ඇමෙරිකාව ප්‍රහාරයෙන් මියගිය මුහන්දිස්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඉරාකයේ ඇමෙරිකන් හමුදා, මිසයිල ප්‍රහාර තුනක් එල්ල කළේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉරාන විප්ලවීය හමුදාවේ, ‘කුද්ස්’ බලඇණියේ ප්‍රධානියා ජනරාල් කසීම් සුලෙයිමානී ඉලක්ක කරමිනි. කුද්ස් යනු ඉරාන හමුදාවට අයත් අතිරේක හමුදා (පැරා-මිලිටරි) බළඇණියකි.

ජනරාල් සුලෙයිමානී ඉරාකයට පැමිණියේ, ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන රජයටත් ඉරාන හමුදාවටත් පක්ෂ ‘හෂ්ද් අල් ෂාබී’ නමැති ෂියා මුස්ලිම් සන්නද්ධ බලකායේ ප්‍රධානියා අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ‘හෂ්ද් අල් ෂාබී’ කනායකයන් හමුවීමටය.

ඒ, ඉරාකයේ ආරම්භ වී තිබෙන ඇමෙරිකන් විරෝධතා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. මුහන්දිස්ගේ නායකත්වයෙන් යුත් ‘හෂ්ද් අල් ෂාබී’ සන්නද්ධ බලකාය ඉරාක හමුදාවේ පැරාමිලිටරි බළඇණියකි.  ඇමෙරිකාව මිසයිල ප්‍රහාර තුනක් එල්ල කරද්දී ජනරාල් කසීම් සුලෙයිමාන්, අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ‘හෂ්ද් අල් ෂාබී’ නායකයෝ විශේෂ ආරක්ෂාවක් මැද රථ පෙළකින්, බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවූවා පමණි.

ඇමෙරිකන් හමුදාවේ ඉලක්කය නිවැරදි වූ අතර, ජනරාල් කසීම් සුලෙයිමාන්, අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ‘හෂ්ද් අල් ෂාබී’ නායකයෝ සය දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගේ සිරුරු මිසයිල ප්‍රහාරවලින් සුනුවිසුනු වූ බව පැවැසෙයි.

56 හැවිරිදි අල් මුහන්දිස් යනු ඉරාකයේ සිටි ප්‍රධාන ඉරාන හිතවතා ය. අල් මුහන්දිස් ඉරාක වැසියෙකි. එහෙත් ඔහුට ඉරාකයේත් ඉරානයේත් පුරවැසිභාවය හිමිවී තිබුණි. අල් මුහන්දිස් උපත ලබා ඇත්තේ 1953 වසරේ දී ඉරාකයේ බස්රා නුවර ය.

සන්නද්ධ නායකයකු වීමට පෙර අල් මුහන්දිස් දේශපාල ක්‍රියාකාරියෙකි. ඔහු ඉරාක දේශපාලනයට පිවිසියේ ෂියා මුස්ලිම් ‘දාවා’ නමැති දේශපාලන පක්ෂයෙනි. ඒ, 1970 දශකයේදීය.

සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය හමුවේ කිසිදු දේශපාලන පක්ෂයකට පැවැත්මක් තිබුණේ නැත. ‘දාවා’ පක්ෂය ද මර්දනයට ලක් විය. අල් මුහන්දිස් ප්‍රමුඛ බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් පණ බේරා ගනිමින් අසල්වැසි ඉරානයට පලා ගියේ ඒ නිසාය. එසේ පලා ගිය අයකු වන්නේ නූල් අල් මලිකි ය. නූර් අල් මලිකි පසුගිය කාලයේ ඉරාකයේ අගමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

1980 වසරේ ‘බාද්’ බලඇණියේ අණ දෙන නිලධාරියා බවට අල් මුහන්දිස් පත් විය. ‘බාද්’ යනු එදා බලයේ සිටි සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමට ඉරානයේ දී පිහිටුවූ ඉරාක සටන්කාමී සංවිධානයයි. 1983 වසරේ ඇමෙරිකන් සහ ප්‍රංශ තානාපති කාර්යාලවලට බෝම්බ එල්ල කිරීම සිදුවූයේ මුහන්දිස්ගේ උපදෙස් පරිදිය. එම බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් කුවේට් අධිකරණයක් හමුවේ මුහන්දිස් වරදකරු වූ අතර, ඔහුට 1983 දී එම අධිකරණය මරණ දඬුවම නියම කළේය. එම අවස්ථාවේදී මුහන්දිස් ආරක්ෂක අංශ ග්‍රහණයෙන් බේරී පලා ගියේය.

පසුගිය 31 වැනිදා බැග්ඩෑඩයේ හරිත කලාපයේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදී එය වටලා පහර දුන් ඉරාක විරෝධතාකරුවන් පසුපස සිටින්නේ අල් මුහන්දිස්ගේ ‘හෂ්ද් අල් ෂාබී’ සටන්කාමීන්ය. ‘හෂ්ද් අල් ෂාබී’ සටන්කාමීන්ට අවි ආයුධ මුදල් ප්‍රතිපාදන සහ අවි පුහුණුව ලැබෙන්නේ ඉරාන ‘කුද්ස්’ බළකායෙනි. රාක විරෝධතාකරුවන් තමන්ට එරෙහිව උසිගන්වනවා යැයි ඇමෙරිකාව ඉරානයට එල්ල කරන චෝදනා නිවැරදිය.

ජනරාල් කසීම් සුලෙයිමාන්, අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ‘හෂ්ද් අල් ෂාබී’ නායකයන් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාකයේ සිටින ඇමෙරිකන් හමුදාවට අණ කළේ ඒ අනුවය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS