ඔබාමාලා යන ට්‍රම්ප්ලා එන ධවල මන්දිරය



 

“හැම දෙයක්ම නොකඩවාම වෙනස්වේ. ඉතිහාසය යැයි කියන්නේ හුදෙක්ම වෙනස්වීම් පිළිබඳ වාර්තාවක් පමණි.”
පණ්ඩිත ජවහර්ලාල් නේරු 



(1889 - 1964) ඉන්දියාවේ අගමැති, සමස්ත ලෝකයේම ජනමාධ්‍ය, මේ දිනවල ප්‍රබල ජාත්‍යන්තර සිද්ධියක් දෙසට තියුණු අවධානය යොමු කරන්නේය. එයට හේතුව නම්, ඒ ප්‍රවෘත්තිය, මුළු ලොවටම පාහේ බලපාන්නක් හෙයිනි.

බොහෝදෙනා දන්නා පරිදි ඒ පුවත නම්, ජනවාරි විසිවනදා, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, සිදුවන වෙනස් වීමයි.

අට අවුරුද්දක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති පදවිය හෙබවූ බැරක් ඔබාමා මහතා, සදා පදවියෙන් ඉවත්ව යන්නේය.
ඒ පදවියට එදින පත්වන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතායි. ජනාධිපති ට්‍රම්ප් එදා නිලවශයෙන් පදවි ප්‍රාප්ත වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45 වන ජනාධිපතිවරයා වශයෙනි.

ජගත් ජන කණ්ඩායමේ බලතුලනයේදී, ප්‍රධාන ස්ථානයක් හිමිකොට ගෙන සිටින, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පාලන ක්‍රියාදාමයෙහි කේන්ද්‍රිය ස්ථානය නම් ධවල මන්දිරයයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ කලම්බියා දිස්ත්‍රික්කයේ (ඩී.සී) වොෂිංටන්  නගරයේ පෙන්සිල්වේනියා මාවතේ අංක 1600 දරන තැන පිහිටි, ධවල මන්දිරය තරමට, ලෝක ප්‍රකටව පවත්නා වෙන අන් නිල නිවාසයක් ගැන සිතිය නොහැකිය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයා, සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ “නිදහස් ලෝකයේ නායකයා” වශයෙනි. ඒ නිසා අලුතින් ජනාධිපතිවරයෙකු පත්වීමේදී, සම්මත චාරිත්‍ර-වාරිත්‍ර සමූහයක් පැවැත්වෙයි. විචාරකයන් විසින් පැවසෙන පරිදි ඒ චාරිත්‍ර - වාරිත්‍ර අතුරින් ඇතැම් ඒවා දේශපාලන මුහුණුවරක් ගනී. තවත් සමහරක්, පෞද්ගලික මට්ටමේ සිරිත් විරිත්ය.

මෙයට අට අවුරුද්දකට පෙර, ජනාධිපති බැරැක් ඔබාමා, සිය ප්‍රථම පාලනවාරය සඳහා පත්වනවිට, ඔහු ධවල මන්දිරයට “කෝඩු කාරයෙකු” වූයේය. ඒ අවස්ථාවේදී මේ “අලුත්” ජනාධිපතිවරයාට, ධවල මන්දිරය හුරු පුරුදු කරන ලද්දේ එදා පාලනයෙන් ඉවත්ව ගිය ජෝජ් ඩබ්ලිව් බුෂ් මහතා විසින් සහ ඔහුගේ පවුලේ උදවියත් විසිනි.



අලුතෙන් පත්වන ඇතැම් ජනාධිපතිවරු, ධවල මන්දිරයේ ස්වරූපය තම තමන්ට රිසි ආකාරයට වෙනස් කරති. මෙයට නිදර්ශනයක් දැක්විය හැකිය. රොනල්ඞ් රේගන්, ජනාධිපති පදවියට පත්වූයේ ජීමී කාටර්ගේ ජනාධිපති පාලනවාරය අගදීය. ජීමී කාටර් විසින් ධවල මන්දිරයේ පියස්සේ සවිකොට තිබුණු “සුර්යතාප බලකෝෂ” ජනාධිපති රේගන් විසින් ඉවත්කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නව ජනාධිපතිවරයකු පත්වන විට, හිටපු ජනාධිපතිවරයා ඒ අලුතින් එන ජනාධිපතිවරයාට සුබපතා, ඔහුගේ නව පාලනවාරයට සෙත් පතන්නේය. අලුත් ජනාධිපති, විරුද්ධ පක්ෂයේ කෙනෙකු වුවද, ඒ පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයාගේ සුබපැතුම් එම නව පාලකයාට ලැබෙන්නේය.

මෙයට අට අවුරුද්දකට පෙර ඔබාමා මහතා ජනාධිපති පදවියට පත්වෙද්දී ඔහුට ඉඩදී පදවියෙන් ඉවත්වූයේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. ජනාධිපති බුෂ් එදා අලුතින් පදවි ප්‍රාප්තවූ බැරැක් ඔබාමාට සුබ පැතුවේ මෙසේය. (බැරැක් ඔබාමා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි. 

ඔබගේ පාලනය සාර්ථකවනු දැකීම අපගේ කැමැත්තයි. ඒ මොහොතේදී පක්ෂය ගැන සිතීමක් නොතිබිණි. මේ යහපත් ගුණය, විවරණය කරමින් බැරැක් ඔබාමා මහතා මෙසේ කියයි.

එවැනි මොහොතක පක්ෂයක් ගැන සිතීමක් නැත. මේ පදවියේ සිටි අප හැමෝම දන්නා කරුණ නම් මේ පදවිය පුද්ගලයාට වඩා ඉහළින් නැගී සිටින බවයි.

ඇමෙරිකා ජනාධිපති පදවියට අලුතින් පත්වන තැනැත්තාට සුබපැතීමේ උත්සව ගැන කතා-බහ කරනවිට වෙසෙසින් මතක් කළ යුතු සිද්ධියක් වෙයි. එදා අලුතින් පත්වූ ඔබාමා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය පිළිගනු පිණිස, පදවියෙන් ඉවත්ව යන ජෝර්ජ් ඩබ්ලිව්. බුස් මහතා, භෝජන සංග්‍රහයක් පැවැත්වූයේය. ඒවනවිට ජීවත්ව සිටි, හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාටම ඒ භෝජන සංග්‍රහයට ආරාධනා ලැබිණි. 

මෙවර බැරැක් ඔබාමා මහතාත් නව ජනාධිපති ට්‍රම්ප් උදෙසා, භෝජන සංග්‍රහයක් පැවැත්වුවහොත් ඒ සඳහා ආරාධනය කළ හැකි හිටපු ජනාධිපතිවරුන් මෙසේය. ජිමී කාටර්, ජෝර්ජ් බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බැරැක් ඔබාමා. මින් පැහැදිලිවන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති පදවියෙහි සිටි නායකයන් දීර්ඝායුෂ සහිතයන් බවයි.

පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා විසින්, අලුතින් පදවියට පත්වන ජනාධිපතිවරයාට සුහදබව දැක්වීම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති පදවි ප්‍රාප්ති ඉතිහාසයේ ප්‍රශස්ත, යහ ගුණයකි. ඒ අනුව, ඔබාමා, සිය යුතුකම හා චාරිත්‍රය නව ජනාධිපති ට්‍රම්ප්ට ඉටු කළේය. ඔබාමාගේ ප්‍රකාශය මෙසේය. මා කියා සිටින්නට උත්සාහ කළ ප්‍රධාන කරුණ නම්, පාලනය කිරීමත්, ඡන්ද ව්‍යාපාරයේ යෙදීමත් යන දෙකරුණ එකිනෙකට වෙනස් බවයි. ඒ නිසා, පදවියේ දිවරුම් දීමෙන් පසුව, කාර්යාලයට පා තැබූ හැටියේ, නව ජනාධිපති විසින්, ප්‍රබල ලෙස සිතේ තබාගත යුතු කරුණක් වෙයි. ඒ කරුණු මෙයයි. “ඔබ දැන් මේ පෘථිවියේ පිහිටි මහාම සංවිධානයේ භාරකාරයායි. පවුලේ ව්‍යාපාරයක් පාලනය කරන ආකාරයෙන් ඔබට මේ සංවිධානය පාලනය කරන්නට බැරිය.”

ජනාධිපතිවරයාගේ කාර්යාලය, ඉතා දැඩිලෙස ආරක්ෂිතබව, අලුතෙන් පවත්වන ජනාධිපතිවරයාට අවබෝධ වෙයි. විචාරක මතය මෙසේය. “නිදහස් ලෝකයේ නායකයාට, ලැබෙන්නේ ඉතාම සුළු පෞද්ගලික නිදහසක්වීම, ඉතාම දැඩි අවඥාවට තුඩුදෙන කරුණකි”

ධවල මන්දිර සංකීර්ණයේ ප්‍රමාණය අක්කර 18 කි. එහෙත්, ආරක්ෂක සංවිධාන නිසා, එය පෙනෙන්නේ ඉතා කුඩාවටයි.

හිලරි ක්ලින්ටන් මහත්මිය දේශයේ ප්‍රධාන කාන්තාව හැටියට, ඒ  ධවල මන්දිරයේ අටවුරුද්දක් වාසය කළාය. එහි, හිරවී, නිදහසෙන් තොරව සිටීම ඉවසා ගස්නට බැරිවූ ඇතැම් අවස්ථාවන්හි, ඒ කාන්තාව, වෙස්වළාගෙන, ධවල මන්දිරයෙන් පැනගිය බැව් වාර්තා වන්නේය. ඒ කාන්තාව, එසේ දිගු පා ගමන් සඳහා රහසේ ගියේ, රහස් පරීක්ෂක සේවයේ නිලධාරියෙකු හා සමගයි.

ධවල මන්දිරය පුදුම තැනකි. ඒ මන්දිරයේ ඇතැම් තැන්වල කුණුපවා සාමාන්‍ය ආකාරයෙන් ඉවත් නොකෙරේ. මෙයට හේතුව ඉතා කුඩා කඩදාසි කැබෙල්ල, කටු සටහන් ආදී සියල්ල පරෙස්සමෙන් තෝරාගෙන ඒවා අනාගතය උදෙසා ආරක්ෂාකොට තැබිය යුතුවීමයි.

එවැනි ක්‍රියා, රටේ පාලන ව්‍යවස්ථාවෙන් නියම නොකෙරුන ද, ඒවා ශිෂ්ඨ ජීවිතයේ පවත්නා විනීත ගති පැවතුම් වැනිය. ක්‍රියාකාරී ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යනු පිණිස, එවැනි විනීත ගතිපැවතුම් තර්කයට න්‍යායට අවනතවීම් ආදිය අවශ්‍ය වෙයි.
ධවල මන්දිර සංකීර්ණයේ ව්‍යුහයද, ඉතා පුදුමයි. එක් අතකින්, එය නවීන ලෝකයේ ප්‍රබලතම ලෝක නායකයෙකුගේ ප්‍රධාන කාර්යාලයයි. අනික් අතින්, ඒ ගොඩනැගිල්ල, ලොව මුලුල්ලේ ඉතාම ප්‍රසිද්ධ පවුලක් වෙසෙන නිවාසයයි.

පරිපාලන කටයුතුවල නියුක්ත නිලධාරී මණ්ඩලය විවිධ වගකීම් සම්භාරයක බර උසුලන්නේය. 

නිවාස පාලන රාජකාරිවල යෙදෙන පෘථුල කණ්ඩායමක්ද එහි සිටී. ධවල මන්දිරයේ නිවාස කාර්ය මණ්ඩලයේ සිටින තැනැත්තන්ගේ ගණන 100 ඉක්මවයි. සේවාකාන්තාවන්, නිවාස පාලක නිලධාරීන්, සුපවේදීන්, මාලාකාරයන්, නිවාස උපදේශකයන් ආදීහු ඒ අතර වෙති.

වර්ග අඩි පණස්පන් දහසක් පුරා විහිදෙන, “ධවල මන්දිරය” නම් කෘත්‍යය විධායක නිවාසය පාලනය කරන්නට මේසා දැවැන්ත කාර්ය මණ්ඩලයක් අවශ්‍යවන බව අලුතින් ජනාධිපති පදවියට පත්වන කෙනෙකුගේ පවා විස්මයට හේතුවේ.

ධවල මන්දිරය, පෙනෙනවාටත් වඩා විශාල යැයි. ඒ පිළිබඳව විවරණයන්හි යෙදෙන අය පවසා සිටිති. යථා තත්ත්වය නම් “ධවල මන්දිරයෙහි” තට්ටු හයක් තිබෙන බවයි. ඊට අතිරේක වශයෙන් කුඩා අන්තර් තට්ටු දෙකක්වේ. මන්දිරයේ පොළොව යට බිම් මහල් දෙකකි. ප්‍රධාන මුළුතැන් ගෙය පිහිටියේ එහිය.

ජනාධිපතිවරයාගේ පවුලේ අයගේ නිවාස පිහිටියේ දෙවන, තෙවන මහල්වලය.

අලුතෙන් පත්වන ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට, අතිශය සුඛෝපභෝගී පෞද්ගලික මන්දිර කිහිපයක් ඇත්තේය. ඒ නිසා, මේ අලුත් ජනාධිපතිවරයා, සිය නිල නිවාසය සඳහා, යම් කිසි වෙනස් ආකාරයෙක සැලැස්මක් සකස්කොට ගනීදැයි ඇතැම්මු කුකුසට පත්වෙති.

ධවල මන්දිරය තමාට පුංචියැයි සිතුණොත්, ඔහු. ධවල මන්දිරයෙන් බැහැරි, වෙන අන් මැදුරක වෙසෙමින්, සතියකට දින කිහිපයකට පමණක් ධවල මන්දිරයට පැමිණෙන්නටත් ඉඩ ඇත්තේය.

අසම්මත චින්තනය උදෙසා නමක් ලබා සිටින නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එවැනි තීරණයකට එළඹිය ද, එය විස්මයට හේතු නොවේ.

ධවල මන්දිරයෙහි ඉතාම කීර්තිමත් කාර්යාලය නම්, ඒ මන්දිරයේ බටහිර අංශයේ පිහිටි ඕවාල කාර්යාලයයි. (ඉංගිරිසියෙන් ධඪ්ඛ ධත්‍ත්‍ෂක්‍ෑ)

මෙය, ජනාධිපතිවරයාගේ ප්‍රධාන නිල කාර්යාලයයි. අද ලොව ප්‍රධාන පාලකයන් අතුරෙන් මේ ඕවාල කාර්යාලයට නොගිය නායකයෙකු ගැන හිතන්නටවත් බැරි තරම්ය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය කෙරෙහි පමණක් නොව, ඇතැම්විට මුළු ලෝකය කෙරෙහිම බලපාන ගැඹුරු තීරණ පහළවන්නේ මේ ඕවාල කාර්යාලයේ සාකච්ඡා මගිනි.

ධවල මන්දිරය ගැන කතා-බහ කරන විටෙක කිසිසේත් අමතක කළ නොහෙන පෞද්ගලික අංශයක් වෙයි.

මේ චිරප්‍රසිද්ධ මන්දිරය, ජගත් දෛවය පාලනය කිරීමේ යෙදෙන, මානව ඉරණම ඒ-මේ අත හරවන ප්‍රබල ආයතනයක් පමණක් යැයි කිසිසේත් සිතිය යුතුනොවේ. මෙය, සුහද පවුලක නවාතැනයි. ධවල මන්දිරයේ ඒ අංශය ඇතැම් විටෙක හද සසල කරන සුළුය. 

පියා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය පාලනය කරමින්, බැහැර ලෝකයේ දෛවය වෙනස්කරන ආකාරයේ පියවක් ගනිද්දී, සිඟිති දරු පැටව්, ඒ මහා මන්දිරයෙහි වැඩෙති.

එවැනි දරුවෝ, ඇතැම්විට මැණික් එබ්බූ රන් කූඩුවල වැඩෙන දරුවන් වැනිය.

ඔවුන්ගේ ජගත් කීර්තිමත් දෙමාපියන්ට, තමන්ගේ දරුවන්ට පිදිය යුතු දෙමාපිය ආදරය ලබා දෙන්නටත් ඇතැම් විටෙක ඉඩ නැත.
“නිවාසය - ධවල මන්දිරයේ පෞද්ගලික ලෝකයේ ඇතුල් පැත්ත” නමින් ග්‍රන්ථයක් කරන කේඞ් ඇන්ඩර්සන් බ්‍රෝවර් නම් ලේඛිකාව, හිලරි කාන්තාව ධවල මන්දිරයේ සිටියදී ඇයට මූණපාන්නට සිදුවූ සිද්ධියක් සඳහන් කරන්නීය. “හිලරි කාන්තාවගේ දියණියවූ චෙල්සි ක්ලින්ටන්, ධවල මන්දිරයේ සිටියදී වරක් රෝගාතුර වූවාය. හිලරි කාන්තාව, ධවල මන්දිරයේ මුළුතැන්ගෙට ගොස් සිය දියණියට “බිත්තර අහරක්” කන්නට සූදානම් වූවාය. ඒ කාන්තාව බිත්තර බදින බඳුනක් සෙව්වාය. ධවල මන්දිර නිලධාරිණියෙක් එහි අවුත් ඇයට කියා සිටියේ පහළ මාලයෙන් ඔම්ලට් එකක් ගෙනත් දෙන්නැයි කියායි. ධවල මන්දිරයේ ප්‍රධාන කාන්තාව, බිත්තර සකස් කරන්නට වෙහෙසෙනු දකින්නට ඔහු කිසිසේත් කැමැති නොවූයේය.

එහෙත්, හිලරි කියා සිටියේ, මගේ දරුවාට, මාවිසින් මේ කෑම සකස් කොට දිය යුතු බවය. මා ඇමෙරිකාවේ කොහේ හිටියත්, මගේ දරුවාට මෙවැනි විටෙක උයා දෙන්නේ මමමයි.”

ධවල මන්දිරයේ වෙසෙන මහ පවුලේ දරුවන් ගැන හිත සසලවන ලිපියක් මම නොබෝදා කියවුවෙමි. යම් දිනෙක එහි සම්පූර්ණ අනුවාදයක් ලියන්නට මම කැමැත්තෙමි. 

එහි පුවත, සරලව මෙසේය.

ඔබාමා පවුල ධවල මන්දිරයට එන්නට පෙර එහි සිටියේ ජොර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපති පවුලේ කුඩා දියණියන් දෙදෙනෙකි. ඒ දෙදෙනා. ජෙනා සහ බාබරා නම් වෙති. ඒ දෙදෙනා, ධවල මන්දිරයට ආයේ ඔබාමා යුවලගේ කුඩා දියණියන් දෙදෙනා ධවල මන්දිරයට ආ වයසේදීමය. ඔබාමා පවුලේ දියණියන් දෙදෙනා සාශා සහ මාලියා නම්වෙති. බුෂ් ජනාධිපති වරයාගේ දියණියන් දෙදෙනා, අද ධවල මන්දිරයෙන් නිකුත්ව යන සාශා සහ මාලියා නම් ඔබාමා දියණියන් දෙදෙනාට, අතීතය මතක්කොට දෙති. බුෂ් දියණියන් දෙදෙනා, එදා මුල්වරට ධවල මන්දිරයට ආ. ඔබාමා දියණියන් දෙදෙනා පිළිගත්හ.

ඒ දෙදෙනා ඒ අතීතය සිහිපත් කරමින්, ඔබාමා දියණියන් දෙදෙනා අමතන ආකාරය, හද සසලවන මිනිස් ගුණයෙන් පිරුණේවෙයි.
ඔබාමා දියණියන් දෙදෙනා ධවල මන්දිරයේ උදාර ලෝකයෙන් බැහැරව, පෘථුල විස්තෘත ලොවකට එළඹෙනවිට, ඔවුන් තුළ ඇතිවිය හැකි තැවුල, සනසන අටියෙන් ලියැවුණු බුෂ් දියණියගේ ලිපිය ධවල මන්දිරයේ ජගත් පරිපාලන තන්ත්‍රයක ඉතිහාසය තරම්ම මානව ජිවිතය කෙරේ බලපාන්නේ යැයි මට සිතේ.

ජනවාරි විසිවනදායින් පසුව, ට්‍රම්ප් පවුලට හිමිවන ධවල මන්දිර ජිවිතය, කොයි ආකාරයෙන් හැඩගැසේදැයි හරිහැටි සිතාගත හැකි නොවේ.

45 වන ජනාධිපති වශයෙන් දිවුරුම්දී නිල වශයෙන් පදවි ප්‍රාප්ත වූ විට නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රප්ම් විසින් කවර ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදෙනු ඇද්දැයි යන්න දැනටමත් ලොවපුරා කුකුසට හේතුවී පවතී.

ශ්‍රී ලංකාවේ අපගේ ජීවිත කෙරේ බලපාන ක්‍රියාදාම නව ට්‍රම්ප් ප්‍රතිපත්තිය නිසා උදාවේදැයි යන්න අපගේ අවධානය ලද යුතු පැණය වෙයි.

ට්‍රම්ප් බැල්ම ශ්‍රී ලංකාවට හානිදායී වන බවක් නම් කිසිවිටෙක සිතිය හැකි නොවේ.

දහම් ගැටයක් පැරණි සිංහලයෙනි, ඇතැම් තැනක දහම්ගැට නම්, කවි වර්ගයක් ව්‍යවහාර වූයේය. භාෂාව දන්නා අය, ප්‍රහේළිකා ස්වරූපයෙන් කවි බැන්දහ. ඒ නිබන්ධන දහම් ගැට යැයි හැඳින්වින.
ඉන් එකක් මෙසේය.

“මෝ මරණටම කී
පින් හාමිනේ පුත්වන්
තොටගමුවේ අයියට
තුට්ටුව පණම කරමි”


මෙහි තේරුම දැනගන්නට බලන්න මීගාව ලිපියෙන් මෙම කවිය විවරණය කරන්නෙමි.


RECOMMEND POSTS