ඉරාන ආර්ථික අරගලය



ඉරාන රජය ආර්ථික අරගලයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා ජනාධිපති හසන් රොව්හානි අගෝස්තු 28 වැනිදා හෝ ඊට පෙර දිනයක පාර්ලිමේන්තුවේ පෙනී සිටින බව එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවැසීය.

“පාර්ලිමේන්තු සැසියක් පැවැත්වෙනවා. එහිදි ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධයෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා” යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අසදුල්ලා අබ්බාසි උපුටා දක්වමින් එරට අයි.සී.ඒ.එන්.ඒ පාර්ලිමේන්තු පුවත් සේවය වාර්තා කළේය.

එහෙත් ඊට පැය කිහිපයකට පසු පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් පත් කර සිටින උප ජනාධිපතිවරයා ඒ බව ප්‍රතික්ෂේප කළේය.

“එහෙම දිනයක් නම් කරලා නැහැ. එවැනි දෙයක් වෙනුවෙන් එහෙම දිනයක් නම් කර හෝ එකඟ වීමක් වෙලා නැහැ” යැයි ඉරාන උප ජනාධිපති හුසෙයිනලි අමිරි උපුටා දක්වමින් එරට රාජ්‍ය පුවත් සේවය වන අයි.ඒ.එන්.ඒ වාර්තා කළේය.

ඉරාන ජනාධිපතිවරයා වාර්තා වන අන්දමට පාර්ලිමේන්තුවට කැඳවුවහොත් එවැන්නක් සිදුවන පළමු අවස්ථාව එය වනු ඇත. ඉරාන ජනාධිපති හසන් රොව්හානිට ඔහුගේ දැඩි මතධාරී ප්‍රතිවාදීන්ගෙන් විශාල පීඩනයක් එල්ල වෙමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබෙන සබඳතා දිගින් දිගටම පිරිහීමට ලක්වීමත් ආර්ථික දුෂ්කරතා ඉහළ යෑමත් නිසා කැබිනට් මණ්ඩලය වෙනස් කරන්නැයි ඉල්ලීමක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS