චීනයට දෙවැනි වෙන්නේ නෑ - මෝදි



චීනය ඔක්තෝබර් 1 වැනිදා කොමියුනිස්ට් පාලනය ස්ථාපිත කර 70 වැනි සැමරුම උත්කර්ෂවත් අන්දමින් සමරන ලද්දේ ඔවුන්ගේ ආර්ථික සහ යුදමය බලය ආඩම්බරයෙන් ලොවට පෙන්වමිනි. ලෝකයේ බලය, විශේෂයෙන්ම ආර්ථික බලය ආසියාව දෙසට කේන්ද්‍ර වෙමින් තිබියදී ආසියානු කලාපයේ බලවතුන් දෙදෙනා ලෙස ඉන්දියාව සහ චීනය නැගී එමින් සිටිති.

චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියනයක එක් මාවතක් එක් තීරයක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ව්‍යාපෘතිය ලොව පුරා විශේෂයෙන්ම නූතන සේද මාවත ඔස්සේ ක්‍රියාත්මක වෙද්දි ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 5ක ආර්ථිකයක් බවට පත් කරනවා යැයි ඉන්දීය අගමැති මෝදි ස්ථීරසාරවම පවසයි.

ඉන්දියාවේ මැඩ්‍රාස්හි ඉන්දීය තාක්ෂණික ආයතනයේ (අයි.අයි.ටී) උපාධි ප්‍රදානෝත්සවය අමතමින් අගමැති මෝදි ඒ බව කීවේය. ඉන්දීය තාක්ෂණික ආයතනයේ උපාධිධාරීන්ගේ නවෝත්පාදනය සහ තාක්ෂණික භාවිතය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 5ක ආර්ථිකයක් බවට පත්වීමේ ඉන්දීය සිහිනයට ජීවය සපයනු ඇති බව ද ඔහු එහිදි කීවේය.

“අද ඉන්දියාව ටි්‍රලියන 5ක ආර්ථිකයක් බවට පත්වීමට අපේක්ෂා කරනවා. ඔබේ නවෝත්පාදන, ඔබේ අපේක්ෂා සහ බලාපොරොත්තු, ඔබේ තාක්ෂණික භාවිතය එම සිහිනයට ඉන්ධන සපයාවි. එය වඩාත් තරගකාරී ආර්ථික බවට පත්වීමේ ඉන්දීය පියවරේ පදනම වේවි”.

2024 වනවිට ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 5ක ආර්ථිකයක් බවට පත් කරන්නේ යැයි අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු පාලක භාරතීය ජනතා පක්ෂය මේ වසරේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී ප්‍රකාශ කළේය. එය ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ද ඇතුළත් කර තිබිණි.

“නව ඉන්දියාවේ ජීවය” ඔවුන් තුළ තිබෙන බව ද සිසු සිසුවියන්ගේ අත්පොළොසන් මැද ඉන්දීය අගමැතිවරයා කීවේය.
“මගේ ඉදිරියේ කුඩා ඉන්දියාවක් තිබෙනවා. ඒ වගේම නව ඉන්දියාවේ ජීවයත් මගේ ඉදිරියේ තිබෙනවා. ශක්තිය, ජීවය සහ ධනාත්මක බව මෙහි තිබෙනවා. ඔබේ දෑස්වල මම අනාගතය දකිනවා. ඉන්දියාවේ ඉරණම, දෛවය ඔබේ දෑස්වල තිබෙනවා” යැයි සිසුන් ඉදිරියේ අගමැති මෝදි කීය.

ඉන්දීය තාක්ෂණික ආයතනයේ (අයි.අයි.ටී) සුවිශේෂී ආයතනයක් බවත් ලොව පැරැණිතම භාෂාවක් වන දෙමළ බසට නිවහන වී තිබෙන ප්‍රාන්තයක එය පිහිටා තිබීම තවත් සුවිශේෂී බවත් ඉන්දිය අගමැතිවරයා මෙහිදි කීවේය.
“මෙය සුවිශේෂී ආයතනයක්. කඳු එහා මෙහා යන බවත් ගංඟා නිශ්චලව තිබෙන බවත් මට මෙහි පැමිණි විට දැනගන්න ලැබුණා. මම ඉන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ. තමිල්නාඩුව ඉතාම විශේෂයි. ලොව පැරැණිතම භාෂාවලින් එකක් වන දෙමළ භාෂාවට නිවහන වී තිබෙන්නේ මෙම ප්‍රාන්තය” යැයි මෝදි කීය.

“ඔබ සියලු දෙනා ඉතාම වාසනාවන්තයි. ඔබ මෙම සුවිශේෂී ආයතනයේදී උපාධි ලබන්නේ ලෝකය ඉන්දියාව දෙස බලා සිටින අවස්ථාවක. අද ඉන්දියාව අවස්ථාවලින් සපිරි දේශයක් බවට පත්ව තිබෙනවා. ඇමෙරිකානු සංචාරයේදී මම රාජ්‍ය නායකයන්, ව්‍යාපාරික නායකයන්, නවෝත්පාදකයන්, ආයෝජකයන් මුණ ගැසුණා. අපේ සාකච්ඡාවලදී එක් පොදු කරුණක් තිබුණා. ඒ නව ඉන්දියාවයි. නව ඉන්දියාවේ තිබෙන සර්වශුභවාදය” යැයි අගමැති මෝදි තවදුරටත් පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS