නව ප්‍රංශ - ද:කොරියා ජනපති දෙදෙනාටම අභියෝග



 

“සාධාරණත්වය සහ තැන්පත්ව විනිශ්චයට එළඹීමේ ශක්තියක් නායකයෙකු සතු විශේෂ ගුණාංගයෝ වෙති”

ජුබ්ලි යුස් කොර්නේ ලියුස් ටැසිටූස් (ක්‍රිස්තු වර්ෂ 50 පමණ රෝමයේ පාලක, නීතිවේදී ඉතිහාසඥයා

 

ජන්ද විමසීම් රැසකට මුහුණපා සිටින ලෝකයකට අපි අද එළඹි සිටින්නෙමු. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් ඒ දේශයේ 45 වන ජනාධිපතිවරයා තෝරා පත්කොට ගන්නා ලදී. 2017 ජනවාරි විසිවන දා ඒ පදවියේ දිවුරුම් දුන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය පාලනයේ මුල් දින සියය පසුකළේ නොබෝදාය.


බි්‍රතාන්‍යය, ජුනි මාසයේ පැවැත් වෙන්නට නියමිත මහජන ඡන්දයට සැරසෙමින් සිටියේය.


ජර්මනියේ පාලනය සඳහා පැවැත්වෙන්නට යන ජාති ව්‍යාප්ත ඡන්ද විමසීම්වලදී ජර්මණියේ චාන්සලර් තැන්පත් ඇන්ජෙලා මර්කුල් මහත්මිය ගේ පක්‍ෂයට ප්‍රබල ජයක් අත්වන පෙර නිමිති නොබෝදා පෙනී ගියේය.


ඒ අතර අභියෝග රැසකට මූණපා සිටින රාජ්‍ය දෙකක් විසින් සිය දේශයන්හි නව ජනාධිපතිවරුන් තෝරා ගන්නා ලදී.


ඒ රාජ්‍ය දෙක - ප්‍රංශය සහ දකුණු කොරියාව.


මුලින්ම අපි ප්‍රංශයේ නව ජනාධිපති වෙත යොමු වෙමු.


2017 මැයි හත්වනදා පැවැත් වුණු ඡන්ද විමසීමේදී එම්මානුවෙල් මැක්රන්, ප්‍රබල ජයග්‍රහණයක් ලද්දේය. හෙතෙමේ ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම ජනාධිපතිවරයායි. වයස 39යි. මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට 66.04 ක් ඔහුට ලැබුණේය. ඔහුගේ ප්‍රතිපාක්ෂික පෙන්ට ලද හැකිවූයේ ඡන්ද සීයට 33.94 ක් පමණි.


නව ජනාධිපති එම්මානුවෙල් මැක්රන්, නිල වශයෙන් සිය පදවියට පත්වූයේ විභූතිමත් විචිත්‍ර සම්ප්‍රදායික චාරිත්‍ර චාරිත්‍ර පද්ධතියකිනි.
දිව්රුම් දීමේ උත්සවය පැවැත්වුණේ පැරිසියේ “පැලේ  දු ලලීනේ” නම් මහාමන්දිරයේය. (“එලීනේ මාලිගය” එහි කෙටි නමයි. මේ මාලිගය 1873 පටන් ප්‍රංශ ජනපතිවරුන්ගේ නිල නිවෙසම පවතී. මේ මාලිගය මුලින් තැනුණේ 1718 වන වසරේදී හෙයින් . 2018 දී එයට අවුරුදු 300යි.


දීවුරුම් දීමේ උත්සවය ආරම්භ වූයේ මැයි 14 වනදා පූර්ව භාග 11.07 ට යි. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අපරභාග 2.47 යි) නව ජනාධිපතිවරයා,  මාලිගයට පැමිණු විට හිටපු ජනාධිපති ෆුෑන්ශුආ ඕලන්දේ මහතා විසින් නව ජනපති පිළිගනු ලැබුවේය. අලුත් ජනාධිපති වරයාට මාලිගය භාරදී හිටපු ජනාධිපතිවරයා මාලිගයෙන් නික්ම ගියේය. අලුත් ජනපතිවරයා මාලිගයේදී ප්‍රංශයේ මැති - ඇමැතිවරුන් හා සමග සුහද සංවාදයේ යෙදුණේ හිටගෙනයි. නිල මැදුරේදී කෙටි දේශනයක් කළ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රන්, උද්‍යෝගදායි ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. මවිසින් ප්‍රංශය උදෙසා ක්‍රියාවේ යොදවනු ලබන නව ප්‍රතිපත්තියෙන්  ප්‍රමුඛ ස්ථානය ලබන්නේ නවීකරණය සහ නිර්මාණශීලිත්වයි” ජනාධිපතිවරයා මේ ප්‍රබල උපදේශය වෙහෙසින්ම යොවුන් පරපුර අරමුණු කොටගෙන පිරිනමන ලදැයි සිතේ.


නව ප්‍රංශ ජනාධිපතිවරයා එලී සි මාලිගයේ පදිංචිවයට ගියේ සිය භාර්යාව හා සමගයි. බොහෝ දෙනාගේ තියුණු අවදානයට ලක්වන කරුණක් වෙයි. ජනාධිපතිවරයා 39 හැවිරිදි  වුවද ජනාධිපති ආර්යාව 64 හැවිරිදිය. ඒ කෙසේද? බොහෝ දෙනාගේ කුහුල නිරාකරණය කරනු පිණිස මේ ප්‍රවෘත්තිය කිව මනාය.


ජනාධිපති ආර්යාවගේ නම: බි්‍රජිත් මැක්රන්. 1953 අප්‍රේල් 13 වන දා උපත ලද ඒ ආර්යාවගේ මුල් නම බි්‍රජිත් ට්‍රොග්නෝ. ඒ කාන්තාව, චොක්ලට් කර්මාන්ත හිමි පවුලක, දරුවන් හය දෙනකුගෙන් බාලයායි. එතුමිය මුලින් විවාහ වී සිටියේ බැංකු ව්‍යාපාරිකයකු හා සමගයි. ඒ විවාහයෙන් එතුමිය දරු තිදෙනකුගේ මාතාව වන්නීය.


1993 නේ එතුමිය ප්‍රංශ භාෂාව හා නාට්‍ය කලාව පිළිබඳ ආචාර්යවරියක්ව සිටියාය. කාලයේදී මැක්රන් ශිෂ්‍යයා. ඇයගේ පරීක්‍ෂාව යටතේ රඟපෑමක යෙදුණේය. පසුව මේ තරුණ ශිෂ්‍යයා හා සමග ඒ ආචාර්යවරිය නාට්‍ය පිටපතක් සකස් කළාය. ආචාර්ය වරිය දරුවාගේ බුද්ධිය ගැන විස්මයට පත්වූවාය. මැක්රන් ශිෂ්‍යයා පසුව ප්‍රංශයේ විශිෂ්ට පවුල්වල දරුවන් උගෙන ගන්නා පැරිස් විදුහලකට බැඳුණේය. ඔහු සිය ආචාර්යවරියට මෙසේ කීයේය. “ඔබට මා අත අරින්න බෑ. මා ආපසු අවුත් ඔබ විවාහ කරගන්නවා”
විවාහයෙන් පසුව එතුමිය එම්මානුවෙල් මැක්රන් දේශපාලනඥයාගේ ඉතාම හිතවත් ඉතාම විශ්වාසවන්ත පුද්ගලයා බවට පත්වූවාය.


නිල වශයෙන් ජනාධිපති පදවි ලද මැක්රන් මහතා සිය ආර්යාවට ද නිල කාර්ය පද්ධතියක් භාර දෙන්නේය. එතුමියට, රටේ පාලනයේ එක් අංශයක් පැවරෙන්නේය. වරප්‍රසාද විරහිත දරුවන්ගේ අධ්‍යාපනය එතුමිය යටතට පත්වන විෂයධාරාවලින් එකකි. 
ප්‍රංශ ජනාධිපති ආර්යාවගේ මුල් විවාහයේ දරුවන් තිදෙනාත් නිල නිවාසයට යති. ඒ තිදෙනා නම් මිලානි දියණියත් සෙබැස්ටියන් සහ ලෝරන්ස් නම් පුතුන් දෙදෙනාත්ය. ඒ දරුවන් තුන්දෙනා වයසින්. ඔවුන්ගේ සුළු පියාවන ජනාධිපති මැක්රන්ට බොහෝ සේ සමීපය.


තමාත් ජනාධිපති මැක්රන් මහතාත් අතර වයස් පරතරය. ඒ ආර්යාව සිනාමුසුව දක්වා සිටින්නීය. ජනාධිපති පදවියට යනවා නම් 2017 තේදීම යන්න. නැත්නම් 2022 ඔබට මගේ මුහුණ ප්‍රශ්නයක් වෙයි” ඒ ඇයගේ කියමනකි.


ප්‍රංශ ජනාධිපති පදවි තරගයෙන් පරාජය ලද ලා පෙන් කාන්තාව, ප්‍රතිඵල ලැබුනට පසුවත් කණ්ඩායම් හා සමග නැටුම් ගැයුම්වල යෙදෙමින්, මැක්රන් ජයග්‍රහණය පිළිබඳ තමා තුළ ද්වේශයක් නොමැති බව ප්‍රදර්ශනය කළාය.


ජයග්‍රහණයේ උත්කර්ෂය එහි උණුසුම කෙමෙන් නිවී යනවිට නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට සිය දේශයේත් තමාගේත් යථා තත්ත්වයට ඍජුව මූණපාන්නට සිදුවන්නේය.


පසුගිය වර්ෂ දෙක තුනේදී ප්‍රංශයට බලපෑ ප්‍රබල අර්බුද කිහිපයක් තිබිණි. අන්තගාමී ත්‍රස්තවාදී ක්‍රියාවලින් ප්‍රංශ රාජ්‍යය තැතිගෙන තිබිණි. හිටපු ජනාධිපතිවරයාට යළිත් ඒ පදවිය ගැන සිතන්නටවත් බැරිවන තරමට කුරිරු අන්තවාදී බලවේග ප්‍රංශයට පහර එල්ල කළහ. නව ජනාධිපතිවරයා සතු ප්‍රමුඛතා අතර ප්‍රධාන ජනතාවට නිදහසේ වෙසෙන්නට ක්‍රම සැලැස්සීමයි. 


අනෙක් ප්‍රබල අභියෝගයනම් සිය පාලනය තහවුරුකොට ගැනීමයි. ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ එක් පාලන වාරයක් අවුරුදු පහකට සීමා වෙයි. 2022 යළි ජනපතිවරණයක් අවශ්‍යවේ.


සිය ස්ථාවරත්වය රැක ගන්නට ප්‍රංශ පාර්ලිමේන්තුවේ (ජාතික සම්මේලනයේ නැෂනල් ඇසෙම්බ්ලියේ) සිය බලය තහවුරු කොට ගත යුතුවේ. ජනාධිපති මැක්රන්  පෘථුල පක්‍ෂයකින් ලබන මහා බලයක් සහිත අයෙකුත් නොවේ. ඔහුගේ “මධ්‍යම ප්‍රතිපදා’ පක්‍ෂයට ශක්තිමත් ජන පදනමක් නොමැත. එතුමා, ජනපති පදවිය ලද්දේ එතුමාට විපක්‍ෂ අපේක්‍ෂිකාවට ඡන්ද දායකයන් ගේ සහාය සිතූ තරමට නොලැබුණු හෙයිනි.


රටේ අචල පාලන බලයක් ලබන්නට නම් 2017 ජුනි මාසයේදී ව්‍යවස්ථාදායක සභාවේ  (ජාතික මණ්ඩලයේ) මන්ත්‍රීවරු තෝරා ගන්නා පිණිස පැවැත්වෙන මහජන ඡන්දයෙන් ජනපති මැක්රන්ගේ පක්‍ෂය ජයගත යුතුවේ.


පාලන මණ්ඩලයේ මන්ත්‍රී සංඛ්‍යාව 577යි.


එහෙත් ජනපති මැක්රන්ට ස්ථාවර මන්ත්‍රී සංඛ්‍යාවක් නොමැත. එතුමාගේ ජනප්‍රියත්වය නිසා ඇතැම් ඡන්ද දායකයන් ජනපතිගේ පක්‍ෂයට ඡන්දය දිය හැකි වුවද දැනට දැකිය හැක්නේ ජනපති මැක්රන්ට රාජ්‍ය පාලනය කරන්නට සිදුවන්නේ සභාග ආණ්ඩුවක් මගින් බවයි. 


නව ජනාධිපතිවරයා විසින් දැනට තෝරාගෙන තිබෙන අපේක්‍ෂකයන් අතුරින් බහුතරයක් කාන්තාවන් සහ දේශපාලන කෝඩුකාරයෝය. 


පාර්ලිමේන්තු ඡන්දය විසින්, ලබන මාසයේදී නව ප්‍රංශ ජනපති මැක්රන්ට කවරාකාරයක පාලන තත්වයක් සකස් කෙරේද? පාර්ලිමේන්තුවේ අර්ථවත් සහයෝගයෙන් එසේ විසඳා ගත නොවුන ප්‍රශ්න රැසක් ජනපතිවරයා හමුවේ ඇත්තේය.


බි්‍රතාන්‍යය, යුරෝපා සංවිධානයෙන් ඉවත්ව යෑම නිසා යුරෝපා සංවිධානයේ අනාගතය තහවුරු කොට ගන්නා පිණිස නව ප්‍රංශ ජනපති විසින් ගත යුතු පියවර නො පමාවම තීරණය කොට ගත යුතුවේ. පදවියේ දිවුරුම් දුන් දිනට පසුවදාම (නවවන සඳුදා) ප්‍රංශ ජනපතිවරයා ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කල් හමුවන්නට ගියේය. ජර්මන් නායිකාව, යුරෝපා සංවිධානය ස්ථාවරව තබා ගන්නටත් ඒකාබද්ධව පවත්වාගෙන යන්නටත්, බැරෑරුම් ප්‍රයත්නයක් දරන්නීය.


නව ජනපති එම්මානුවෙල් මැක්රන් සිය දිව්රුම් දීමේ දේශනය, විනාඩි දොළහකට සීමා කළේය. කථාවට වඩා ක්‍රියාවට මුඛ්‍යතා සපයන බව දක්වන අගයෙන් විය යුතුය.


විවිධ මට්ටමෙන් ආලෝපනය වූ ප්‍රංශයට සන්සුන් බවක් ගෙන එන්නට නව ජනපති එම්මානුවෙල් මැක්රන් මහතා සමත්වන දැක්ම සාමකාමී ජගත් සමාජයේ හැම දෙනෙකුගේම බලාපොරොත්තුවයි.


ප්‍රංශ ඡන්ද දායකයා තුළ දැඩි කළකිරීමකුත් ඇත්තේය. ඡන්ද දායකයන් අතුරින් සීයට තිස්තුන් දෙනෙක්ම එක්කෝ ඡන්දය දීමෙන් වැළකුණහ. නො එසේනම් ඡන්ද පත්‍රය විකෘති කළහ.


සිතිය යුතු කරුණකි.


අලුත්ම ආරංචිය: මැයි මස 15 වන සඳුදා එඞ්වාඞ් ෆිල්ප් ප්‍රංශයේ නව අගමැති වශයෙන් පත්කරන ලදී. ඒ නව ජනපති එම්මානුවෙල් මැක්රන් විසිනි.


ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ගැන පැවසුණු දේ යළි ආවර්ජනය කළ හොත් ඒ ජයග්‍රහණයේ මානව විශිෂ්ටත්වය, තවත්  ළග එන සේ අපට දැකිය හැකිවේ. එතුමා  ජයගත් හැටියේ, ඒ පුවත ප්‍රකාශ කළ ප්‍රංශ සඟරාවක්, නව ජනපතිවරයා නම් කළේ,


“කොලු ගැටයා” හැටියටයි. (ද කිඞ්)


ජනාධිපති මැක්රන් මහතා දේශයේත්, ජගත් මට්ටමේත් කීර්තියට ආයේ ඉතා ඉක්මණින්ය. විදුලිය වේගයෙනි. 


ඉතා යොවුන් වියේ රොක්ස් චයිල්ඞ් බැංකු ව්‍යාපාරයකුව සිට,සිය දේශයේ ආර්ථික අමාත්‍ය පදවිය ලද්දේය. ඉනික්බිතිව, අද ඔහු ලෝකයේ විශාලත්වයෙන් හයවන තැනගන්නා ආර්ථිකයේ නායකයායි. මේ සියල්ල දිනාගන්නා ලද්දේ තිස්නව වන විය වන විටයි. ජයගත් දිනයේ රාත්‍රියේ පැවති උත්සවයේදීත් ඔහුගේ අපරිමිත අනාගත සිහින ගැබ්ව තිබුණේය. ඔහු විජයග්‍රාහී භූමියට” එනවිට, ගායනා කෙරුණේ ප්‍රංශ ජාතික ගීය නොව, යුරෝපා සංවිධානයේ සාමුහික ගීතය වන “සන්තුෂ්ටියේ ප්‍රශස්තිය” නම් බීතොවන් සංගීත නිර්මාණයයි.


නව නායකයාගේ යටිහිත පැහැදිලිය. 


ඔහු හිතන්නේ හුදෙක් ජාතියේ ජනපති හැටියට පමණක් නොව, යුරෝපා සංවිධානයේ ගැලවුම් කාරයා හැටියටයි.


මේ කරුණු ටික විශේෂයෙන්ම යොමු කෙරෙන්නේ අපගේ දේශයේ ‘කොලු ගැටවුන්ටයි” (කිඞ්ස්ලාටයි)


උදාර මානව අරමුණු හුදෙක් හීන නොවේ. ඒවා සැබෑවෙකි. ප්‍රසත්තය, ධෛර්ය අවශ්‍යයි.


 

91 වියේ මහ රැජින රිය පදවන්නීය

සිය රාජකීය වල්ලභ කුමරු වන එඩින්බරෝ ආදිපාදවරයා විශ්‍රාම යනවිට 91ක් හැවිරිදි දෙවන එළිසබෙත් මහ රැජින මෝටෝ  රිය පදවන්නීය. සිය සැමියා විශ්‍රාම යෑමේ පුවත ප්‍රකාශ වී දින කීපයකින් පසු දෙවන එලිසබෙත් මහ රැජින සිය කොළ පැහැති ජගුවා මෝටෝ රිය පදවාගෙන ගියාය. 


ලයිසන් බලපත්‍රයක් නොමැතිව මෝටර් රිය පදවන්නට අවසර ලබන එකම බි්‍රතාන්‍ය ජාතිකයා දෙවන එලිසබෙත් මහ රැජිනයි.


 

ෆිල්ප් කුමරුගේ රාජකාරි ඉටුකරන රාජකීය මිනිපිරිය

සිය රාජකීය සීයාවන ෆිලිප් කුමරුගේ රාජකාරි අනුව කටයුතු කරන්නට පුරුදු වී සිටින කේම්බි්‍රජ්හි ආදිපාද වරිය වන කේට් කුමරිය, සීයා වෙනුවෙන් රාජකාරී කරන්නට කැමැත්තෙන් සිටින්නීය.


 කිරුළ හිමි විලියම් කුමරුගේ භාර්යාව වන කේට් කුමරියගේ වයස 35යි. දෙදරු මවකට අනුඑක් හැවිරිදි සිය ආච්චි වන දෙවන එලිසබෙත් මහ රැජිණත් අනූපස් හැවිරිදි ෆිලිප් කුමාර සීයාත් බලා ගැනීම කේට් කුමරියට මෙන්ම එතුමියගේ සැමියා වන විලියම් කුමරුටද ඉමහත් සතුටකි.


 

බි්‍රතාන්‍යයේ ෆිලිප් කුමරු මහජන ව්‍යාපාරවලින් විශ්‍රාම ගනී

දෙවන එලිසබෙන් මහ රැජිනගේ ස්වාමි පුරුෂයා එඩින්බරෝ ආදිපාදවරයා වශයෙනුත් ෆිලිප් කුමරු වශයෙනුත් හැඳින් වේ. අද ලොව රාජකීයයන් අතර ඉතාම ජනකාන්ත චරිතයක් වන ෆිලිප් කුමරුට, වල්ලභ කුමරු වශයෙන් මහජන රාජකරි සම්බාරයක් ඉටු කරන්නට වේ. අවුරුදු 70 ක් මුළුුල්ලේ විවිධ උත්සව රැස්වීම් නිල සංචාර ආදි වගකීම් රැසක් යහතින් ඉටු කළ ෆිල්ප් කුමරු දැන් 95න් හැවිරිදිය. එකුමරු තව නොබෝ කලකින් ඒ රාජකාරිවලින් විශ්‍රාම ගත්තේය. මේ තීරණය දෙවන එලිසබෙත් මහ රැජිණ විසින් සහමුලින්ම අනුමත කෙරේ. මහ රැජින අඛණ්ඩව සිය රාජකාරි සමූහයේ යෙදෙන්නීය.


 

 

දකුණු කොරියාවට “හඳ” පායයි

දකුණු කොරියාව අද ලොව ඉතාම “රත්වූ’ ස්ථාන අතර මුල් පෙළේ සිටින දේශයකි. එයට හේතුව ඒ රාජ්‍යයේ වරදක් නොවේ. දකුණු කොරියාවට ඉහළින් පිහිටි උතුරු කොරියාව, කාලයක පටන්ම මුළු මිහිතලයම බියපත් කරන, අණක් - ගුණක්, හොඳක් - නරකක් නො අසන, රාක්‍ෂ විමානයක් වැනි රුදුරු බිමක් හැටියට, ජගත් සන්ධානයෙහි තහවුරුව සිටීම මෙයට ප්‍රධාන හේතුවයි.


දකුණු කොරියා රාජ්‍යය ඒ ඉරණමින් ගල්වාගෙන ඒ දේශය සතු භාග්‍යය, වාසනාව හා සාමකාමී සහනය, පුනරුදයට පත්කිරීමේ ශක්තිය, සහිත නව ජනාධිපතිවරයෙක් මැයි මස නවවනදා පදවි ප්‍රාප්ති වූයේය. දකුණු කොරියාවේ නව ජනපති හැට හතර හැවිරිදි මූන් ජේ - ඊන්ය.


නව ජනපතිවරයා වෘත්තියෙන් මානව අයිතිවාසිකම් පිළිබඳව නීතිඥයෙකි.


දකුණු කොරියාව නම් කෙරෙන්නෙ 
“උදෑසන සහනය සහිත දේශය” වශයෙනි.


ඒ දේශයේ ජනතාව කාර්යක්‍ෂමය. නව නිර්මාණ විවිධ වර්ගයේ ව්‍යාපාර, නොයෙක් ආකාරයේ ධනෝපායන මාර්ග ආදිය කෙරේ සිත් යොමු කරන්නට පුරුදුව සිටින දකුණු කොරියානු ජාතිකයන්ගෙන් බහුතරයක් බෞද්ධයෝය.


පසුගිය කාල පරිච්ජේදය තුළදී දකුණු කොරියාවේ පාලන කටයුතුවල, මහා පරිමාණයේ අර්බුද පැන නැංඟේය.


නව ජනාධිපති මූන්ජේ - ඊන්ට පෙර පාලනයේ සිටි පාක් ගෙයුන් - හයි කාන්තාව අන්ත දූෂණ ප්‍රවාහයක් පිළිබඳව අභිචෝදනා ලැබ බන්ධනාගාරගත කරනු ලැබුවාය. ඒ ජනපතිනියට විරුද්ධව උද්ඝෝෂණ -පෙළපාලි  පැවතුනේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ එක් රැස්වීම් සහිතවයි.


ඒ දූෂිත පාලනයේ නටබුන් ඉවත් කිරීම නව ජනපතිට අයත් ප්‍රධාන වගකීමක් වුවද අසංවර උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජන රැල්ල කිසිසේත් නොතකා හැරිය නොහේ.


උතුරු කොරියාව පෙර අන් කිසිම කලකට වඩා දැඩි ආක්‍රමණශීලී සන්ධිස්ථානයකට පත්ව සිටී. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියමයෙන් ඇමෙරිකානු යුදනැව් කොරියානු මුහුදට අවුත් සිටියදීත් උතුරු කොරියාවේ කිං ජොං අන් අන්තනෝමතික ලෙස යුද මිසයිල ගගන ගත කරන්නට පටන්ගෙන සිටී.


උතුරු කොරියාව සිය අන්තනෝමතික මිසයිල ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවමින් මැයි මස 15 වන සඳුදා අලුත්ම මිසයිලයක් අජටාකාශගත කළේය. “හ්වසොං - 12” යැයි නම් කෙරෙන මේ මිසයිලය කිලෝමීටර් 2115.5 ඉහළ අජටාකායට නැඟී කිලෝමීටර් 787 ක් ගමන්කොට ජපාන  සාගරයට පතිත වූයේ යැයි උතුරු කොරියාව පැවසුවේය.


උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවන්නට සැරසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා නොපමාවම ප්‍රකාශ කළේය.


මේ සියල්ලෙන් ඉතාම පැහැදිලි වන්නේ දකුණු කොරියාවේ නව ජනාධිපති මූන් ජේ.ඊන් මහතා හමුවේ පවත්නා දැවැන්ත අභියෝග කන්දරාවයි.


නව ජනාධිපතිවරයාගේ අති සාමකාමී අරමුණ වන්නේ උතුරු - දකුණු කොරියා රාජ්‍ය දෙක සුහද සාමකාමීව පවත්නා තැනට ක්‍රම යෙදීමයි. අවුරුදු හැත්තෑවක් දෙකට බෙදී සිටියද, මේ රාජ්‍ය දෙක අවුරුදු 5000ක් තරම් දිගු කලක්  මුළුල්ලේ, එකම භාෂාවක් භාවිත කරන එකම සංස්කෘතියක් බෙදා හදා ගත්තා ජන කණ්ඩායමක් වූයේ යැයි නව ජනපති කියයි.


නව ජනපති මූන් මහතාගේ උතුරු කොරියාවෙන් දකුණුට ආ සරණගත පවුලකින් පැවතෙන්නෙකි.


“මගේ පියා උතුරු කොරියාවේ කර්කශ පාලනය ඉවසිය නොහැකිව පැන ආ කෙනෙකි. මගේ අරමුණ මේ උතුරු - දකුණු අර්බුදය සාමකාමීව විසඳාලීමයි” ඒ නව ජනපතිවරයාගේ දර්ශනයයි. මෙවැනි පසුබිමකදී දකුණු කොරියාවේ නව පාලකයකු  හැම විටම සිතන්නේ උතුරේ “අසංවර” නායක කිම් ජොංඋන් හා සමග සුහද ගනු දෙනුවක කෙසේද යන කරුණයි.


එහෙත් න්‍යෂ්ටික අවි සහිත මිසයිල අත්හරින්නට උතුරේ කිම් ජොංඋන් එතරම් කැමැත්තක් නොදක්වයි.


අද ලොව “බල බෙදුම’ දෙස මැදහත්ව බලන විට පෙනෙන්නේ උතුරු කොරියාව, ලෝකය මහා යුද්ධයක ගින්නට ඇදහෙළන්නට අර අඳින ගුප්ත ගුහාවක් ලෙසිනි.


උතුරු කොරියාවේ වෙසෙන කෝටි පහක ජන සමූහය යම්කිසි අවි ප්‍රහාරයකට ගොදුරු වනු දකින්නට ද කිසිවෙක් කැමැති නැත. එසේම, උතුරු කොරියාවේ අමානුෂික චින්තකයෙකු නිසා ලෝදනාගේ සාමකාමී ජීවිත විනාශ වනවාටත් කිසිවෙක් කැමැති නොවන්නේය.


නව ජනපති වරයා උතුරු - දකුණු සාමය කෙරේ දැඩි ආවේගයක් දක්වන්නට පෞද්ගලික හේතුවක්ද ඇත්තේය. ඔහුගේ කථාව මෙසේය.


“මගේ මවගේ පවුලෙන්, දකුණට පැන ආ එකම තැනැත්තිය මගේ අම්මාය. ඇයගේ දැන් වයස අවුරුදු 90යි. මගේ අම්මාගේ නගා තාමත් උතුරු කොරියාවේ වෙසෙන්නීය.මගේ අම්මාගේ අන්තිම කැමැත්ත එතුමියගේ නගා දැක ගැනීමයි.


ඩොනල්ඞ් ට්‍රම්ප් කිම් ජොං අන් දෙදෙනා, ලෝකය දෙස බලන ආකාරයත් වෙසෙසින්ම උතුරු කොරියාවේ කිම් ජොං අන්ගේ අවිකාමයත් හොඳින් අධ්‍යයනය කොට, ලෝක බලවතුන් උතුරු කොරියාව, මානව නාශක බලකාමයක තොටිල්ල නොවන තැනට නොපමාවම ක්‍රම සැලැස්සිය යුතුවේ.


ඒ ලෝකාරක්‍ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ මහා මානව හිතවාදී ව්‍යාපාරයේ ප්‍රබල මෙහෙයක් ඉටු කරන්නට දෛවය විසින් නව ජනපති මූන් ජේ ඊන් පත්කරනු ලැබ ඇත්තේය.


දැනට බිජිං  පැවැත්වෙන “කලාප හා මාවත්’ සමුළුවේ ප්‍රධාන ප්‍රස්තුතයක් බවට පත්ව තිබෙන්නේත් උතුරු කොරියාවයි. මේ සමුළුවට එකතුවන රාජ්‍ය නායකයන් තිස් දෙනාගෙන් කෙනකු වන රුසියානු නායක පුටින් මහතා කියා සිටියේ උතුරු කොරියාවට තර්ජනය කළ යුතු නොවන බවයි.


“කලාප හා මාවත් සාම සමුළුවට පියානෝ වාදනයකින් සංග්‍රහ කළ රුසියානු නායක පුටින් මහතා උතුරු කොරියාව ගැන එසේ කීයේ. ඒ දේශය අද ලෝක සාමය පිළිබඳ ක්‍රියාදාමයේදී ප්‍රධාන තැනක් ගන්නා බව, ඒ නායකයා හොඳින්ම දන්නා නිසයි.
දකුණු කොරියාවේ නව ජනපති බූන් සාමකාමී ලෝකයකට පායන පුරහඳක් විය යුතුයි.


දකුණු කොරියාවේ නව ජනපති මූන් ජේ. ඊන්ගේ ප්‍රකාශය මෙසේය. “මම හැම දෙනාටම ජනපතියකු වෙන්නෙමි’ නිදහස් මානව හිතවාදී චින්තනයක් සහිත නව ජනපති උතුරු කොරියාව හා සමග සුහද සාමකාමී සාකච්ඡා අනුමත කරන්නේ මේ පදනමෙනි.


RECOMMEND POSTS