සැනටෝරියා 2020 යටතේ පොදු සමාවක්



ඉතාලි රජය විසින් ලබා දී “සැනටෝරියා 2020” විශේෂ පොදු සමාව යටතේ තම වීසා විධිමත් කර ගැනීමට බලාපොරොත්තුවන  ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට ඔවුනගේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කොන්සියුලර් සේවා සහාය ලබා දීම මේවන විට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි ශ්‍රි කොන්සල් ජනරාල් කාර්යාලය ආරම්භ කර ඇත.

ජුනි 01 වැනි දින සිට ජූලි 15 වැනි දින දක්වා බලපැවැත්වෙන ප්‍රකාශයට පත් කර ඇති එම පොදු සමා කාලය තුළ දී අදාළ අයදුම්කරුවන්ගේ නව ගමන් බලපත්‍ර ඔවුන් වෙත නිකුත් කළ යුතු බවත්, එබැවින් මෙම විශේෂ කොන්සියුලර් සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් යොමු කිරීම ලබන  30 දිනට පෙර සිදු කරන ලෙස රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලුම අයදුම්කරුවන්ට දන්වා සිටී.

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය ‘ඉතාලිය නැවත දියත් කිරීම’ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන ප්‍රතිපත්තිමය අංගයක් ලෙස ඉතාලි රජය ක්‍රියාත්මක සැනටෝරියා වැඩසටහන හරහා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එම රැඳී සිටීම විධිමත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එමගින් අවිධිමත් සංක්‍රමණික සේවකයින්ට ඉතාලියේ වීසා තත්ත්වය විධිමත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහ සේවා කටයුතු සඳහා නෛතික රැඳී සිටීමේ අවසර පත්‍ර ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙම විශේෂ පොදු සමාව ලබා ගැනීමට අපේක්ෂිත ලාංකිකයන්ට පහසුකම් හා සේවය සැලසීමේ දී, රෝමයේ සහ මිලාන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් විශේෂ කොන්සියුලර් සේවයක් ආරම්භ කොට ඇති අතර, එම අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු වැඩකරන දින 10 ක් ඇතුළත දී කඩිනමින් ඔවුන්ගේ මුල් ගමන් බලපත්‍ර ලබා ගත හැකි වන බව එම අමාත්‍යාංශය කියා සිටී.

අවශ්‍ය කොන්සියුලර් සේවා ලබා ගැනීම සදහා  වේලාව වෙන්කර ගැනීමේ මාර්ගගත ක්‍රමයක් හරහා, තානාපති කාර්යාලය අයදුම්කරුවන් ගෙන්වා ගනු ලබන අතර, කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ, දූත මණ්ඩලවලට පැමිණෙන මහජනතාව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූල වන බවට සහතික වීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

සැනටෝරියා වැඩසටහන යටතේ වීසා තත්ත්වය විධිමත් කිරීමට ඉල්ලුම් කළ  සිසිලි දූපතේ සිටින ලාංකිකයන් සඳහා, විශේෂ මාර්ගගත ජංගම සේවාවක් රෝමයේ තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් එම දූපතේ කැටනියා හිදී පැවැත්වූ බවද එම අමාත්‍යාංශය කීය.


RECOMMEND POSTS