සම්බාධක පනවන්න පුළුවන්



ඉරානය සමඟ ව්‍යාපාර කරන යුරෝපීය සමාගම්වලට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතැයි ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසයි.

කෙසේ නමුත් ඇමෙරිකාවත් සමඟ එකතු වෙමින් ඇමෙරිකාවට හිතවත් රටවල් ඉරානය සමඟ නව න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.

ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ රූපවාහිනි වැඩසටහන් දෙකකට එක්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළහ. ජෝන් බෝල්ටන් සී.එන්.එන් පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකටත් මයික් පොම්පෙඕ ‘ෆොක්ස්’ පුවත් සේවයේ ‘ෆොක්ස් නිව්ස් සන්ඬේ’ සම්මුඛ සාකච්ඡාවටත් එක්වූහ.

ඔබාමා පරිපාලනය සමයේදී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැයි 8 වැනිදා නිවේදනය කළේය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලද්දේ 2015 වසරේදීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවත් චීනය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ගිවිසුමේ රැඳී සිටිති. ඉරානය ද තවමත් රැඳී සිටින මෙම න්‍යෂ්ටික ගිවිසුම ඔස්සේ ඉරානයේ න්‍යෂ්ටික කටයුතු පාලනය කිරීමක් කළ අතර ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමක් සිදු විණි.

ඉරානය සමඟ සබඳතා පවත්වන යුරෝපීය සමාගම්වලට සම්බාධක පනවාදැයි විමසූ විට ජෝන් බෝල්ටන් මෙසේ කීය.
“ඔව්, එසේ කිරීමේ හැකියාවක් තිබෙනවා. අනෙක් ආණ්ඩු කටයුතු කරන ආකාරය අනුව තමයි එය තීරණය වෙන්නේ”.

(රොයිටර්)


RECOMMEND POSTS