කටාර් සම්බාධක ඉවත් කරන්නේ නෑ



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන, අන්තවාදයට උඩගෙඩි දෙන කටාර් රාජ්‍යයට පනවා ඇති ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීමේ කිසිදු අදහසක් නැතැයි ඊජිප්තුව සහ සෞදිය තරයේ කියා සිටී.

සම්බාධක පනවා කටාර් රාජ්‍යය හුදෙකලා කළ යුතු යැයි පසුගිය වසරේ යෝජනා කළේ සෞදි අරාබියයි. සෞදියට සහාය පළ කිරීමට ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් විය.

ඒ අනුව, මෙම රටවල් සියල්ල එක්වී, කටාර් රාජ්‍යය හුදෙකලා කරමින් සම්බාධක පැනැවීම කළේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. එම සම්බාධක හමුවේ වුවත්, ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට කටාරයට හැකි වී ඇත. ඒ, තුර්කිය, ඉරානය පමණක් නොව, බටහිර රටවලින් ද ලැබෙන සහාය සහ ආධාර හේතුවෙනි.

බහරේනයේ කළ සංචාරයකින් පසු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්  ඊජිප්තුවේ කයිරෝ අගනුවර බලා පැමිණියේය. එහිදී ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ගෙන් සල්මාන් කුමරුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

කටාරයට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර ඉන්පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ඊජිප්තු ජනාධිපති අල් සීසී සහ සල්මාන් කුමරු අවධාරණය කළේ කටාරය හුදෙකලා කිරීමට පැනැවූ සම්බාධක ඉවත් නොකරන බවය. සම්බාධක ඉවත් කිරීමට නම්, තමන් පනවා ඇති කොන්දේසිවලට කටාරය එකඟත්වය පළ කළ යුතු බව සෞදියේ සල්මාන් කුමරු යළිත් වරක් අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS