තෙල් අපනයනය වැටිලා



ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධක හේතුවෙන් ඉරානයේ ඛනිජ තෙල් අපනයනය පහත වැටී ඇතැයි දත්ත සහ ආරංචි මාර්ග සඳහන් කරයි.

නෞභාර දත්ත සහ එරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ  ආරංචි මාර්ගවලට අනුව මේ මාසයේ පළමු සතියේදී ඉරානයේ ඛනිජ තෙල් අපනයනය තවදුරටත් පහත වැටී ඇත.

මේ තත්ත්වය නිසා තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) ද අර්බුදයකට මුහුණ පා සිටියි. ඉරානයෙන් ප්‍රමාණවත් පරිදි ඛනිජ තෙල් නොලැබීම නිසා එම අඩුව පිරවීමට එම සංවිධානයේ අනෙක් රටවලට සිදුව තිබේ.

‘රෙෆිනිටිව් අයිකොන්’ දත්තවලට අනුව මේ මාසයේ පළමු සතියේදී ඉරානය දිනක තෙල් බැරල මිලියන 1.1ක් වන පරිදි තෙල් අපනයනය කර ඇත. ‘රෙෆිනිටිව් අයිකොන්’ යනු තොම්සන් රොයිටර්ස් සමාගමට අනුබද්ධිත දත්ත විශ්ලේෂණ සමාගමකි.

ඉරානයෙන් පිටත්ව ගිය ඉන්ධන නෞකා සැලකිල්ලට ගැනීමේදී තවමත් දිනක තෙල් බැරල් සංඛ්‍යාව ඇත්තේ මිලියනයටත් අඩු අගයක යැයි එම කර්මාන්තයේ ප්‍රකාශකයෙක් කීය.

ඉරානයේ තෙල් අපනයන සැලකිල්ලට ගත් විට මේ වසරේ අප්‍රේල් මාසයේදී දිනකදී අපනයනය කරන ලද තෙල් බැරල් සංඛ්‍යාව මිලියන 2.5ක් විය. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගන්නා බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී නිවේදනය කළේය. ඉන් අනතුරුව ඔහු ඉරානයට සම්බාධක පැනවීය. ඒ සමඟම ඉරානයේ තෙල් අපනයන ක්‍රමයෙන් අඩු වූ අතර සැප්තැම්බර් මාසයේදී එය දිනකට තෙල් බැරල මිලියන 1.6ක අගයක් දක්වා පහත වැටිණි.

තෙල් රැගත් නෞකා ගමන් ගන්නා වේලාවන් යනාදිය නිරන්තරයෙන් වන අතර අපනයන දත්ත ද සතියෙන් සතිය වෙනස් විය හැකිය. කෙසේ නමුත් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ඉරාන අපනයන පහත වැටෙමින් තිබේ. මේ තත්ත්වය මත ඇති වී තිබෙන හිඩැස පිරවීමට සෞදි අරාබියට සහ ‘ඔපෙක්’ සංවිධානයට අයත් නොවන රුසියාවට ඉඩක් ලැබී ඇත.
සම්බාධක පැනවීමෙන් පසු කිසිදු යුරෝපීය රටක් ඉරානයෙන් ඉන්ධන ආනයනය කර නොමැති අතර තෙල් ආනයනය කර ඇත්තේ ඉන්දියාව, චීනය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් පමණක් යැයි රෙෆිනිටිව් දත්ත සඳහන් කරයි.
ඉරානයේ තෙල් අපනයන සම්පූර්ණයෙන් නවත්වන බවට ඇමෙරිකා ජනපදය ප්‍රකාශ කර තිබුණත් එසේ කිරීමේ හැකියාවක් නැතැයි ඉරානය මෙන්ම ඉරානයේ මැදපෙරදිග ප්‍රතිවාදියා වන සෞදි අරාබිය ද ප්‍රකාශ කර ඇත. ඉරානයෙන් කෙරෙන ආනයන සීමා කරන රටවලට යම් සහන ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බව ඇමෙරිකා එක්සත් ජනපද පරිපාලනය සඳහන් කර ඇත.

ඉරානයෙන් තෙල් ආනයනය කරන ප්‍රමුඛතම රටක් වන ඉන්දියාව නොවැම්බර් මාසය සඳහා ද ඉරානයෙන් තෙල් ඇණවුම් කර ඇත. කෙසේ නමුත් ඔවුන්ට සහනයක් හිමි වේවිද යන්න සැක සහිතය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS