිය, පොදුවේ යුරෝපා රටවල ඖෂධ නියාමන කටයුතු සිදු කරන ආයතනයයි.

ඇස්ට්‍රාසෙනකා එන්නත පළමුවෙන් නවතා දැමුවේ ද ඩෙන්මාර්කයයි. ඉන්පසු පිළිවෙළින් නෙදර්ලන්තය, අයිස්ලන්තය, බල්ගේරියාව ආදී යුරෝපා රටවල් එන්නත ජනතාවට ලබාදීම තාවකාලිකව නවතා දැමීය. මරණ කිසිවක් වාර්තා වූ බවට තොරතුරු වාර්තා නොවුණත්, ආසියාවට අයත් තායිලන්තය සහ අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝව ද එන්නත ලබා දීම අත්හිටුවීය.

මේ අතර, තම එන්නත සාර්ථක බවත්, එය ආරක්ෂිත බවත්, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම තරයේ කියා සිටී. මේ වනවිට එන්නත මිලියන 17 කට ලබා දී අවසන් බවත්, මරණ සිදුවී ඇතැයි පැවැසෙන්නේ, ලක්ෂ 5 කට එකක් බවත් ඇස්ට්‍රා සෙනකා පෙන්වා දී තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ (15) යළිත් වරක් අවධාරණය කළේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමෙන් වළකින ලෙසත්, එන්නත ආරක්ෂිත බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ දිළිදු රටවලට ලබා දෙන්නේ ද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ලොව රටවල් කීපයක ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදනාගාරවල නිපදවීම සිදු කරයි. ආසියා රටවල් බොහොමයකට ලබා දුන් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත නිපදවන්නේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ආයතනයේය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS