ඇමෙරිකාවේ 45 වැනි ජනපති කවුද ? හිලරි ද ? ට්‍රම්ප් ද ?



“හැමවිටම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ යම්කිසි සුවිශේෂී බවක් ඇත්තේය. ලොව පුරා සාමයේත්, ප්‍රගතියේත්, සෞභාග්‍යයේත් බලවේගයක් වීමේ අසහාය බලයක් ඇමෙරිකාව සතුය. හොඳ දේ කිරීමත්, ශ්‍රේෂ්ඨයන් වීමත්, අපි කිසිවිටෙකත් නොනවත්වමු.” හිලරි ඩයෑන් රෝඩම් ක්ලින්ටන්. “ ඩිමොක්‍රැටික්” අපේක්ෂිකාව. “මම ඉවෙන් කටයුතු කරන අයෙක්මි. මම හැම දෙයක්ම උගෙන ගන්නෙමි.” ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප්. රිපබ්ලිකන් අපේක්ෂකයා.

 

 


දෙදහස් දහසයේ නොවැම්බර් මස අටවනදා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඡන්ද විමසීම පැවැත්වෙයි. ඒ දේශයේ, මීළඟ ජනාධිපති තෝරාගනු ලැබෙන්නේ ඒ ඡන්දයෙනි. එදින ඡන්දයෙන්, ජනාධිපති බවට පත්වන තැනැත්තා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45වන ජනාධිපති හෝ ජනාධිපතිනිය වේ. ඇමෙරිකාව නිදහස ලබා අවුරුදු 240කි. දැනට ජනාධිපති වශයෙන් පාලනයේ සිටින බැරක් ඔබාමා, 44වන ජනාධිපතිවරයායි.

පාලන නීති ප්‍රකාර, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති තේරීමේ තරගයක් අවුරුදු හතරකට වරක් පැවැත්වේ. ජනාධිපති තේරීමේ සටන පවත්වනු ලබන්නේ හැම දීර්ඝ වර්ෂයකදීමය. එහි ඡන්ද නීතියට අනුව, ජනාධිපති තේරීමේ තරගය පැවැත්වෙන්නේ නියමිත වර්ෂයේ නොවැම්බර් මාසයේ පළමුවන සඳුදායින් පසුව එළඹෙන පළමුවන අඟහරුවාදායි. සුදුසු අවුරුද්දේ නොවැම්බර් මාසයේ පළමුවන දිනය අඟහරුවාදා දිනයක් වී නම් එදා ඡන්දය විමසනු නොලැබේ. එවිට ඡන්දය පැවැත්වෙන්නේ පළමුවන සඳුදාට පසුව උදාවන අඟහරුවාදායි.

මේ අවුරුද්දේ නොවැම්බර් මස පළමුවනදා අඟහරුවාදා දවසක් වෙයි. ඒ නිසා, මෙවර ඡන්දය පැවැත්වෙන්නේ අටවනදායි. එය පළමුවෙන් එළඹෙන සඳුදාට පසුව එන අඟහරුවාදා හෙයිනි.

ඒ දේශයේ ජනාධිපතිවරයෙකුගේ පාලන වාරය අවුරුදු හතරකි. ජනාධිපතිවරයකුට දෙවනවර ද තරග කළ හැකිය. උපරිම ජනපති පදවි වාර ගණන දෙකකි. එය ස්ථාවර සම්මුතියයි. බැරක් ඔබාමා දෙවරක් ජනාධිපති පදවියේ සිටියේය. ඒ නිසා මෙවර ඔහුට ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඒ නිසා අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම මේ තරගයේදී 45වන ජනපති පදවියට තේරෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනගහණය තිස් දෙකෝටි හතළිස් දෙලක්ෂ විසිහත් දහසකි. ඔවුන් අතුරෙන් දහ හතරකෝටි, විසි එක්ලක්ෂ හැට දහසක් ඡන්ද බලය ලබා සිටිති.

ඒ දේශය තැනී තිබෙන්නේ ජනපද පනහකිනි.

ඒ රාජ්‍යයේ දේශපාලන පක්ෂ කිහිපයක් පවත්නා නමුත්, ඉන් ප්‍රධාන වන්නේ පක්ෂ දෙකක් පමණි. ඒ පක්ෂ දෙක නම් - ඩිමොක්‍රැටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. ඩිමොක්‍රැටික් පක්ෂයේ සංකේතය - බූරුවා. රිපබ්ලිකන් පක්ෂයට අයත් සංකේතය - අලියා. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති ඡන්ද විමසීමේ ක්‍රමය අත්‍යනිකයෙන්ම සංකීර්ණය.

ප්‍රාථමික තරග වට පැවැත්වෙන්නේ පක්ෂය ඇතුළතයි. එක් එක් පක්ෂය විසින් ජාතික මට්ටමේ අපේක්ෂයා තෝරාගනු ලැබේ. ඩිමොක්‍රැටික් පක්ෂය ඇතුළත සිදුවූ ඡන්ද විමසීම්වලදී ස්ව පක්ෂයේ ජාතික අපේක්ෂිකාව වශයෙන් හිලරි ක්ලින්ටන් කාන්තාව තේරුණාය.

රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් තමන්ගේ පක්ෂයේ ජාතික අපේක්ෂකයා වශයෙන් තෝරා ගනු ලැබුවේ ඩොනල්ට් ට්‍රම්ප්ය.

ඉන් පසුව ප්‍රධාන පක්ෂ එක එක විසින්ම ජාතික මට්ටමේ මහා සම්මේලනය බැගින් පැවැත්විණි. එහිදී රිපබ්ලිකන් මහා ජාතික සම්මේලනය විසින් ස්ව පක්ෂයේ ජාතික මට්ටමේ අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි තහවුරු කෙරිණි. හිලරි ක්ලින්ටන් ද සිය ඩිමොක්‍රැටික් පක්ෂයේ ජාතික අපේක්ෂිකාව වශයෙන් තොරා ගනු ලැබුවාය.

එතැන් පටන් අද වන තෙක්ම මේ ප්‍රධාන පක්ෂ දෙක ඔවුනොවුන් හා සමග තියුණු වාද - විවාදවල පැටලී සිටිති.

ඒවා හේතුකොටගෙන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිබිම්බය වෙනස්වන ආකාරය ද අවසාන ප්‍රතිඵලය කෙරේ දැඩිලෙස බලපාන්නේය.

ඒ නිසා අපට මේ මොහොතේදී ඒ දෙදෙනා දෙසම ක්‍රමවත් බැල්මක් යොමුකළ හැකිවේ. ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනපති පදවියට තරග කරන හිලරි රෝඩම් ක්ලින්ටන් කාන්තාව දැනටමත් වාර්තා බහුල වශයෙන් පිහිටුවා සිටින්නීය.

මුළු ඇමෙරිකානු ඉතිහාසයේදීම ජනාධිපති අපේක්ෂක අවස්ථාව ලද ප්‍රථම කාන්තාව ඇයයි.

වාර දෙකකදීම ජනාධිපති පදවියේ සිටි දේශපාලනඥයෙකුගේ භාර්යාව වීමේ වාසනාව ද ඇයට ලැබිණි.

හිලරි කාන්තාව, ජනාධිපති ඔබාමාගේ ප්‍රථම පාලන වාරයේදී ඔහුගේ කැබිනට් සභාවේ විදේශ ලේකම් පදවියේ සිටියාය. එතුමිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සෙනෙට් සභිකවරියක් වූවාය.

හිලරි මහත්මියගේ චරිතයේ ප්‍රධාන ලක්ෂණයක් නම්, කාන්තා අයිතිවාසිකම් සඳහා සටන් කිරීමයි. වරක් ඒ කාන්තාව අජටාකාශගාමිනියක් වීමේ අවස්ථාව පතාගෙන නාසා ආයතනයට ගියාය. එහෙත් කාන්තාවන්ට ඒ සඳහා තැනක් සැපයෙන්නේ නැතැයි නාසා නිලධාරීහු පැවසූහ.

ඇමෙරිකාවේ හාවඞ් නීති විද්‍යාලය ප්‍රතාපවත් ආයතනයකි. එහි උගෙන ගන්නට ගියවිට මහාචාර්යවරයෙක් ඇයට කීවේ තමන්ගේ ප්‍රතාපවත් විද්‍යාතනයට තව කාන්තාවන් අවශ්‍ය නැතැයි කියාය. ඇය ඉන් පසුබට නොවූවාය. එහෙත්, ඒ කාන්තාව යේල් විශ්වවිද්‍යාලයට බැඳී සුපිරි දැනුමෙන් තාරකාවක් වූවාය. විවාහයෙන් පසුවත් ඇය තමාගේ විවාහයට පෙර වාසගම භාවිතා කළාය.

ඊටත් වඩා විස්මය දනවන කරුණක් වෙයි. බොහෝවිට ඒකාධිතාව, රටේ නායකයා වන සිය ස්වාමි පුරුෂයාට වඩා ආදායම් උපයා ගත්තාය. හිලරි ක්ලින්ටන් උපත ලැබුවේ 1947 ඔක්තෝබර් 26 වනදායි. ඒ නිසා ඒ කාන්තාවගේ වයස අද වනවිට අවුරුදු 69ක් වේ.

කුඩා කාලයේ පටන්ම හිලරි දැරිය, ආක්‍රමනිකශීලී අදහස් දරන්නට පුරුදු වී සිටියාය. නීති විද්‍යාලයෙන් බැහැරවනවිට හිලරි තරුණිය ප්‍රවීණ නීතිවේදිනියක්ව සිටියාය. දිගටම වොෂින්ටන් නගරයේ වෘත්තීය කටයුතුවල යෙදී සිටියා නම් ඇයට බලගතු නීතිවේදිනියක් වන්නට ඉඩ තිබිණි. එහෙත් ඇය නීති විද්‍යාලයේදී හමුවූ පෙම්වතා වෙත ගියාය. පෙම්වතා බිල් ක්ලිනිටන්ය.

පෙදෙස අර්කන්සා ය. සිය පෙම්වතා යම් දිනක සිය දේශයේ ජනාධිපති පදවිය ලබනු ඇතැයි කියන ඉඟිය ඇය තුළ රැව් දුන්නේය. බිල් ක්ලින්ටන් ඇමෙරිකාවේ ලාබාලම ආණ්ඩුකාරවරයා වීමේ භාග්‍යය ලද්දේය. ඒ කාලයේදී පවා ඇයට සිය ආණ්ඩුකාර සැමියාගේ වැටුපට අධික ධනයක් උපයාගත හැකිවිය.

එතුමියගේ දේශපාලන විචක්ෂණ භාවය මුහුකුරා ගියේත් පරිපාලන බුද්ධිය පරිණත භාවයට පත්වූයේත් ඇයගේ ස්වාමියා 1992 දී රටේ ජනාධිපති පදවියට පත්වූ තැන් පටන්ය.

පරිපාලන කෘතහස්තතාව ලබාගන්නට තමන්ට ලැබුණු අසහාය අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත් හිලරි මහත්මිය, සිය සැමියා හා සමග රට පාලනය කරන සම ජනාධිපතිනියක් තරමට පරිපාලන කාර්ය රටාවට සහභාගී වූවාය.

ආක්‍රමණිකශීලීව ගැටලු නිරාකරණය කරන්නටත්, මතවාද උදෙසා සටන් කරන්නටත් බලවත් කැමැත්තක් ඇයගේ චරිතයෙහි සැඟවී ඇත්තේ යැයි විචාරකයෝ පවසති.

අති තුරුණුවියේ පටන් හිලරි කාන්තාව විසින් ලබන ලද දේශපාලන ශික්ෂණය වැන්නක් ලද හැකි වන්නේ අතළොස්සකට පමණි. ජනපද ආණ්ඩුකාරවරයෙකුගේ භාර්යාව වී සිට, එතුමිය රටේ ජනපති පදවියට දෙවරක් පත්වූ සිය සැමියාගේ පරිපාලන කාර්ය රටාවට ප්‍රබල ලෙස සහාය සැපයූවාය. සෙනෙට් සභිකවරියක හැටියට එතුමියට දේශපාලන තන්ත්‍ර පිළිබඳ යථා තත්ත්වය හැදෑරිය හැකි වූයේය.

හිලරි මහත්මියගේ දේශපාලන චරිතයට ඉතා දැඩි පන්නරයක් ලැබුණේ ජනාධිපති ඔබාමා මහතා නිසාය.

පළමුවෙන් ඈ ඔබාමා මහතා හා සමග තියුණු දේශපාලන සටනක නිරත වූවාය. ඔබාමා මහතා ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසුව හිලරි මහත්මියට රටේ විදේශ ලේකම් පදවිය පැවරීමෙන් ඔබාමා මහතා එතුමියගේ අනාගත රාෂ්ට්‍රපාලන ප්‍රතිභාව තියුණු කළේය.

ඇමෙරිකානු රාජ්‍ය දූත මෙහෙයෙහි ඇතැම් සාම්ප්‍රදායික ස්ථානවලට, නවීනත්වයේ ආලෝකධාර යොමු කිරීමෙන් ඒ මහත්මිය දේශපාලන තරග බිමකදී පරාජය කළ නොහෙන තරමේ පෞරුෂත්වයක් හිමිකොට ගත්තාය.

එතුමියගේ උච්චතම පාලන තන්ත්‍රවාදී කෞෂල්‍යතා, ප්‍රායෝගික පෝෂණයක් ලද්දේ මෙවර ජනාධිපති තරගයේ මුල් කාලයේ එතුමියට මූණපාන්නට සිදුවූ දරුණු ප්‍රහාර මාලාව නිසාය.

45වන ජනාධිපති පදවිය ලබනු පිණිස දිගුකලක් මුළුල්ලේ පැවැති “භීෂණ” සටනේ කෙළවර වෙත රට අද යොමුවී සිටින්නේය. තමා පටහැනිව තරග වදින අපේක්ෂකයා හා සමග පැවැති ප්‍රසිද්ධ වාද විවාදවලින් හිලරි මහත්මිය විචිත්‍ර ජයග්‍රහණයක් ලද්දේ එතුමියගේ අදෘෂ්‍යමාන ශික්ෂණය නිසාමය. නින්දා, අපහාස, ගර්ජන, තර්ජන ආදියෙන් ආධ්‍යාත්මය අස්ථාවර කොට නොගෙන, මේ පසුගිය දින කිහිපය තුළදී එතුමිය ගමන්ගත් මග අති දුෂ්කර දේශපාලන ගමන් මාර්ගයක් බව ලොව පුරා විචාරකයෝ තහවුරු කළහ.

එළඹ සිටින සම්මුතියට අනුව එතුමිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45වන ජනාධිපති පදවිය ලද හොත්, එතුමියගේ උප ජනාධිපති පදවිය ලබන්නේ ටිම් කේන් මහතාය. පනස් අට හැවිරිදි ඒ දේශපාලනඥයා ක්‍ෂණික තීරණවලට නොඑළඹෙන ස්ථාවර ආධ්‍යාත්මික ශක්තියක් සහිත පාලනතන්ත්‍ර වේදියෙකු වශයෙන් ලෝකයේ විචාරකයෝ දුටුවහ. ජනාධිපති ධූරාපේක්ෂක හිලරි ක්ලින්ටන් මහත්මියට, අති හෘදයාංගම සහයෝගය සැපයුනේ පවුලේ අයගෙනි. බිල් ක්ලින්ටන් හිටපු ජනාධිපතිවරයා සිය භාර්යාවගේ සහායට සැමවිටම සැරසී සිටී. ඒ දෙපළගේ එකම දරුවා වන ඩෙල්සි සහ ඇයගේ සැමියාත් ඒ යුවළගේ බිල් - හිල්ටන් දෙදෙනා ලබා සිටින මුනුපුරු පරපුර සහිතව හිලරි ක්ලින්ටන් මහත්මියට ආදර පෙරටු සහාය සපයති. හිලරි ක්ලින්ටන් මහත්මිය හා තරග වදින රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් අපේක්ෂකයා තරම් ජනතා විචාරයට ලක්වූ අන් ජනාධිපති ධූරාපේක්ෂකයෙක් මෑත ඉතිහාසයේ ඇමෙරිකා ජනපදයේ දේශපාලන ක්ෂේත්‍රයෙහි නොසිටි තරම්ය.

ආරම්භයේ පටන්ම ඩොනල්ඞ් ට්‍රම්ප් අපේක්ෂකයා සිය දේශයේ පූජනීය පාලන සම්ප්‍රදාය නිගරුවෙන් දක්නා සේ පෙනිණි. ජනතා පක්ෂපාතීත්වය දිනාගන්නවා පිණිස සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔහු විසින් දෙන ලද පොරොන්දු අද ක්‍රමයෙන් ඔහුට විරුද්ධව නැගීගෙන එන බලවේග බවට පත්වීය.

සුරංගනා කතා වැනි ප්‍රවාද මගින් ඔහු මාධ්‍ය අවධානය දිනාගන්නට වැර වෑයම් දැරුවේය. ජනවාර්ගික පක්ෂයන්ට තහනම් පැණවීමේ යෝජනා, මෙක්සිකෝව පැත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට ඇතුළු වන්නන් වළක්වන මහා ප්‍රකාරයක් ඉදිකිරීමට සැලැස්ම වැනි අදහස් ට්‍රම්ප් අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට පවා ඉවසා සිටිය නොහෙන තරම් වූයේය.

නින්දා අපහාස ඒ අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රසිද්ධ වාග් අවි ලෙස පෙනුණේය.

තමන් හා තරග කරන කාන්තාවට නින්දා ලාප එල්ල කිරීමෙන් ඒ රිපබ්ලිකන් අපේක්ෂකයා ජන උදහස අවුස්සාලූවේය. හිලරි ක්ලින්ටන් කාන්තාව ඔහු විසින් හඳුන්වන ලද්දේ “නාස්ටි වුමන්” (කලිෂ්ට ගැහැණිය) හැටියටයි. තමා බලයට පත්වුවහොත් ඒ අපේක්ෂිකාව බන්ධනාගාරගත කරන බව ද ඒ අපේක්ෂකයා ප්‍රකාශ කළේය. මැදහත්ව සලකා බලන ඕනෑම විචාරකයෙකුට පෙනී යන්නේ මේ අපේක්ෂකයා තමාගේ දේශයේම හර පද්ධති ගර්හාවට ලක්කළ බවය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සම්මානනීය හර පද්ධති ගැන මතිමාත්‍ර වූ හෝ තැකීමක් නොමැතිව ඔහු පවසා සිටියේ, ජනාධිපති තරග ප්‍රතිඵල තමා නොරිස්සුම් ආකාරයටම සිදුවුවහොත් නඩු පවරන බවයි.

තමාට චෝදනා නගාලූ සියලු දෙනාටම විරුද්ධව නඩු පවරන බව ද ඒ අපේක්ෂකයා ප්‍රකාශ කළේය.

අසභ්‍ය පදමාලා සම්භාවනීය ඡන්ද ව්‍යාපාරවලදී ව්‍යවහාර කරමින් ඒ අපේක්ෂකයා ද සිය ඡන්ද දායකයන් කම්පාවට පත් කළේය.

මුළු මහත් ඡන්ද ව්‍යාපාරයම දූෂිත යැයි ඔහු දිගටම කියාගෙන යන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සම්භාවනීය ප්‍රජාතාන්ත්‍රික හර පද්ධති මැදහත්ව අගය කරන ලෝක ජනතාව පවා ඒ අපේක්ෂකයාගේ වාග් ප්‍රවාහය සතු තර්ජනාත්මක ගතිය නිසා දුක්මුසු වූහ.

මතිමාත්‍ර වූ හෝ පක්ෂපාතීත්වයකින් තොරව ජගත් ප්‍රවෘත්ති දෙස නෙත් යොමුකරන ලෝකවාසී බොහෝ දෙනාත්, මාධ්‍යවේදී පක්ෂත්, මේ අපේක්ෂකයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා කිවනොහෙන තරමට විස්මයට පත්වෙති.

නොබෝදා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අති පූජනීය අගරදතුමෙකු විසින් ආධාර උදෙසා පවත්වන ලද අතිශය ගෞරවධෑය රාත්‍රී භෝජන සංග්‍රහයකදී මේ අපේක්ෂකයා විසින් කරන ලද ඇතැම් අසම්මත ප්‍රකාශ නිසා, ඒ උතුම් සම්භාවනීය පිරිසේ සිටි අය පවා ඔහුට විරුද්ධව හූ හඬ නැගූ බව ජගත් ජනමාධ්‍ය වාර්තා කළහ. එහෙත්, මීට දින කිහිපයකට පෙර ඔහුගේ දර්ශනය වෙනස් වූවාක් සේ පෙනුණේය. “මට ලැබෙන ජන සහයෝගය කෙමෙන් අඩුවන බව දැනෙන්නේ” යැයි ඔහු පවසා සිටියේය. රිපබ්ලිකන් පාක්ෂිකයන් පවා ප්‍රසිද්ධියේ කියූවේ සිය අපේක්ෂකයාට ලැබෙන ඡන්දදායක සහයෝගය කෙමෙන් අඩුවීගෙන යන බවය. අලුත්ම ආරංචිවලින් ප්‍රකාශ වන්නේ සම්ප්‍රදායිකව රිපබ්ලිකන් පාක්ෂිකයන්ට සහයෝගය සැපයූ ඇතැම් ප්‍රදේශ පවා අද රිපබ්ලිකන් අපේක්ෂකයා අත්හැර දමන බවයි.

1964න් පසුව ප්‍රථම වරට යූටා ජනපදය මේ තරගයේදී රිපබ්ලිකන් පක්ෂයට පක්ෂපාතී නොවන බව නොබෝදා ප්‍රකාශයට පත්වූයේය.

රිපබ්ලිකන් පාක්ෂික, ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් මහ ධන කුවේරයෙකි. එහෙත් ඡන්ද දායකයන් විමතියට පත්වන තවත් හේතුවක් ඇත්තේය.

රාජ්‍ය ප්‍රතිපත්ති, දේශයේ පරිශුද්ධ සම්ප්‍රදාන සම්මුති ආදියට ගරු සරුවක් නොදක්වන මේ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රාජකාරියේදී එළඹෙන අභියෝගවලට ඔහුට මුහුණ පෑ හැකිවේදැයි ඡන්ද දායකයන්ගෙන් බහුතරය සැකමුසු වෙති.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ලෝකයේ බොහෝදෙනාගේ ගෞරව පූර්වක අවධානයට ලක්වන රාජ්‍යයකි. මෙය අද ලොව ඉතාම බලවත් ප්‍රජාතාන්ත්‍රික දේශයක් වන්නේය.

ඒ දේශයේ ජනාධිපති පදවිය ලෝකයේ ප්‍රබලතම තනතුර හැටියට ද සලකනු ලැබේ. එක්සත් ජනපද රාජ්‍යයේ ඡන්ද දායකයන් කොයි ආකාරයක තීරණයකට එළඹී සිය ජනාධිපති පදවියට කෙනෙකු පත්කොට ගත්ත ද ඒ පදවි ප්‍රාප්තවන පුද්ගලයාගේ ප්‍රතිපත්ති මාලාව ඉතා සුළුවෙන් වුව ද ලොව බොහෝ දේශවලට බලපාන බව පූර්ණ සත්‍යයකි.

අද කියුබා රාජ්‍යය දීර්ඝ කාලීනව පැවති ඇමෙරිකා විරෝධතාව අත්හැර දමා ඒ දේශය හා සමග පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නට සැරසේ.

මෙය එක් .......???? නිදර්ශනයකි. බාහිර ලෝකයා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45වන ජනාධිපතිවරයා පිළිබඳ කවර මැදිහත් මතයක් දැරුව ද ඒ පදවි ප්‍රාප්තිකයාගේ බැල්ම ලොව හැම තැනකටම දැනෙනු නියතයි.

හිලරි ද? ට්‍රම්ප් ද? තීරණය ලැබෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණි.


RECOMMEND POSTS