අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ



විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ ආරාධනයක් මත අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනවාරි 9 සහ 10 දෙදින ඉන්දියාවේ සංචාරය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයක් මත ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත විය. ඉන්දීය සංචාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු නිල රාජ්‍ය සංචාරය විය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ සංචාරය කරන ලද්දේ එම ඉහළ පෙළේ ද්විපාර්ශ්වීය සංචාරවල තවත් එක් කොටසක් ලෙසය.  ඉන්දීය සංචාරය අමාත්‍ය දිනේෂ් ගු-ණවර්ධන මහතාගේ පළමු නිල විදෙස් සංචාරය විය.

ඉන්දීය සංචාරයේදී ගුණවර්ධන මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීය. නවදිල්ලියේ හයිද්‍රාබාද් නිල නිවස්නයේදී එම සාකච්ඡා පැවැත්විණි.

එහිදි අමාත්‍යවරුන් දෙදෙනා ඉතා සුහදශීලි සහ පලදායී සාකච්ඡා පැවැත්වූයේ යැයි ද ආයෝජන, ආරක්ෂක, ධීවර, සංවර්ධන සහාය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති, සංචාරක, අධ්‍යාපන සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු දෙරටට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව ඔවුහු දෙදෙනා මෑතකාලීන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු හා සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.

එම සාකච්ඡාවලින් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් ගෞරවාන්විත දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

මෙම සංචාරයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ කුසලතා සංවර්ධන සහ ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය මහේන්ද්‍ර නාත් පාණ්ඬේ මහතා මුණ ගැසුණේය. එහිදි ගුණවර්ධන මහතා නව ආණ්ඩුවේ තාක්ෂණය මූලිකත්වයෙන් කෙරෙන ආර්ථික වර්ධනය, ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකය සහ තරුණ තරුණියන් සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් තිබෙන නව සැලසුම් සම්බන්ධයෙන් අමාත්‍ය මහේන්ද්‍ර නාත් පාණ්ඬේ මහතා දැනුවත් කළේය.

පුහුණු අවස්ථාද ඇතුළු විශේෂඥ බව සහ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගන්නැයි ද විදේශ සබඳතා අමාත්‍යවරයා එහිදි ඉන්දියාවට ආරාධනා කළේය. එම අරමුණු ඉටු කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද එහිදි එකඟතාව පළ විය. මෙම සංචාරයේදී ගුණවර්ධන මහතා ඉන්දියාවේ කම්කරු සහ රැකියා රාජ්‍ය අමාත්‍ය සන්තෝෂ් කුමාර් ගංවාර් ද මුණ ගැසුණේය.

මෙම සංචාරයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සාමාජිකයන් අමතා කතා කළේය. එහිදි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපොළ වන අතර දෙරට අතර වාර්ෂිකව හුවමාරු වන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යයි. ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ද විදේශ අමාත්‍යවරයා එහිදි ආරාධනා කළේය.

අමාත්‍යවරයා ජනවාරි 10 වැනිදා නවදිල්ලියේ සංචාරය කළ අතර එහිදි ඉන්දියාවේ විද්‍යා හා පරිසර මධ්‍යස්ථානයේදී නිරීක්ෂණය කළේය. නවදිල්ලි නුවර පිහිටි විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය මහජනතාව අතර පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි කිරීමට ස්ථාපිත කළ ආයතනයකි.

මහබෝධි සමාගමේ නවදිල්ලියේ මධ්‍යස්ථානය ගිය අමාත්‍යවරයා එහිදි මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගත්තේය.

මෙම සංචාරයේදී අමාත්‍යවරයා නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගිය අතර එහිදි එහි කාර්ය මණ්ඩලය මුණ ගැසුණේය.

අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද එක්වූහ.

හර්ෂණ තුෂාර


RECOMMEND POSTS