වැටුණු ආර්ථිකය නැගිටුවන හැටි



කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික පොදු දැක්මක් පිළිබඳ යෝජනාවලියක්, ආර්ථික ප්‍රතිසාධන උපාය මාර්ග මාලාවක් සහ ආර්ථික උත්තේජක පැකේජයක් ලෙස ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියේ මෙසේද සඳහන් වේ.

ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන සහ සමාජ ආර්ථික දර්ශකයන් පහළ යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම.

ජාතික මට්ටමින්, යූ හැඩැති, ආර්ථික පුනර්ජීවයක් ළඟා කර ගැනීම. ‘කොවිඩ්-19’ වසංගතයේ අවසානයේ සිට මාස 6-8 ක් ඇතුළත ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධන වේගය නැවත ලබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, ඉලක්කගත අභ්‍යන්තර අංශවල V හැඩැති වර්ධනයක් ඉලක්ක කළ යුතුය. එමෙන්ම ජාතික මට්ටමින්ද දිගුකාලීනව V හැඩැති වර්ධනයක් ඉලක්ක කළ යුතුය.

ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීම උදෙසා පහත ආකාරයේ ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීම.

මාස 12ක් පුරාවට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.5 සිට සියයට 3 දක්වා වන ප්‍රමාණයක් ආර්ථිකය ප්‍රතිසංවිධානයට (යථා තත්ත්වයට පත්කිරීමට) යෙදවීම වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීම. මෙහිදී අනවශ්‍ය වියදම් කපාහරිමින් අවශ්‍ය පරිදි ප්‍රතිපාදන වෙන්කරමින් ක්‍රියාකිරීමට රජය කටයුතු කළ යුතුය.

ආර්ථික ප්‍රතිසාධනය සඳහා පෞද්ගලික අංශයේ කාර්යභාරය හඳුනා ගැනීම මඟින් පහත මැදිහත්වීම් හරහා වේගවත් ප්‍රතිසාධන ඉලක්ක වෙත ළඟාවිය හැකිය.

වත්මන් රැකියා සුරක්ෂිතතාවය සහ නව රැකියා නිර්මාණය අරමුණ කරගෙන එකිනෙක හා සම්බන්ධ නිෂ්පාදන හා සේවා අංශවල ඉඩ ප්‍රරස්ථා තුළ නිසි වෙනස්කම් සිදුකිරීම.

දේශීය සැපයුම් පද්ධති සඳහා ප්‍රමුඛතාව සහිත සැපයුම් හා වටිනාකම් දාම ප්‍රරතිනිර්මාණය කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්‍යතා වර්ධනයත්, මූල්‍ය සහාය ගොඩනැගීමත් සිදුවනු ඇත.

සහනදායී ණය කොන්දේසි (preferential credit terms) පිළිබඳ විදේශීය සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ද්‍රවශීලතා බාධාවන් ඉවත්කර ගැනීම සැපයුම්කරුවන්, හවුල්කරුවන් සහ දේශීය හා ගෝලීය පාරිභෝගිකයින් සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීම හරහා ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කිරීම.

ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහායදීම වැනි රජය විසින් ගෙන ඇති කාලීන පියවර කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම නිර්දේශ කෙරේ. මේ යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන, ණය ආපසු ගෙවීමේදී මහජනයාට ලබා දී ඇති සහන සහ රුපියල් බිලියන 50ක ප්‍රතිමූල්‍යකරණ පහසුකම් යනාදිය ඇතුළත් වේ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල විසින් සකස් කරන ලද විස්තීර්ණ ආර්ථික උත්තේජක උපාය මාර්ගයක් සහ ක්‍රියාකාරී සැලැස්ම.

ආර්ථිකයේ විධිමත් හා අවිධිමත් අංශයවල වැටුප් සහිත රැකියා පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛතාව ලබාදීම. මෙහිදී දෛනික ආදායම් ලබන සේවකයන් සහ අඩු ආදායම්ලාභී සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව පවත්වා ගැනීම වැදගත් වේ.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 – සියයට 3.0 පමණ වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේදී වැදගත් වන කටයුතු සඳහා වෙන්කිරීම. (රුපියල් බිලියන 375,450 ක්) මෙමගින් වේගවත් ජාතික ආර්ථික ප්‍රතිසාධනයක් ළඟාකර ගැනීම.

ආර්ථික ප්‍රතිසාධන කාර්යසාධක බළකායක් පිහිටුවීම (Economic Recovery Task Force – ERTF) මෙම බළකාය ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වාණිජ මණ්ඩල හරහා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතන සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත වීම වැදගත් වේ.

තත්කාලීන උත්තේජක වැඩසටහන්

රජය විසින් පෞද්ගලික අංශයට ගෙවීමට ඇති හිඟ අරමුදල් පියවීම හෝ ස්වෛරී ආධාරක ණය පහසුකම් ලබාදීම හෝ වන්දි ගෙවීමේ ස්වරූපයෙන් ක්ෂණික සහන ලබාදීම. රජය විසින් පෞද්ගලික අංශයට ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 68 ක් පමණ වේ.

ඉලක්කගත මුදල් සහන, දෛනික වැටුප් සහිත අනියම් සේවකයන් ඇතුළු සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් වෙත යොමු කිරීම. වර්තමාන පියවර ප්‍රශංසනීය නමුත්, සමාජ දුරස්ථභාවය සැලකිල්ලට ගනිමින් නිවැරදි “ඉලක්ක ගත කිරීම” සහ “කාර්යක්ෂම බෙදා හැරීම” සහතික කිරීම සඳහා ජංගම මුදල් පද්ධති ඇතුළු ඩිජිටල් ක්‍රම භාවිතා කරමින් එය පුළුල් කිරීම අවශ්‍ය විය හැකිය.

මුදල් හිඟ සමාගම් සඳහා සේවක සහනාධාර යෝජනා ක්‍රම ලබාදීම. කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර අංශ තුළ රැකියා සුරක්ෂිතබව ඇති කිරීම යන ක්‍රියාමාර්ග වේගවත් ආර්ථික ප්‍රතිසාධනයකට දායක වේ. රැකියා පිරිවැය හා සම්බන්ධ  බදුසහන වසර කිහිපයක් තුළ ඉලක්කගත ආයතනවලට ලබාදීම මෙයට ඇතුළත් විය හැකිය.

පුරවැසියන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන ලබාදීම - සමාගම් සහ සේවකයන්ගේ EPF සහETF දායකත්වය තාවකාලික අත්හිටුවීම සහ විදුලිය හා ජල ගාස්තු අයකර ගැනීම කල් දැමීම වැනි රාජ්‍ය මූල්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් එල්ල නොකරන සහන අවම වශයෙන් ඉදිරි මාස 6 සඳහා ලබාදීම.

මධ්‍යකාලීන උත්තේජක උපායමාර්ග (2020 මැයි සිට 2020 අවසානය දක්වා)

පහත සඳහන් පියවර මගින් 2020 මැද භාගයේදී මූල්‍ය අංශයට ඇති ආතතිය ලිහිල් කිරීම.

වාණිජ බැංකු මගින් මූල්‍යකරණයට සහාය වීම සඳහා ප්‍රතිමූල්‍යකරණය හෝ ණය ඇපකර සහ / හෝ බදු සහන ලබාදීම. බහුපාර්ශ්වීය ආයතනවලින් ප්‍රතිමූල්‍යකරණ පහසුකමක් හෝ ණය ඇපකරයක් ලබා ගැනීමට රජයට සලකා බැලිය හැකිය.

ආපසු ගෙවීම් ප්‍රමාද දරා ගැනීමට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට සහාය වීම සඳහා දිගු කාලීන විධිවිධාන සැපයීම.

III. ස්වෛරී බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) සහ රජයේ සුරැකුම්පත්වල කරන ලද ආයෝජන හේතුවෙන් මූල්‍ය ආයතන පාඩු වාර්තා කිරීමේ අවදානමට ලක්ව ඇති බැවින් ප්‍රතිසාධන කාලය තුළ මූල්‍ය ආයතනවල ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවයේ අඩුපාඩු සඳහා පනවන දඬුවම් ලිහිල් කිරීම.

රජයේ සේවා පුළුල් ලෙස ඩිජිටල්කරණය කිරීම. ඩිජිටල්කරණ කටයුතු අඛණ්ඩව වේගවත් කිරීම තුළින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට රජයේ සේවාවලට ප්‍රවේශ වීම පහසු කෙරේ.

2020/21 ශීත ඍතු ‘විසිට් ශ්‍රී ලංකා Visit Sri Lanka’ ප්‍රවර්ධන වැඩසටහනක් ගොඩ නැගීම. ‘කොවිඩ්-19’ ගතිකතාවයන් හේතුවෙන් විදේශ සංචාර සඳහා ඉහළ ඉල්ලුමක් ඇති විය හැකි විශේෂිත වෙළඳපොළ ඉලක්ක කිරීම.  මෙම විශේෂිත වෙළඳපළවල්වල ‘කොවිඩ්-19’ වලින් අඩු බලපෑමට ලක් වූ ඉන්දියන් සාගර ගමනාන්ත ප්‍රවර්ධනය කිරීම. ගුවන් සමාගම් වල, ශ්‍රී ලංකන් සමාගමද ඇතුළුව, ‘කොවිඩ්-19’ අවසාන උපායමාර්ග සමඟ ගැලපෙන පරිදි මෙම උපායමාර්ගය හරහා අරමුදල් සම්පාදනය කර සැලසුම් කළ යුතුය. ‘කොවිඩ්-19’පැතිරීමේ තත්ත්වය සලකා බලමින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතුවේ.

දිගුකාලීන උත්තේජක උපාය මාර්ග

ණය ප්‍රාග්ධනය යෙදවීම, දිරිගැන්වීම සහ මුදල් සඳහා ප්‍රවේශයක් වැඩි කිරීම සඳහා සියලුම ණය සුරැකුම්පත් වලින් ලැබෙන පොලී ආදායම, ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය නැවත හඳුන්වාදීම.

අර්බුදකාරී අවස්ථාවන් මඟහරවා ගැනීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීම පහසු කිරීම සඳහා ගනුදෙනු බදු අහෝසි කිරීම. මෙහිදී ප්‍රාග්ධන ලාබ බද්ද, මුද්දර ගාස්තු, වැට් බදු සහ වෙනත් බදු වර්ග සලකා බැලිය හැකිය.

‘කොවිඩ්-19’ හේතුවෙන් එතරම් බලපෑමක් නැති අංශවල ආයෝජනය කරන සමාගම් සඳහා ආයෝජන සහන ලබා දීම මඟින් අතිරේක රැකියා උත්පාදනය කර ආර්ථිකයට සහාය වීම.

ව්‍යුහාත්මක ප්‍රතිනිර්මාණය, ඩිජිටල්කරණය සහ ප්‍රධාන අංශවල නව පරිවර්තන ඇති කිරීම. සෑම අර්බුදයක්ම ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා දෙයි. එබැවින් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, බලශක්තිය සහ ප්‍රවාහන වැනි අංශවල ව්‍යුහාත්මක වෙනස්කම් දිරිමත් කිරීම කෙරෙහි රාජ්‍ය අවධානය යොමුකිරීම.

වේගවත් ප්‍රතිසාධන (යථාතත්වයට පත්කිරීම) ක්‍රමෝපායකට අරමුදල් සැපයීම

විදේශීය ණය වාරික වශයෙන් විශාල මුදලක් ගෙවිය යුතු බැවින් අයවැය හිඟයන් සඳහා වන පීඩනය ලිහිල් කිරීම සඳහා බහු පාර්ශ්වීය සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් අවුරුදු 1-3 ක තාවකාලික සහන කාලයක් ලබා ගැනීම.

ශීඝ්‍ර අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බහුපාර්ශ්වික ආයතන සමඟ සම්බන්ධ වීම.

ද්විපාර්ශ්වික හවුල්කාර රටවලින් මාස 12 ක් සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් හුවමාරු විධිවිධානයක් ලබා ගැනීම.

රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමෙන් රජයට මූල්‍ය පහසුකම් සපයමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිසාධනයට සහාය වනු ලැබේ.

ගෝලීය තෙල් මිලෙහි තියුණු පහත වැටීමෙහි වාසි ලබා ගැනීම සඳහා උපාය මාර්ගික ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම.

යෝජිත රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7 ක් වන අතර එය 2020 සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 – සියයට 3.0දක්වා අඩු කිරීමට පියවර ගැනීම, ආර්ථික ප්‍රතිසාධන කටයුතු සඳහා සම්පත් නැවත යෙදවීම සහ සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.

පශ්චාත් ‘කොවිඩ්-19’ වසංගත කාලය තුළ වේගවත් ආර්ථික ප්‍රතිසාධන උපාය මාර්ගයක් අත්පත් කර ගැනීම සඳහා රජය දරන උත්සාහයට පෞද්ගලික අංශය වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලය උපරිම සහය ලබාදෙනු ඇත. ඉදිරි අභියෝගවලට සාමූහිකව මුහුණු දෙමින්, ආදර්ශවත් ආර්ථික පුනර්ජීවයක් පිළිබඳ හවුල් දැක්ම සඳහා ලංකා වාණිජ මණ්ඩලය පෞද්ගලික අංශයේ අදහස් හා නිර්දේශ නියෝජනය කරනු ඇත.


RECOMMEND POSTS

RELATED POSTS