සෞදි කොටස් වෙළෙඳ පොළ වැටිලා



මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම හේතුවෙන් වසර දෙකකට පසු සෞදියේ රියාල් මුදල් ඒකකයේ අගය පහත වැටිණි.

විදෙස් ආයෝජන පිටතට ගලා යෑමේ අවදානමත් ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනයත් නිසා ජාත්‍යන්තර බැඳුම්කර මිල ගණන් ද පහත වැටිණි.

පසුගිය සති අන්තයේදී සෞදි කොටස් වෙළෙඳ සියයට 7.2කින් කඩා වැටුණු අතර සඳුඳා (15) සියයට 2ක අගයකින් ඉහළ ගියේය.

සෞදි ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ආර්ථික විවිධාංගීකරණය සහ රැකියා නිර්මාණය එහි ප්‍රධාන අංශ දෙකකි. ආර්ථික විවිධාංගීකරණයට සහ රැකියා නිර්මාණය සඳහා සෞදියට විදෙස් ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය වේ.

එය ඉලක්ක කරගනිමින් සෞදි අරාබිය ‘ඩාවෝස් ඉන් ඩෙසර්ට්’ කාන්තාරයේ ඩාවෝස් සමුළුව යනුවෙන් ආයෝජන සමුළුවක් පැවැත්වීමට ද සූදානමින් සිටියේය. එහෙත් මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීමත් සමඟ මාධ්‍ය ආයතන, මාධ්‍ය සමාගම්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් එම සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කළහ.

මේ මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම ආයෝජන සමුළුව සෞදිය තුළ ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද්දකි. සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමද් බින් සල්මාන්ගේ ප්‍රතිසංස්කරණ දැක්මේ ප්‍රධාන ඉසව්වක් විය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS