ඇරැම්කෝ සමාගම අර්බුදයක



සෞදි අරාබි රජයට අයත් ඇරැම්කෝ සමාගම ලොව විශාලතම තෙල් නිෂ්පාදනය කරන්නා වන අතර ලෝකයේ සම්පූර්ණ තෙල්වලින් සියයට 10ක් නිර්මාණය කරන්නා ද වේ. එසේම ලොව වඩාත් ලාභ ලබන සමාගම්වලින් එකක් ද වේ.

කෙසේ නමුත් යේමනයේ හවුත් කැරැලිකරුවන් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ තෙල් සැපයුමෙන් අඩක් නැවැතුණු අතර ලෝකයේ සමස්ත තෙල් සැපුයමෙන් සියයට 5ක් නැවැතුණි.

ඉරානයේ සහාය ලබන හවුති කැරැලිකරුවන් එල්ල කරන ලද එම ප්‍රහාරයෙන් ඇරැම්කෝ සමාගමේ බලාගාරවලට දැඩි බලපෑමක් සිදුව තිබෙන අතර ගෝලීය බලශක්ති යටිතල පහසුකම්වලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබේ.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ කුරෙයිස් තෙල් ආකාර භූමිවලටය. ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 1ක් සිදුවෙන්නේ මෙම භූමියේය. ඇරැම්කෝ සමාගමේ විශාලතම පහසුකම වන අබ්කයික් වෙත ද ප්‍රහාරයක් එල්ල වූ අතර ගෝලීය තෙල් සැපයුමෙන් සියයට 7ක සැපයුම් ක්‍රියාවලිය සිදුවන්නේ අබ්කයික්හිය.

මෙතරම් දැවැන්ත සමාගමකට මෙම ප්‍රහාර වළක්වා ගත නොහැකි වූයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්න මතු වී තිබෙන අතර මෙවැනි ප්‍රහාර නැවැත එල්ල වීමේ අවදානමක් මතු වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. ඇසුරිනි 


RECOMMEND POSTS