කොරෝනා පරදමින් ආර්ථිකය නැංවීම



නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කිරීමෙන් තොරව ආර්ථිකවලට සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක විය නොහැක. ආර්ථිකයක් ක්‍රියාකාරී නොවීමෙන් ජනතාවට නොනැසී පැවැතීමට ද නොහැක. ලෝකය දැන් පවතින්නේ එවැනි තේරුම් ගැනීමට නොහැකි අසීරු සහ දුෂ්කර තත්ත්වයකය. ශ්‍රී ලංකාව ද සිටින්නේ ඒ ආකාරයේ තේරුම් ගැනීමට අසීරු දුෂ්කර තත්ත්වයකය.

ජාත්‍යන්තර

ලොව රටවල් බොහෝමයක් සිය ආර්ථික නැවත ආරම්භ කරන ආකාරය ජාත්‍යන්තරය දෙස බැලීමේදී දක්නට ලැබේ. කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ගන්නා ප්‍රතිපත්ති හා තීරණ සහ ආර්ථික නැවත ප්‍රාණවත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අතරේ ඝට්ටනයක් තිබෙන බව එම රටවල් දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබේ. කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් ඔවුන්ගේ ආර්ථික සම්පූර්ණයෙන් වසා දැමුවේය. එසේ අඩපණ කළ ආර්ථික නැවත ප්‍රාණවත් කිරීමට බොහෝ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටිති.

චීනය සෙමෙන් සෙමෙන් ඔවුන්ගේ කර්මාන්ත ක්‍රියාත්මක කරමින් සිටියි. අඩු පිරිවැයකින් ඵලදායී අයුරින් පාලනය සහ කළමනාකරණය කිරීමට සමත්වූ වියට්නාමය ද මේ වනවිට ඔවුන්ගේ ආර්ථිකය ප්‍රාණවත් කර ඇත.

පරෙස්සම

‘කොවිඩ්-19’ වසංගතය තවමත් වේගයෙන් පැතිරේ.  ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 4.4 ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියනයකට වැඩිය.

ආර්ථික නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව තේරුම් ගන්නා අතරේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන අනතුරු ඇඟවීම් සහ උපදෙස් සම්බන්ධයෙන් ආණ්ඩු කල්පනාකාරී විය යුතුය. ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමේදී විමසිලිමත් හා පරෙස්සම් සහගත විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් උපදෙස් දෙයි. කෙසේ නමුත් වසංගතය හේතුවෙන් රටවල් බොහෝමයක් නැවතී ඇත. ඒ කෙසේ වෙතත් වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් නොවිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.

ආර්ථිකය කෙරෙහි අවධානය

ශ්‍රී ලංකාව ද ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි මේ වනවිට මතයක් වර්ධනයක් වෙමින් තිබේ. ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ‘කොවිඩ්-19’ වසංගතය පාලනය කරන අතරවාරයේදීය. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 700 ඉක්මවා ගොස් ඇත.

එම නිසා ආර්ථිකය නැවත විවෘත කිරීම සහ නැවත ප්‍රාණවත් කිරීම පරෙස්සමෙන් සැලැසුම් කළ යුතුය. එය කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට ඉඩ සලසන්නක් නොවිය යුතුය. ‘කොවිඩ්-19’ වසංගතය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ආර්ථික කටයුතු ආරම්භ කිරීමෙන් කිසිදු ආකාරයකින් බලපෑම් එල්ල නොවිය යුතුය. එම නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීම ඉතා කල්පනාකාරීව සැලැසුම් කළ යුතුය. එයින් වයිරසය ව්‍යාප්ත වීමට ඉඩක් ලබා නොදිය යුතුය.

ආර්ථික සංවර්ධනය සහ දියුණුව ඇති වීමට නම් වයිරසය ගෝලීයව පාලනය කිරීම පූර්ව අවශ්‍යතාවකි. එහෙත් මේ වනවිට වයිරසය ගෝලීයව පාලනය කර ඇති ආකාරයක් හෝ ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වන ආකාරයක් හෝ දක්නට නොලැබේ.

අභියෝගාත්මක කාර්ය

‘කොවිඩ්-19’ වසංගතය මැඩ පවත්වන අතරවාරයේදීම ආර්ථිකය ප්‍රාණවත් කිරීම අභියෝගාත්මක කාර්ය වේ. ඒ දෙකම එකම අවස්ථාවේදී කිරීම මහත් දුෂ්කර කාර්යයකි. කොරෝනා වයිරසය මර්දනය කිරීම හා සමානව, ආර්ථිකය නවැත නඟා සිටුවීම ද වැදගත් වන කාලය එළැඹ ඇත. කෙසේ නමුත් සැලකිය යුතු ආකාරයකින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීයව ද කොරෝනා වයිරසය පාලනය කළ පසුවය. මේ අතර ආර්ථිකය පවත්වාගෙන යෑමටත් ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමටත් ඇතැම් ආර්ථික ව්‍යවසාය නැවත ආරම්භ කළ හැකිය.

විපරමෙන් සීමා ලිහිල් කිරීම

ප්‍රාණවත් කිරීම සඳහා සීමා ලිහිල් කිරීමත් ‘කොවිඩ්-19’ මර්දනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගත් පරෙස්සමෙන් සමබර කර ගත යුතුය. ඒ නිසා ආණ්ඩුව ඇතැම් සීමා ලිහිල් කරමින් ආර්ථික කටයුතු කිරීමට ඉඩ සලසා ඇත. ඒ අතරවාරයේදීම වයිරසය පාලනය කිරීම සඳහා විපරම්කාරී විය යුතුය.

සීමා

සීමාකාරී අයුරින් හෝ ඇතැම් ආර්ථික ව්‍යවසාය සිය කටයුතු ආරම්භ කර ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 35ක් යැපෙන්නේ වෙළෙඳාම මතය. ගෝලීය ආර්ථිකය ක්‍රියාත්මක වන තුරු මෙරට ආර්ථිකයෙන් නැවත ආරම්භ කළ හැක්කේ සීමා සහිත කොටසක් පමණි. මෙය විශේෂයෙන්ම බලපාන්නේ අපනයන නිෂ්පාදනවලටය. අපනයන නිෂ්පාදන රඳා පවතින්නේ ජාත්‍යන්තර ඉල්ලුම, පිටරටින් ආනයනය කරන අමුද්‍රව්‍ය මතය.

නව අවස්ථා

කෙසේ නමුත් අපනයන නඟා සිටුවීමත් දේශීය නිෂ්පාදන වැඩි කිරීමටත් නව අවස්ථා ග්‍රහණය කරගැනීම ඉතා වැදගත් වේ. වෙනස් වී ආර්ථික තත්ත්ව සාර්ථකව හසුරුවා ගැනීම සඳහාත් පරිභෝජනය හැඩගස්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර ඉල්ලුම් සැපයුම් තත්ත්වලට ප්‍රතිචාර දක්වන පරිදි නිෂ්පාදන නැවත හැඩගස්වා ගත යුතුය. නිෂ්පාදන අංශය කඩා වැටීම වළක්වා ගැනීමට එය අත්‍යවශ්‍ය වේ. මෙය රටේ ප්‍රධාන කර්මාන්ත අපනයනවලට අදාළ වේ. බටහිර රටවලින් ඇති ඉල්ලුම අඩු වීමත් සමඟ ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ගෝලීය ආර්ථික පසුබැසීමට මුහුණ දීම සඳහා ඇඟලුම් කර්මාන්තය අපනයන කළ හැකි නව නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

රබර් අපනයන

ලොවපුරා ගුවන් සහ බර වාහනවල ප්‍රවාහන කටයුතු සීමා වීම නිසා මෙරට රබර් සහ රබර් නිෂ්පාදන, අපනයන ක්ෂේත්‍රයට ද බලපෑම් එල්ල වී ඇත. එය රටේ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කරගත් අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයකට එල්ල වූ දරුණු පසුබැසීමකි.

අනෙක් අතට සායනික, වෛද්‍ය සහ ආරක්ෂිත අත්ආවරණ හා අත්වැසුම්වලට ලොවපුරා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇත. රබර් නිෂ්පාදන සඳහා ලොවපුරා තිබෙන විශාල ඉල්ලුම සැලකීමේදී රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ත් 800ත් අතර මුදලක් උපයාගත හැකිය. ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ස්වභාවික රබර් නිෂ්පාදනය කළ යුතුය. එමෙන්ම රබර් නිෂ්පාදන අපනයන කිරීමටත්, රබර් නිෂ්පාදන අපනයනය කිරීම වැඩි කිරීමටත් වෙනත් අමුද්‍රව්‍ය ද අවශ්‍ය වේ. එබැවින් එම අමුද්‍රව්‍ය සැපයීම ද කළ යුතුය.

කෘෂිකර්මය

කොරෝනා වයිරසයෙන් අවම බලපෑමක් එල්ල වූ ආර්ථික ක්‍රියාකාරකම වන්නේ කෘෂිකර්මාන්තයයි. ආර්ථික නැවත යථා තත්ත්වයට පත්වීමට ද කෘෂිකර්මාන්තය විශාල දායකත්වයක් ලබාදෙන හා ලබාදිය හැකි ක්ෂේත්‍රයකි. ආහාර සහ අනෙකුත් බෝග               අස්වැන්න හොඳින් ලැබී ඇත. පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී තේ නිෂ්පාදනය පහත වැටිණි. වතු සහ කුඩා තේ වතුවල පසුබෑමටත් වඩා නියඟය ඊට හේතුවිය. කෙසේ නමුත් තේ කර්මාන්තයේ තිබෙන කම්කරු ප්‍රශ්න සහ ප්‍රමාද වූ ගෙවීම් ආදී ප්‍රශ්න ද ඉක්මනින් විසඳිය යුතුය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බෝග වගාව සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සැපයීම මෙන්ම පොහොර, බීජ යනාදිය සැපයීම ඉතා වැදගත් වේ. කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේදීත් ඒවා වෙළෙඳපොළට සැපයීමේදීත් බාධා එල්ල වී ඇත. හිතකර කාලගුණයත් පොහොර ලබාදීමත් මඟින් මේ වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවිය හැකිය.

 සැලැස්ම   

කෘෂිකාර්මික නිමැවුම වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සඳහන් කරමින් මෙරට විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ නවයේ ප්‍රධානීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලියවිල්ලක් බාරදුන්හ. මේවා ඉතා හොඳ ප්‍රතිපත්ති රාමුය. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම සහ ඊට පලදායී අයුරින් ආයතනික මට්ටමින් සහාය දීම දුෂ්කර වේ. නිදහසින් පසු මෙරට කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල දක්නට ලැබුණු ප්‍රධානම දුර්වලතාව එය විය.

සාරාංශය

පරෙස්සමෙන් ඇඳිරි නීති සීමා ලිහිල් කිරීම ආර්ථිකය යම්තාක් දුරකට හෝ නැංවීමට අවස්ථාව ලැබේ. කෙසේ නමුත් රටේ ආර්ථිකය යථා වත් කිරීමට නම් මෙරට පමණක් නොව ගෝලීයව ද වයිරය පරාජය කළ යුතුය. අවම බාධාවකින් කළ හැකි ආර්ථික කටයුතුවලට ප්‍රමුඛතාව දීම වැදගත් වේ. කෘෂිකර්මාන්තයට ඉන් මුල්තැනක් ලැබේ.

ජාත්‍යන්තර ඉල්ලුම අඩුවීමත් අමුද්‍රව්‍ය නොලැබීමත් යන කරුණු හේතුවෙන් මෙරට ප්‍රධානතම අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය වන ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වී ඇත. ඉල්ලුම් සැපයුම් තත්ත්ව වෙනස්වීමත් සමඟ ඇති වී නව තත්ත්වය සැලකිල්ලට ගත යුතුය. එය සැලකිල්ලට ගනිමින් ඒ හා සමාන අනෙකුත් කර්මාන්ත ද නව තත්ත්වයට හැඩගැසිය යුතුය. ටයර් සඳහා ඉල්ලුම අඩු වී ඇති රබර් නිෂ්පාදන ක්ෂේත්‍රය ද මේ අයුරින් හැඩගැසිය යුතු ක්ෂේත්‍රය කි. ටයර් සඳහා ඉල්ලුම අඩුවූවත් සායනික සහ අනෙකුත් අත්වැසුම්/ අත් ආවරණ සඳහා තිබෙන ඉල්ලුම ගෝලීයව වැඩි වී තිබේ.

සියලුම කෘෂිකාර්මික බෝග ඒවායේ ඉහළම මට්ටමට ළඟවීම ඉතා වැදගත් වේ. ආහාර බෝගවලින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ හැකිය. රබර් නිමැවුම වැඩි කිරීමෙන් මෙරට රබර් කර්මාන්ත/නිෂ්පාදන වැඩි කළ හැකිය. තේ සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. එහෙත් තෙල් ආදායම් පහළ වැටීම නිසා මැදපෙරදිග වෙළෙඳපොළවලින් තේවලට ලැබෙන ඉල්ලුම  අඩු විය හැක.

නිගමනය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ගෝලීය වශයෙන් ද වයිරසය පාලනය කරන තුරු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක විය නොහැක. ආර්ථිකය ක්‍රියාකාරී නොවී ජනතාවට නොනැසී සිටීමට ද නොහැක. ආර්ථිකය විවෘත කිරීමත් ‘කොවිඩ්-19’ වසංගතය පාලනය කිරීමත් අතර සමබරතාව ආරක්ෂා කළ යුතුය. එය පරෙස්සමෙන් සැලැසුම් කළ යුතු අතර ඵලදායී ලෙස කළ යුතුය.

ආචාර්ය නිමල් සඳරත්න මහතා විසින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට සැපයූ ලිපිය හර්ෂණ තුෂාර සිල්වා විසින් සිංහලට පරිවර්තනය කරන ලදි.


RECOMMEND POSTS

RELATED POSTS