ජනාධිපතිගෙන් තර්ජනයක්



 
තම රටේ බොර තෙල් අපනයන නතර කිරීමට අමෙරිකාව පියවර ගතහොත් කලාපයේ සෙසු රටවල බොරතෙල් අපනයනය ද නතර කිරීමට පියවර ගන්නා බවට ඉරාන ජනාධිපති හසන් රුහානි තර්ජනය කර තිබේ.

අමෙරිකාව ඉරානයට එරෙහි පියවර ගතහොත්, මැදපෙරදිග කලාපයේ බොරතෙල් ප්‍රවාහන නැව් යොදාගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් අවහිර කරන බවට ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉරානයේ බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවට අමෙරිකාව පවසා ඇත්තේ එහි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බවයි.

ඉරානයෙන් බොරතෙල් අපනයනය ලබන නොවැම්බර් 4 වැනි දින සිට නතර කිරීමට පියවර නොගතහොත් එම රටවලට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකාව මීට පෙර කියා සිටියේ ය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳවැටීම වැලැක්වීමේ අරමුණින් මේ වනවිට වියානා නුවරට ගොස් සිටින ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබූ සෙසු රටවල් ඉරානයේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම් අමෙරිකාව රහිතව වුවත් න්‍යෂ්ටික ගිවිසුමට බැඳී සිටීමට තමන් එකඟ බවයි.

2015 වසරේ එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් චීන, ප්‍රංශ, ජර්මානු, බ්‍රිතාන්‍යය සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට වියානා නුවරදී ඉරාන බලධාරීන් හමුවීමට නියමිත වේ.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS