බටහිරට-‘කොස්’ දිව්‍ය ආහාරයක් වෙයි



 

“කොස්ගෙඩිය, ලෝකයේ බඩගින්න නිවීමේදී ඉතා ශ්‍රේෂ්ඨ බලවේගයකි. ඉන්දියාවේ, බැංගලෝර්හි කෘෂිකාර්මික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පර්යේෂක වන ආචාර්ය ශ්‍යාමලා රෙඞ්ස් විසින් පැවසෙන ආකාරයට, කොස්ගෙඩිය ප්‍රාතිහාර්යයකි. දශ ලක්ෂ සංඛ්‍යාවකගේ නිරාහාරභාවය විසඳීමේ ශක්තිය මේ කොස්ගෙඩිය සතුය” 
හැරී පෙට්ටිට් විචාරකයා

 

සුප්‍රසිද්ධ බි්‍රතාන්‍ය පුවත්පතකට නොබෝදා ලිපියක් සැපයූ හැරී පෙට්ටිට් ලේඛකයා විසින් අප ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ දැන සිටි “කොස් ගොඩිය” ගැන කරන ලද අනාවරණය මගේ තියුණු විස්මයට හේතු විය.


මේ කවුරුත් දන්නා “කොස්” ගැන කෙරෙන අලුත්ම වර්ණනාව අප විසින් දැනගත යුතුමයි. මක්නිසාද යත් ඒ අවබෝධය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ බොහෝදෙනා තුළ මේ කොස් ගස ආශ්‍රයෙන් අතිශයින්ම අර්ථවත් ප්‍රායෝගික නව චින්තන ධාරාවක් අනිවාර්යයෙන්ම උද්ගතවන හෙයිනි.


හැරි පෙට්ටිට් ලේඛකයාගේ විවරණය දෙසට යොමුවන්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ “කොස්” පුරාණය ගැන ආවර්ජනයක යෙදීම උචිතය.
ඉතා ඈත අතීතයේ පටන්ම අපගේ දේශවාසීන්ගේ ආහාරයෙහි “කොස්” ප්‍රධාන ස්ථානයක් ගත්තේය. ශ්‍රී ලංකාවේ ස්ථාන නාම බොහොමයක් කොස් ආශ්‍රිතය.        “කොස්” සඳහා පැරණි සාහිත්‍යයේ සඳහන් වන පද්‍ය “පනා” යන්නයි. පනාගම, පනාගොඩ, පනාකඩුව (කඩුව යනු වනයයි) පනාගමුව, පනාමුරේ ආදි ග්‍රාම නාම රැසක් ඇත්තේය. “කොස්” යන වචනය මුල්කොටගත් යෙදුම් ද බහුලය. කොස්ගොඩ කොස්වත්ත කොස්ලන්ද ආදී වශයෙනි.


කොස් සඳහා “හෙරලි” යන නමද භාවිත වේ.


“කොස්” යන ව්‍යවහාරය භාවිතයට ආයේ කෙසේදැයි යන්න අවිනිශ්චිතයි. එසේ වුවද හැරී පෙට්ටිට් ලේඛකයාගේ ලිපිය හැදෑරීමේදී මට සිතුනේ පැරැන්නන් කොස් ගෙඩිය තුළ ආරක්ෂිතව තිබෙන පෝෂණ පදාර්ථ ගැන දැන ගෙන එය       “කෝෂයක්” (වටිනා දේ අඩංගු වූ වස්තුවක්) සේ සලකා ඒ “කොස්” යන නම දෙන්නට ඇතැයි කියාය.


“කොස්” පදය කෙසේ ආවද ආදි ශ්‍රී ලාංකිකයන් කොස් ගෙඩියෙන් උපරිම ඵල ප්‍රයෝජන ගත්බවට ජන ව්‍යවහාරයෙන් ප්‍රබල සාධක සැපයේ. කොස් තම්බා අහරට ගැනීම සුපුරුදු භෝජන ශෛලියක් විය. කොස් ව්‍යාංජන, කොස් මැල්ලුම්, ප්‍රධාන ආහාරයට එකතු වූ කොස් භාවිතා ක්‍රමයයි.


කොස් ඇට විවිධාකාරයෙන් ආහාර වේලට එකතු විය. කොස් ඇට ව්‍යාංජනය කොස් ඇට බැඳුම ආදී ආහාර විශේෂ තිබුණි. අටුකොස් අතිරේක ආහාර ගණයටලා සැලකිනි. නොමේරු කොස් (පොළොස්) විවිධ සූපක්‍රම මගින් උයාලීම, ශ්‍රී ලංකාවේ ගෘහණියගේ විශේෂ ප්‍රවීණතාවයක් වූයේය.


ඉදුනු කොස් මදුල, වරකා හෝ වැල වශයෙන් හැඳින්වින. පශ්චාත් භෝජන අවුළුවක් (ාැිැරඑ) වශයෙන් ඒවා අතිප්‍රණීතය.


මේ ඉදුණු කොස් මදුල, ශ්‍රී ලංකාවේ විවිධ භෝජනාගාරවලට ඇතුළු වී තිබෙතත්, කොස් ආශ්‍රිත ආහාරවර්ග තාමත් සලකනු ලබන්නේ ජන පුරුදු වශයෙනි.


කොස් ඇට ව්‍යංජනය මා දන්නා හැටියට නම් උච්ච මට්ටමේ කෑම වට්ටෝරුවට එක් කරන ලද්දේ ආචාර්ය පබිලිස් සිල්වා සූපවේදියා විසිනි.


මේ පූර්විකා සටහනෙන් පසුව කොස් පිළිබඳ නවීන බටහිර පෙදෙසෙහි දැක්වෙන අසීමිත උද්‍යෝගය දෙසට අපි යොමු විය යුත්තෙමු.
“කොස්” උදානය ඉදිරිපත් කරන ලේඛකයාගේ රචනයෙහි මාතෘකා පාඨය කුහුල දනවන සුළුය. “ලෝකයේ බඩගින්නට ප්‍රතිකාරයක්?”
ඔහුගේ ආරම්භක නිරීක්ෂණය මෙසේය. “ඇතැම් විටෙක ඌරු මසේ රස දනවන පරිද්දෙන් වුවද සකස් කළ හැකි විස්මය උපදවන අසාමාන්‍ය පලතුරු වර්ගයක් ඇත්තේය. මෙය දශ ලක්ෂ සංඛ්‍යාවක් ජනී ජනයා, බඩගින්නෙන් පෙළීම වළක්වාලිය හැකි පලතුරකි. මේ ප්‍රාතිහාර්යමය පලතුර ඇඳින්වෙන්නේ “ජැක්ෆ්රුට්” (කොස් ගෙඩිය) වශයෙනි.


එක් කොස් ගෙඩියක් කිලෝග්‍රෑම් 4.5ක් පමණ බරයි. ඇතැම්විට එක් කොස් ගෙඩියක් කිලෝග්‍රෑම් 45ක් පමණ බර විය හැකිත් වේ. කොස් ගෙඩිය, ලෝකයේ ගසකින් ලැබෙන විශාලතම පලතුරු වර්ගයයි. කොස්ගස සාමාන්‍යයෙන් වැඩෙන්නේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේයි.


ලේඛකයාගේ ප්‍රකාශය මෙසේය. එක් කොස් ගෙඩියක ඇට සියයක් පමණ ඇත්තේය. මේ ඇටවල පෝෂ්‍ය ගුණදායක කැල්සියම් ප්‍රෝටීන, යකඩ හා පොටෑසියම් (යවකර ලුණු) අඩංගුය. එක කොස් ගෙඩියක් පවුලකට පූර්ණ ආහාර වේලක් සඳහා ප්‍රමාණවත්ය.
පර්යේෂකයන් විසින් පෙන්වා දෙනු ලබන්නේ කාලගුණයේ වෙනස්වීම් නිසා සිදුවන තර්ජනයට මූණපාන, තිරිඟු හා බඩඉරිඟු වෙනුවට කොස් වගා කළ හැකි බවයි.


කොස් සතු ප්‍රාතිහාර්යමය වටිනාකම සොයාගෙන තිබෙන්නේ ජෝඞ්න් ග්‍රේසන් සහ ඇවී රොබට්සන් නම් යොවුන් යුවළක් විසිනි.

දෙදෙනාම විසිතුන් වයස් වූ වෝයි. ඔවුන්ගේ ක්‍රියාදාමය නම් කෙරෙන්නේ “කොස් ව්‍යාපාරය” වශයෙනි. මේ දෙදෙනා දැනටමත් විවිධ රස ගැන්වූ “කොස්” අලෙවි කරති. ඔවුන් කොස් ගෙන්වා ගන්නේ ඉන්දියාවෙනි. ඔවුන් විසින් සම්පාදනය කෙරෙන “කොස්” ආහාර වර්ග, බටහිරට පුරුදු මස් විශේෂයන්ටත් වඩා රසවත් යැයි දැනටමත් ඇතැම්හු පවසති.


මේ දෙදෙනා සිය කොස් ව්‍යාපාරය ආරම්භ කළේ 2017 ඔක්තෝබර් මාසයේදීය. ඔවුන්ගේ ප්‍රාග්ධන ප්‍රමාණය ඩොලර් 9230ක් විය. ඔවුන් සිය නිෂ්පාදන පටන් ගත්තේ ඉන්දියාවේයි. ඔවුන් විසින් මේ “කොස් නිර්මාණ” අඩංගු පැකට්ටුවක් අලෙවි කරනු ලබන්නේ ඩොලර් 6.90කටයි. මෙය රුපියල් 750කට කිට්ටු මුදලකි.


කොස්ගෙඩිය විටමින් සී බහුල පලතුරකි. එක් කොස්ගෙඩියක කැලරි 95ක් පමණ අන්තර්ගත වේ.


එහෙත් මේ කොස් භාවිතයේ අවාසනාවන්ත පක්ෂයක්ද ලේඛකයා දකී. වියෙට්නාම්, බංග්ලාදේශ්, ඉන්දියා ආදී ප්‍රදේශවල කොස් වැවෙයි. මේ විචාරකයා පෙන්වා දෙන්නේ ඉන්දියාවේ වැවෙන කොස්වලින් විශාල ප්‍රමාණයක් නිකරුණේ නාස්ති වී යන බවයි.
මේ විදේශික විචාරකයන් “ප්‍රාතිහාර්යමය” පලතුරක් සේ දක්නා කොස්ගෙඩියට මෙතෙක් එහි නිජබිම් පෙදෙස්වලින් නිසි ගෞරව සැලකිලි නොලැබුයේ ඇයි? ලේඛකයා විසින් දැක්වෙන ආකාරයට මේ “ප්‍රාතිහාර්යමය” පලතුරට ඒ අවාසනාවන්ත ඉරණම අත්වී තිබෙන්නේ “කොස්” දුප්පතුන්ගේ ආහාරයක් සේ සැලකීමේ පුරුද්ද නිසයි.


ශ්‍රී ලංකාවේද එය එසේය. අද අප රටේ “නවීණත්වයට” ගරු බුහුමන් දක්වන බොහෝ දෙනාගේ “කෑම සුත්‍රය” අපරදිගට නැඹුරුය. සමහරු “ෆ්‍රයිඞ් රයිස්” ආහාරයට ගැනීම, නවීණ ඉහළ පෙළෙන්තියේ සංකේතයක් සේ සලකති.


ග්‍රේසන් “ රොබට්සන් යුවළ විසින් “කොස්” පංචතාරකා මට්ටමටත් ඉහළ තැනකට ඔසොවා තැබීම නිසා අපේ රටේත් කොස් පිළිබඳව චින්තන විප්ලවයක් උද්ගත විය හැකියි.


ඊටත් වඩා ප්‍රබල කරුණක් වෙයි. අනාගතවාදීව බලමු. කර්කශ කාලගුණ විකෘති නිසා සම්ප්‍රදායික ආහාර සම්පාදන රටාවට මත්තේදී බැරෑරුම් තර්ජන එළඹේ. දියුණුවන ජනගහණයට සරිලන මට්ටමෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නය බැරෑරුම් අභියෝගයක් වන්නේමය.


එහෙත් කොස් වගාව ජාතික මට්ටමේ සංවර්ධන ප්‍රයත්නයකින් දියුණු කොට රට පුරා හැම පෙදෙසකම මේ පලතුරු ප්‍රාතිහාර්යය ව්‍යාප්ත කළහොත් ඈත එපිට වරප්‍රසාද රහිත සහිත කාටවුවද අපූරු පෝෂ්‍යදායි ගුණෙන් පිරි සිත පිරෙන ආහාර වර්ගයක් ලද හැකිවේ.


කොස් ගසින් උපදවාලිය හැකි අති පෘථුල පෝෂ්‍යදායක රසහාරක ආහාර වර්ග සපයා ගන්නට පුරුදු වුවහොත් එක් කොස් ගසකින් වර්ෂයකට ඩොලර් 150ක් උපයාගත හැකිවේ යැයි විශේෂඥයෝ පෙන්වා දෙති. අප අසල්වැසි ඉන්දියාවේ ඇතැම් සංවිධාන කොස්ගස පිළිබඳව ජනතාව සතු වැරැදි ආකල්ප වෙනස් කරන්නට ප්‍ර්‍යත්න දරති. පර්යේෂණවලින් පැහැදිලිවන ආකාරයට කොස් ගසකින් ලදහැකි දේවල් අතර ස්වාභාවික තෙල්, කිරි, සත්වාහාර ආදියද ඇත්තේය.


සිතන්නට, සිතන්නටම කොස් ගසේ මහිමය වැඩි වැඩියෙන් අප හද සිත තුළ සනිටුහන් වන්නේය.


රස පෝර ආදි කිසිවකින් තොරව කොස්ගස ස්වභාවිකව වැඬේ. එසේම කොස් බහුල වශයෙන් වගා කළ හැකිවේ. පලදාව අතිවිශිෂ්ටය. නියඟයට පවා ඔරොත්තු දෙමින් කොස්ගස නැගී සිටී. ආසියාවේ බොහෝ දෙනා නිසි ආදායම් නැතිකම නිසාත් අවශ්‍ය පෝෂණ ශක්තිය ලද නොහෙන නිසාත් බොහෝ සේ පීඩා විඳිති. එහෙත් එවැනි පසුබිමක මේ බොහෝ සේ නාස්තිකොට දමනු ලබන කොස්වගාව, භාවිත නොකරන්නේ මක්නිසාදැයි ග්‍රේසන් රොබට්සන් යොවුන් පර්යේෂක යුවල විමසා සිටිති.


කොස් ආහාර සඳහා සූදානම් කොට ගැනීමේ සම්මත ක්‍රමවලින් ඉතා ඔබ්බට ගිය නවීණ විදියේ “පංචතාරකා” සූප ශෛලියගෙ යුවල විසින් ක්‍රියාත්මක කෙරේ. ඒ ප්‍ර්‍යත්න අපගේ දේශයටද ආදර්ශ වශයෙන් ගත හැකියි. මස් නිෂ්පාදන ව්‍යාපාරත් ගොවිපළ සත්ව පාලක කර්මාන්තත් නිසා පෘථිවිතලයට සිදුවන හානිය පෘථුලයි. ඒ ව්‍යසනය වළක්වාලීම සඳහා ඉතාම ප්‍රතිඵලදායි විකල්පය කොස් වගාව යැයි මේ තරුණ යුවළ ප්‍රබල ලෙස කියා සිටිති.


මෙහිදී ශ්‍රී ලංකාව මේ කොස් ප්‍රශ්නය දෙස බැලිය යුත්තේද කෙසේද? මේ සුඛෝපභෝගී නවීණ ආහාර සොයන බැබළෙන “නවීනත්වය” සහිත පංතිවලට කොස් සතු පංචතාරකා අභිමානය ක්‍රමවත්ව කියාදිය යුතුවේ.


ඊටත් වඩා අතිශයින්ම බැරූරුම් සංවර්ධන අර්බුදයක් ඇත්තේය. සංකීර්ණ හේතුවල එක්වීමක් නිසා තව වසර කීපයකින් අපේ රටටත් සෙසු බොහෝ දේශවලටත් බැරෑරුම් ආහාර හිඟයකට මූණ පාන්නට සිදුවනු නියතය. එවැනි සිද්ධියක් නොවුණත් කොස් වගාව ආශිර්වාදයකි. ඒ නිසා රාජ්‍ය මට්ටමෙන් සහ පෞද්ගලික පක්ෂයෙනුත් ක්ෂණික කොස් වගා ව්‍යාපාර ආරම්භ කළ යුතුවේ. ජාති හිතෛෂී ආතර් වී. දියෙස් සත්පුරුෂයා “කොස්මාමා” යන ආදරබර නම දිනාගනිමින් කොස් වගාව ව්‍යාප්ත කරන්නට ඔහු අතිශයින්ම ප්‍රශස්ත මෙහෙයුමක් දියත් කළේය.


අද ශ්‍රී ලංකාවේ අක්කර 300ක හෝ 400ක ඉතා ක්‍රමවත් කොස් වගාවක් ආරම්භ කරන්නටම වේයැයි මට සිතේ. මේ බිම් ප්‍රමාණය පළාත් සභා බල පෙදෙස්, ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශ අතර විහිදී යා හැකිය. විශේෂඥාධාර සහිතව ඉක්මන් පලදායි කොස්වර්ග තෝරාගත හැකිවේ.


ගැමි මට්ටමේ ප්‍රාදේශීක මට්ටමේ උද්‍යෝගී යොවුන් පිරිස් මේ කොස් වගාවෙන් අනාගත ආහාර හිඟය වළක්වා ගැනීමේ අධි ජාති හිතෛෂී ක්‍රියාදාමයට යොමුකොට ගත හැකිවේ. කොස් ආශ්‍රයෙන් නවීණතම පංචතාරකා හෝටල් වට්ටෝරුවට එක්කළ හැකි ආහාර වර්ග නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ කටයුතු භාර විශේෂඥ පිරිසක් සපයා ගැනීම කිසිසේත් අපහසු නොවන්නේය.


හෙට ශ්‍රී ලංකාව කිරියෙන් පැණියෙන් පිරුණු, කොස්, වැල, වරකා මෙන් පෝෂිතව රසවත් වූ වාසනාවන්ත දේශයක් බවට පත් කරන්නට බටහිර රටවල -කොස් කාමීන්ගේ ආදර්ශය උද්‍යෝගය ආදර්ශයට ගනිමු.


 

මහත්මා ගාන්ධිගේ පැරැණි ඡායාරූපයක් වෙන්දේසියේ

මහත්මා ගාන්ධි තුමාගේ 1931 ගන්නා ලද ඡායාරුපයක් නොබෝදා ඇමෙරිකාවේදී ඩොලර් 41,800කට වෙන්දේසි වූයේය.
ගාන්ධිතුමා මදාස් මෝහන් මාලවියා මහතා හා සමග ගමන් කරමින් සිටින ආකාරය ඒ ඡායාරූපයේ දැක්විණි. ඒ ඡායාරූපය ලන්ඩන්හිදී ගන්නා ලද්දකි. ගාන්ධිතුමා ඒ ඡායාරූපයෙහි සිය නම අත්සන් කොට තිබුණේ එම්.කේ. ගාන්ධි වශයෙනි. නම අත්සන් කරන්නට භාවිත කොට තිබුණේ උල්පත් පෑනකි.


ඒ එක්කම කොමියුනිස්ට් න්‍යායවාදී කාල් මාක්ස් විසින් 1879 ඔක්තෝබර් මස පළමුවැනිදා ලියන ලද ලියමනක්ද වෙන්දේසි විය. එය මිලයට ගනු ලැබුවේ ඩොලර් 53,509කටය.


කාල් මාක්ස්ගේ ලියුම් ඉතාම දුලබය.


ඒ වෙන්දේසි වූ ලියමන ඔහු ලියා තිබුණේ තමාගේ පොතේ පිටපත් කීපයක් එවන්නැයි කොලෙට් ඩොබ්සන් නම් සංස්කාරකයාට දන්වනු පිණිසය.


පොතේ නම “අනාවරණ” නම් විය.


නෙබෝදා කීර්තිධර පැබ්ලෝ පිකාසෝ විසින් අඳිනා ලද චිත්‍රයක්ද අලෙවි විය. එය සිය යෙහෙළියගේ රුව දක්වන නිර්මාණයකි. එයට ගෙවන ලද මිල ප්‍රමාණය ඩොලර් කෝටි පහකට කිට්ටුය.


 

පැරැණි පොතපත මකියාවෙල්ලිගේ “කුමාරයා”

නිකොලෝ මකියාවේලිලි ඉතා කීර්තිමත් පාලන තන්ත්‍රවේදියෙකි. ඉතාලියේ කලා නවෝදය සමයයෙහි පහළ වූ මකියාවේල්ලි (1469-1527) නීතිවේදියෙකුගේ පුත්‍රයෙකි.


ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1494දීය.


ඒකාලයේ සිදුවූ පාලන ආලෝලන කරණකොටගෙන ඔහුට පාලන තන්ත්‍රය පිළිබඳ “ද ප්‍රින්ස්” (කුමාරයා) නම් ග්‍රන්ථයකරන්නට අධිෂ්ඨානය ඇති විය.


මේ “කුමාරයා” නම් ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරෙන්නේ ඒකාධිපතිවාදී පාලනය ලබා ගන්නා ආකාරයත් එය පවත්වාගෙන යන ආකාරයත්ය. 


ඔහු විසින් “දේශන” නම් ග්‍රන්ථයක්ද කරන ලද එහෙත් එය “කුමාරයා” තරම් ප්‍රචලිත වූයේ නොවේ.


 

විසිවන සියවසේ ප්‍රබලම ආගමික දේශකයා

විසිවන ශත වර්ෂයේ අතිශයින්ම ප්‍රසිද්ධ එමෙන්ම අති චතුර ආගමික දේශකයා වශයෙන් සලකනු ලබන්නේ විලී ග්‍රැහැම්ය. එතුමා අවුරුදු 99ක් ආයු වළදා පෙබරවාරි මස 21 වනදා අභාවයට පත්විය. තුනී දේවදාර පෙට්ටියක් බහාලන ලද එතුමාගේ දේහය පෙරහැරින් සැතපුම් 130ක් දිග මගක් ඔස්සේ ගෙන යනු ලැබුවේය. දෙපස රැස්ව උන් බැතිමතුන් එතුමාට ආචාර දැක්වූයේ ඇමෙරිකානු ධජය ලෙළ දෙවමින් සහ බයිබලය ඔසොවා දැක්වීමෙනි. එතුමාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා වොෂිංටන් නගරයට ගෙන යන ලදී. ඔහු ගොවිපළක උපත ලද දරුවෙකි.


ඔහු ඉවැන්ජලිස්ට්වාදී ක්‍රිස්තු පූජකවරයෙක් විය. අථ්‍යන්තයෙන්ම ජනප්‍රිය වූ අති චතුර කථික විලී ග්‍රැහැම් පූජකවරයා ජනාධිපතිවරුන්ගේත් ප්‍රසාදය ලද්දේය.


ඔහුගේ ආගමික දේශනයනට සවන් දුන් අයගේ සංඛ්‍යාව විසි එක්කෝටි පනස් ලක්ෂයද ඉක්ම වන්නේය.


දශක හයක් මුළුල්ලේ බැතිමතුන් අමතා දේශන පැවැත්වූ එතුමා සිය සැදැහැවතුන්ට උගන්වාලූයේ ක්ෂමාව දීමේ උත්තම ගුණයයි. ෆේස්බුක් සන්නිවේදන ක්ෂේත්‍රයෙහි එතුමාගේ ලෝලීන් සංඛ්‍යාව හැටපන් ලක්ෂයක් වූයේය.


විලි ග්‍රැහැම් දේශකයාණන්ගේ අනුස්මරණ දේශනය පැවැත්වූයේ මාර්තු දෙවනදායි.

 

RECOMMEND POSTS