ආර්ථිකය දණ ගැස්සූ කොරෝනා



'කොවිඩ්-19' වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතරවාරයේදී රටේ සමස්ත ජනගහනයේ අවම ආහාර අවශ්‍යතාව සපුරාලීම වත්මන් ආණ්ඩුව හමුවේ තිබෙන දුෂ්කර කාර්යයකි. මුළු රටටම ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක එම අවශ්‍යතාව සපුරාලීමට සිදුවීම එම කාර්යය තවත් දුෂ්කර කරයි.

සාර්ථකත්වය

ආහාර සැපයීමේදීත් වයිරසය පාලනය කිරීමේදීත් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. ජනතාව මීට වඩා වගකීම් සහගත අයුරින් කටයුතු කළා නම් වයිරසය පාලනය කරගැනීමේදී මීට වඩා සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකියාව තිබිණි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතරවාරයේදී ආහාර සැපයුම සුරක්ෂිත කිරීම එකවර කළමනාකරණය කිරීම දුෂ්කර කාර්යය දෙකකි.

බරපතළ ප්‍රශ්න

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් රටේ ආර්ථික කටයුතු අකර්මණ්‍ය වී ඇත. මේ කාලයේදී ජනතාවට ආහාර සැපයීමේදී යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත. එහෙත් ජනතාවට ආහාර සැපයීමේදීත් පරිභෝජනය සඳහා ආහාර ලබාගත හැකි වීම/ ලබාගැනීම ඇති හැකියාව සම්බන්ධයෙනුත් බරපතළ ප්‍රශ්න උද්ගතව ඇත. ආදායම් නොලබන රැකියා නොමැති විශාල පිරිසක් දිගින් දිගටම ආහාර පරිභෝජනය කිරීමත් එම සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවීමත් බරපතළ ප්‍රශ්නයකි.

සමෘද්ධිලාභීන් බොහෝමයකට ආණ්ඩුව පොරොන්දු වූ සහනය ලැබී නැත. එමෙන්ම ඇඳිරි නීතිය නිසා ආදායම් මාර්ග අහිමි වූ , ආදායම් හෝ වෙනත් ජීවනෝපයක් හෝ නැති මූලික ආහාර අවශ්‍යතා සපුරා ගත නොහැකි විශාල පිරිසක් ද සිටිති.

කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළට ප්‍රවාහනය කිරීමට නොහැකි වීම මේ වනවිට පැන නැඟෙමින් තිබෙන තවත් ප්‍රශ්නයකි. මේ ඇතැම් ගොවීහු එළවළුවලට ගිනි තැබූහ. ඒ හේතුවෙන් නාගරික ප්‍රදේශවලට ලැබෙන ආහාර සැපයුම තවදුරටත් අඩුවන අතරම ගොවියාට මෙන්ම, ඔවුන් එකිනෙකාට ලැබෙන ආදායම් හා ආදායම් මාර්ග ද අහිමි වේ.

එළවළු ප්‍රවාහනය නිසි පරිදි කිරීමට නොහැකි වීම නිසා රටට එළවළු බෙදන මධ්‍යස්ථානය වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට ද සිදුවිය. ව්ශාල පිරිසක් එක්රැස් වීමත් එමඟින් වයිරසය ව්‍යාප්ත වීමටත් ඇති අවදානම වැඩි බැවින් ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම අත්‍යවශ්‍ය කරුණකි.

ඇඳිරි නීතිය

දිවයිනටම බලපාන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් වෙළෙඳපොළට කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වී ඇත. රටේ අනෙකුත් වෙළෙඳපොළවලට එළවළු බෙදාහරින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට පවා බාධා එල්ල වී ඇත. ආණ්ඩුව මේ වනවිට මෙම ක්‍රියාවලියට මැදිහත් වී ඇති අතර කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනිමින් ඒවා ප්‍රවාහනය කිරීම ද කරයි. එසේ වුවද ඇඳිරි නීතිය  හා අදාළ සීමා හේතුවෙන් ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළවලට ගෙන ඒමත් ඒවා පාරිභෝගිකයන්ට ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියටත් බාධා එල්ල වී ඇත.

බලපෑම්

එළවළු නිසි පරිදි වෙළෙඳපොළට ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ආහාර සුරක්ෂිතතාවට අහිතකර බලපෑම් කිහිපයක්ම එල්ල වී තිබේ. ඉහත කී කරුණු නිසා එළවළු සැපයුම අඩු වී තිබේ. ගොවීන්ට ආදායම් අහිමි වී ඇත.  අත්‍යවශ්‍ය ආහාර නාස්ති වී ඇත. මේ කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර වෙළෙඳපොළවල් වෙත ප්‍රවාහනය කිරීමට අදාළ විකල්ප සොයා බැලිය යුතුය.

මඟ හැරුණු මිනිස්සු

ආහාර ලබාගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති විශාල පිරිසකට  ආහාර සැපයීම, ඔවුන්ට ආහාර ලබාගැනීම අවස්ථා සැලැසීම සහ ප්‍රවාහනය යනාදිය ද දුෂ්කරය. ඔවුන්ට ආහාර මෙන්ම අනෙකුත් අවශ්‍යතා සැපිරීම සඳහා ආණ්ඩුව මෙන්ම ප්‍රජා සේවා සහ සත්කාර කණ්ඩායම් මැදිහත් වුවද ආදායම් නොලබන්නන්ගේ ආහාර ප්‍රශ්නය බරපතළ ය.

සමාජ මැදිහත් වීම්

රටට ව්‍යසනයක් ආපදාවක් වූ සෑම අවස්ථාවකදීම ප්‍රජා සංවිධාන, ආගමික සංවිධාන මෙන්ම තනි තනි පුද්ගලයෝ ඉදිරියට පැමිණ ජනතාවට පිහිට වූහ. එවැනි ක්‍රියාමාර්ග දුප්පත් ජනතාවට සහන සැලැසීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට රුකුලකි. එම නිසා එවැනි ක්‍රියාමාර්ගවලට මෙන්ම ඒවා සාර්ථක කරගැනීමට ආණ්ඩුව පහසුකම් සැපයිය යුතු ය.

සාම කවුන්සිලය

ජාතික සාම කවුන්සිලය ඉකුත් මාර්තු මාසයේදී නිකුත් කළ ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ එවැනි සමාජ මැදිහත් වීම් දක්වා ඇත. ජාතික සාම කවුන්සිලයේ කාර්ය රටපුරා ව්‍යාප්ත වී ඇති ඔවුන් සහන සලසන්නේ ද එය වැඩියෙන්ම අවශ්‍ය පුද්ගලයන්ටය. ඊට අමතරව මේ සමාජ මැදිහත්වීම් බොහෝමයක් අන්තර් ආගමික මැදිහත්වීම් වන අතර එයින් ජාතික ඒකබද්ධතාවට සහ වාර්ගික හා ආගමික එකමුතුකමට ද දායකත්වයක් ලැබේ.

තනි තනි පුද්ගලයන්ගේ උදව් උපකාර

වඩාත්ම අවදානම් කණ්ඩායම්වල ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තනි තනි පුද්ගලයන්ගේ සහ විවිධ කණ්ඩායම්වල කාරුණික කටයුතු පසුගිය කාලයේදී දක්නට ලැබිණි. තම වටපිටාවේ සිටින ජනතාවට ඇතැම්හු ආහාර මෙන්ම මුදල්හදල් ද දුන්හ. කෙසේ නමුත් ඇඳිරි නීතිය මෙන්ම අනෙකුත් ගමනාගමන සීමා නිසා ඇති වී තිබෙන දුෂ්කරතා හේතුවෙන් සහන සැලැසීම සඳහා ඇතැම් ප්‍රජා හා ජනකොටස්වලට ළඟා වීමේ සහ සහන සැලැසීමේ ක්‍රියාවලියට බාධා එල්ල වී තිබේ.

ඇඳිරි නීතියෙන් එල්ල වී ඇති බාධා

ඇඳිරි නීතිය හේතුවෙන් ආහාර ලබාගත හැකි වීම/ ලබාගැනීම ක්‍රියාවලියට මෙන්ම ආහාර බෙදාදීමේ ක්‍රියාවලියට බාධා එල්ල වී ඇත. ආර්ථිකය අකර්මන්‍ය වීමත් ඇඳිරි නීතියත් නිසා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඇති විමසිල්ල ඉහළ ගොස් ඇත. විරැකියාව, රැකියා අහිමි වීම, අඩු ආදායම් මෙන්ම ආහාර සැපැයුම්වලට ප්‍රවේශ වීමට ඇති නොහැකියාව හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඇති අවදානම ඉහළ යමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් මූලික ආහාර අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි සහ එවැනි අවදානම් තත්ත්තවල සිටින ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යා හැක. ආහාර ප්‍රවාහනයට එල්ල වී තිබෙන බාධා නිසා ද ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමට නොහැකි වී තිබේ.

අවසාන වශයෙන්

විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ. කර්මාන්තශාලා සහ හෝටල් සේවකයන්, සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පිරිස්, දෛනික ආදායම් උපයන්නන්, ස්වයං රැකියාවල නිරත වන ජනකොටස්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටින පිරිස්, අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිටින පිරිස්, සේවකයන් මෙන්ම අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ සිටින බොහෝ පිරිසකට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඇත. වැඩි අවදානමක් තිබෙන්නේ මෙම පිරිසටය. ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීමත් සමඟ ප්‍රමාණවත් පරිදි ලබාගැනීමට යෑමේදී ඔවුන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ.

රටේ, ජාතික ආහාර උපයෝජ්‍යතාව (රට සතුව ඇති ආහාර ප්‍රමාණය/ ආහාර ලබාගත හැකි වීම/ ලබාගැනීම) මේ වනවිට ඇති ප්‍රධාන හා මූලිකම වැදගත්කමයි. එහෙත් පවුලකට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර ලබාගැනීමේදී වඩාත් වැඩියෙන්ම වැදගත් වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ මූල්‍ය හැකියාව/ධාරිතාව යන කටුක යථාර්ථය යි. රැකියා අහිමි වූ සහ ආදායම් අහිමි වූ විශාල පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීම මෙන්ම සමාජ මැදිහත්වීම ද අවශ්‍ය කෙරේ.

ආදායම් අහිමි වූ සහ විරැකියාවට ගොදුරු වූ විශාල පිරිසක් සිටීමත් ඔවුන් ආහාරවලට ප්‍රවේශවීම දිගින් දිගටම වැඩිවීමත් බරපතළ ප්‍රශ්නයකි. ආර්ථිකය අකර්මන්‍ය වීම හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්වලට දරුණු පහරක් එල්ල වී ඇත. ආහාර ලබාගැනීමට ප්‍රමාණවත් ආදායම් නොමැති පිරිස්වලට සහන සැලැසීම සඳහා විවිධ කණ්ඩායම්, තනි තනි පුද්ගලයන් මෙන්ම ස්වේච්ඡා හා සමාජ සංවිධාන මැදිහත් වී ඇති බව මෙහිදි සිහිපත් කළ යුතුය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර එය තුරන් කිරීම මේ අවස්ථාවේදී ප්‍රමුඛතාව දිය යුතු බවට කිසිදු විවාදයක් නැත. ‘කොවිඩ්-19’ වයිරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් තොරව ආර්ථිකය නැවත විවෘත කළ නොහැක. මේ වසංගතය තුරන් කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව ලෝක ආර්ථිකය ද නැවත ප්‍රාණවත් කළ නොහැක.

එහෙත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා බුද්ධිමත් අයුරින් ඇඳිරි නීතිය පැනවීමත් ලිහිල් කිරීමත් කළ යුතුය. ආහාර අලෙවිය, සැපයීම, ආහාර ලබාගැනීම මෙන්ම කර්මාන්ත හා සේවාවල ක්‍රමයෙන් ආරම්භ කිරීම සඳහා විමසිල්ලෙන් යුතුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කාලය එළැඹ ඇත.

කෙසේ වෙතත් අප ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙනා උපදෙස් සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතුය. එමෙන්ම ‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමේදී රටවල් ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් රටවල් බොහෝ විමසිලිමත් විය යුතුය. පැනවූ සීමා හේතුවෙන් රටවල් බොහෝමයක් නැවතී ඇත.

රජාන් පිලිප්ස් අත්‍යවශයෙන්ම සංක්ෂිපත්ව කියූ පරිදි ‘‘වයිරසයට එරෙහිව සටන් කරන්න, ජනතාවට කන්න දෙන්න’’.

ආචාර්ය නිමල් සඳරත්න මහතා විසින් සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපිය
හර්ෂණ තුෂාර සිල්වා විසින් සිංහලට පරිවර්තනය කරන ලදි.

RECOMMEND POSTS