අයි.එස්. ත්‍රස්තයන්ගේ බිඳ වැටීම



මොසූල් නුවර මුදා ගැනීමත් සමඟ සුන්නි මුස්ලිම් අන්තවාදීන් වන අයි.එස්.අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට තමන්ට හැකිවුණැයි ඉරාක අගමැති හයිදේර් අල් අබාදී නිල වශයෙන් නිවේදනය කළේය. ඉරාක අගමැතිවරයා මේ බව නිවේදනය කළේ මොසූල් නුවර සංචාරය කරමිනි.

නුවර මුදා ගැනීමේ මෙහෙයුම්වලට දායක වුණු ඉරාක හමුදා සොල්දාදුවන්, හමුදා ප්‍රධානීන් පමණක් නොව, උපදේශකයන් ලෙස කටයුතු කරන ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවල හමුදා නිලධාරීන් ද සමඟ සමරු ඡායාරූපයකට පෙනී සිටීමට ද අගමැතිවරයා අමතක නොකළේය. මොසූල් යනු ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි.

ගැටුම් හමුවේ පලා ගිය මොසූල් වැසියන් යළි ඔවුන්ගේ නිවාස බලා පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. මොසූල් නුවර පමණක් නොව, බැග්ඩෑඞ් අගනුවර ද වැසියෝ ද ජය සමරමින් ප්‍රීතිඝෝෂා පවත්වන්න වූහ. දරුණු අවි ගැටුම් හේතුවෙන් මොසූල් නුවර බොහෝ පළාත් මුළුමනින්ම පාහේ විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කරළියට පැමිණියේ සිරියානු අර්බුදයත් සමඟය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව අවි අතට ගත්ද්දී, දේශසීමා හරහා ඉරාකයේ සිට පැමිණි අයි.එස්.අයි.එස්. ත්‍රස්තයෝ ඔවුන්ට එක් වූහ.

ඒ වනවිට අයි.එස්.අයි.එස්. ත්‍රස්තයෝ ඉරාකයට පමණක් සීමා වී සිටියහ. ඔවුන් ප්‍රබල අල් කයිඩා සංවිධානයට හවුල් වී සිටි කුඩා ත්‍රස්ත කල්ලියක් පමණක් විය. අයි.එස්.අයි.එස්. සංවිධානයේ පුරෝගාමීන් වන්නේ ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ ‘බාත්’ පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකි. ඒ වනවිට අල් කයිඩාව ලොව අංක එකේ ත්‍රස්ත කල්ලිය විය. අල් කයිඩාවේ බලය අඩුවූයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසුවය.

සිරියානු සිවිල් යුද්ධය ඇරැඹෙද්දී, සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ ප්‍රංශය අවි ආයුධ දෙමින් සහාය දැක්වීය. එවිට ඇමෙරිකාවේ ජනපති වූයේ බැරැක් ඔබාමාය. රාජ්‍යශ ලේකම්වරිය වූයේ හිලරි ක්ලින්ටන්ය. අයි.එස්. ත්‍රස්තවාදීන් බිහිවූයේ ඔබාමා නිසා යැයි චෝදනා එල්ල වී ඇති අතර එය සාධාරණ යැයි ඔබාමා පරිපාලනය පවා අනුමත කර ඇත. ඒ වනවිට බි්‍රතාන්‍ය අගමැති වූයේ ඬේවිඞ් කැමරන්ය. ප්‍රංශ ජනාධිපති ධුරය හෙබවූයේ ෆ්‍රන්සුවා ඕලන්ද්ය.

සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට ලබා දුන් අවි ආයුධවලින් ශක්තිමත් වූයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ය. ඒ අනුව, අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රබල ත්‍රස්ත කල්ලියක් බවට වර්ධනය විය. දැඩි ප්‍රචණ්ඩකාරී අන්තවාදී මත දැරූ හෙයින්, අල් කයිඩාව අයි.එස්. සංවිධානය ඔවුන්ගේ සංවිධානයක් නොවන බව ද නිවේදනය කළේය. සියලු සබඳකම් අත්හැර දැම්මේය. අද අල් කයිඩාව ද ක්‍රියාත්මක අතර සිරියානු අර්බුදයේ දී ‘අල් නුස්රා පෙරමුණ’ යන නමින් ඇමෙරිකාව සමඟ එක් වී, සිරියානු රජයට එරෙහිව සටන් වැදුණු සන්නද්ධ කල්ලිය අල් කයිඩාවට අනුබද්ධය.

සිරියානු සිවිල් යුද්ධය අතරතුරේ ඇමෙරිකානු අවි යොදා ගනිමින් අයි.එස්. ත්‍රස්තයෝ ඉරාකයේ ද ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබුණහ. එම ප්‍රහාර හමුවේ ඉරාක හමුදා අසරණ විය. ඉරාක රජය දේශපාලන අර්බුදයකට මුහුණ දුන්නේය. මොසූල් නුවර ඔවුන් අත්පත් කර ගත්තේ 2014 වසරේදීය. අයි.එස්. නායකයා වූ අබු බකර් අල් බැග්ඩෑඩි මොසූල් නුවර කේන්ද්‍ර කොට ගනිමින් ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ ද පිහිටුවීය.

තමන් කළේ වරදක් බව ඇමෙරිකා ජනපති ඔබාමාට වැටහුණු පසු, සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට අවි ආයුධ සැපැයීම නතර කළේය. ඒ වනවිට අයි.එස්. සංවිධානය ඇමෙරිකාවට, ප්‍රංශයට සහ බි්‍රතාන්‍යයට පමණක් නොව මුලු ලොවටම තර්ජනයක් විය. ඇමෙරිකාව අවි සැපැයීම අතහැර සිරියාවේ කුර්දි ක්‍රියාකාරීන්ට සහාය දක්වන්න විය. රුසියාව සිරියානු ජනාධිපති අසාද්ට සහාය දැක්වීය. අද වනවිට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලවය උත්සාහ ගන්නේ මෙම කුර්දි ක්‍රියාකාරීන්ට වැඩි බලයක් ලබා දී, ඔවුන්ට සිරියාවේ බලය පවරා දීමටය. බෙදුම්වාදීන් වන මෙම කුර්දි ක්‍රියාකාරීන් තුර්කියට තර්ජනයක් වී ඇත. ඔවුන් සිරියාවේ බලයට පත් වුවහොත් ගල්ෆ් කලාපයේ නව දේශපාලන අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි රුසියාව පවසා ඇත.

අද වනවිට අයි.එස්.අයි.එස් සංවිධානය එම නමින් හඳුන්වන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණි. අයි.එස්.අයි.එස් සංවිධානය ඔවුන්ගේ වාසියට එම නම වෙනස් කර දයේෂ් තක්ෆීරි හෝ දයේෂ් යනුවෙන් පෙනී සිටී. ගල්ෆ් කලාපීය රටවල් ඔවුන් හඳුන්වන්නේ මේ නම්වලිනි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS