සිරියානු අර්බුදයේ පාරා වළලු



ආරක්ෂක සමුළුවේදී රුසියාව නිෂේධබලය පාවිච්චි කරමින්...

 

පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 9) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සිරියාව පිළිබඳව ප්‍රංශය සහ රුසියාව ඉදිරිපත් කළ යෝජනා දෙකම නිෂේධ බලය යෙදවීම නිසා ප්‍රතික්ෂේප විය. ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් හා විරුද්ධව දෙකක් ලැබුණ අතර රටවල් දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. රුසියාව සහ සිරියාව ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද හතරක් හා විපක්ෂව 9ක් ලැබුණ අතර රටවල් දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. සිරියාවේ දෙවන විශාල නගරයවන ඇලෙප්පෝ හි ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ පාලනය යටතේ පවතින නැගෙනහිර කොටස මාස ගණනාවක් තිස්සේ සිරියානු රජයේ හමුදා විසින් වටලා ඇති නිසා 275,000ක් පමණ වන එහි ජනතාවට මූලික අවශ්‍යතා හෝ සපයා ගැනීම අසීරු කටයුත්තකි. මෙම කොටසේ කඳවුරු බැඳ සිටින ඉස්ලාමීය රාජ්‍ය සහ කලින් අල් නුස්රා නමින් හැඳින් වූ කණ්ඩායම් ගැවසෙන ස්ථානවලට රුසියානු සහ සිරියානු ගුවන් හමුදා ප්‍රහාර එල්ල කිරීම නිසා එහි තත්ත්වය මහත් ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි බටහිර රටවල් චෝදනා කරති. සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර රෝහල්වලට පවා එල්ලවන බව පවසන බටහිර රටවල් රුසියාව සහ සිරියාව යුද අපරාධ සිදු කරන්නේදැයි විමර්ශනය කරන ලෙස ද ඉල්ලා සිටිති. 


වෛද්‍ය පහසුකම් සහ ආහාර නොමැති දහස් ගණනක් වෙනුවෙන් හදිසි ආධාර ලබා දීම සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීම නතර කිරීම අරමුණු කර ගත් මෙම යෝජනා දෙක ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත නොවන බව කලින් සිටම පැහැදිලිව පැවති කාරණයකි. ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරිපත් කළ එක්සත් ජනපදයේ සහාය පළ වූ යෝජනාව අනුව සිරියාවේ පවතින තත්වය පිළිබඳව කෙරෙන අධීක්ෂණ කටයුතුවල වඩාත් වැඩි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම, ඇලෙප්පෝ නගරයට එල්ල කරන සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර නතර කිරීම සහ එම ප්‍රදේශයේ ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීම වැනි කරුණු ඇතුළත් විය. ඊට අමතරව සිරියානු අර්බූදයට සම්බන්ධව සිටින පුද්ගලයන්ට සහ සංවිධානවලට විදෙස් රටවලින් ලැබෙන මූල්‍ය සහ ද්‍රව්‍යාත්මක ආධාර නතර කිරීම සහ මානුෂීය ආධාර ලබා දීම බාධාවකින් තොරව සිදු කිරීමට පහසුකම් සැපයීම ද ඇතුළත් විය. 


රුසියාව සහ සිරියාව ඉදිරිපත් කළ යෝජනාව අනුව ද ඇලෙප්පෝ ප්‍රදේශයේ සිදුවන සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කරන මෙන් ඉල්ලා සිටින නමුත් ත්‍රස්තවාදී ඉලක්කවලට එරෙහිව සිදු කරන ප්‍රහාර දිගටම සිදු කළ යුතුයැයි කියා සිටී. එමෙන්ම සිරියාවේ තත්වය ජිනීවා සටන් විරාම ගිවිසුම යෝජනා කර ඇති ආකාරයේ අන්තර්ජාතික සිරියානු සහයෝගිතා කණ්ඩායමකින් අධීක්ෂණය කළ යුතුය. සැප්තැම්බර් 8 වැනිදා එක්සත් ජනපදය සහ රුසියාව අතර අත්සන් කළ සටන් විරාම ගිවිසුම ප්‍රකාරව ත්‍රස්තවාදී කණ්ඩායම් බටහිර රටවල ආධාර ලබන මධ්‍යස්ථයැයි හැඳින්වෙන කණ්ඩායම්වලින් වෙන් කිරීමද ආරම්භ කළ යුතුය. එම ගිවිසුම අනුව සටන් විරාමය අදාල වන්නේ මධ්‍යස්ථ කණ්ඩායම්වලට පමණි. ඉස්ලාමීය රාජ්‍ය සහ අල් කයිඩා සංවිධානයට සම්බන්ධව සිටින්නේයැයි පැවසෙන අල් නුස්රා ත්‍රස්තවාදි කණ්ඩායම් ලෙස බටහිර රටවල් පවා හඳුනා ගෙන ඇති නිසා ඒවා හැඳින්වෙන්නේ නිත්‍යනුකූල ඉලක්ක සේය. 


මේ අනුව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ රුසියාව වෙන වෙනම ඉදිරිපත් කළ යෝජනා අනුව සිරියාවේ සටන් නැවැත්වීම පිළිබඳව එකඟතාවක් පවතින නමුත් ඊට අදාල කොන්දේසි ගැන පවතින්නේ දැඩි පරස්පරයකි. එක්සත් ජනපදය දක්වන ආකාරයට සිරියානු රජයේ හමුදා විසින් වට කර ඇති නැගෙනහිර ඇලෙප්පෝ නගරයේ සිටින ජනතාවට සහන සැපයීම ප්‍රමුඛතාවක් වන අතර එහි සිටින අල් නුස්රා කණ්ඩායම යටපත් කිරීම දෙවැනි කාරණයකි. එහෙත් සිරියානු රජය සහ රුසියාව පවසන ආකාරයට එක්සත් ජනපදය විසින් පවා ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නම් කර ඇති අල් නුස්රා වැනි කණ්ඩායම් මර්දනය නොකර සටන් විරාමයක් පවත්වා ගත නොහැකිය. අනෙක් අතට මෙම කණ්ඩායම් සටන් විරාම ගිවිසුමෙන් ආවරණය වන්නේ ද නැත. ඒත් අල් නුස්රා සටන්කරුවන් සියයට ආසන්න කණ්ඩායමක් නැගෙනහිර ඇලෙප්පෝ නගරයේ සිටින නිසා එම ඉලක්කවලට එල්ල කරන ප්‍රහාර නිසා සාමාන්‍ය ජනතාවට හානි සිදු කිරීමට ඉඩ දිය නොහැකියැයි බටහිර රටවල් අවධාරණය කරති. පසුගියදා මෙම ප්‍රදේශයේ රෝහලකට රුසියානු හෝ සිරියානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම එක්සත් ජනපදය හැඳින් වූයේ ‘තිරිසන් ක්‍රියාවක්’ සේය. නැගෙනහිර ඇලෙප්පෝ නගරයට එක්සත් ජාතින් විසින් ලබා දීමට සැලසුම් කළ සහනාධාර රැගත් වාහන පෙළට පහරදීම ගැන ද බටහිර රටවල් චෝදනා කරන්නේ රුසියාවට සහ සිරියාවටය. සහනාධාර රැගත් මෙම වාහනවලට නැගෙනහිර ඇලෙප්පෝ නගරයට යෑමට සිරියාව අවසර ලබා දුන් නමුත් අතර මගදී එල්ල වූ ප්‍රහාරයක් නිසා වාහන 18ක් විනාශ වූ අතර පුද්ගලයන් 20ක් මිය ගියහ. ඉන් පසු එක්සත් ජාතින් තත්වය යහපත් වන තෙක් සහානාධාර වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. මෙම සිද්ධිය ගැන රුසියාවට චෝදනා කළ එක්සත් ජනපදය සිරියාව පිළිබඳව රුසියාව සමග පවත්වන සියලු සාකච්ඡාවලින් ඉවත් වූයේය. එහෙත් රුසියාව එම චෝදනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.  


සැප්තැම්බර් අට වැනිදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජොන් කෙරි සහ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අතර ජිනීවා හි පැවති දීර්ඝ සාකච්ඡා වටයකින් පසුව ඇති කර ගත් සටන් විරාම ගිවිසුම වසර පහක් ඉක්මවා යන සිරියානු අර්බූදයට සාමකාමී විසඳුමක් සොයා ගැනීමේ හොඳම පිවිසුමක් වුවත් එය කොපමණ කලක් පවතින්නේ ද යන්න ගැන සැකයක් ආරම්භයේ සිටම පැවතිණ. වඩාත් තීරණාත්මක කරුණු දෙක වූ සටන් විරාමය අධීක්ෂණය සඳහා රුසියාව සහ එක්සත් ජනපදය ඇතුළත්ව පිහිටුවීමට නියමිත කමිටුව ගැන එක්සත් ජනපද හමුදාව තුළ පැවතියේ විරෝධයකි. එම කමිටුවේ දී මෙම දෙරට අතර සිරියාවේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍ය සහ අල් නුස්රා කණ්ඩායම් පිළිබඳ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට සහ ඒ අනුව එම ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමේ දී සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් සිය විරෝධය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණ.

අනෙක් කාරණය වූයේ එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මධ්‍යස්ථ සටන් කණ්ඩායම්යැයි හඳුන්වන අය අල් නුස්රා වැනි අන්තවාදී කණ්ඩායමවලින් ඉවත් විය යුතුය යන්නයි. මීට සිරියාවේ අල් අසාඞ් පාලනය ඉවත් කිරීම සඳහා සටන් කරන මධ්‍යස්ථයැයි හඳුන්වන කණ්ඩායම් කැමැත්තක් දැක් වූයේ නැත. බොහෝ නිරීක්ෂකයන් දකින ආකාරයට සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සැබැවින්ම අල් අසාඞ්ගේ හමුදාවට මුහුණ දීමේ ශක්තියක් නැත. මෙම කණ්ඩායම්වලට ගල්ප් කලාපීය රටවලින් සහ බටහිර රටවලින් ලබා දෙන අවි ආයුධ සහ මුදල් නිසැකයෙන්ම අල් නුස්රා සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් අතට පත්වේ. යම්හෙයකින් ත්‍රස්තවාදීන් සේ හඳුන්වන එම කණ්ඩායම් දෙක ඉවත් වුවහොත් මධ්‍යස්ථ කණ්ඩායම්වල ස්වාධීන පැවැත්මක් ද නැත. එය එක්සත් ජනපදය හා ගල්ප් කලාපීය රටවලට ද රහසක් නොවේ.


ප්‍රංශය ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුව ගුවන් තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම රුසියාව සහ සිරියාව දකින්නේ අල් නුස්රා වැනි කණ්ඩායම්වලට ලබා දෙන සහායක් සේය. ඇත්තෙන්ම මෙම ගැටුම් ආරම්භයේ දී තුර්කිය යෝජනා කෙළේ ද සිරියාවේ උතුරු ප්‍රදේශයේ ගුවන් තහනම් කලාපයක් ක්‍රියාත්මක කළ යුතුය යන්නයි. ලෙබනනයේ ගඩාපි පාලනයට එරෙහි සටන් කළ කණ්ඩායම් ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ගුවන් තහනම් කලාපයක් නේටෝ හමුදාව විසින් ක්‍රියාත්මක කළ අතර ගඩාපිගේ පරාජයට හේතු වූයේ ද එයයි. එමනිසා එම වැරැද්ද නැවත කිරීමට සිරියාව හෝ රුසියාව සූදානම් නැත. 


සිරියාවේ දැනට පවතින සටන් තත්වය මත ඇලෙප්පෝ නගරය සම්පූර්ණයෙන්ම සිරියානු රජයේ පාලනය යටතට නැවත පත්වීම නිසැකයෙන්ම ජනාධිපති අල් අසාඞ්ගේ බලය තහවුරු වීමකි. අලෙප්පෝ නගරය සිරියානු රජයේ හමුදා අතට පත් වුවහොත් විපක්ෂ කණ්ඩායම්වලට හෝ අල් නුස්රා කණ්ඩායම්වලට දැනට ඔවුන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අසීරු වනු ඇත. මේ නිසා නැගෙනහිර ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියාව අතට පත්වීම වැළැක්වීම අල් අසාඞ් බලයෙන් ඉවත් කිරීම අරමුණු කර ගත් එක්සත් ජනපදයේ සහ සෞදි අරාබිය ඇතුළු ගල්ප් කලාපයේ රටවලද අවශ්‍යතාවයි. 


රුසියාව දක්වන ආකාරයට සැප්තැම්බර් 8 වැනිදා අත්සන් කළ සටන් විරාම ගිවිසුම පවත්වා ගැනීමට එක්සත් ජනපදය අවංකවම අපේක්ෂා කරන්නේ ද නැත. සිරියානු විපක්ෂ කණ්ඩායම් අල් නුස්රා වැනි අන්තවාදි කණ්ඩායම්වලින් වෙන් කිරීම ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවන්නේ ද එමනිසාය. සටන් විරාමය අනුව රුසියානු හෝ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් සිරියාවේ ගුවන් මෙහෙයුම් සිදු කරන්නේනම් එකිනෙකාට පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතු බවට එකඟතාවක් තිබුණ ද එක්සත් ජනපදය එය ක්‍රියාත්මක කෙළේ ද නැත. නැගෙනහිර ඇලෙප්පෝ අසළ ඩෙයර් අල් සුර් හි සිරියානු හමුදා කඳවුරකට එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් එල්ල කළ ප්‍රහාරය එවැනි පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කළ එකකි. මෙම ප්‍රහාරයෙන් සිරියානු සෙබළුන් 90ක් මිය ගිය අතර 200ට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය අත්වැරැද්දක් යැයි එක්සත් ජනපදය පවසන නමුත් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති එම ප්‍රහාරය මනාව සැලසුම් කළ එකක්යැයි සිරියාව පවසයි. සිරියාව පවසන ආකාරයට එහි අරමුණ වූයේ ඇලෙප්පෝ නගරයේ සිටින අල් නුස්රා කණ්ඩායමට එරෙහිව සිරියාව සැලසුම් කළ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමය. ඇමරිකානු ප්‍රහාරයෙන් පසුව එම කඳවුරට අල් නුස්රා කණ්ඩායම් ප්‍රහාරයක් එල්ල කිරීම ඊට නිදසුනක් සේ දැක්වේ.


කෙසේ වුවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල ඊළඟ පියවර වශයෙන් දක්වන්නේ ඇලෙප්පෝ නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන සිරියානු ගුවන් යානාවලට සහ සිරියානු හමුදා කඳවුරුවලට පහර දීමය. සිරියානු ගුවන් යානාවලට හෝ හමුදා කඳවුරුවලට පහර දුනහොත් ඒවායේ ආරක්ෂාවට රුසියාව ඉදිරිපත් වන බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. රුසියාව දැනටමත් ගුවන් ප්‍රහාර වැළැක්වීමේ නවීනතම ප්‍රහාරක උපකරණ සිරියාවට ගෙනවිත් ඇත. ඒවා රුසියානු ගුවන් යානා සහ අනෙක් පහසුකම් ආරක්ෂා කිරීමට දවසේ පැය 24 තුළම ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව රුසියාව එහි බටහිර දේශ සීමාව අසල කලිනින්ග්‍රාඞ් නගරයේ න්‍යෂ්ටික අවි ස්ථාපනය කර ඇත්තේ කිසියම් හදිසි අවස්ථාවක යොදා ගැනීමටය. 


එමෙන්ම රුසියාව සහ එක්සත් ජනපදය අතර සබඳතා තව දුරටත් පිරිහීම සනිටුහන් කරමින් එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සහ බල ශක්ති ක්ෂේත්‍රයේ පවත්නා සියලු සබඳතා අත්හිටුවීමට රුසියාව තීරණය කර ඇති බවද වාර්තාවේ. එක්සත් ජනපද හමුදා ප්‍රධානි ජනරාල් මාර්ක් මිලී එක්සත් ජනපදයේ සතුරන් වන රුසියාව සහ චීනය තව දුරටත් තර්ජනයක් නොවන තත්වයට පත් කිරීම තම ප්‍රමුඛතාව බව පැවසුවේය.


සටන් විරාමය බිඳ වැටීමෙන් සහ ආරක්ෂක මණ්ඩලයට නිසි මැදිහත්මක් කිරීමට නොහැකිවීමෙන් සිරියාවේ ඔඩු දුවා ඇති අර්බූදය න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර කෙරෙන සෘජු සටනක්වීමේ අවදානම පෙර කිසිදාට වඩා ප්‍රබලය. හිටපු රුසියානු නායක ගොර්බචෙව් පසුගිය දා ප්‍රකාශ කළ ආකාරයට දෙපාර්ශ්වයම සංයමයෙන් කටයුතු නොකළහොත් ඉමහත් විනාශකට ඇත්තේ තප්පර කීපයක් පමණි.

සටහන - මහින්ද හත්තක


RECOMMEND POSTS