හිස බද්ධ කිරීමේ පෙරැළිකාර සැත්කමකට සියල්ල සූදානම්



මොස්කව් නුවරදීය (රොයිටර්)

මිනිස් හිසක් මිනිස් සිරුරකට බද්ධ කිරීමේ ඉතා සංකීර්ණ මෙන්ම ඉතා අසීරු සැත්කමක් සිදු කිරීමට ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයකු සහ චීන ශල්‍ය වෛද්‍යවරයකු සූදානමින් සිටින බවත්, එම සැත්කම 2017 වසර මුලදී චීනයේ වෛද්‍ය ආයතනයකදී සිදු කිරීමට නියමිත බවත් විදෙස් පුවත් සේවා ඊයේ (30) වාර්තා කළේය. මිනිස් සිරුරේ වකුගඩු, අක්මා, හදවත් පමණක් නොව අත් පා ආදී ඉන්ද්‍රීය ද සාර්ථකව බද්ධ කිරීමට නූතන වෛද්‍යවරුන් සමත් වී ඇති අතර මිනිස් සිරුරකට මිනිස් හිසක් බද්ධ කිරීම ද අසීරු නොවනු ඇතැයි ඉතාලි ජාතික ස්නායු වෛද්‍ය සර්ගියෝ කැනවේරෝ කියා සිටී.

මෙම කටයුත්තේ දී සර්ගියෝ කැනවේරෝට සහාය වන්නේ චීන ශල්‍ය වෛද්‍ය රෙන් සියෝපිංය. මෙම විස්මිත සැත්කම ගැන ලොව කාගේත් අවධානය මේ වනවිට යොමු වී ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත. මෙම වෛද්‍යවරුන් දෙදෙනා සූදානම් වන්නේ, රුසියානු ජාතික ව්‍යාපාරිකයකුගේ හිස වෙනත් සිරුරකට බද්ධ කිරීමටය. මේ රුසියානුවා 32 හැවිරිදි වැලෙරි ස්පිරිඩනෝව් නමැත්තාය. පරිගණක විද්‍යාඥවකු වන මොහුගේ සිරුරේ මාංශපේෂී අක්‍රියවීමේ ඉතා දුර්ලභ ජාන විකෘති රෝගයකින් වැලෙරි පීඩා විඳියි. ඇවිදීමට බැරි හෙයින් මොහු රෝද පුටුවට සීමා වී සිටී. සිරුර කුඩා දරුවකුගේ මෙනි. එහෙත් පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂයකු වූ නිසා වැලෙරි කෝටිපතියෙකි. පර්යේෂණ මට්ටමින් පැවැත්වෙන, ඉතා සංකීර්ණ මෙම සැත්කමට තමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ සිදුවිය හැකි ඕනෑම දෙයකට සූදානමින් යැයි වැලෙරි ස්පිරිඩනෝව් පවසා ඇත.

තම හිස ඊට ගැළපෙන වෙනත් සිරුරට බද්ධ කිරීම කළ හැකි නම් එය කළ හැක්කේ සියෝපිංගෙන් සහ කැනවේරෝට පමණක් යැයි ද වැලෙරි ස්පිරිඩනෝව් වැඩි දුරටත් කියා සිටී. ‘මං තීරණයක් අරගෙනයි ඉන්නේ. ඒක මා වෙනස් කරන්නේ නැහැ. මගේ හිස වෙනත් නිරෝගී සිරුරකට බද්ධ කරන්න ඕනෑ’ යැයි වැලෙරි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත. වැලෙරි වසර ගණනාවක පටන් පීඩා විඳින්නේ වර්ඩිං හොෆ්මන් මාංශපේෂීන් ක්ෂයවීමේ දුර්ලභ රෝගයෙනි. ‘මැරෙන්න මොහොතකට හෝ පෙර අලුත් සිරුරක් ලැබෙනවා නම් එයයි මාගේ එකම පැතුම’ යැයි වැලෙරි පවසන්නේ ඉතා හැඟීම්බරවය.

වැලෙරි සමාජ සේවකයෙක් බවට ද ප්‍රකටය. ඔහු සමාජ සේවා රැසකට දායක වී සිටී. වැලෙරි ස්පිරිඩනෝව්ට සියෝපිංගෙන් සහ කැනවේරෝ වෛද්‍යවරුන් හමුවූයේ මීට වසර කිහිපයකට පෙරය. එදා සිට මේ දක්වා හිස බද්ධ කිරීමේ සැත්කම සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් පරීක්ෂණ පවත්වන ලදී. වෛද්‍ය කැනවේරෝ පසුගිය දා නිරිතදිග චීනයේ පැවැති වෛද්‍ය විද්‍යා සමුළුවකදී මෙම සැත්කම ගැන කරුණු කාරණා ලොවට අනාවරණය කළේය. ඔහු සහ ඔහුගේ චීන සගයා, අති දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් සමඟ එක් වී ස්පිරිඩනෝව්ට නව සිරුරක් ලබා දීමට කටයුතු කරන බව එම මාධ්‍ය හමුවේ දී වෛද්‍ය කැනවේරෝ පැහැදිලි කළේය. මෙම විස්කම් සැත්කම වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් වනු ඇති බවත්, අනාගතයේ මිනිස් සිරුරට අප්‍රාණික කරවන රෝග රැසකට එය සාර්ථක පිළියමක් වනු ඇති බවත්, මිනිසා මරණයට අභියෝග කරනු ඇති බවත් කැනවේරෝ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් කියා සිටියේය. මිනිස් හිස සිරුරට බද්ධ කිරීමේ එම සංකීර්ණ සැත්කම සිදු කරනු ඇත්තේ චීනයේ හෙයිල්ලොංජියැංහි හර්බින් වෛද්‍ය විද්‍යාලයේය. මිනිස් හිසක් මිනිස් සිරුරකට බද්ධ කිරීම සැබැවින්ම අසීරු කටයුත්තක් බව රෙන් සියෝපිං මෙන්ම සර්ජියෝ කැනවේරෝ අවිවාදයෙන් පිළිගනිති. හිස බද්ධ කිරීමට තෝරා ගැනීමට සිදුවනු ඇත්තේ මොළය මියගිය පුද්ගලයකුගේ ක්‍රියාකාරී සිරුරකි. පළමු අභියෝගය එවැනි කෙනකු සොයා ගැනීමය. දෙක, එම තැනැත්තාගේ සිරුර වැලෙරි ස්පිරිඩනෝව්ගේ හිසට හරියටම ගැළපිය යුතුය. මොළය සහ ස්නායු බද්ධතිය නිසිලෙස සම්බන්ධ විය යුතුය.

වැලෙරි ස්පිරිඩනෝව්ගේ හිස තියුණු මෙන්ම ක්ෂණික කැපුමක් සිදු කරනු ඇති බවත්, එය සිරුරට බද්ධ කෙරෙන්නේ විශේෂ ‘මැලියම්’ වර්ගයක් වැනි දෙයකින් බවත් සියෝපිං කියයි. මෙම ‘මැලියම්’ පොලියෙතනීල් ග්ලයිකෝල්ය. වැලෙරිගේ කෂේරුකා කොටස, නව සිරරේ කෂේරුකාවටත්, ස්නායු එකිනෙකත්, රුධිරවාහිනී එකිනෙකත් ඉතා සියුම්ව බද්ධ කළ යුතු වෙයි. මේ සඳහා පැය 36 ක පමණ සැත්කම් මාලාවක් කිරීමට සිදුවෙයි. ඉන්පසු තුවාල සුව වීමටත්, හිස සිරුරට මනා ලෙස පෑහීමටත් සති කිහිපයක් වැලෙරි ස්පිරිඩනෝව් කෝමා තත්ත්වයකට පත් කර සිහිසුන්ව තැබීමට සිදුවෙයි. හිස සිරුරට සාර්ථකව සම්බන්ධ කළත්, වැලෙරි ස්පිරිඩනෝව් නව සිරුරක් සහිතව කෝමා තත්ත්වයෙන් අවදි වුවත්, මැරෙනතුරු ඔහුට විවිධ ඖෂධ ලබා ගැනීමට සිදුවෙයි. ඒ, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් නව හිස ප්‍රතික්ෂේප කරනු ඇති නිසාය. සැත්කම පැය 36 ක් තිස්සේ සිදු කිරීමට නියමිත එයට පවුම් මිලියන 7.5 ක මුදලක් වැය වනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS