සාමය දෙදරායන දුර්භාග්‍ය සමයක්



“මෑත කාලයේදී, ජාතීහු යුද්ධය සඳහා කෝටි සිය ගණන් ණයට ගන්නට පෙළඹෙති. අධ්‍යාපනය සඳහා කිසිම දේශයක් මේ සා විශාල ණයක් ගන්නේ නොවේ. කිසිම රටක්, යුද්ධටත්, අධ්‍යාපනයේ දියුණුවටත් එකවර මෙතරම් ධනස්කන්ධයක් වැය කළ හැකි තරමට ධනවත් නැත. අපි මේ දෙකින් එකක් තෝරාගත යුතුවෙමු. අපට ඒ දෙකම ගන්නට බැරිය.”
(ඒබ්‍රහම් ෆෙලක්ස්නර්)

 


“යුද්ධ පටන්ගන්නේ මිනිසාගේ මනසෙහිය. එසේ නම් සාමාරක්ෂක ක්‍රම තැනිය යුත්තේත්, මිනිස් සිතේය.”
(එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියෙන්-1945)
සාමයට, අද තරම් බැරෑරුම් තර්ජන එළඹුණු සමයක් දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ගතවූ අවුරුදු හැත්තෑ දෙක තුළ, කිසිම විටෙක උද්ගත වූයේ නොවේ.


ලෝක සාමයේ බිඳවැටීම් අද කොයි තරම් බියකරු ලෙස සිදුවීගෙන යන්නේද කිවහොත්, ඔබ මේ ලිපිය කියවන මොහොතේත්, කවර තැනක මහ යුදගිනි ඇවිලී ඇද්දැයි කියාවත් සිතාගන්නට බැරි තරම්ය.


විසි එක්වන සියවසේ, දහහත්වන අවුරුද්දේ මේ දින කිහිපයේදී, මුළු මහත් මානව වර්ගයාගේම සිත් සතන් දැවෙනා තරමට, දැවැන්ත මානව සංහාරයක් පිළිබඳ මෙතරම් තැතිගැනීමක් ඇති කළේ කවුද? එය හටගත්තේ කෙසේද?
මානව සමාජයේ සාමය දෙදරවන්නට තමා සැරැසී සිටින්නේ යැයි කියන, භයානක තර්ජනය එල්ල කරන්නේ උතුරු කොරියා පාලක කිම් ජොං උන්ය. 


කිම් ජොං උන්, ඉතා නපුරු ගති පැවතුම් සහිත, අත්තනෝමතික පාලකයෙකි. ඔහුගේ දේශයේ ජනගහනය දෙකෝටි පණස් ලක්ෂයකි. රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය, ඉතාම දුබලයි. එහෙත්, ඔහු හැමවිටම තමාගේ අසීමිත යුද්ධ ශක්තිය ගැන පුරසාරමේ යෙදෙයි. 


ජොං උන්, උතුරු කොරියා නායකත්වය ලැබුවේ, ඔහු ගේ පියා ඇවෑමෙනි. පියා කිම් ජොං ඉල් අභාවයට පත්වූයේ 2011 දෙසැම්බර් 28 වනදායි. ජොං උන් උපත ලද්දේ 1982 ජනවාරි අටවන දායි. අද ඔහුගේ වයස තිස්පහයි. උතුරු කොරියා රාජ්‍යය පිහිටුවාලීමෙන් පසුව උපත ලැබ රටේ පාලකයා වූ ප්‍රථමයා, කිං ජොං උන්ය. නිල වශයෙන් උතුරු කොරියාව හැඳින්වෙන්නේ “කොරියානු ප්‍රජාතාන්ත්‍රික, ජනතා ජන රජය” වශයෙනි. 


බලයට ආ තැන් පටන්ම උතුරු කොරියා නායක කිම් ජොං උන්ගේ, පුරුද්දක්ව තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය වනසා දමන බවට, වරින් වර තර්ජන එල්ල කිරීමයි. මීට පෙර ඇමෙරිකා නායකයෝ, ඒ වහසි බස් එතරම් ගණන් නොගත්හ.


එහෙත් වර්තමාන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා ගර්ජන අසාගෙන නිහඬව සිටියේ නොවේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාද ඉතා ප්‍රබල ලෙස, ඒ උතුරේ “ලොක්කාට” පිළිතුරු දුන්නේය. ට්‍රම්ප්ගේ වදන් ධාරාවද භයානකයි. අගෝස්තු අටවනදා ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙසේ කීයේය. “මෙතෙක් ලෝකය නොදැන සිටි විදියේ ගින්නක් හා මහා උදහසක් කිම් ජොං උන්ගේ රාජ්‍යය වෙත එල්ල කරන්නෙමි.” ජනාධිපති ට්‍රම්ප් ඒ කෝපාවිෂ්ට ප්‍රකාශය කළේ කිම් ජෝ උන්ගේ අලුත් තර්ජනය නිසාය.


කිම් ජොං උන් මෑතකදී, ජාත්‍යන්තර නියමයන් නොතකා, අන්තර් මහාද්වීපික “මිසයිල” දෙකක් ගුවන්ගත කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට, තහංචි පනවන ලද්දේ, ඒ දරුණු ක්‍රියාව නිසාය. උතුරු කොරියාවට විරුද්ධවූ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට පත්වූ යෝජනාව නම් කෙරෙන්නේ, “අගෝස්තු පස්වනදා 2171 දරන යෝජනාව” වශයෙනි. මේ යෝජනාව සම්මත වූයේ රුසියාව හා චීනයත්, එයට විරුද්ධව නිශේධ බලය භාවිත නොකිරීම නිසාය. එයද, බොහෝ දෙනාට පුදුමයක් විය. එක්සත් ජාතීන්ගේ යෝජනාව වූයේ උතුරු කොරියාවේ විදේශ ආදායම්වලින් ඩොලර් කෝටි 300 කට තහංචි පැනවීමයි. 


මින් කුපිත වූ කිම් ජොං උන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක් එල්ල කළේය. ජොං උන් තර්ජනය කළේ තමා නොපමාවම, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අයත්, ගුවාම් දිවයිනට මිසයිලයක් යවන බවයි.


ගුවාම් දිවයින පිහිටියේ ශාන්තිකර සාගරය මධ්‍යයේය. “ගුවාම්”, ප්‍රමාණයෙන් කුඩාය. (වර්ග සැතැප්ම 209යි) ජනගහනය 162742කි. එය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රධාන යුද කඳවුරකි. එහි සන්නද්ධ භටයන් 7000ක් සිටිති. ගුවාම් අගනුවර: හගත්ඤා. ගුවාම් හි ආණ්ඩුකාරවරයා පණස්පස් හැවිරිදි එඩී බසා කැල්වෝයි. ඔහුගේ උපන් දිනය: 1961 අගෝස්තු 29 වනදාය. 


ගුවාම් දිවයින මනඃකාන්ත සංචාරක මධ්‍යස්ථානයකි. ගුවාම් වැසියෝ සාමීකාමීය. ඔවුන් හස්ත කර්මාන්ත ධීවර ව්‍යාපාර ආදියේ යෙදී සිටිති.


කිම්ජොං උන් තර්ජනය කරන්නේ මේ දිවයිනටයි. උතුරු කොරියාවේ, කිම් ජොං උන්ගේ, මිසයිල මධ්‍යස්ථානයේ සිට ශාන්තිකර සාගරයේ ගුවාම් දිවයිනේ වෙරළ අසලට, යන්නට ජොං උන්ගේ මිසයිලයකට ගතවන කාලය විනාඩි 14කි. මිසයිලය යා යුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 3430කි. 


එහෙත්, ලෝකයා කම්පාවට පත්වී සිටින්නේ ජොං උන්ගේ වහසි බසකිනි. “අද මිසයිල, න්‍යෂ්ටික මිසයිල යැයි ඔහු නොබෝදා ජගත් ජනතාවට අනතුරු ඇඟවූයේය. න්‍යෂ්ටික අවියක් සවි කළ මිසයිලයක් යැවීමේ තාක්ෂණය ජොංඋන් සතුව තිබෙන බව ජාත්‍යන්තර විශේෂඥයෝ පිළිගනිති. ජොං උන්ගේ වහසිබස් ගැන, ඇමෙරිකාවේ සීඅයිඒ සංවිධානයේ වැඩ බැලූ අධ්‍යක්ෂකවරයකුවන මයික් වොරෙල් විශේෂඥයා මෙසේ පවසන්නේය: “1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව, ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ඉතාම කිට්ටුවී සිටින අවස්ථාව මෙයයි.”


ඒ නිසා, ජොං උන් තර්ජනය බොහෝදෙනා සිතනවාටත් වඩා බැරෑරුම්ය. උතුරු කොරියාව, හ්වසොං-12 වර්ගයේ මිසයිල හතරක් පෙළ ගස්සාගෙන සිටී.


(නපුරු කිම් ජොං උන්ගේ, අණ ලැබුණු වහාම උතුරු කොරියානු මිසයිලය ඉගිල්ලී, ඒ කිලෝ මීටර් 3430 ක් දුර ගමන් කොට අහිංසක ගුවාම් දිවයින කිට්ටුවට යන්ට සූදානම්ය. 


මේ නපුරු නායකයාගේ ක්‍රියා කලාපය නිසා, අද ජගත් ජන කණ්ඩායම මූණ පා සිටින වික්ෂිප්ත තත්ත්වය ගැන තව දුරටත් සොයා බලන්නට පෙර, මේ කිම් ජොං උන් දෙස බැල්ම යොමු කළ යුතුවේ.


හිටපු උතුරු කොරියානු නායක කිම් ජොං ඉල්ගේ පුත්‍රයෙකුවූ ජොංඋන්, කුඩා කාලයේ පටන්ම, “රහසිගත දේ වලට ආශාවක් දැක්වූයේය. ඔහු ළමා වියේදී ස්විට්සර්ලන්තයේ උගෙනීම ලැබුවේය. ඒ කාලයේ පවා ඔහු “රහස්‍ය” භාවයට ප්‍රිය කළේය. තමා කාගේ කවුදැයි කියන්නට ඔහු අකමැති විය. එදා ඔහු නම් කීපයක් භාවිත කළේය.


එසේ වුවද, ඔහු “රහසේ”, සුඛෝපභෝගී ජීවිතයකට ඇබ්බැහි වී සිටියේය. ළමා කාලයේදී ඔහු භාවිත කළේ “ය්වේ සාං ලෝරෙන්ට්” වර්ගයේ සිගරට්ය. “ජොනී වෝකර්” විස්කි පානය ප්‍රිය කළේය.


පාලනය ලැබුණාට පසුව, ඔහුගේ කෲරත්වයේ ස්වභාවය ලෝකයාට ඉතාම හොඳින් පෙනී ගියේය.


ඔහු ඉතා දරුණු ආකාරයෙන් එදා සිය මාමා ඝාතනය කරවූයේය. තමාගේ ඥාති සහෝදරයාගේ දිවි තොර කරන්නට ක්‍රම යෙදුවේය.


ඒ නිසා ඔහුට මානව දයාව හෝ ලෝකයා ගේ යහපත හෝ, ප්‍රධාන දේවල් හැටියට නොපෙනේ. ඔහුගේ මේ ලෝක විනාශක චින්තනය, ඉතාම දරුණු අත්‍යන්තයෙන්ම කෲර සන්තානයක, භයානක ප්‍රතිබිම්බයයි. ලෝකයේ ප්‍රධාන ජාතීහුද, මේ හිතක් පපුවක් නැති නරුම නායකයාගේ, අමනෝඥ ප්‍රකාශයන් නිසා, අපහසු තත්ත්වයකට පත්ව සිටිති. මහජන චීනය, කිම් ජොං උන් ගේ ප්‍රධාන අනුග්‍රාහකයෙකි. උතුරු කොරියාවේ වෙළෙඳ ගනුදෙනුවලින් සියයට 90 ක් පමණ කරගෙන යනු ලැබෙන්නේ මහජන චීනය හා සමගය.


මහජන චීන රාජ්‍යයේ විදේශ අමාත්‍ය තැන්පත්, වොං යි, උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රී යොං හෝට අනතුරු ඇඟවීමක් කළේය: “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණවලට, විරෝධීව කටයුතු නොකරන්න. එසේම, මිසයිල යැවීම් මගින් හෝ, න්‍යෂ්ටික පර්යේෂණ මගින් හෝ අන්තර්ජාතික මානව සමාජයේ හොඳහිත පලුදු කර නොගන්න”
කිම් ජොං උන් ඒ අවවාද උපදේශ ගරු කරන්නේ දැයි හරිහැටි හිතාගත නොහෙන නිසා ජපානය, කොයි එකටත් කියා ඒ නපුරාගේ ආක්‍රමණශීලී ක්‍රියාවලින් ගැලවීමේ ක්‍රමාවලියක යෙදී සිටී.


ඉන් සමහරක් මෙසේය: උතුරු කොරියාව, තමන්ගේ මිසයිල, ශාන්තිකර සාගරයේ ගුවාම් දිවයිනට යවන්නේ නම්, ඒ නපුරු මිසයිල ගමන් කරන මාර්ගය ජපන් යුද විශේෂඥයෝ දනිති. ඒ නිසා අතරමගදී ඒ මිසයිලවලට පහර දෙන්නට ජපන් විශේෂඥයෝ වෙඩි බතරොයි සකස්කොට ගෙන සිටිති. මිසයිල කීපයක් යැව්වත් ඒවාට එකවර පහර දෙන්නට ඒ ජපන් බනරොයි සැරසි සිටී. 


මිසයිලවලට බාධා කරන, “පේටි්‍රයට් ඇඞ්වාන්ස්ඞ් කේපබිලිටි-3” නම් මිසයිල නාශක, ජපානයේ බටහිර වෙරළේ සූදානම්කොට ඇත්තේය.


ජපන් ජාතිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට, කළ යුතු සියල්ල කරන බව ජපන් අගමැති ෂින්සෝ මහතා කියයි. නපුරු මිසයිලවලට, සිය ආරක්ෂක ප්‍රහාරවලින් බේරීයා නොහෙන සේ විධි විධාන යොදා තිබෙන බවද, ජපානය කියයි.


වසන්ත සමයේ පැවැති දැඩි නියඟයකින් පෙළෙන සිය උතුරු කොරියානු ජනතාවගේ දුක නොතකා, කිම් ජොං උන් මේ ආක්‍රමණික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඔහුගේ අන්ත කෘරත්වය නිසාය.


බොහෝදෙනා බලාපොරොත්තු වන්නේ, උතුරු කොරියාව, න්‍යෂ්ටික අවි පර්යේෂණවලින් වැළකී සිටියේ සාකච්ඡා සඳහා කැඳවා ගන්නටය. මීට අවුරුදු අටකට පමණ පෙර එවැනි “හයකොන්” සාකච්ඡාවක් පැවැත්විනි. උතුරු-දකුණු කොරියා රාජ්‍ය, ජපානය, රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත් එයට සහභාගිවූහ.


ජනාධිපති ට්‍රම්ප්ගේ “ධර්මය” ඊටත් වඩා ගැඹුරුය. ඔහුගේ කැපවිම නම්, මුළු ලෝකයේම න්‍යෂ්ටික අවි ඉවත් කිරීමයි.
මෙසේ විවිධ කතා බහ තිබියදී, නපුරු කිම් ජොං උන් ඔහුගේ නාශක මාවතෙන් ඉවත්වූයේ නැත්නම්, ඔහුගේ කෘරත්වයට ඍජුවම ගොදුරු රාජ්‍ය දෙකක් වන. 


ඉන් එකක් නම්, කිම් ජොං උන් ගේ ඉලක්කය වී තිබෙන “ගුවාම්” දිවයිනත් උතුරු කොරියාවේ කිට්ටුම අසල්වැසි දකුණු කොරියාවත්ය.


දකුණු කොරියාවේ ජනගහනය පස්කෝටි දොළොස් ලක්ෂ පනස් දහසකි. එහි නව ජනාධිපතිවරයා මුන් ජේ ඊන්ය. 2017 මැයි මාසයේ දහවනදා සිට මේ පදවිය දරන ජේ ඊන්, 64 හැවිරිදිය. 


කිම් ජොං උන් ගේ මහා කෝපයට කෙළින්ම මූණපාන්නට සිදුවන්නේ ඔහුටයි. ඔහුගේ දකුණු කොරියාව, මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමග යුද අභ්‍යාසවල යෙදී සිටී. (ජපානයත්, දැන් ඇමරිකාව හා සමග යුද අභ්‍යාසයේ යෙදේ)


ඇමෙරිකාවේ සෙනෙට්වරු, දකුණු කොරියානු ජනතාවගේ ආරක්ෂාව සඳහා, අවශ්‍ය පියවර ගනිමින් සිටිති.
ඉලක්කය බවට තෝරාගෙන සිටින ගුවාම් දිවයින් වැසියෝ, ආගමික වතාවත්වල යෙදෙති. මේ දිනවල ඒ දිවයිනේ පවත්නා දැඩි උෂ්ණයෙන් මිදී සහනයක් ලබා ගන්නට සංචාරකයෝත් දිවයින් වැස්සෝත් වැල්ලේ රැස්වෙති.
ගුවාම් හි ජනයා, සඳුදා “සාම” රැළියකට එක්වූහ.


ජනාධිපති ට්‍රම්ප් විසින් ගුවාම්හි ආණ්ඩුකාර එඩී බසා කැල්වෝට දන්වා තිබෙන්නේ, ගුවාම් ජනතාවගේ ආරක්ෂාවත් සුරැක්මත්, ඇමෙරිකානු යුද හමුදා විසින් හැම විටම තහවුරු කෙරෙන බවයි. ගුවාම් ද්වීපිකයෝ ජොංඋන්ගේ තර්ජනයෙන් දැඩි කම්පාවකට පත්වී නොමැත. 


ජනාධිපති ට්‍රම්ප්, විවිධ ප්‍රශ්නවලට මැදිවී සිටින පාලකයෙකි. මේ දිනවල, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වර්ජිනියා ජනපදයේ ෂාලට්විල් ප්‍රදේශයේ හටගත් සුදු-කළු අරගලයක් ජනාධිපතිවරයාගේ තියුණු අවධානයට ලක්වූයේය. ඒ අරගලයේදී සුදු ආධිපත්‍යවාදි දාමරිකයෝ දරුණුකම්වල යෙදුනහ. ඒ සුදු ආධිපත්‍යවාදීන්ගේ දරුණුකම් හෙළාදැක්කේ නැතැයි ඇමෙරිකාවේ ඇතැම් විචාරකයෝ, ට්‍රම්ප් ජනාධිපති, තියුණු දෝෂ දර්ශනයට ලක් කළහ. ජගත් කීර්තිමත් ක්‍භභ රූපවාහිනි ආයතනයේ ,ීඕඔෑ ධත්‍ ්ඵෑඍෂක්‍්, නම් වැඩ සටහනක්, සඳුදා රෑ කේට් බොල්ඩුආන් නම් විශේෂඥවරියගේ මූලිකත්වයෙන් පැවැත්වූයේය. එහිදී  ඇතැම් විචාරකයෝ, ජනාධිපති ට්‍රම්ප්, සුදු ආධිපත්‍යය කෙරේ දක්වන ආකල්පය විමසා සිටියහ. පසුව ජනාධිපති ට්‍රම්ප් ඒ සුදු ආධිපත්‍යවාදීන් හෙළා දක්නා ලදැයි ප්‍රකාශ වූයේය.
වෙනසියුලා ජනාධිපති මදුරෝ සමග කතාබහ කිරිමට අකමැති වීමෙන්ද ජනාධිපති ට්‍රම්ප්, ජගත් අවධානයට ලක්විය.
ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා අර්බුදය, ජගත් ජනකායට හානියක් නොවන ආකාරයෙන් විසඳනු ඇතැයි, ලෝකයා බලාපොරොත්තුවේ.


 

ලියුකීමියා නැත්තටම නැති කරන ප්‍රතිකාර ක්‍රමයක්

මුළු ලෝකයම, තුටු පහටු කරන, අපූරු චිකිත්සක ක්‍රමයක් පිළිබඳ හාස්කමක්, නොබෝදා අසන්නට ලැබුණේය. ලියුකීමියා, (රක්ත පිළිකා) රෝගය, දරුවන් බොහොම දෙනෙකුට වැළඳෙන පිළිකා රෝගයකි. 


මේ රෝගය නැත්තටම නැති කරන පිළියමක් මෙතෙක් ලෝකයේ තිබුණේ නැත. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ “සවුත්වෙස්ටර්න් වෛද්‍ය මධ්‍යස්ථානයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තියොඩෝ ලේෂ් නම් විද්‍යාඥයා, ලියුකීමියා රෝගය නැත්තටම නැති කරන ප්‍රාතිහාර්යමය ප්‍රතිකාර ක්‍රමයක් නොබෝදා ලොවට හෙළි කළේය. එහිදී, තෙල් බේත් භාවිතයක් නොමැත. මෙය ප්‍රතිශක්ති චිකිත්සාවේ අලුත්ම ප්‍රගතියයි. ඒ මගින් කෙරෙන්නේ රෝගියාගේ සිරුර තුළම, පිළිකා නාශක ක්‍රමයන් හට ගැන්වීමයි. මේ ක්‍රමය ලියුකීමියාවෙන් ඔබ්බටත් ගොස් සෙසු පිළිකාවලටත් ප්‍රතිකාරයක් වූ විට එය මිනිසාට දිව්‍ය ඖෂධයක් වේ. 


 

 

ඉන්දියා නිදහසත්, පාකිස්ථානයේ උපතත්, පිළිබඳ උත්සව සමයේදී, අමතකවන අපූරු පුද්ගලයෙක්

අවුරුදු තුන් දහසකටත් වැඩි ඈත අතීතයට විහිදෙන මුල් සහිත, ශ්‍රේෂ්ඨ විභුතිමත් ඉන්දියා මහා රාජ්‍යය අවුරුදු දෙසියයක් පමණ කලක් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබී, නිදහසේ අසහාය සහනය දිනා ගත්තේය.


ඒ ප්‍රතාපවත් සිද්ධිය හා සමගම, “පාකිස්ථානය” නම් නව ස්වාධීන රාෂ්ට්‍රයක්, ජගත් ජන කණ්ඩායමට එකතු වුණේය.
මේ ඓතිහාසික සිද්ධි දෙකම සිදුවුණේ, 1947  අගෝස්තු මාසයේ 14 වනදා මධ්‍යම රාත්‍රියේයි. (15 වනදා අළුයමයි)
මිනිස් ඉතිහාසයේ සිදුවූ මහාම සංක්‍රමණයට මං පෑදුණේ ඒ සිද්ධියෙනි. ඉන්දියාවේ සිට පාකිස්ථානයටත්, නව පාකිස්ථානයේ සිට ඉන්දියාවටත් ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් සංක්‍රමණයේ යෙදුණහ. මේ ඓතිහාසික සන්ධිස්ථානයේදී ජීවිත පරිත්‍යාග කළ ජනතාවගේ ගණන එක්කෝටි තිස් ලක්ෂයක් පමණ යැයි සංඛ්‍යා ලේඛනවලින් ප්‍රකාශ වන්නේය.


ඔවුන්ගේ නිර්නාමික ජීවිත අලුත් ඉතිහාසයේ පදනම් බවට පත්වෙද්දී, මේ උදාවූ ලෝකය ගොඩ නංවාලන්නට පුරෝගාමීවූ ලක්ෂ සංඛ්‍යාත ජන නායකයෝ, ඉතිහාසයේ පිටු අතරට ආහ. අහිංසා සටනින් මහා අධිරාජ්‍යයක් දෙදර වූ මහත්මා ගාන්ධි නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු, අලුත් පාකිස්ථානයේ නායක, මුහම්මද් අලි ජින්නා සහ, ඉන්දියාවේ අවසාන ඉංගිරිසි ප්‍රතිරාජයා වූ බි්‍රතාන්‍යයේ මහා වික්ටෝරියා රැජිණියගේ මී මුනුබුරු ලූයි මවුන්ට් බැට්න් සාමිද ඒ නිදහස් මොහොත, ඉතිහාසයට යා කළ මහා පුරුෂයෝ වූහ. මේ දැවැන්ත ඓතිහාසික පෙරළියේදී, අත්‍යන්තයෙන්ම ප්‍රමුඛ මෙහෙයක් ඉටුකළ එක් පුද්ගලයෙක්, අතිශයින්ම අප්‍රසිද්ධය. එසේ වුවද, එදා උදාවූ නවයුගයේ ප්‍රධාන කාර්ය රටාව භාරව සිටියේ ඔහුය. 


කුමක්ද මේ මුඛ්‍ය රාජකාරිය?
ඒ ප්‍රබලතම කාර්යය නම්, මහා ඉන්දියාව, රාජ්‍ය දෙකකට බෙදීමයි. ශත වර්ෂ තිහක් පමණ කල් නොබෙදී, එකරටක්ව පැවැති දඹදිව, මේ ඓතිහාසික අවස්ථාවේදී බෙදා වෙන් කළ යුතුවිය. ඒ මහා දේශයෙන් කොටසක් “පකිස්ථානය” නමින් මුස්ලිම් භක්තිකයන් සඳහා වෙන්කොට දෙන්නට සිදුවූයේය.


මේ අප්‍රසිද්ධ අපූරු පුද්ගලයා ඉතිහාසයේ කරළියට යන්තමින් පයක් තබන්නේ ඒ අවස්ථාවේය.


ඔහු නම් මේ මහා දේශය බෙදා වෙන් කරන්නට ප්‍රතිරාජ ලූයි මවුන්ට් බැට්න් සාමිගෙන් පැවරුම් ලත් ඉංග්‍රීසි ජාතික බැරිස්ටර් (අධිනීතිඥ) සර් සිරිල් රැඞ්ක්ලිෆ්ය. ඉන්දියාවේ අවසාන රහස දැනගෙන කතා නොකොට සිටි පුද්ගලයා ඔහුය. නිදහසේ අත්‍යන්තයෙන්ම තීරණාත්මක රාජකාරිය කළේත් ඔහුය. 


මවුන්ට් බැට්න් සාමි, ඒ තැනැත්තාට අණ කළේ සති හයක් ඇතුළත ඉන්දියා මහාද්වීපය දෙකට බෙදන්නැයි කියාය. මේ අණ ලබන විට රැඞ්ක්ලිෆ්ගේ වයස 48යි. ඔහු එංගලන්තයේ, ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරල්ව සිටියේය. ඔහු ඉතාම දක්ෂ නීතිවේදියෙක් වූයේය. එසේ වුවද ඔහු සිතියම් විශේෂඥයෙක් හෝ ඉන්දියාව පිළිබඳ උගතෙක් හෝ නොවූයේය. ඔහු ඒ වනවිට කවදාවත් ජිබ්‍රෝල්ටාවෙන් නැගෙනහිරට අවුත් සිටියෙක් නොවේ. ඉන්දියාව බෙදීමේ කාර්යය මුලින් පැවරී තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටය. ඒ සංවිධානය ඒ වගකීම ප්‍රතික්ෂේප කළේය. රැඞ්ක්ලිෆ්ට ප්‍රතිරාජයාගේ මාලිගය අසලින් නිවාසයක්දී, මුස්ලිම්වරු හා හින්දු භක්තිකයන් ඔවුනොවුන්ගෙන් වෙන්කොට ඉන්දියාව බෙදීමේ කටයුත්ත ඔහුට දෙන ලදී. දිගු සියවස් ගණනක් මුළුල්ලේ සකස්වී තිබුණු මහා සමාජයක් බෙදාලීම, ඔහුට පැවරුණේය. රාජකාරිය දවස් 36කින් සමස්පූර්ණ කළ යුතු වූ නිසා ඔහු ඒ බෙදන්නට තිබුණු ප්‍රදේශවලටත් ගියේ නැත. රැඞ්ක්ලිෆ් ඉන්දියාව දෙකට බෙදුවේ සිය කාර්යාලයේ සිටය.
රැඞ්ක්ලිෆ් ඒ බෙදීම මවුන්ට් බැට්න් සාමිට වත් දැන්වූයේ නැත. ඉන්දියාව බෙදා වෙන්කොට රැඞ් ක්ලිෆ්, ඉන්දියාවෙන් පැන ගියේ අගෝස්තු 15 වනදායි. නිදහසින් පසුව ඉන්දියාවෙන් ඉවත්ව ගිය පළමුවන බි්‍රතාන්‍ය ජාතිකයා ඔහු විය. ගමන් අරඹන්නට පෙර ගුවන් යානය සහමුලින්ම පරීක්ෂා කරවන ලදී. තමා ඝාතනයට ලක්වේදැයි රැඞ්ක්ලිෆ් බියව සිටියේය.


මේ රාජකාරිය සඳහා ඉන්දියාව දෙකට බෙදන සිතියම සකස් කිරීම සඳහා රැඞ්ක්ලිෆ්ට, ඉංගිරිසි ආණ්ඩුවෙන් පවුම් 2000ක් ලැබණේය. ඔහු එය ආපසු දුන්නේය. ඉන්පසු කවදාවත් රැඞ්ක්ලිෆ්, ඉන්දියාවට පෙරළා නො ආයේය.
ඔහු ගොවියා එක රටකටත්, ඔහුගේ ඉඩකඩම් අනික් රටටත් යන පරිදි, බෙදා වෙන් කළේය. ගඟ එක රටකයි, එහි ඇළ අනික් රටේ. ඔහු පෑනෙන් ඉන්දියාව බෙදුවේ ඒ ආකාරයෙනි. 


එදා ඉන්දියාවේ ජනගහණය කෝටි 40යි. රැඞ්ක්ලිෆ් හිතුවේ ඒ අයගෙන් කෝටි අටක් තමා විසින් බෙදා වෙන් කරන ලද නිසා ඔවුන්ට තමා අසුවී නම් තමා ඉතුරු කරන එකක් නැතැයි කියාය.


අද කෝටි 124ක් ජනගහනය සහිත, ඉන්දියාව එදා රැඞ්ක්ලිෆ් වෙන් කළේ ඒ ආකාරයටයි.


පුදුමය නම්, මේ “ඉන්දියා” බෙදිල්ල කළ සර් සිරිල් රැඞ්ක්ලිෆ් ගැන බොහෝ දෙනා දැන නොසිටීමයි. 


RECOMMEND POSTS