ඇමෙරිකාව ඉන්දියාවට දෙන තීරු බදු සහනය අවසන්



ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාවට ලබා දෙන ‘ජී.එස්.පී.’ හෙවත් ‘වරණීය තීරුබදු සහනය’ ලබන පස් වැනිදා සිට අවසන් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  නිවේදනය කළේය.

ඇමෙරිකාව ‘ජී.එස්.පී.’ බදු සහනය හඳුන්වා දී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රගමනය අරමුණු කර ගනිමිනි.

ඉන්දියාව ඇමෙරිකාවට, ඔවුන්ගේ වෙළෙඳපොළ හා ප්‍රවේශවීම සඳහා සමාන මෙන්ම සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන බවත්, ඉන්දියාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස තවදුරටත් සැලකිය නොහැකි බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

‘ජී.එස්.පී.’ සහනය ඉවත් කරමින් ඉන්දියාවට තීරු බදු පැනැවීමට තමන් සූදානමින් සිටින බව ජනපති ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය මාර්තු මාසයේය. ඇමෙරිකාව මේ වනවිට චීනයටත්, මෙක්සිකෝවටත් තීරු බදු පනවා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ජී.එස්.පී.’ බදු සහනය ලැබෙන විශාලතම රට ලෙස ඉන්දියාව සැලකෙයි. ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක භාණ්ඩ ‘ජී.එස්.පී.’ සහනය යටතේ ඇමෙරිකාවට ආනයනය කෙරේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව රජය ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට ලිපියක් යවමින් දන්වා ඇත්තේ, තීරු බදු සහනය ඉවත් නොකරන ලෙසටය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS