රුසියාව සහ ඊජිප්පතුව අතර සෘජු ගුවන් ගමන්



රුසියාව සහ ඊජිප්පතුව අතර නැවත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

වසර 2015 දී සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ රුසියානු ගුවන් යානයකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දෙරට අතර සෘජු ගුවන් ගමන් නවතා දමා තිබිණි.

ආරක්ෂක හේතූ නිසා වසර දෙකකට ආසන්න කාලයක් දෙරට අතර සෘජු ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු බලධාරීහු තීරණය කළහ. සංචාරක කර්මාන්තය මත වැඩි වශයෙන් යැපෙන ඊජිප්තු ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑවේය. ඊජිප්තුව රුසියානු ජාතිකයන්ගේ ජනප්‍රියතම සංචාරක නවාතැනක් ලෙස හැඳින්වේ.

ඒ අනුව බදාදා (11) සිට ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සේවයට අයත් යානයක් මොස්කව් නුවර ෂෙරෝමෙටියෙවෝ ගුවන් තොටුපොළේ සිට ඊජිප්තුවේ කයිරෝ වෙත ගමන් ඇරඹීමට නියමිතව තිබිණි. මෙහි ප්‍රමුඛ අරමුණ රතු මුහුද කේන්ද්‍ර කරගනිමින් තිබෙන සංචාරක ස්ථාන වෙත ගමන් රුසියානු ජාතිකයන් රැගෙන යෑමය.

දෙරටේ අගනුවරවල් අතර නැවත ගුවන් සේවා ආරම්භ කරමින් සතියකට දෙරට අතර සතියකට නැවත පැමිණෙන ගුවන් ගමන් පහක් ආරම්භ කිරීමට නියමිතය.

වසර 2015 දී රුසියානු ගුවන් යානය තුළ පුපුරා ගිය බෝම්බයෙන් එහි ගමන් කළ මගීන් 224 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. අයි.එස් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය.

වසර 2010 දී ඊජිප්තුවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 14.7ක් වු අතර එය 2016 වසර වනවිට මිලියන 5.4ක් දක්වා අඩු විය.

හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී


RECOMMEND POSTS