ඇමෙරිකාවේ 45 වැනි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්





තම අභිමානය පෙරදැරි කරගනිමින්, ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට’ පත් කරලීමේ අරමුණින් ඇමෙරිකානුවෝ ඔවුන්ගේ 45 වැනි ජනපතිවරයා තෝරා ගත්හ. ඒ, ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිදු දේශපාලන පසුබිමක් නොමැති ව්‍යාපාරිකයෙකි. ඔහු හමුදා නිලධාරියකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ නොවෙයි. මෙවැනි අයකු ජනපති ධුරයට පත්වුණු පළමු අවස්ථාව මෙයයි. මෙය ඓතිහාසික ජයග්‍රහණයකි. බදු වංචාකාරයෙක්, කාන්තා ලෝලියෙක්, කාන්තාවන්ට නිගරු කරන්නෙක් ආදී විවිධ නම්වලින් හඳුන්වමින්, නිසි දේශපාලන දැක්මක් නැතැයි හා පැහැදිලි ප්‍රතිපත්තියක් නැතැයි බොහෝ දෙනාගේත් ජනපති ධුරයෙන් සමුගන්නා පළමු කළු ජනපති බැරැක් ඔබාමාගේත් හාස්‍යයටත් උපහාසයටත් ලක් වුණු ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිර සටන ජයගනිමින්, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ ඇමෙරිකානුවන් පමණක් නොව, සෙසු ලෝක වාසීන් ද මවිතයට පත් කරමිනි.

(ට්‍රම්ප් සාර්ථක ව්‍යාපාරිකයෙකි. ප්‍රකෝටිපතියෙකි)

ලෝකෙට ලොක්කා යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් ජනාධිපති ‘රාජ්‍යාන්තර’ නායකයෙකි. ලොව සියලුම ජගත් සංවිධාන පසුපස සිටින්නේත්, එම සංවිධාන පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නේත් මූල්‍ය ආධාර දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය. ලෝක යුද්ධ ආරම්භ කරන්නේත්, අවසන් කරන්නේත් ඇමෙරිකන් ජනපතිවරයාය. ලෝක සාමය තීරණය කරන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයායි. දැන් එම ධුරය හිමිවී ඇත්තේ ව්‍යාපාර මනසකින් යුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ටය.
ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යනවා යැයි ඇමෙරිකන් ජනතාවට පොරොන්දුවක් දී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්, ලෝක බලවතා ලෙස කුමක් කරාවිද ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු අනතුරු අඟවා තිබුණු අන්දමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝකය විනාශ කරාවිද ? තෙවැනි ලෝක යුද්ධයකට මුල පුරාවිද ? සංක්‍රමණික අර්බුදය අවුල් ජාලයක් කරාවි ? රුසියාව සමඟ මිතුරු වී, උතුරු කොරියාවට බුරුළක් දේවිද ? මේ මොහොතේ කාගේත් සිත්වලට නැගෙන්නේ මෙවැනි ප්‍රශ්නය.
කිසිදු දේශපාලන පසුබිමක් නොමැති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනපති ධුරයට පත් වෙද්දී, ජනපති ආර්යාවක, සෙනෙටර්වරියක, රාජ්‍ය ලේකම් වරියක ද වන ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරාජයට පත්වූයේ, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබ එය ගිලිහුණු කාන්තාව වශයෙනි.
හිලරි ක්ලින්ටන් ජනපතිවරණයට පිවිසුණේ පැහැදිලි දැක්මක් සහිතවය. ආරම්භයේ දී ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ පවා සහාය ඇයට හිමිවිය. ඒත්, හිලරිට අවාසියක් විය. ඒ, 2008 වසරේ ඔබාමා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය වූයේ හිලරිය.

(මේ වසරේ ජූලි මාසයේදී පැවැති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලයේදී)

හිලරි, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු තොරතුරු රාජ්‍ය රහස් සිය පෞද්ගලික ඊ මේල් හරහා පරිශීලනය කළාය. මෙය බරපතල වරදක් විය. මෙම ඊ මේල් අවභාවිතය ගැන අනාවරණය වූයේ හිලරිගේ පෞද්ගලික ඊ මේල් පරිගණක දත්ත සොරකු (හැකර්වරයකු) විසින් සොරා ගනු ලැබීමත්, විකිලීක්ස් වෙබ් ජාලය ඔස්සේ ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය.
හිලරි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරද්දී, ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට කැරැලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. ඒ, 2012 වසරේදීය. ඒ වනවිට ඇමෙරිකාවේ සහාය ඇතිව ලිබියානු විපක්ෂ කැරැලිකරුවෝ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි මරා දමා රටේ බලය අල්ලා ගෙන සිටියාහ. ඇමෙරිකාවේ සහාය ඇතිව ලිබියානු විපක්ෂය රජයක් පිහිටුවා තිබුණ ද ගඩාෆිට එරෙහිව සටන් වැදුණු සෙසු ඉස්ලාමීය කල්ලි (අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත් මේ අතර සිටී) මෙම ලිබියා රජයට එරෙහිව යන්න විය.
බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදී ඇමෙරිකන් තානාපති ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් ඇතුළු ඇමෙරිකානුවන් සිවු දෙනෙකු මරා දැමීමට මෙම සන්නද්ධ කල්ලි කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු, හිලරි ක්ලින්ටන්ට සෙනෙට් කමිටුවක් හමුවේ පෙනී සිටිමින් වග උත්තර බැඳීමට සිදුවූවාය. එහිදී හිලරි නිර්දෝෂී වුවත්, බෙන්ගාසි තානාපති කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ‘නොසැලකිල්ල’ නිසා යැයි චෝදනා එල්ල විය. මෙය හිලරිට කළු පැල්ලමක් විය.

(ජනාධිපතිවරණ විවාදයකදී ප්‍රතිවාදී හිලරිට සවන් දෙමින්)

ජනපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ද හිලරිගේ ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කිරීමට එෆ්.බී.අයි. කාර්යාංශය කටයුතු කළේය. බදු වංචාකාරයකු කියාත්, කාන්තාවන්ට නිගරු කරන්නෙක් කියාත් ‘ගැහැනු පෙරේතයකු’ කියාත් ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොතෙක් චෝදනා එල්ල වුවත්, ඊ මේල් අවභාවිතය සම්බ්න්ධයෙන් හිලරි ක්ලින්ටන්ට ඇමෙරිකන් ජනතාවගෙන් කිසිදු ‘සමාවක්’ ලැබුණේ නැත. එය ඇයට එල්ල වුණු දෙවැනි කළු පැල්ලමයි. ඇය ලැබූ පරාජයෙන් එය පැහැදිලිය.
එක් රූපවාහිනී සජීවී විවාදයකදී ඩොනල්ඞ් ට්‍රම්ප්, හිලරිගේ මුහුණටම මෙසේ පැවැසුවේය. ‘රාජ්‍ය ලේකම් විධියට ඊ මේල් අවභාවිතා කිරීම කිසිසේත් සමාව දෙන්න පුළුවන් කාරණාවක් නොවේ. ඒක දේශද්‍රෝහීකමක්. මං ජනාධිපති වුණොත්, නීතිපති ලවා ඔබට විරුද්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. නිසි දඬුවම් දෙනවා.’
ඩොනල්ඞ් ට්‍රම්ප් උපන්නේ 1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යොක්හිදීය. ඩොනල්ඞ්ගේ පියා ෆ්‍රෙඞ් ට්‍රම්ප් නිව්යෝක්හි අංක එකේ දේපොල වෙළෙඳ සමාගම් හිමිකරුවෙක් සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් විය. මව එලිසබත් ජර්මන් ඇමෙරිකානු කාන්තාවකි. ඩොනල්ඞ් වගේම ඔහුගේ පියා ෆ්‍රෙඞ් ද දැඩි මතධාරී ඇමෙරිකානුවෙකි. වරක්, අප්‍රිකානු කළු ජාතිකයන්ට මහල් නිවාස කුලියට ලබා දීමට දැක්වූ විරෝධයක් හේතුවෙන් ෆ්‍රෙඞ් ට්‍රම්ප් අත්අඩංගුවට ගනු ලැබීය. ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව ඔහුට නඩු පැවැරීමට ද කටයුතු කළේය. ඩොනල්ඞ්ගේ මිත්තනිය, ෆ්‍රෙඞ්ගේ මව ස්කොට්ලන්ත ජාතික කාන්තාවකි.
අවුරුදු 13 දී නොහික්මුණු ගති නිසා ඩොනල්ඞ් පාසලෙන් නෙරපා දැමුණු අතර පියා ෆ්‍රෙඞ්, ඔහු නිව්යෝක් හමුදා ඇකඩමියට ඇතුළත් කළේය. ඩොනල්ඞ් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජයග්‍රහණ රැසක් දිනා ගනිමින් ඉදිරියට පැමිණ, කඩිසර කාර්යශූර ගැටවරයකු ලෙසිනි.
ඩොනල්ඞ් ට්‍රම්ප් අද ව්‍යාපාරිකයෙකි. ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වූයේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයෙනි. ඒ, පියාගෙන් උරුමවුණු දේපොල වෙළෙඳාම් සමාගම ඉදිරියට ගෙන යමිනි. දේපොල මිලදී ගැනීම්, විකිණීම් මෙන්ම ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් නිව්යෝක් නුවරත්, නිව්යෝක් ජනපදයේත් ට්‍රම්ප්ගේ සමාගම් ප්‍රමුඛත්වයක් ගෙන සිටී. ඩොනල්ඞ් සාර්ථක ව්‍යාපාරිකයකු යැයි බොහෝ දෙනාගේ මතයයි. මේ වනවිට ඔහුගේ වත්කම්වල වටිනාකම අමෙරිකන් ඩොලර් බිලියන 4.5 ක් යැයි පැවැසෙයි.
දේපොල වෙළෙඳාම් කටයුතුවලට පරිබාහිරව, රූපවාහිනී රියැලටි වැඩසටන් නිර්මාණකරුවකු ලෙස ද ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකටය. ‘ඇප්රෙන්ටිස්’ යනු එවැනි රියැලටි වැඩසටහනකි. තරුණ දක්ෂ ව්‍යාපාරිකයකු තෝරා, ඔහුට හෝ ඇයට ඉහළ රැකියා අවස්ථාවක් උදා කරදීම ඇප්රෙන්ටිස්’ රියැලටි වැඩසටහනේ අමුණය. මෙහිදී තරගකරුවන්ට දැඩි පීඩනයක් යටතේ (ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් විවේචන සහ බැණුම් මැද) එකිනෙකා පරයා තරග කර ජයග්‍රහණය කිරීමට සිදුවෙයි. ‘ඇප්රෙන්ටිස්’ වැඩසටහනේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන්නේ ඩොනල්ඞ්මය.

(මැතිවරණ රැලියක් අමතමින්)

ඊට අමතරව ඩොනල්ඞ් ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍යවලත් හොලිවුඞ් චිත්‍රපටවලත් සුළු චරිත නිරූපණය කර ඇත. ‘හෝම් අලෝන්’, ‘සෙක්ස් ඇන්ඞ් ද සිටී’, ‘ටූ වීක්ස් නෝටිස්’ සහ ‘ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල් එයාර්’ එවැනි රූපවාහිනී කතා සහ චිත්‍රපටය.
රූපවාහිනී වැඩසටහන් අතරින් ඩොනල්ඞ් ට්‍රම්ප් වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ, ලෝක රූ රැජින තරගාවලිය සංවිධානය සම්බන්ධයෙනි. ලොව සුරූපිනියම තරුණිය තෝරා ඇය රූ රැජිනක් ලෙස කිරුළු පැළැඳවීමට මැදිහත්ව කටයුතු කළේ ඩොනල්ඞ්ය. ලෝක රූ රැජින කිරුළ තරගාවලි සංවිධානය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඩොනල්ඞ්ට සහ ‘ට්‍රම්ප්’ සමාගමට විවිධාකාරයෙන් දොස් අහන්න සිදුවිය. තමන්ට කැමැති සුරූපිනියන් කිරුළු පළන්ඳනවා යැයි ඩොනල්ඞ්ට චෝදනා එල්ල විය. එක් අවස්ථාවක, ඩොනල්ඞ්ගේ අනුදැනුම මත කොකේන්වලට ඇබ්බැහි වූ තරුණියක කිරුළු පැලැඳීම සිදුවිය. ඒ ඇය මත්ද්‍රව්‍ය භාවිතා කරන තැතැත්තියක බව තහුවරු වීමෙන් ද පසුවය.
ඩොනල්ඞ් ට්‍රම්ප් තෙවරක් විවාහ වූ අයෙකි. පළමු විවාහය සිදුවූයේ 1977 දීය. එම අවස්ථාවේදී ඔහුගේ බිරිය වූයේ චෙච්නියාවේ උපත ලැබූ ඉවානා සෙලින්කෝවාය. ඩොනල්ඞ්ගෙන් දික්කසාද වුණු ඉවානා පසුව මාධ්‍ය හමුවේ පවසා තිබුණේ විවාහය දෙදරා යෑමට හේතුව ඩොනල්ඞ් ඇයට නිරන්තරයෙන් ‘ලිංගික අඩන්තේට්ටම්’ කළ නිසා කියාය. ඩොනල්ඞ්ට සහ ඉවනාට දරුවෝ තිදෙනෙකි. ඒ අතරින් ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) සහ දියණිය ඉවන්කා කැපී පෙනෙති. මෙවර ජනපතිවරණයේදී ඩොනල්ඞ්ගේ රැළිවලට, විවාදවලට ඉවන්කා ද සහභාගී වූවාය. ‘කාන්තාවන්ට නිගරු කරන චරිතයක් ඇති අයකු’ යැයි තම පියා වන ඩොනල්ඞ්ට චෝදනා එල්ල වෙද්දී, වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත්වෙද්දී, පියා  වෙනුවෙන් කතා කිරීමට ඉවන්කා වේදිකාවට ආවාය. ජනපතිවරණයට පෙර පැවැති අවසන් ජන රැළියේදී ද ඉවන්කා රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ තම පියා ගැන විශ්වාසය තබා ඔහුට ඡන්දය දෙන ලෙසටය.
ඉවානා සෙලින්කෝවා සමඟ විවාහ වී සිටිද්දී, ඩොනල්ඞ් ට්‍රම්ප්, මාර්ලා මේපල්ස් නැමැත්තිය සමඟ අනියම් පෙම් හඹයක පැටැලුණේය. ඉවානාගෙන් වෙන් වී, 1993 දී ඩොනල්ඞ්, මාර්ලා මේපල්ස් සමඟ විවාහ වූයේය. මොවුන් දෙදෙනාට එක් දියණියක් සිටී. 22 හැවිරිදි ඇය, ට්‍රම්ප්ගේ දේපළ වෙළෙඳාම් සමාගමේ උප සභාපතිවරිය ලෙස කටයුතු කරන්නීය. මාර්ලා සහ ඩොනල්ඞ් දෙදෙනා වෙන්වූයේ 1997 වසරේදීය. 1999 දී ඔවුහු දික්කසාද වූහ.

(උප ජනාධිපතිධුරයට පත්වූ මයික් පෙන්ස් සමග)

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වත්මන් බිරිය මෙලානියාය. ජනපතිවරණයට පෙරාතුව පැවැති රැළිවලටත්, සජීවී රූපවාහිනී විවාදවලටත් මෙලානියා සහභාගී වූවාය. ‘මගේ සැමියා කාන්තාවන්ට නිගරු කරන නරුමයක් නොවේ’ යැයි ඇය අවස්ථා කිහිපයකදී මධ්‍ය හමුවේ අවධාරණය කළාය. මෙලානියා සහ ඩොනල්ඞ් අතර සම්බන්ධ ගොඩනැගුණේ 1998 වසරේදීය. දෙදෙනා විවාහ වූයේ 2005 දීය. මෙලානියා 2006 දී පුතකු බිහිකළාය. ඔහු බැරොන් ට්‍රම්ප්ය. ඩොනල්ඞ් ට්‍රම්ප් පස් දරු පියෙකි. මුණුපුරු මිණිපිරියන් අටකට සීයා කෙනෙකි. එසේ වුවත්, පසුගිය මාස කිහිපය පුරා පැවැති ජනපතිවරණ රැළිවලදී පොඞ්ඩන් සහ ළඳරුවන් වඩා ගනිද්දී ඩොනල්ඞ් අසීරු අවස්ථා කිහිපයකට මුහුණ දුන්නේය. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් සමාජ ජාල ගිණුම සමඟ ඇමෙරිකාවේත් ලොව නන්දෙසිනුත් මිලියන 10.7 ක පිරිසක් එක් වී සිටීම ද සුවිශේෂී කරුණකි.
ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ ආසන 288 ක් හිමි කර ගනිමිනි. හිලරි ක්ලින්ටන්ට හිමිවූයේ ආසන 215 ක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ 270 සීමාව පසුකිරීමය. ජනපතිවරණයේදී ඇමෙරිකාවේ ජනපද 50 න්, ජනපද 11 ක් තීරණාත්මක විය. ඒ, එම ජනපදවල වැසියන් කාට ඡන්දය දේවිදැයි කල්තියා කිව නොහැකි වුණු නිසාය. මෙම ඡන්ද ‘පාවෙන’ එසේත් නැතිනම් ‘දෝලන’ ජනපද ලෙස විශ්ලේෂකයෝ හඳුන්වා දී තිබුණි. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජය තහවුරු වූයේ පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. ඇමෙරිකන් ව්‍යවස්ථාදායකය සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකින් සමන්විත වන අතර එම මන්ත්‍රී මණ්ඩල දෙකෙහි ද බහුතර බලය දැන් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පවතී. ජනපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන වසරේ එනම් 2017 ජනවාරියේ සිට සිවු වසරක කාලයක් සඳහා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
ජයග්‍රහණයෙන් පසු, පක්ෂ ආධාරකරුවන් අමතමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණයේ කතාව පවත්වමින් පළමුවෙන්ම ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් ගැන පැවැසුවේය. ‘ඇය මට ඇමතුමක් දීලා සුබ පැතුවා’ ට්‍රම්ප් පැවැසීය. ජනපති සටනේදී හිලරිගේ ධෛර්යවන්තකම ඇගැයීමට ද ලක් කිරීමට ද ට්‍රම්ප් අමතක නොකළේය. ජයග්‍රහණය කරා ආ ගමනේදී තමන්ට සහාය දැක්වූ සැමට නමින් අමතමින් සුබ පැතීමට ට්‍රම්ප් අමතක නොකළේය.
සෑම ජාතියක් සමඟම, සෑම රටක් සමඟම ගැටුම් ඇති කර නොගෙන, සහයෝගයෙන් කටයුතු කිරීමට තමා දුන් ඡන්ද පොරොන්දු අනුව ක්‍රියා කරන බවත් ඇමෙරිකාව විශ්ෂ්ඨත්වයට කරා මෙහෙයවීමට නායකත්වය දෙන බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී පැවැසීය.
පසුගිය දින කිහිපයේ ට්‍රම්ප් කියා සිටියේ ජනපතිවරණය ළං වෙද්දී තමාහ හරිහැටි නින්ද යන්නේ නැති බවය. එහෙත් දැන් ඔහුට දින කීපයක් සුව සේ නිදා ගැනීමට හැකිවනු ඇත.

ලුසිත ජයමාන්න
ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS