මහාවංශයට සුදුසු මහා බුදු ප්‍රාතිහාර්යය



 

2017 වර්ෂය අනුකම්පාවෙන් තොරව, නොකඩවා මානව වර්ගයාට පහර දුන්නේය. මිනිසාත් මිනිසාටම විරුද්ධව දරුණුකම් කළේය. කෝපවිෂ්ට වූ සොබාදහම, ගින්නෙන් ජලයෙන් සුළඟින් සහ කඳු හා මඩ නායයෑම්වලිනුත් ලෝකය විනාශ කළේය. මානව ජීවිතයට න්‍යෂ්ටික තර්ජන එල්ල වූයේය. ත්‍රස්තවාදය විසින් පළවා හරින ලද සරණාගතයෝ දහස් ගණනින් හැමවිටම බලා සිටින සාගරය විසින් බිලිගන්නා ලදහ. බොහෝවිට වැලපීම්, අඳෝනා, දුක්ගැනවිලි සහ කෑගැසීම්, ඒ ගත වූ වර්ෂයේ ලොකයේ ජාතික ගී වූහ. කුළුණුබර ප්‍රාඥයකු වූ බිල් ගේට්ස්, මානව සංහතියට සහනදායී හැඟීමක් දෙමින් කියා සිටියේ, 2017 දී කවර ආකාරයේ නරක නපුරු දේ සිදුවුණ ද ඒ සියල්ල මධ්‍යයේ ශුභවාදී දේත් පහළවූ බවය. සත්‍ය වශයෙන්ම, ලෝකය හොඳ අතට හැරෙමින් පවත්නේ යැයි මානව හිතවාදී බිල් ගේට්ස් දර්ශනවාදියා කියා සිටී.


ඔහුගේ ප්‍රකාශයෙන් ධෛර්යය ලබා අප විසින් ද මේ කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපට සිදුවූ සුබවාදී දේ ගැන ද ආවර්ජනා කළ යුතු වේ. 


අප විසින් එවැනි සමයක ඇගයීමක යෙදී අපගේ දේශය දෙස බලනවිට අප විසින් වරදක් කළ තැන් හා නොතකා හරින ලද දේ ගැන ද යටි හිත අපට දොස් පවරන්නේය.


එවැනි දේ අතුරින්, ඉතා ඉහළින් ඉස්මතුව පෙනෙනා ප්‍රස්තුතයක් වේ. අපගේ දේශයේ සනාතනික සංස්කෘතියටත්, ලෝකයේ පොදු මානව උරුමයටත් භූෂණයක් වූ ප්‍රධාන පෙළේ දැවැන්ත නිර්මාණයක් ගැන අප මේ සාමාජික ආලෝලන මැද්දේ සිතුවා මදි යැයි සිතෙන්නේය.


මේ සඳහන් කෙරෙන අසහාය මහා නිර්මාණය නම්, අජීවී මහා කළුගලකින් නෙළන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවයි. එය පිහිටියේ කුරුණෑගල නගරයට නුදුරු රම්බොඩගල්ල නම් ස්ථානයේයි.


ගිහි පැවිදි, විශිෂ්ට සැදැහැවතුන් සමූහයක් විසින් ඒකාබද්ධ මහා ප්‍රයත්නයකින් ඉදිකරන ලද ඒ සුවිසල් නිර්මාණය ගැන කතා බහ කරන්නට පෙර කිව යුතු විශේෂ කරුණක් වෙයි. මේ නිර්මාණය කෙරේ බලපෑ විවිධ සාධක ඇත්තේය. මුර්ති කලාත්මක ශිල්පය, එහි චමත්කාර පක්ෂය, මුර්තියේ අංගෝපාංගයන්ගේ නිර්මාණශීලී සමතුලිත භාවය, එය ඉතිහාසයේ අනික් මහා නිපැයුම් හා සමඟ සැසඳෙන ආකාරය ඒ මහා ප්‍රතිමාවෙන් පිළිබිඹු වන ගාම්භීර වූ එහෙත්, මෙත් මුදිතා බර ගතිය ආදිය පිළිබඳව යථාකාරයේ විවරණයක යෙදෙන විට අප විසින් අනිවාර්යයෙන්ම කිව යුතු වන්නේ මේ පාරිශුද්ධ සුවිශේෂී මූර්ති කලාත්මක කෘතිය මහාවංශ සම්ප්‍රදායට අයත් වන බවයි. මේ මුර්තිය ද අනුරාධපුරයේ සමාධි පිළිමය, ගල්විහාර පිළිම, අවුකන ප්‍රතිමා ආදී මහා මැවුම්වල කලාත්මක ගණයට එක්වන්නේය. මේ අදෘෂ්‍යාත්මික ප්‍රතිමාවේ චමත්කාර රසදායී භාවය සලකා බලනවිට ද එහි විශේෂ විභූතියක් පවත්නා බව අපට පෙනී යන්නේය.
මේ දැවැන්ත මූර්ති කලාත්මක නිර්මාණයේ ඓතිහාසික පසුබිම ද මහා කාව්‍යමය ලක්ෂණවලින් හෙබියේය.


මෙහි මුල් සංකල්පය පැන නඟින්නේ උතුම් මානව හිතවාදී චින්තනයකිනි. ඒ චින්තනය අද යුගයේ වෙසෙන්නන් අතුරින් බහුතරයකට ආදර්ශයක් වන්නේය. 


මේ මහා ආද්‍යාත්මික මුර්තියේ පහළවීමට ‘බීජය’ සපයන ලද්දේ එක්තරා නිශ්චිත දිනයක සිදුවූ ජාත්‍යන්තර ව්‍යසනයකිනි.
2001 මාර්තු 16 වනදා මහා අමානුෂික සිද්ධියක් සිදුවූයේය. හද සිත කම්පා කරන ඒ සිද්ධිය ශිෂ්ට ලෝකය අකර්මන්‍ය කරන තරම් දරුණු වූයේය. ඇෆගනිස්ථානයේ බාමියන් නිම්නයේ පිහිටුවා තිබුණු යෝධ ඓතිහාසික බුද්ධ ප්‍රතිමා විනාශ කරනු ලැබූහ. ඒවා වනසා දමන ලද්දේ වෙඩිවලිනි. අන්තගාමී නපුරන් විසින් කරන ලද ඒ විනාශය, මුළු ලොවම චලනය කළේය.


මේ දරුණු විනාශය නිසා සංවේදී වූ තරුණ ළමා පිරිසක් වෙසෙසින්ම දැඩි කම්පාවට පත්වූහ. එසේ කම්පාවට පත්වූයේ රබ්බොඩගල්ල දහම් පාසලේ උගෙන ගන්නා දරු කැලයි. ඒ අයගේ හිත, හදන්නට බැරි තරම් වූයේය. ඒ කැළඹුණු සිත් සහිත ළමා පෙළට මෙහිදී නිසි ආධ්‍යාත්මික මාර්ගෝපදේශය සපයන ලද්දේ දුර දක්නා නුවණැති යථිනායකයන් වහන්සේ විසිනි. ‘නහි වෙරේන වෙරානි’ (වෛරයෙන් වෛරය නොසංසිඳේ) යන සනාතනික බුදුවදන ඒ කම්පා වූ දරුවන්ගේ ළමා මනසට පිවිසවන ලද්දේ ගරු එගොඩමුල්ලේ අමරමෝලි මහා ස්ථවිරයන් වහන්සේ විසිනි.


උන්වහන්සේ දූ දරුවන්ට, එතැනට නුදුරුව තිබුණු පර්වතයක් අත දිගුකොට පෙන්වූසේක. මේ සත්ක්‍රියාව, දේව ආභාසයෙන් සිදුවූවක් වැන්න. එතුමෝ, ඒ සිඟිති සිසුනට මෙසේ වදාළහ: “දරුවෙනි, අර පෙනෙන මහා පර්වතය අපි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බවට පත්කරමු.”


ඒ දැවැන්ත මහා පර්වතය ඒ බිම් පෙදෙසෙහි අවුරුදු කෝටි ගණනක් මුළුල්ලේ පිහිටා සිටි දැවැන්ත ගල් කුළකි. අනන්ත කාලයක් මුළුල්ලේ ඒ පර්වත රාජයා අව්-වැසි ආදී සොබාවික බලවේගවලට ඔරොත්තුදීගෙන සිටියේය.


ඒ සංවේදීව කම්පාවට පත්ව තැවුණු දරුවන්ගේ සිත නිවුනේය. ක්ෂණයකින්ම ඔවුහු වෙනස්වූහ. නාහිමියන්ගේ අචල අධිෂ්ඨාන බලයෙන් ධෛර්ය ලද, ඒ දරුවෝ අරමුදලක් ඇරඹූහ.


මාස කිහිපයකට පසුව, දරුවෝ හිමිපාණන් වෙත ආහ. ‘හාමුදුරුවනේ, අප අරමුදල් රැස් කළා. දැන් සමාධි මහා ප්‍රතිමාව තනන්නට හැකියි.” ඒ අහිංසක, සිඟිති දරුපෙළ විසින් එදා එකතු කරන ලද අරමුදලේ තිබුණේ, රුපියල් 1358කි. වැඩිහිටියෝ, ඒ දරුවන්ගේ ළමා වීර්යය දැක, සසළ හදින් යුක්ත වූහ. ඒ දරුවන් කෙරේ දැක්වූ ආදරයෙන් ඔවුන්ගේ සිත් උණුවිය. 


නියම ප්‍රාතිහාර්යය උදා වූයේ මෙහිදීය.


ඇතැම් විට දෙවියන්ගේ මං පෙන්වීමෙන් යති නාහිමියෝ, ව්‍යාපාරික සත්පුරුෂයෙකු වෙත ගිය සේක. මහානායක හිමියන්ට මුණ ගැසූනේ ඊස්වරන් සහෝදර සමාගමේ සභාපති තැන්පත් ඩී. ඊස්වරන් මහතායි. එතැන් පටන් ඒ සත්පුරුෂයා නාහිමියන්ගේ අචල සහායකයා වූයේය. වෙනස් නොවන ස්ථාවර බැම්මෙන් මේ මහා පුන්‍යකර්මයට යාවූණු ඊස්වරන් මහතා, හින්දු බැතිමතෙක් වූයේය. 
දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමාවක් තනාලීම සඳහා නාහිමියන් තුළ පැවති අධිෂ්ඨානය, නොමසුරු කැපවීමෙන් පෝෂණය කළ ඒ  හින්දු බැතිමතානෝ, ඒ අසහාය ව්‍යාපෘතිය සාර්ථකවන තෙක්ම නාහිමියන් හා සමඟ සිටියහ. 


මේ ප්‍රාතිහාර්මය සිද්ධි දාමයෙන් වර්තමාන අස්ථාව නම්, ඒ මහා ත්‍යාගශීලී බැතිමතාණන්ගේ අභාවය නොබෝදා සිදු වීමයි.
මේ ප්‍රබල ක්‍රියාදාමය සඳහා දිවිහිමියෙන් සිය ධනය පරිත්‍යාග කළ එතුමෝ, තමන්ගේ දානමය පුණ්‍යකර්මය ගැන, කතා බහ කරන්නටවත් සූදානම් නොවූහ.


ඊස්වරන් සත්පුරුෂයාගේ මෙහෙයුමෙන් මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූ අති කෘතහස්ථ මූර්ති ශිල්පීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ශිලා මූර්ති ශිල්පියා වූ භාරත පද්ම ශ්‍රී මුත්තයියා ස්ථාපති නේතෲවරයා සිය කණ්ඩායම කැටුව ශ්‍රී ලංකාවට ආයේය.


මේ මහා ශිල්පීය ප්‍රවීණයා සිය අසහාය සේවකයා නොමිලයේම මේ මහා සමාධි බුද්ධ ප්‍රතිමා ව්‍යාපාරයට පුදාලූයේය.


එතුමා මේ පාරිශුද්ධ ව්‍යාපෘතියට කොයිතරමට කැපවූයේ ද යත් මෙය තමාගේ “උච්චතම නිර්මාණය” සේ එතුමා ප්‍රකාශ කොට සිටියේය. එසේම එතුමා කියා සිටියේ මෙය තමාගේ ප්‍රථම හා අවසාන බුද්ධ ප්‍රතිමා නිර්මාණය බවය.


මේ ඓතිහාසික අති පූජනීය ප්‍රතිමා කර්මාන්තය ඇරඹුණේ 2002 සැප්තැම්බර් 13 වනදායි.


මේ දැවැන්ත ගල් කුලේ පිහිටා තිබුණු සමාධි මහා ප්‍රතිමාව නිමාවන විට එහි උස ප්‍රමාණය අඩි 67.5ක් වූයේය.


අද මේ රම්බොඩගල්ල සමාධි මහා බුද්ධ ප්‍රතිමාව ලෝකයේ ඉතාම විශාල කිරිගරුඬ කළුගලින් නිම වූ බුද්ධ ප්‍රතිමාව වන්නේය.


ශතවර්ෂ අටකින් පමණ පසුව ශ්‍රී ලංකාවේ මේ සා දැවැන්ත බුදු පිළිමයක් නිර්මාණය වුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහි විශේෂය නම් මේ මහා ප්‍රතිමා නිර්මාණය සම්භාව්‍ය ශෛලියට, නීති රීතිවලට හා මිමි ප්‍රමාණවලටත් අනුව තැනී තිබීමය.


මෙය හුදෙක් මහා බුද්ධ ප්‍රතිමාවක් පමණක් නොවේ. මෙය ආරම්භයේ පටන්ම “අවෛරය” පිළිබඳ අසහාය සංකේතයකි. 


මේ පරිශුද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් මුර්තිමත්වන්නේ අති ප්‍රශස්ත සමයාන්තර සහයෝගයකි. සිය සාම්ප්‍රදායික හින්දු භක්තියෙහි දැඩි බැතිමතකු වූ දේවනායගම් ඊස්වරන් මහතා මේ බෞද්ධ මහා ව්‍යාපාරයට මුළුමනින්ම අනුගත වූයේ සිය ත්‍යාගශීලීභාවය, ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කරමිනි.


එතුමාට “දේශබන්ධු” සහ රාජ්‍ය සම්මානය පිරිනැමී ඇත්තේය. මේ මහා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සකල මානව වංශයටම අයත් ආධ්‍යාත්මික මූර්තියකි. ඒ අතර සියලු බෞද්ධයන් විසින්ම එතුමා අචලව සම්බුද්ධ ශාසනයට දැක්වූ අනුග්‍රහය සම්මතනීයව පිළිගත යුතුවන්නේය. මෙහි පරිපූර්ණ නිර්මාතෘවරයන් වහන්සේ වෙත බෞද්ධ හා සෙසු ලෝකයා විසින් සිය ගෞරවය පිරිනැමිය යුතු වන්නේය.


ඩී.එස්.අයි. ආයතනයේ ප්‍රධාන තැන්පත් නන්දදාස රාජපක්ෂ මහතා මේ මහා පින්කමේ සාර්ථකත්වය සඳහා අසීමිත මෙහෙයක් ඉටු කළහ. තාමත් ඉටු කරන මහා උවසුවෙක, එතුමා මේ පාරිශුද්ධ ව්‍යාපාරයේ මුලපටන් එහි සාර්ථක නිමාව දක්වාත්, අදත් එකසේ හා ශ්‍රද්ධාපූර්වකව මේ මහා ව්‍යාපාරය හා සමඟ බැඳී සිටී.


මේ ඓතිහාසික මහා බෞද්ධ ව්‍යාපාරය මහා වංශයේ නව පරිච්ඡෙදයන්හි සඳහන් කිරීමෙන් රජයට ද මේ සත්ක්‍රියාවේ අනුග්‍රාහකයන් විය හැකිය.


රම්බොඩගල්ල මහා සමාධි බුද්ධ ප්‍රතිමාව වන්දනා කිරීම, යළිත් මහා වංශය වෙත ගමන් කිරීමක් වැන්න.


 

නරියා සහ බමුණා

බමුණෙක් සහ නරියෙක් පිළිබඳ සිත්ගන්නා කතාවක් පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක එන්නේය.


ඒ කතාව ගම්මැද්දට ආ නරියෙක් හා ඒ නරියාට මුණගැසුණු බමුණෙකුත් පිළිබඳවයි. 


ගම්මැද්දට ආ නරියාට ඉතාම හොඳට පැසුණු රා හැළියක් පෙනුනේය. අවට බලා නරියා ඒ රා හැළිය සහමුලින්ම බිව්වේය. 


නරියා නොදැනුවත්වම ඌට මහ දවල් වන තෙක් සුරා මතින් නින්ද ගියේය. නරියා ගැමියන්ගෙන් බේරෙන්නට කිට්ටුව තිබුණු පඳුරකට රිංගා ගත්තේය. එසේ සිටින නරියාට එතැනින් යන බමුණෙකු පෙනුණේය. ඔහු තමන් වෙත කැඳවාගත් නරියා බමුණාට මෙසේ කීයේය. “මා වෙත කාසි දහයක් ලබාගත හැකි මන්ත්‍රයක් තිබෙනවා. ඔබට ඉතාම සුළු දෙයයි කරන්නට තියෙන්නේ” බමුණා කාසි ආශාවෙන් මෙසේ කීයේය. “කියන්න, මං ඕනෑ දෙයක් කරන්නම්”. නරියා මෙසේ කීයේය. “බමුණානෙනි, කාටවත් නොපෙනෙන්න සේ මා ඔබගේ සළුවෙන් ඔතාගෙන ගම මැදින් අර කැළෑව ළඟට යන්න. එතැනදී මං මන්ත්‍රය කියන්නම්” බමුණා නරියා සිය සළුවේ ඔතාගෙන කැළෑව අද්දරට ගොස් ඌ බිම තැබීය. “දැන් මොකක්ද ගුරුකම?” බමුණා ඇසීය. “බමුණානෙනි, දැන් ඇස් දෙක හොඳට ඇරගෙන ඉර දිහා බලාගෙන ඉන්න. එවිට ඔබේ අතට කාසි දහස එනවා.” නරියා කැළයට ගියේය. බමුණා ඉර දිහා බලාගෙන සිටියි.


එතැනින් යන තවත් බමුණෙක් මේ තැනැත්තා කරන දේ ගැන විමසුවේය. එවිට බමුණා ඔහුට කියා සිටියේ තමාට කාසි දහසක් දෙන්නට පොරොන්දු වූ නරියාගේ පුවතයි.


ඒ ඇසූ ඒ තැනැත්තා බමුණාට මෙසේ කීය.


“බමුණ, ඔබ රා බීපු නරියා විශ්වාස කරනවාද? ඌට කාසි දහසක් තබා කවඩි දාහක්වත් නෑ.”


ඔහු ශ්ලෝකයකින් තවත් පැහැදිලි කළේය.


“සද්ද හා සී සිඟාලස්ස - සුරාපීතස්ඞ් බ්‍රාහ්මණ
සිප්පිකවනං ශක්‍රාචි තසී - කුංතා පංච ශතා ද්‍රවේ.”


තේරුම “බමුණ, තොප රා බීපු සිඟාලයාගේ නරියාගේ වචනය විශ්වාස කරනවාද? ඌට කාසි දහසක් තබා සිප්පි කටු දාහක්වත් නැත.”
“ප්‍රඥාවෙන් අගතැන්පත් බමුණෝ පවා නරින්ට රැවටෙති.”


 

නිකෝලො මකියාවලීගේ “කුමාරයා”

මකියාවලී ඉතාලි ජාතික පාලන තන්ත්‍රවේදියෙක් හා දේශපාලන න්‍යායවාදියෙක්ද වූයේය. 1489 යේදී ඔහු ෆ්ලෝරන්ස්හිදී උපත ලැබුවේය. ඔහු රාජ්‍යය වෙනුවෙන්, විවිධ වර්ගයේ දූත මෙහෙයයන්හි යෙදුනේය. මෙඩිකි පෙළපතේ පාලනය යළිත් පිහිටුවනු ලැබූ විට ඔහු බන්ධනාගාරගත කරනු ලැබුවේය. චෝදනාව වූයේ කුමන්ත්‍රණයෙහි යෙදීමයි. පසුව සිරෙන් නිදහස් කරනු ලැබුවේය. ඔහු සාහිත්‍ය කටයුතුවලට සම්බන්ධ වූයේය. ඔහුගේ පද්‍ය රචනා සම්මානයට පාත්‍රවිය.


ඔහු ඓතිහාසික විවරණ කෙටි කතා සහ ප්‍රහසනද සම්පාදනය කළේය. ඔහුගේ පාලන තන්ත්‍රය පිළිබඳ කෘතිය වූයේ “ඉල් ප්‍රින්සේප්” (කුමාරයා) නම් කෘතියයි. එහි ප්‍රධාන තේමාව වූයේ බලයෙහි සිටිනු පිණිස ඕනෑම ක්‍රමයක් භවිත කළ හැකියැයි යන න්‍යායයයි. වැසියා ද්‍රෝහි වුවහොත් ඉතාම අයහපත් රාජ්‍ය පාලන ක්‍රම වුවද සාධාරණ යැයි ඔහු ලියුයේය. මේ අදහස පාප් වහන්සේ විසින් හෙළා දකිනු ලැබුවේය. “මකියාවලියානු න්‍යායය” වශයෙන් නම් කෙරුනේ ඒ නපුරු ප්‍රතිපත්ති සම්ප්‍රදායයි.


 

 

මුළු ලෝකයේම අලුත් මහා ධනවතා

ඉසුරුමත්වෙමින්, ලෝකයේම අගතැන්පත්ව සහ බිල් ගේට්ස් ගේ ස්ථානයට අලුත් ධන කුවේරයෙක් පත් වී සිටී.


ලෝකයේ ඒ අලුත්ම මහා ධනවතා නම් ජෙෆ් බෙසෝස් නම් වූ “ඇමේසන්” ව්‍යාපාරයේ ප්‍රධාන කෘත්‍ය විධායක නිලධාරියාය.


ඔහු අද ලොව මහාම ධනවතා පමණක් නොවේ. මෙතෙක් කල්ම මුළු ලෝකයේ සිටි මහා ධනවතුන්ට වඩා ඉහළින් සිටින ධනවතාත් ඔහුය. බ්ලුම්බර්ග් ආයතනයේ, කෝටිපතියන් පිළිබඳ පර්යේෂණ අංශයට අනුව අලුත් මහා ධනවතාගේ වත්කම ඩොලර් බිලියන 105.1කි.


ජෙෆ් ජෙෆ්රි ප්‍රෙස්ටන් (ජෝජෙන්සන්) උපත ලැබුවේ 1964 ජනවාරි 12 (54) දායි. ඔහුට දරුවන් සිවු දෙනෙකි.


 

මුහුදින් ගිය සරණාගතයෝ

2017 වර්ෂයේදී මුහුදු මාර්ගයෙන් යුරෝපයට ගිය සරණාගතයන්ගේ සංඛ්‍යාව 171,635කි. මේ සංඛ්‍යා නිකුත් කොට තිබෙන්නේ “සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය” විසිනි.


 

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය විශිෂ්ටයි

 

ජනාධිපතිවරයාගේ සිවු අවුරුදු පාලන වාරයේ මුල් අවුරුද්ද පිරෙන්නේ 2018 ජනවාරි 20 වන දාටයි.

 
මේ මුල් අවුරුද්දේ පාලනය පිළිබඳව විවිධ විවරණ පළවේ.


2018 “මධ්‍ය පාලීන” ඡන්ද විමසීම්ද පැවැත්වේ. ඒ නිසා ජනාධිපතිවරයාගේ පාක්ෂිකයෝත් උපදේශකවරුත් ජනාධිපතිවරයා හා සමග නිබඳ සාකච්ඡාවේ යෙදෙති.


ජනවාරි 12 වන සිකුරාදා ජනාධිපති ට්‍රම්ප් පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට පෙනී සිටියේය. ඒ පරීක්ෂණය පැවැත්වූ කණ්ඩායමේ නායක රියර් අද්මිරාල් රොනී ජැක්සන් විශේෂඥයාගේ ප්‍රකාශයට අනුව “71 හැවිරිදි ජනාධිපති ට්‍රම්ප්ගේ” සෞඛ්‍ය තත්ත්වය විශිෂ්ටය.


RECOMMEND POSTS