ජූනි මාසයේදී උද්ධමනය ඉහළට



ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු කරගනිමින් ජූනි මාසයේදී උද්ධමනය සියයට 6.3ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මේ වසරේ මැයි මාසයේ පැවැති සියයට 5.2 සිට ජූනි මාසයේදී සියයට 6.3 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ මැයි මාසයේදී සියයට 11.1ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී සියයට 13.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී සියයට 0.8ක් නොවෙනස්ව පැවැතී ඇත.

ජූනි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 1.4ක් ලෙස වාර්තා වූ අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම ඒ සඳහා බලපා ඇත.

ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, සීනි, මාළු, බිත්තර සහ සහල් ඇතුළත්ව ආහාර අයිතම හතක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති සියයට 3.7 සිට ජූනි මාසයේදී පැවැති සියයට 4.4 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති සියයට 4.8 සිට ජූනි මාසයේදී සියයට 4.6 දක්වා පහළ ගියේය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS