69 වෙනි ශ්‍රී ලංකා නිදහස් උළෙල සෞදියේ මහා ඉහලින්



ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්  පසුගිය 27 වෙනි දින රියාද්හි අල් තුවෙක් පැලස්හිදී(සම්භාව්‍ය පුත්ගලයින් සදහා වූ ප්‍රදේශයක) නිදහස් සැමරුම් උත්සවයක් අති උත්කර්ෂවත් අන්දමින් පැවතවන ලදී.

ශ්‍රී ලංකාවේ  69 වෙනි නිදහස් උළෙල වෙනුවෙන් පැවති මෙම සැමරුම් උළෙල වෙනුවෙන්  විශේෂ සම්භාව්‍ය ආරාධිත අමුතෙකු ලෙස රියාද් ආණ්ඩුකාර තැන්පත් අතිගෞරව රාජකීය ෆයිසාල් බින් බන්දාර් අබ්දුල් අසීස් කුමරු සහභාගී වීම  ශ්‍රී ලාංකික ප්‍රජාව හට මහත් ගෞරවයක් ලබා දෙන කරුණක් විය.

ශ්‍රී ලාංකික සම්ප්‍රදානුකුලව මගුල් බෙර මධ්‍යයේ නිදහස් සැමරුම් ශාලාව වෙත සම්ප්‍රාප්ත වූ රියාද් ආණ්ඩුකාර තැන්පත් ෆයිසාල් බින් බන්දාර් අබ්දුල් අසීස් කුමරු ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මැතිතුමා විසින් සාදරයෙන් පිළිගනු ලැබූ අතර කුඩා දරු දැරියන් විසින් සෞදි ශ්‍රී ලංකා ජාතික ගී ගායනයෙන් පසු සැමරුම් උත්සවය ආරම්භ විය.

නිදහසේ අරුත් දක්වමින් සමාරම්බක විශේෂ දේශනය ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා විසින් පැවැත්වීමෙන් අනතුරුව නිදහස් සමරු කේක් ගෙඩිය තානාපති තුමා සහ රියාද් ආණ්ඩුකාර තුමා විසින් කපන ලද්දේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ දෙස් විදෙස් සම්බාවනිය අමුත්තන්ගේ අත්පොලසන් මධ්‍යයේය.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය.ආකර්ශනීය විවිදත්වය තේ කර්මාන්තය,සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන ව්‍යාපෘති පිලිබදව ආකර්ශනීය සමාලෝෂණයක් මගින් පැමිණ සිටි දෙස් විදෙස් ආරාධිතයින් වෙත  හදුන්වාදුන් අතර ශ්‍රී ලාංකික රස කැවිලි අතුරින් බිත්තර ආප්ප,කොත්තු රොටි,කැවුම්,කොකිස්,මුන් කැවුම්,ආදියෙන් සංග්‍රහ කිරීමට අමතක නොකළ සංවිධායක මණ්ඩලය දෙස් විදෙස් ආරාදිතයින් හට රසවත් ශ්‍රී ලාංකීය තේ පැකට්ටුවකින් සංග්‍රහ කිරීමටද  කටයුතු යොදා තිබිණ.

රියාද්,දමාම්,ජෙඩා ඇතුළු සෞදි අරාබියේ විවිද ප්‍රදේශ වලින්  ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර නිදහස් සැමරුම් උළෙල සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත විශාල දායකත්වයක් දැක්වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරි දුමින්ද මහතා පැවසිය.


ලලිත් ප්‍රේමලාල් 
සෞදි අරාබියේ සිට 

 


RECOMMEND POSTS