“නිදහස් උදානය 2017” සංස්කෘතික උළෙල පෙබරවාරි 10 දා රැඩිසන් බ්ලූ හෝටලයේදී



 

පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලංකාවේ නිදහස් දිනය (නිදහස් උදානය 2017) සංස්කෘත්‍රික වැඩසටහනක් සමගින් පෙබරවාරි 10 වැනිදා දෝහා නුවර රැඩිසන් බ්ලූ හෝටලයේදී සැමරීමට කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සූදානමින් සිටියි. එදින පස්වරු 5 ට නිදහස් දින උත්සවය ආරම්භ වීමට නියමිතය. සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සහයෝගය අතිව නිදහස් උදානය ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. 

මෙම ප්‍රසංගයට සහභාගි වීම සඳහා චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ නර්ථන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණීමට නියමිතය. දිනු රංගායතනයේ සිසු සිසුවියන්ද මෙවර නිදහස් උදානය ප්‍රසංගයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇත. 

චන්දන ගේ නර්ථන කණ්ඩායම සිය නිසඟ නර්ථන හැකියාවෙන් ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගෙන ඇති අතර ඔවුන් නිදහස් දින උදානය දා සාම්ප්‍රදායික නර්ථනාංග ඉදිරිපත් කිරීමට නියමිතය. චන්දන ප්‍රමුඛ නර්ථන කණ්ඩායම දෝහා නුවර සංචාරය කරන්නේ තෙවැනි අවස්ථාවටය. 

ප්‍රසංගය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර කටාර් රියාල් 40 සහ 60  ක් ලෙසින් මිල කර ඇති අතර ඒවා දෝහා නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික වෙළෙඳසැල්වලින් ලබාගත හැකිය. පෙබරවාරි 10 වැනිදා සවස 4 ට ප්‍රසංගය සඳහා දොරටු විවර වනු ඇත. සුපුරුදු පරිදි මෙවරත් ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ මැදපෙරදිග ලංකාදීප පුවත්පතයි.

මේ පිළිබඳ වැඩි විස්තර රංජිත් ගුරුසිංහ - 66580392/50409246, ධම්මික ජයසේන - 55654241 හෝ විද්‍යා ශ්‍රී ශාන්තිකුමාර - 77512657 යන අංකවලට ඇමැතීමෙන් ලබාගත හැකිය.


RECOMMEND POSTS