ඊජිප්තුවෙන් ආර්ථික සහාය ඉල්ලයි



දෙරටටම පොදු වූ ඉතිහාසයක් පැවතීම, විශිෂ්ඨ ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්‍රයේ දී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට ආර්ථික කටයුතුවලදී ප්‍රමුඛතාවක් නැවත ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඊජිප්තුවෙන් ඉල්ලා සිටියි.

විදේශ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේ, කයිරෝහි පිහිටි ඊජිප්තු විදේශ අමාත්‍යාංශයේ දී පැවති, ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සමාරම්භක සැසිය අමතමිනි. 

ආසියාව සඳහා ඊජිප්තු සහකාර විදේශ අමාත්‍ය තානාපති හැනී සෙලීම් මැතිතුමා විසින් මෙම සැසිවාරයේ සම සභාපතීත්වය දරන ලදී. 

ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිනි දමයන්ති රාජපක්ෂ මහත්මිය හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා කයිරෝහි ශ්‍රී ලංකා දුතමණ්ඩලයේ නිලධාරීහු විදේශ ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.සහකාර අමාත්‍ය තානාපති සෙලීම් මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිස පිළිගනිමින්, ඊජිප්තුව හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා හුවා දැක්වීය.

ගෝලීය අභියෝගවලට මුහුණදීමේ දී අප දෙරට වසර ගණනාවක් මුළුල්ලේ එකිනෙකාට සහය දක්වා තිබීම හා වර්තමානයේ දෙරටම ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙහිලා උනන්දුවක් දැක්වීම පිළිබඳව අවධානයට ලක්කරමින්, වෙළඳ, අයෝජන, තාක්ෂණය හා දැනුම බෙදාගැනීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එය අපේක්ෂා කරන මට්ටමට අප සබඳතාව වැඩිදියුණු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

නිදහස වෙනුවෙන් සටන් වැදි අහ්මඩ් ඔරාබි පාසා නම් ඊජිප්තු ජාතිකයා 1883 වසරේ දී ශ්‍රී ලංකාවට නෙරපා දැමීම මඟින් දිරිගැන්වුන, ශතවර්ෂ ගණනාවක් ඉපැරණි වෙළඳ සබඳතා දක්වා වූ අතීතයකට දිව යන ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සබඳතාව 1956 සූවස් අර්බුදයේදීත්, අප්‍රිකා විමුක්ති අරගලයේ දීත් ඉන් අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමේ දී බහුපාර්ශ්වික හවුල්කාරීත්වයටත් දක්ෂිණ දක්ෂිණ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ දීත් ශ්‍රී ලංකාව ලබා දුන් සහය තුළින් පසුව ශක්තිමත් වූ බව ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. 

නැවත වතාවක් ගෝලීය ප්‍රජාව හමුවේ මධ්‍යස්ථ කාර්යභාරයක් ඉටු කිරීමට, බල කේන්ද්‍රයන්ට පක්ෂපාති නොවී කටයුතු කිරීමට සහ සියලුම රටවල් සමඟ මිත්‍රත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් ඔස්සේ හඹායාමට ශ්‍රී ලංකාවට ඉඩ කඩ සලසන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ රට මෙහෙයවීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිඥා දී ඇති අවධියක මෙම දේශපාලන උපදේශන පවත්වන ලද බව ඔහු සඳහන් කළේය. 

පසුගිය මාස කිහිපය තුළ දී විදේශ අමාත්‍යාංශය, 2014 වසරේ දී ශ්‍රී ලංකාව නිරීක්ෂක තත්ත්වය ලබාගත් අප්‍රිකානු සංගමයේ (AU) රටවල් සමඟ සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රිය පිහිටිමක් ලබාදීමට උචිතවන වඩාත් ඵලදායි හා අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වන සබඳතාවක් උදෙසා අභිසාරීතාවයන්ට හා ඉඩ ප්‍රස්ථාවලට විසදුම් ලබාදීම අරමුණු කර ගන්නා "නැවත ප්‍රබෝධමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කිරීම ද ආරම්භ කොට තිබේ.

1980 ගණන්වලදී ඊජිප්තුවේ තේ අවශ්‍යතාවයෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාව විසින් සපුරන ලද අතර, ඉහළ බදු පැනවිමෙන් හා පසුව අප්‍රිකාවේ කළාපීය වෙළඳ කණ්ඩායම් නිර්මාණය වීමෙන් අනතුරුව එම අගය දැන් සියයට 5 දක්වා පහත වැටී තිබේ. 

කෙසේවෙතත්, ඩිල්මා, සුපර්ෆයින්, අක්බාර්, ඉම්ප්‍රා හා JAFF වැනි ප්‍රමුඛපෙළේ තේ වෙළඳ නාම යටතේ, ඊජිප්තුවේ විචක්ෂණ තේ රසඥයන් හට අඛණ්ඩව උසස් ගුණාත්මකභාවයකින් යුත් මිල අධික විශේෂ තේ ලබා දෙන අතර එය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් පවතියි.

ඊජිප්තුව, ශ්‍රී ලංකාවේ කැපු පොල් සඳහා විශාලතම වෙළඳපොළක් වන අතර ඒවා එහි රසකැවිලි කර්මාන්තයට යොදා ගැනේ. මීට අමතරව, රබර් නිෂ්පාදන, හම් නිෂ්පාදන, කුළු බඩු, කොහු නිෂ්පාදන, රසකැවිලි, කොකෝවා හා කොකෝවා ආශ්‍රිත නිෂ්පාදන පෝසිලේන් හා පිඟන් භාණ්ඩ ශ්‍රී ලංකාව ඊජිප්තුව වෙත අපනයනය කරමින් සිටියි. 

රසායන ද්‍රව්‍ය හා ප්ලාස්ටික් නිෂ්පාදන, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන පොහොර, තෙල් හා නැවුම් පළතුරු ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඊජිප්තුවෙන් ආනයනය කරන භාණ්ඩ අතර වෙයි. 

මෙම සාකච්ඡාවලදී, වර්ධනය කිරීමට ඉඩ කඩ තිබෙන ක්ෂේත්‍රයක් වශයෙන් සංචාරක ක්ෂේත්‍රය හදුනාගෙන ඇති අතර තිරසර ආයෝජන ගලනයන් සහතික කරලීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. මේ සඳහා, 2004 දී මුලින් ම පිහිටුවන ලද ඊජිප්තු - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය නැවත පණ ගැන්වීමටත්, අවසානවරට 2002 වසරේ දී කැඳවන ලද වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාව නැවත කැඳවීමටත් එකඟතාව ප්‍රකාශ කරන ලදී.

දෙහි, දෙළුම්, අඹ, රට ඉඳි වගා කිරීම සඳහා ඊජිප්තුවේ තාක්ෂණික සහය ලබා ගැනීමට හා කෘෂිකර්මය පිළිබඳ ඊජිප්තු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (EICA) කෘෂිකර්ම පුහුණු ඉඩප්‍රස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සමාලෝචනය කරන ලද අතර අන්නාසි, රත් කෙසෙල්, අනෝදාවලින් රෝපන ද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳව ඊජිප්තුව උනන්දුවක් දැක්වීය. 

කෘෂිකර්මය, සංචාරක, රෙදිපිළි හා ඇගළුම් කර්මාන්ත, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ, තෙල් පිරිපහදු යන ක්ෂේත්‍රවල අයෝජන සිදු කරන ලෙස ඊජිප්තුව ශ්‍රි ලාංකික අයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. කොළඹ වරාය නගරයේ ආයෝජන සිදුකරන ලෙස ඊජිප්තු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ආරාධනා කළාය.

ත්‍රස්තවාදය, අන්තවාදය හා දේශ සීමා ඉක්මවා සිදු කරන අපරාධ මර්දනයෙහිලා සාමූහික ප්‍රයත්න දැරීම, 1996 දී අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගීතා ගිවිසුම නැවත සක්‍රීය කිරීම පිළිබඳව හා ගැටුම් සමථයකට පත් කිරීම, සාම සාධක කටයුතු හා සාමය ගොඩනැඟීම පිළිබඳ කයිරෝ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී (CCCPA) සාම සාධක කටයුතු පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී හා වෙනත් පුහුණු ආයතනවලදී ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳවත්, පුහුණු ඉඩප්‍රස්ථා පිළිබඳ මෙන් ම මිනිස් ජාවාරම හා මත්ද්‍රව්‍ය නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ඊජිප්තු බලධාරීන් සමඟ තොරතුරු හා පළපුරුද්ද බෙදා හදා ගැනීමට සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම පිළිබඳවත් ආරක්ෂක සහයෝගීතාවට අදාළව සාකච්ඡා කරන ලදී.

වෛද්‍ය සංචාරක කටයුතු සංවර්ධනයෙහිලා දැනුම ලබා ගැනීමට හා ඊජිප්තුවේ ලෝක යෞවන සංසඳයට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සහභාගිත්වය වැඩි කිරීම තුළින් දෙරටේ තරුණ තරුණියන් අතර සම්බන්ධකතා ගොඩනැඟිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලදී. 

ඉස්ලාමීය ආගමික අධ්‍යාපනයේ වර්තමාන අධ්‍යාපන සහයෝගීතාව පුළුල් ලෙස පදනම් කර ගැනීමේ වැදගත්කම, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හා පුරාවිද්‍යාව, ඊජිප්තු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අවධාරණය කරන ලද අතර උපාධි අපේක්ෂක ඉඩප්‍රස්ථා 2කුත් උපාධි ඉඩප්‍රස්ථා 6කුත් ප්‍රදානය කරන කෙටුම්පත් අවබෝධතා ගිවිසුමක්, සලකා බැලීම සඳහා ඊජිප්තු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලදී. 

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව ගෝලීය ගැටලු පිළිබඳ සම අදහස් දරන බව හා බහුපාර්ශ්වීය සංසඳවල දී සමීප සහයෝගීතාවක් පවත්වාගත් බව හදුනාගනිමින් මුහුණදෙන පොදු ගෝලීය අභියෝග අවබෝධ කර ගැනීම සඳහා දෙරටේ කනිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සඳහා ඩිප්ලෝමා පුහුණු පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ජාත්‍යන්තර සංසඳවලදී හා ඊජිප්තුව වර්තමාන සභාපතීත්වය උසුලන අප්‍රිකානු සංගමය (AU) තුළ දී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු යෝජිත වැඩ පිළියෙළ පිළිබඳවද නියෝජිත කණ්ඩායම් දෙක විසින් සමාලෝචනය කරන ලදී. 

මැද පෙරදිග හා අප්‍රිකාවේ මෙන්ම අසියාවේ ප්‍රවණතා හා ඊජිප්තුව හා ශ්‍රි ලංකාව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන නිරායුධකරණය, සංක්‍රමණය, මානව හිමිකම් හා තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ඇතුළු වර්තමාන ජාත්‍යන්තර ගැටලු විශාල සංඛ්‍යාවක් පිළිබඳව දක්වන පොදු අදහස් හා මත ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශිවන්ති අබේරත්න, දෙවැනි ලේකම් අනෝද්‍යා චිරස්රී හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකා අංශයේ සහකාර අධ්‍යක්ෂ තුලාන් බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙම දේශපාලන උපදේශනය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS

RELATED POSTS