නිව්යෝර්ක් ප්‍රකාශනයෙන් සරණාගතයන්ට සෙතක් වේද ?



සරණාගත අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වුණු එ.ජා. සමුළුව

 

මේ දිනවල නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසිය වඩාත් වැදගත් වන්නේ පසුගිය 19 වැනිදා සාමාජික රටවල රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුගේ අනුමැතියෙන් සම්මත කර ගත් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් සඳහා වූ නිව්යෝර්ක් ප්‍රකාශනය නිසාය. මෙම ප්‍රකාශනය සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පිලිබඳ ගෝලිය ප්‍රශ්නය විසඳීමට ගත් එඩිතර සාමුහික පියවරක් ලෙස හැඳින් වූ මහ ලේකම් බැන් කිමුන් ඒ තුළින් ඇතිවන සහයෝගිතා වාතාවරණය නිසා ළමයින් වැඩි දෙනෙකුට පාසල් යෑමටත් පුද්ගලයන් වැඩි දෙනෙකුට ආරක්ෂිතව විදෙස් රැකියා ලබා ගැනීමටත් අවස්ථාව උදාවනු ඇතැයි අවධාරණය කෙළේය. එමෙන්ම මෙම ප්‍රකාශනයත් සමග 2018 දී විධිමත්, ආරක්ෂිත හා ක්‍රමානුකූල සංක්‍රමණය පිලිබඳ ගෝලීය එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු සහගත වූයේය. 

 

මෙම සැසි වාරය ඇමතු ඉන්දියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇම් ජේ අක්බාර් පැහැදිලි කළ ආකාරයට සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පැහැදිලිවම වෙනස් වූ කාණ්ඩ දෙකකි. රැකියා අවස්ථා හෝ වඩාත් පහසු ජීවන මාර්ග සොයා සංක්‍රමණයවීම මිනිස් ඉතිහාසය පුරාම පැවති තත්වයකි. ඉන්දියානු නියෝජිතයා අවධාරණය කළ ආකාරයට අද මහත් ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ යුද ගැටුම් නිසා උන්හිටි තැන් අතහැර ආරක්ෂාව පතා පලා යන සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයයි. මෙසේ සිය නිවෙස් සහ උපන් ප්‍රදේශ අතහැර පලා යන සරණාගතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බටහිර ආසියාවෙනි. ඉන් තත්වය වඩාත් උග්‍රවී ඇත්තේ දැනට වසර පහක් තිස්සේ අවි ගැටුම් පවතින සිරියාවේය. ඉරාකය, ලිබියාව, යේමනය මෙන්ම ඇප්ගනිස්ථානය වැනි රටවලින් ආරක්ෂාව පතා පලා යන සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට නැත. එක්සත් ජාතින්ගේ ගණන් බැලීම් අනුව සරණාගත තත්වයට පත් සංඛ්‍යාව දශ ලක්ෂ 20 ද ඉක්මවයි.


සමුළුව ඇමතු ලෙබනන් නියෝජිතයා පැවසූ ආකාරයට මුළු ජන සංඛ්‍යාව දශ ලක්ෂ හතරක් වූ ලෙබනනයට සිරියාවෙන් පලා ආ සරණාගතයන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂ 1.5කි. එමෙන්ම මෙම සරණාගත කඳවුරු තුළ පසුගිය වසරේ වාර්තා වූ දරු උපත් සංඛ්‍යාව ලක්ෂය ද ඉක්මවයි. දුර්වල ආර්ථික තත්වයක් සහ අස්ථාවර දේශපාලනයක් පවතින ලෙබනනයට මෙම බර තවදුරටත් දැරිය හැකි නොවේ. සිරියාවේ පවතින සටන් තත්වය නිසා උන්හිටි තැන් අතහැර පලා යන ජනතාවගේ අනෙක් නැවතුම වන්නේ තුර්කියයි. තුර්කියේ සිරියානු සරණාගතයන් දශ ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා තුර්කි රජය වැය කර ඇති මුදල ඩොලර් බිලියන 12කි. තුර්කි ආණ්ඩුව පවසන ආකාරයට සරණාගතයන්ගේ නඩත්තුව සඳහා අන්තර්ජාතික ප්‍රදානකයන්ගේ ලැබී ඇත්තේ ඩොලර් දශ ලක්ෂ 129ක් පමණි. 


මෙම වසර අවසන් වන විට සිය ධුරයෙන් විශ්‍රාම යන එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කිමුන් මේ සතියේ සඳුදා සම්මත කර ගත් නිව්යෝර්ක් ප්‍රකාශනය හඳුන්වන්නේ සරණාගතයන්ගේ සහ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ලෝක නායකයන් තුළ පවතින දේශපාලන කැපවීම සංකේතවත් කරන අවස්ථාවක් ලෙසිනි. මෙම ප්‍රකාශනයෙන් සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සමුළුව තුළින් ලොව සරණාගත ප්‍රශ්නය විසඳීමට එඩිතර පියවර ගැනීමට කැප වෙන බව ද එම නායකයෝ තහවුරු කරති. 

 

සරණාගතයෝ

 


නිව්යෝර්ක් ප්‍රකාශනය සම්මත කර ගැනීමෙන් පසුව ජනමාධ්‍ය ඇමතු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සරණාගතයන් පිළිබඳ විශේෂ නියෝජිත පීටර් සදර්ලන්ඞ් සරණාගතයන් අනතුරුදායක තත්වයක සිටින නමුත් ඔවුන්ට බලාපොරොත්තු සහගත තත්වයක් ඇති කරගත හැකිය. ඔහු සරණාගතයින් හැඳින් වූයේ අවදානම් තත්වයක සිටින නමුත් නිර්භීත පුද්ගලයන් ලෙසිනි. නිව්යෝර්ක් ප්‍රකාශනය වැදගත් ඉදිරි පියවරක් ලෙස දකින ලෝක බැංකු සභාපති ජිම් යොන්ග්කිම් සරණාගතයින්ට රැකියා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපාරික අවස්ථා උදා කිරීමටත් වඩාත් දීර්ඝ කාලින විසඳුමක් වශයෙන් සරණාගතයින් ඒකරාශි වී සිටින ප්‍රදේශවල කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සහායවීමටත් ලෝක බැංකුව සූදානම්යැයි පැවසුවේය. 


යුරෝපයේ සමහර රටවලත් ලෙබනනය සහ තුර්කිය වැනි රටවලත් ඉතාමත් දුක්ඛිත තත්ත්ව යටතේ සරණාගත කඳවුරුවල වෙසෙන ලක්ෂ ගණන් ජනතාවගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන ලෝක නායකයන්ගේ අවධානය යොමුවීම වැදගත් ය.

ඔවුන්ගේ මූලික අවශ්‍යතා අවම මට්ටමෙන් හෝ සපුරාලීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ විවිධ ආයතන ගෙන ඇති පියවර ද අගය කළ යුතුය. සරණාගතයින්ගේ ළමයින්ට අධ්‍යාපන අවස්ථා ලබා දීම හෝ වැඩිහිටි පුද්ගලයන්ට රැකියා අවස්ථා විවර කර දීම ගැටලුවට විසඳුමක් නොවේ. අද මහා පරිමාණයේ යුද පිටියක් බවට පත්ව ඇති සිරියාව, එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කරන විට ඉරාකයෙන් පලා ආ සරණාගතයන්ට ක්ෂේම භූමියක් විය. ඊශ්‍රායෙල් මර්දනය හමුවේ පලා ආ පලස්තීන සරණාගතයින්ට ද තාවකාලික වාසස්ථානය වූයේ සිරියාවයි. එහෙත් අද සිරියාව ලොව වැඩිම සරණාගතයන් සංඛ්‍යාවක් බිහි කරන රට බවට පත්ව ඇත. අප්‍රිකාවේ ඉහළම ජීවන මට්ටමක් පැවති ලිබියාව අද අගාධයට පත් රටකි. ඇමරිකානු ආක්‍රමණයට පෙර ඉරාකයේ පැවති ජීවන මට්ටම ද අනෙක් බොහෝ අරාබි රටවලට ලඟා කර ගත නොහැකි විය.


දෙවන ලෝක යුද සමයේ හෝ නොපැවති තරම් සරණාගතයන් සංඛ්‍යාවක් බිහිවීමට මූලික වශයෙන්ම හේතු වන්නේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ලෝක බලවතුන් මෙන්ම ප්‍රාදේශීය නායකයන් ගෙන යන ආක්‍රමණික දේශපාලනය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔවුන් තම බලය තහවුරු කර ගැනීමට කරන යුද්ධයෙන් පලා යන්නන් නිර්භීත පුද්ගලයන් ලෙස හැඳින්විය හැක්කේ සිත්පිත් නැති මිනිසුන්ට පමණි. ඒ අනුව නිව්යෝර්ක් ප්‍රකාශනය සැබැවින්ම එඩිතර පියවරක් වන්නේ සරණාගතයන් බිහි කරන අවි ගැටුම් නතර කිරීමට කැපවීමක් ඇත්නම් පමණි.

 


RECOMMEND POSTS