ලොව පුරා ව්‍යාප්තවන ඇෆ්ගන් ආක්‍රමණයේ අස්වැන්න



9/11 ත්‍රස්ත ප්‍රහාරය

 

 

මීට වසර 15කට පෙර 2001 ඹක්තෝබර් 7 වැනිදා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් බුෂ් පාලනයේදී 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට පැහැර ගත් මගි ගුවන් යානා යොදා ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව චෝදනා එල්ල කළ අල් කයිඩා නායක බින් ලාඩන් එක්සත් ජනපදයට භාර නොදීම නිසා ඇප්ගනිස්තානයට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කෙළේය. එක්සත් ජනපදය සතු නවීනතම අවි යොදා ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය දින කීපයකින්  අල් කයිඩා සංවිධානය විනාශ කොට ත්‍රස්තවාදය අවසන් කිරීම සාක්ෂාත් කර ගැනීම ජනාධිපති බුෂ්ගේ ඉලක්කය විය. එහෙත් වසර 15ක් ගත වුවද ත්‍රස්තවාදය අවසන් කිරීමක් හෝ යුද්ධයෙන් විනාශ වූ ඇප්ගනිස්තානයට සාමය උදා කිරීමක් හෝ මෙතෙක් සිදුව නැත. ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව දින කීපයක් ඇතුළත තලෙබාන් පාලනය පළවා හැර කාබුල් නගරය ඇතුළු ප්‍රධාන නගර කීපයක බලය තහවුරු කර ගැනීමට එක්සත් ජනපදය ඇතුළු මිත්‍ර රටවලට හැකි වුවද තලෙබාන් සංවිධානය තවමත් ඇප්ගනිස්තානය තුළ ප්‍රබල අභියෝගයකි. 


ගුවන් ප්‍රහාරයෙන් ඇරඹි ආක්‍රමණය ඉක්මනින්ම අවසන් කිරීමට එක්සත් ජනපදය යොදා ගත් බෝම්බවලින් සිදු වූ විනාශය ඉමහත් ය. බංකර් පුපුරුවා හරින ටොන් ගණනක් බර බෝම්වලට මීටර් 7ක් ගැඹුරට ඇති කොන්ක්‍රීට් තට්ටු කපා ගෙන යෑමට තරම් ප්‍රබලය. ඬේසි කටර් නමින් හැඳින් වූ බෝම්බ බිම පතිත වූ විට මීටර් 1700ක අරයක් ඇති භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් දවා අළු බවට පත් කළ හැකිය. මීට අමතරව පොකුරු බෝම්බ ද බහුලව යොදා ගත් බව වාර්තා විය. මේ සියල්ල ජනාධිපති බුෂ් හේතු යුක්ති කෙළේ නීති විරෝධී සතුරු සටන්කරුවන් සමග සටන් කිරීමේ දී යුද්ධය පිළිබඳ ජිනීවා සම්මුතීන් අදාල වන්නේ නැත යනුවෙනි. යුද්ධය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් සියලු යුද තත්ත්ව අදාල වන නමුත් ජනාධිපති බුෂ් එය මග හැරීමට යොදා ගත්තේ තලෙබාන් සහ අල් කයිඩා සටන්කරුවන් නීති විරෝධීන් සේ හැඳින්වීමෙනි. එක්සත් ජනපදය සමග සටනට එකතු වූ උතුරු සන්ධානය ද ඇප්ගනිස්තානයේ උතුරු ප්‍රදේශයේ මසාර් අල් ෂරීප් වැනි නගරවල දහස් ගණන් සටන්කරුවන් වාතාශ්‍රය නැති කන්ටේනර්වල  රඳවා ඉතාමත් අමානුෂික තත්ත්ව යටතේ මරා දැමූ බව ද වාර්තා විය. 

 

තලේබාන් ත්‍රස්තයෝ

 


එක්සත් ජනපදය සියලු ජාත්‍යන්තර නීතිවලට පටහැනිව ඇප්ගනිස්තානයට ප්‍රහාර එල්ල කෙළේ එවකට එහි බලයේ සිටි තලෙබාන් සංවිධානයේ ආරක්ෂාව ඇතිව සිටි 9/11 පිළිබඳව චෝදනා එල්ලවී තිබු අල් කයිඩා නායක බින් ලාඩන් එක්සත් ජනපදයට භාර නොදීම නිසාය. සෝවියට් සංගමයේ සහාය ඇතිව බලයේ සිටි නජිබුල්ලාගේ පාලනය පෙරළා දමා බලය පැහැර ගත් තලෙබාන් සංවිධානය ගොඩ නැගීමට දායක වූයේද එක්සත් ජනපද බුද්ධි සේවාවක් වන සී අයි ඒ සංවිධානය බව දැන් හොඳින් තහවුරු වී ඇති කාරණයකි. එමෙන්ම තලෙබාන් සංවිධානය ගොඩ නැගීමට සෞදි අරාබියේ රජ පවුල සමග ව්‍යාපාර මෙහෙය වූ බින් ලාඩන් ද හවුල් විය. පසුව සෞදි අරාබියේ සහ එක්සත් ජනපදයේ උදහසට ලක් වූ බින් ලාඩන්ට ආරක්ෂිත නවාතැනක් වූයේ තලෙබාන් පාලනය යටතේ පැවති කාබුල් නගරයයි. එක්සත් ජනපදය 9/11 ප්‍රහාරයට පසුව ඔහු භාර දෙන ලෙස තලෙබාන් පාලනයෙන් කළ ඉල්ලීම ඇත්තෙන්ම ඔවුන් ප්‍රතික්ෂේප කෙළේ නැත. ඔවුන්ගේ ඉල්ලීම වූයේ අපරාධයක් පිළිබඳව සැක කරන පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුව ඉල්ලීමක් කළ යුතුය යන්නයි. කුමන තත්වයක් යටතේ වුවද එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හෝ පටහැනි නොවේ. එසේ තිබියදීත් එක්සත් ජනපදය සිය හමුදා ශක්තිය උපරිම ලෙස යොදා දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් විනාශ වී ගිය ලොව දුප්පත්ම රටවලින් එකක් වන ඇප්ගනිස්තානය ආක්‍රමණය කෙළේ ඇයිද යන්න ගැන හරවත් සංවාදයක් නොමැතිවීම සැබැවින්ම ඛේදයකි.


මෙම ආක්‍රමණය දියත් කිරීමේ දී එක්සත් ජනපදය ක්‍රියා කෙළේ ලොව එකම සුපිරි බලවතා වන තමන්ට රිසි ආකාරයට කුමන පියවරක් ගැනීමේ හැකියාව පවතින්නේය යන්න විදහා දැක්වීමටය. තලෙබාන් සංවිධානය ගොඩ නගා ඇප්ගනිස්තානයේ බලය ලබා ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් පාකිස්තානය මෙවැනි ප්‍රහාරයක් ගැන වැඩි සතුටක් දැක් වූයේ නැත. ඒ එක අතකින් තලෙබාන් පාලනය හා පාකිස්තානය අතර පැවති සමීප සබඳතා නිසා මෙන්ම එවැනි ප්‍රහාරයකින් ඇති විය හැකි පළවිපාක ගැන මනා හැඟීමක් පාකිස්ථානයේ හමුදා පාලකයන්ට තිබු නිසාය. ඔවුන්ට ජනාධිපති ජෝර්ජ් බුෂ් ඉදිරිපත් කෙළේ එක විකල්පයකි. ‘ ඔබ එක්කෝ අප සමග සිටිය යුතුය. නැතිනම් අපේ සතුරෙක් වනු ඇත.’ ලොව එකම සුපිරි බලවතාවන එක්සත් ජනපදයේ සතුරෙකුවීමට පාකිස්තානයේ පාලකයන්ට ශක්තියක් හෝ ඕනෑ කමක් නොවීය. අවසානයේදී පාකිස්තානයට එක්සත් ජනපදයේ ඉල්ලීමට හිස නැමීම හැර විකල්පයක් තිබුණේ නැත. 


බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට ලෙබනනය, සිරියාව, යේමනය, සෝමාලියාව සහ සුඩානය වැනි රටවලට පවා පසුව ව්‍යාප්ත වූ මෙම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ සැබෑ අරමුණ වන්නේ සම්පත් පිළිබඳ අයිතිය තහවුරු කර ගැනීමය. ඇප්ගනිස්තානය වැදගත් වන්නේ එහි ඇති සම්පත්වලට අමතරව රුසියානු බලපෑමෙන් ගිලිහුන මධ්‍යම ආසියාවට පිවිසීමේ දොරටුවක් වන නිසාය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පවතින අනෙක් රටවල් වැදගත් වන්නේ ද එම රටවල ඇති උපාය මාර්ගික පිහිටීම සහ සම්පත් නිසාය. එහෙත් එම අරමුණ හෝ සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයට හැකි වූයේ ද යන්න සැක සහිතය. ඇප්ගනිස්තානය සම්බන්ධයෙන් පමණක් වුවද වසර පහළොවක් ගත වුවත්  එහි ඇති ඛනිජ හෝ වෙනත් ලෝහ වර්ග කැනීමේ කර්මාන්ත ඇරඹීමට හැකියාවත් තවම උදාවී නැත. ඊට අමතරව එක්සත් ජනපදයේ සහාය ඇතිව කාබුල් නගරයේ ස්ථාපිත කරන ලද ආණ්ඩු ගනුදෙනු කිරීමට වඩාත් කැමති වන්නේ ආර්ථික සහ දේශපාලන වශයෙන් කලාපයේ බලවතෙකු බවට පත්වෙමින් සිටින චීනය සමගය. නව සේද මාවත ඔස්සේ මධ්‍යම ආසියාවේ රටවල් සමග ආර්ථික සහ වෙළඳ සබඳතා ගොඩ නගමින් සිටින චීනය ඇප්ගනිස්ථානයේ ප්‍රමුඛතම ආයෝජකයා ද වේ. 


වැදගත්ම කාරණය වන්නේ දශක එක හමාරක් තිස්සේ ඇප්ගනිස්ථානයේ පවතින මෙම යුද්ධය නිමාවක් නොවන ගැටුමක් බවට පත්වීමය. එක්සත් ජනපදය මෙම කාලය තුළ යුද්ධයට සහ ඇප්ගනිස්තානයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් බිලියන 850කට වඩා වැය කර ඇත. යුද්ධයෙන් මිය ගිය ඇමරිකානු සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 2400කි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට යොදා ගත් අවි හා බෝම්බ නිසා ඇති වූ අතුරු ආබාධවලින් යුද බිමෙන් බැහැර දී මිය ගිය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩිය. අනෙක් අතට මෙපමණ සම්පත් ප්‍රමාණයක් සහ ජීවිත සංඛ්‍යාවක් කැප කර ගත් ජයග්‍රහණයක් හෝ නැත. එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් නමුත් එය කිසිසේත් ඊට පෙර පැවති පාලනයට වඩා යහපත්යැයි කිව නොහැකිය. අවසානයට පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකි වූයේ ඡන්ද ප්‍රතිඵල අනුව නොව එක්සත් ජනපදයේ මැදිහත්වීමෙනි. ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජනාධිපති වශයෙන් නම් කළ අතර අනෙකා ඊට සමාන බලතල ඇති එහෙත් ව්‍යවස්ථාවේ සඳහන් නොවන ප්‍රධාන විධායකයා විය. එමෙන්ම මෙම ආණ්ඩු අතිශයෙන්ම දූෂිතය. 


මීට වසර පහළොවකට පෙර ජනාධිපති ජෝර්ජ් බුෂ් අරඹා ඉන් පසුව ජනාධිපති ඔබාමගේ නායකත්වයෙන් ඉදිරියටම ගෙන යන ලද ත්‍රස්ත විරෝධී යුද්ධය දැන් බටහිරට ටියුනීසියාව දක්වාත් දකුණට පාකිස්තානය, කාශ්මිරය සහ බංග්ලාදේශය දක්වාත් පැතිර සිරියාවේ දී එය න්‍යෂ්ටික බලවතුන් අතර කෙරෙන මහත් විනාශකාරී යුද්ධයක මුවවිටට පැමිණ ඇත. සැඟවුණ අරමුණු ඇතිව ඇරඹි මෙවැනි අවි ගැටුම් අවසන් කොට සාමය සහ සංහිඳියාව ඇති කළ හැකි වන්නේ තවත් අවි ආයුධ සහ පෙරමුණු ගොඩ නගාගෙන සියල්ල අවසන් වන න්‍යෂ්ටික යුද්ධයකින් නොවන බව ලෝක බලවතුන් තේරුම් ගන්නා තෙක් ඇප්ගනිස්තානයේ සිදු වූ විනාශය තව තවත් රටවලට උරුම වනු ඇත.

සටහන  -  මහින්ද හත්තක


RECOMMEND POSTS