අපි අපිම තෙවැනි සද්කාරය



නුගේගොඩ නවාතැන් පොළක මිතුරන් පිරිසකගෙන් ආරම්භ වී, දිවයින පුරා විසිරී සිටින තවත් සහෘදයන්ගේ එකමුතුවෙන්, අඩු ආදායම්ලාභී දරුවන්ගේ හෙට දවස දීප්තිමත් කිරීම සඳහා මුලපිරූ ‘අපි අපිම’ ව්‍යාපෘතියේ තෙවන සමාජ මෙහෙවර පසුගිය දා මැදිරිගිරියේ ගුරුගොඩැල්ල කනිටු විදුහල කේන්ද්‍රකොට ගනිමින් සිදු විය.

2015 වසරේ ආරම්භ වුණු ‘අපි අපිම’ ව්‍යාපෘතිය යටතේ අති දුෂ්කර ගම්මානවල අඩු ආදායම්ලාභී අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙනුවෙන් වසරක් පුරා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ, පොත්බෑග්, සපත්තු, නිල ඇඳුම් රෙදි පමණක් නොව කුඩ පවා ප්‍රදානය කෙරේ.

පොලොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මැදිරිගිරිය ගුරුගොඩැල්ල කනිටු විදුහලේ ඉගෙනුම ලබන දරු දැරියන් ගණන 80 කි. පසුගිය දා පැවැති විශේෂ උත්සවයකදී දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමීම සිදු කෙරුණි. එම අවස්ථාවට මැදිරිගිරිය ගුරුගොඩැල්ල කනිටු විදුහලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දරුදැරියන් සහ දෙමාපියෝ ද එක් වූහ.

සියලු ආධාර, උපකරණ ලබා දීම සිදු කෙරුණේ ‘අපි අපිම’ කණ්ඩායමේ සාමාජිකයන්, ඔවුන්ගේ හිතවතුන් සහ කළ ආයාචනයට ප්‍රතිචාර දක්වමින් විදෙස්වල සිටින සහෝදර ශ්‍රී ලංකිකයන්ගේ උදව්වෙනි.  ‘අපි අපිම’ කණ්ඩායම මෙම සමාජීය මෙහෙවර වෙනුවෙන් උදවු දුන් සැමට හද පතුළෙන්ම ඔවුන්ගේ ස්තුතිය පුද කර සිටී.


RECOMMEND POSTS