එක්ස්පෝ 2020 ඩුබායි ශ්‍රී ලංකාවේ සහභාගීත්වය



එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතා ගේ  ප්‍රධානත්වයෙන් ඉකුත් 17 වැනිදා සිදු කෙරිණි.

තවද එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද එදින දින නිල වශයෙන් දියත් කරනු ලැබූ අතර මෙම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් නිෂ්පාදන සංගම් ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික සංවිධානවල නිලධාරීන් මෙන්ම වෙළද කුටි සදහා ඉදිරිපත් වන්නන්ද  සහභාගී විය.

“එක්ස්පෝ 2020 ඩුබායි” නරඹන්නන් මිලියන 25 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් සියයට 70 ක් ජාත්‍යන්තර සංචාරකයින් වනු ඇත. තවද රටවල් 200 කට අධික ප්‍රමාණයක් මාස 06 ක කාල සීමාවක් තුළ එක්ස්පෝ 2020 ඩුබායි” හි ප්‍රදර්ශනයෙහි රැදී සිටිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

දැනටමත් ශ්‍රී ලංකා රජය ඉකුත් ජුලි 08 වන දින “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තබන ලදී.

එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා මණ්ඩපය “Opportunity ” දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර “Island of Ingenuity” යන තේමාව යටතේ මණ්ඩපය සංවිධානය කෙරේ. මණ්ඩපය සැලසුම් කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් “ජලය (Water)” යන තේමාව යටතේ සිදු කරන ලදී. මෙම තේමාව, ශ්‍රී ලංකාව “ඕනෑම අභියෝගාත්මක සිදුවීමක් , අවස්ථාවක් ලෙස දැකීමට කැමති ජාතියක්” වශයෙන් විදහා දක්වනු ඇත. ඕනෑම අභියෝගාත්මක තත්වයකට අනුවර්තනය වීමේ හැකියාව අප තුළ ක්‍රියාත්මක වන අතර, සෑම ජල බිංදුවක්ම අපේම දියුණුවේ මාවත පෝෂණය කරන අනෙක් සියලු දෙනාටද මෙය මග පෙන්වීමක් සේ සැලකිය හැක. මෙහිදී ගැටළු විසඳීමේ සංස්කෘතික හා දේශීය ක්‍රමවේදයන් හරහා ව්‍යවසායකත්වයේ හා නව්‍යකරණයේ ගැටළු විසදීමේ අගය මෙතුලින් පෙන්වයි.

එක්ස්පෝ 2020 ඩුබායි හරහා සංචාරක ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය ව්‍යාපාරවල දියුණුව සහ ව්‍යාපාර සදහා උචිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවීම මගින් 2025 ශ්‍රී ලංකා දැක්ම සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරයි.

මෙම මාස හයක කාල සිමාව තුළ සංචාරක අංශය ඇතුළු නිෂ්පාදන හා සේවා අංශ 26 ක් සමගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS