බිලියන 16.5 චීන ආධාර



ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට ඉකුත් දා අත්සන් තැබුණු අතර අදාළ ගිවිසුම ප්‍රකාරව මහජන චීන සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5) මූල්‍ය ආධාරයක් හිමි වේ.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ සභාපති ෂියා ඔටාඕ මහතා චීනය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට අත්සන් තැබීය.

පශ්චාත් කොවිඩ්-19 කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍ය පහසුකම් ලබාදීම, අධ්‍යාපනය, ජල සම්පාදනය ආදී මූලික කරුණු වෙනුවෙන් අදාළ මූල්‍යාධාර භාවිත කෙරෙනු ඇත.

චීනයේ හිටපු විදේශ අමාත්‍යවරයකු සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික යැං ජියෙචි මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් ඉකුත් දා මෙරට පැමිණියේ ය. එම සංචාරයට සමගාමීව අදාළ ගිවිසුමට අත්සන් තැබිණි.

යැං ජියෙචි මහතා ප්‍රමුඛ දූත පිරිස මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වූහ.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS