2017 යන්නේය 2018 එන්නේය



 

-අන් හැම කාලයක් මෙන්ම මේ කාලයද ඉතා හොඳයි. එය ඉතා හොඳ වන්නේ ඒ කාලපරිච්ජේදය කෙසේ භාවිත කළ යුතු දැයි අප දන්නේ නම් පමණි” රැල්ෆ් වොල්ඩෝ එමර්සන් (1808 - 1882) ඇමෙරිකානු ජාතික කවියා සහ ලේඛකයා කාලය යහපත් ලෙස භාවිත කළ හොත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය තරම් කාලය ලද හැකි වේ.”


යොහාන් වුල්ෆ් ගැං ගර්ටේ (1749-1832) කවියෙකු, නාට්‍යවේදියෙකු හා විද්‍යාඥයෙකු වූ ජර්මන් ජාතික මහා ප්‍රාඥයා
 සොබාදහම විසින් අපට දී ඇති ස්ථානයට අනුව පෘථිවිවාසී අපට දින 365 න් හැමදාම වුවද නව අවුරුද්දක් ලබා ගත හැකිය.

නිදර්ශනයක් මෙසේය. අප උපන්නේ 2016 යේ දෙසැම්බර් 31 වනදා නම් 2017 තේ දෙසැම්බර් 31 වනදා අපට අවුරුද්දකි. පෙබරවාරි 29 වන උපත ලැබුවේ නම් පමණක් ඒ දීර්ඝ වර්ෂයේ උපත ලැබූ කෙනෙකුට උපන්දින උත්සව පැවැත්විය හැක්කේ සිව් වසරකට වරක් එළඹෙන දීර්ඝ වර්ෂයක පෙබරවාරි 29 වනදායි. 


එය එසේ වුවද මුළු ලෝකය විසින්ම පාහේ මේ කාලයේදී සම්මුතියක් හැටියට අලුත් අවුරුද්ද වශයෙන් පිළිගනු ලබන්නේ හැම වර්ෂයකම, දෙසැම්බර් මාසයේ තිස්එක්වනදා මධ්‍යම රාත්‍රිය ගෙවී ගොස් උදාවන ඊළඟ වර්ෂයේ ජනවාරි මස පළමුවනදායින් ඇරඹෙන වර්ෂයයි.


 ඒ නිසා මෙවර 2017 තේ දෙසැම්බර් මාසයේ 31 වනදා මධ්‍යම රාත්‍රිය ගෙවී ගිය හැටියේ 2018 ටේ ජනවාරි මාසය ආරම්භ වන්නේය. නව වර්ෂයක් උදාවන්නේය.


 නව වර්ෂයක් උදාවීමේදී ඇතැම් රාජ්‍ය විසින් පවත්වනු ලබන චාරිත්‍ර, කුහුලක් දනවන සුළුය.


 ස්පාඤ්ඤ ජාතිකයන් සතු තරමක් පුදුම උපදවන විදියේ අලුත් අවුරුදු චාරිත්‍රයක් වෙයි. ඒ දේශයේ ඇතැම් අයගේ විශ්වාසයක් ඇත්තේය. දෙසැම්බර් තිස්එක් වනදා මධ්‍යම රාත්‍රිය දන්වමින්, ගමක හෝ නගරයක ඔර්ලෝසු කණුවේ හෝරා යන්ත්‍රය දොළොස්වාරයක් නාදවන්නට ගතවන කාලය ඇතුළත මිදිගෙඩි (මුද්දරම්පලම්) විශාල ගණනක් ඉක්මනින් කෑවොත් දීර්ඝායුෂ ලැබේයැයි අදහන්නට ඔවුහු පුරුදුව සිටිති. ඒ නිසා ඇතැම් නගරවාසීන්, ඔරලෝසු කණුව භාර නිලධාරියාට කියා තිබෙන්නේ. එදා මධ්‍යම රාත්‍රි කණිසම දක්වමින් ඔර්ලෝසුව 12 වරක් නාද කිරීම හිමිහිට කරගෙන යමින් තමන්ට ඒ කාලය තුළ මුද්දරප්පලම් විශාල සංඛ්‍යාවක් කන්නට ඉඩ සලසන්නැයි කියායි.


ලෝකයේ බොහෝ රාජ්‍යවල ඒ ඒ දේශයට විශේෂ වූ අලුත් අවුරුදු දිනයක් ඇත්තේය. අපේ රටේ සිංහල සංස්කෘතික සම්ප්‍රදායට අනුව අපගේ ජාතික අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මාසයේදිය.


 එසේ වුවද අද අපේ රටේ බොහෝ දෙනෙක් (වෙසෙසින්ම නාගරික සංස්කෘතියට බද්ධ බොහෝ දෙනෙක්) ජනවාරි පළමුවන දිනය උදා කරන මධ්‍යම රාත්‍රියේදී අලුත් අවුරුදු උත්සව පවත්වති. එවැනි උත්සවවල ප්‍රධාන අංග වන්නේ මද්‍යපානය, නැටුම්, ගැයුම්, කෑම් බීම් ආදියයි. විනෝදය රජයන්නේය. සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී මෙන් සංස්කෘතික චාරිත්‍ර නොමැත.


 මෙසේ අපිත් ලෝකයේ බොහෝ දෙනා හා සමග එක්ව, තව නොබෝ දිනකින් 2018 ටේ නව වර්ෂය පිළිගන්නෙමු. ඒ අලුත් අවුරුද්ද පිළිගන්නේ ගෙවී යන 2017 තේ වර්ෂයට සමුදීමෙනි.


 මේ -සංක්‍රාන්ති” මොහොතේදී අප විසින් ඉටු කළ යුතු ප්‍රධාන යුතුකමක් වෙයි. පරණ වර්ෂයකින් අලුත් අවුරුද්දකට මාරුවන මේ සන්ධිස්ථානයේදී හැම දෙනෙකු විසින්ම කළ යුත්තේ ගෙවී යන වර්ෂයේ හොඳ නරක දෙකම විමසමින් ලබා ගෙන එන නව වර්ෂය තුළදී අප විසින් වර්ධනය කොටගත යුතු යහපත් දේ කවරේදැයි පැහැදිලිව දැකීමයි.


ඒ පදනමේ පිහිටා ගෙන ගෙවී යන 2017 වර්ෂය දෙස බලන විට ඉස්මතුව පෙනෙන්නේ සොම්නසට වඩා දැන් දොම්නසට හේතුකාරක වූ සිද්ධි සමූහයකි. ලොව පුරා බොහෝ රටවල, දරුණු ස්වභාවික විපත් සිදු වූයේය. ලැව් ගිනි, සුළි සුළං, ජල ගැල්ම, භූ කම්පන ආදී ස්වභාවික ව්‍යසන ලොව පුරා බොහෝ රටවලට දැන් දුකක් ගෙන ආයේය.


 පිලිපීනයට බලපෑ -ටෙම්බින්” සුළි සුළඟ දෙසියකටත් අධික ජන සංඛ්‍යාවකගේ ජීවිත බිලිගෙන එයින් නොනැවතී මේ ලිපිය ලියන මොහොතේදීත් වියට්නාමය දෙසට වේගයෙන් ගමන් ගනිමින් සිටී.


හිත් පින් නැති නර රකුසන් විසින් 2017 තේදී සිදු කෙරුණු ජන සංහාරවල ඛේදයද ලොව පුරා තාමත් සංසරණය වන්නේය.
 දෙවන එලිසබෙත් මහරැජින සිය 2017 තේ නත්තල් ප්‍රකාශනයෙහිදී විශේෂයෙන්ම සඳහන් කළේ මැන්චස්ටර්හි සිදුවූ කෲර ජන ඝාතනයේදී දිවියෙන් සමුගත් පිරිස පිළිබඳවයි. ඒ දිවි අහිමි වූ අය අතර ඉතා කුඩා දරු දැරියෝ සිටියහ.


ශුද්ධ වූ පාප්වහන්සේගේ නත්තල් පණිවුඩයද, ජීවිතයත් මරණයත් අතර වෙසෙමින් නිදහස පතා ගමන් ගන්නා සරණාගතයන්ගේ දුක්ඛදායක ඉරණම කෙරේ යොමු වූයේය. ඒ අසරණ ජනකාය කෙරේ ගෞරවය හා සානුකම්පික බව දැක්වීමේ අවශ්‍යතාව, ශුද්ධ වූ පාප් වහන්සේ විසින් දක්වන ලදී.


 2017 වර්ෂය පුරා විහිදී මේ දුක්ඛදායක සිද්ධි සමූහය දෙස අවධානය යොමු කළ ප්‍රධාන චරිතයක් වූයේ නත්තල් සමයන්හි කුඩා දරු දැරියන්ගේ අසහාය වීරයා බවට පත්වන -නත්තල් සීයා” යි. ලොව ප්‍රධාන පෙළේ නත්තල් සීයා කෙනෙකු ලෙස හැඳ පැළඳගෙන ළමා ලොවේ අතිප්‍රසිද්ධ හිම රියට ආරුඪ වී (රැඩොල්ෆ් නම් පිණිමුවා බැඳි ස්ලෙජයට නැගී) ඒ නත්තල් සීයා, ලොවට මෙසේ ප්‍රකාශ කළේය. -මේ වර්ෂයේදී අප පෙර කාලවලදීටත් වඩා ලෝකයාට ප්‍රේම කළ යුතු වේ.”


ලෝකය කොයි තරමට දරුණු බව පිළිබඳ අඳුරින් වැසී තිබුණේද යත් කිතු බැතිමතුන්ගේ අසහාය නත්තල් ශුද්ධ භූමිය වන ජේසු බිළිදා ඉපිදි බෙත්ලෙහෙම් පෙදෙසට ඒ මහා කිතුනු සාම දින පුද පූජා සඳහා වන්දනාවේ යෑම පවා ඇතැම් බැතිමතුන්ට තහනම් කෙරිනි.
 2017 තේ ලෝකයේ විශේෂ ලක්ෂණයක් වූයේ තමන්ට කෙරෙන අතවරවලට විරෝධීව ප්‍රබල කාන්තා සංවිධානයක් විසින් නඟන ලද ලොව පුරා දෝංකාර දුන් මහා රාවයයි. මේ සංවිධානය “මී ටූ” නම් විය. 


:ඵෑ ඔධධ*
අපේ දේශයද 2017 දී සොබාවික විපත් රැසකට මූණපෑයේය. නියඟ, ජල ගැල්ම, ඩෙංගු වසංගතය ආදී වශයෙනි. එහෙත් අපගේ රජය විසින් අනුගමනය කෙරෙන යහපත් දේශීය හා විදේශීය ප්‍රතිපත්ති හේතුකොට ගෙන එවැනි බොහෝ අර්බුදවලදී ඒවා විසඳා ගැනීම සඳහා අපට ජගත් රාජ්‍ය මණ්ඩලයෙන්ද සහාය ලැබුණේය.


 මේ 2017 තේ ස්වභාවය පිළිබඳ මතකය අවදි කරමින් උදාවී ගෙන එන 2018 දී අපටත් ලෝකයාටත් ලැබිය හැකි ආශිර්වාද දෙස නෙතඟ බැල්මක් හෙලීම වටනේය.


 එසේ ඒ උදාවී ගෙන එන 2018 න් අපට ලද හැකි යම්කිසි අවිවත් දේ පෙනේ නම් ඉන් උපරිම ඵල නෙලාගන්නට එසේ 2018 දෙස බැල්මක් හෙලීම ප්‍රායෝගිකයි.


 බැලූ බැල්මට පෙනෙන්නේ 2018 වර්ෂය විසින් ඉතා ශුභදායි යුගයක් ලොවටත් ඒ හා සමගම අපටත් උදාකෙරෙන බවකි.
2018 ආශ්‍රිත, ඉතා විචිත්‍ර සිද්ධි සමූහයක් වෙයි. ඉන් ඉතාම සිත්ගන්නා සුළු කතාව වන්නේ අතිජනප්‍රිය රාජකීය විවාහ මඟුලකි.
දැනටමත් ඒ පුවත ලෝකයාට, ජනකාන්ත -තාත්වික” සුරංගනා කතාවක් බවට පත්වී ඇත්තේය.


 ඒ ජිවමාන සුරංගනා කතාවට මුල් වන්නේ ප්‍රෞඪ බි්‍රතාන්‍ය කිරුළට හිමිකම් සහිත රාජකීයයන්ගෙන් කෙනෙකු වන හෙන්රි කුමරු (ජනප්‍රිය නාමය හැරී කුමරු) 2018 ටේ මැයි මාසයේදී ඇමෙරිකානු කාන්තාවක් හා සමඟ විවාහ වීමේ සිද්ධියයි.


මේ ජනකාන්ත කතාවට නත්තල් දා නව විචිත්‍රතාවයක් එකතු වූයේය. වින්ඞ්සර් රජ පෙළපතේ වර්තමාන රාජකීය පිරිස දෙවන එලිසබෙත් මහරැජින පෙරටු කොටගෙන ඒ රජ පවුලේ උදවියගේ පෞද්ගලික නත්තල පවත්වද්දි මේ හෙන්රි කුමරු හා කුමරුගේ අනාගත මනාලියද ඒ සම්භාව්‍ය රාජකීය අවස්ථාවට එක්වූහ. 


මෙය දෙවන එලිසබෙත් මහ රැජින විසින් ලොව කාටත් දෙනු ලබන මා හැඟි ආදර්ශයකි. හැරී කුමරුගේ පෙම්වතියගේ මව කළු ඇමෙරිකානු ජාතික කාන්තාවකි. පියා සුදු ඇමෙරිකානුවෙකි. තිස්තුන් හැවිරිදි හෙන්රි චාල්ස් ඇල්බ්ට් එඞ්වඞ් කුමරු තිස්තුන් හැවිරිදිය. මෙඝත් මර්කල් මනාලිය තිස්හය හැවිරිදිය. නිළියකි. දික්කසාද වූ කාන්තාවකි. මේ සියල්ල තිබියදී පෞඪ වින්ඞ්සර් රජ පෙළපතේ නායිකාව වන දෙවන එලිසබෙත් මහරැජින ඉමහත් ප්‍රමෝදයෙන් ඒ විවාහ මඟුල අනුමත කළාය.


 2018 දී තවත් විභූතිමත් රාජකීය අවස්ථාවක් උදාවන්නේය. ඒ රාජකීය සිද්ධියට ප්‍රස්තුක වන්නේ ජපන් රජපෙළපතයි. ඉපැරැණි රාජ පරම්පරාවක් වන ජපන් අධිරාජවරු, අ මතෙරසු ඔම්කමි නම් සූර්්‍ය දේවතාවියගෙන් පැවත එන්නෝ යැයි සම්ප්‍රදායිකව සැලකේ.
 ඒ අධිරාජ්‍ය පෙළපතේ වර්තමානිකයා අකිහිතෝ අධිරාජයායි. එතුමන්ගේ 84 වන ජන්ම දිනය පැවැත් වුණේ 2017 තේ දෙසැම්බර් මස 23 වන දායි.


 අධිරාජ සම්ප්‍රදායට අනුව අධිරාජයෙකුට ජීවන කාලය මුළුල්ලේම ඒ පදවියෙහි සිටිය හැකියි.


 එහෙත් වර්තමාන අකිහිතෝ අධිරාජයා අධිරාජ පදවියෙන් විශ්‍රාම ගන්නට අදහස් කළේය. ජපන් අධිරාජ පරම්පරාවේ මෙවැන්නක් මීට පෙර සිදුවූයේ අවුරුදු 200 කට ඉහතදීය. ඒ නිසා ජපානයේ පාලන ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිදු වූයේය. ඒ ව්‍යවස්ථාවේ වෙනස හුදෙක් මේ වර්තමාන අධිරාජයාට  පමණක් බලපාන්නකි.


 ඒ අනුව අකිහිතෝ අධිරාජයා 2018 වර්ෂය පුරා පාලනයෙහි සිට 2019 යේ අප්‍රේල් තිස්වනදා සිහසුනෙන් සමුගනී. අකිහිතෝ අධිරාජයාගේ අධිරාජිණිය වන මා චිකෝ ෂෝඩා කුමරි අධිරාජිණිය බවට පත් වූයේ සුහද ප්‍රේම බන්ධනයක ප්‍රතිඵලය වශයෙනි. අකිහිතෝ අධිරාජයා ජපානයේ අධිරාජයන් අතර 125ස් වැන්නාය.


 2018 වර්ෂය පුරාත් ජපානය පාලනය කොට 2019 දී අකිහිතෝ අධිරාජයා සිහසුනෙන් විශ්‍රාම ගත් විට 126 වන ජපන් අධිරාජයා වශයෙන් කිරුළු පළඳින්නේ අකිහිතෝ අධිරාජයාගේ වැඩිමහල් පුත් නරුහිතෝ කුමාරයි. එතුමා අධිරාජ සිහසුනට පත්වන්නේ 2019 යේ මැයි මස පළමුවන දායි.


නරුහිතෝ අධිරාජයාගේ අධිරාජිණිය වන්නේ මසාකෝ ඔවාදා කුමරියයි.


 ජපානය හැම විටම ශ්‍රී ලංකාවට සුහදබව දක්වන දේශයකි. දෙවන ලෝක මහා යුද්ධය අවසානයේදී ජයග්‍රාහී මිත්‍ර පක්ෂයේ නායකයෝ ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිකෝ නගරයේ පැවැති සාම සාකච්ඡාවන්හිදී ජපානයට දැඩි දඬුවම් හා ප්‍රබල වන්දි පණවන්නට සැරසී සිටියහ. එහිදී ශ්‍රී ලංකා නියෝජිතව එයට සහභාගි වූ ජේ.ආර්. ජයවර්ධන මහතා බුදුහිමියන් වදාළ “නහි වේරෙන වේරානි” ගාථාව කියා තේරුම් කොටදී සාම සම්මේලනයේ කර්කෂභාවය ලිහිල් කොට ජපානය ආරක්ෂා කළේය. ජපානයේ බොහෝ දෙනා තාමත් ඒ ගැන සිය කෘතඥතාව, ශ්‍රී ලංකාවට පළ කරති. ඒ නිසා 2018, 2019 යේ ජපානයේ උතුම් උත්සව අවස්ථාවන්හිදී ඒ දේශයේ නායකයන් ශ්‍රී ලංකාවට විශේෂ සැලකිලි දක්වනු නිරනුමානය.


2018 දී ප්‍රබල දේශයක ජනාධිපති තරගය පැවැත්වේ. ඒ දේශය රුසියාවයි. ඡන්දය පැවැත්වෙනුයේ 2018 මාර්තු මාසයේදීය. ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් වර්තමාන ජනාධිපති පුටින් මහතා ඒ ජනාධිපති තරගයට ඉදිරිපත් වේ. ඒ මහතා ඉදිරිපත් වන්නේ සිව්වන වාරයටයි.


 විපක්ෂනායක ඇලෙක්සි නවල්නි, ජනාධිපති තරගය සඳහා නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරන ලද නමුත් මැතිවරණ කොමසාරිස් විසින් ඒ ලිපි ලේඛන ප්‍රතික්ෂේප කරන ලදී.


 2018  වර්ෂයේදී බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ සම්මුතිවලට එකඟවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නීය. එතුමිය “බ්‍රෙක්සිට්” (යුරෝපා සංවිධානයෙන් බැහැර වීමේ සිද්ධිය) පිළිබඳ සාකච්ඡා සම්පූර්ණ කොට යුරෝපා සංවිධානයෙන් බැහැර වූ විට එතුමියටත් එතුමියගේ දේශයටත් නව හිතවතුන් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව දැනටමත් බි්‍රතාන්‍යයේ ඉතා ප්‍රබල හිතවතෙකි. 2018 දී ඒ සබඳතාව තව තවත් තහවුරු කර ගැනීමේ කාර්යය ගැන අප විසින් සිතිය යුතුවේ.


වැඩිහිටියන්ට විශේෂයෙන්ම කිව යුතු කරුණක් වේ. ලැබූ නව වර්ෂය තුළදී යම්කිසි විශේෂ ප්‍රස්තුතයක් හදාරන්නට අධිෂ්ඨාන කොට ගන්නැයි දරුවන්ට නව වසරක මුලදී දෙමාපියන්ට කිව යුතුවේ. වයස පහේ දරුවෙකුට වුවද මෙවැන්නක් පැවැරිය හැකිය. මෙය දරුවන්ගේ චරිත ශක්තිය, අධිෂ්ඨාන බලය හා ආත්ම ශක්තිය දියුණු කරන යහපත් අලුත් අවුරුදු චාරිත්‍රයකි. මේ නව වර්ෂය ආරම්භයේදී මේ ක්‍රමය ක්‍රියාවේ යොදවන්න. ඔබට සුබ 2018 ක්.


නාඳුනන ගුවන් යානා (පියාඹන පීරිසි) සත්‍යයෙන්ම තිබෙනවා

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආරක්ෂක අංශයේ (පෙන්ටගන්) හිටපු නිලධාරියෙක් පැහැදිලිවම කියන්නේ -නාඳුනන පියාඹන වස්තු” (පියාඹන පීරිසි) ඇත්තටම තිබෙන බවයි. නිලධාරියාගේ නම ලුයී එලිසොන්ඩෝ. පිටසක්වල ජීවින් ගැන රන් පවුම් එක්කෝටි හැටලක්ෂයක රහස් සමීක්ෂණයකින් පසුව ඒ නිලධාරියා කියන්නේ නිසැකවම එවැනි ගුප්ත පියාඹන පීරිසි තිබෙන බවයි.


තමා දන්නා දෙයින් බොහෝ කරුණු තාමත් අභිරහසිගත යැයි සැලකෙන නිසා ඔහුට කතා බහ කළ හැක්කේ සීමිත කරුණු කීපයක් ගැන පමණකැයිද ඔහු කියන්නේය.


 ඇමෙරිකානු නෞකා හමුදාවට අයත් ගුවන් යානාවල නියමුවන් දෙදෙනකු විසින් සන්ඩියෝගේ නගරය අසලදී පියාඹන පීරිසයක් ලුහුබැඳ ගිය බවත් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය සටහන් තිබෙන බවත් නිලධාරියා පවසන්නේය.


 දිලිසෙන ආලෝක ධාරාවක් සහිතව එවැනි පියාඹන පීරිසයක් කැරකෙන ආකාරය දෘශ්‍ය රූපගත කොට තිබෙන බවද ඒ නිලධාරියා පැහැදිලි කරයි. 2007 තේ පටන් 2012 දක්වා කරන ලද ඒ පර්යේෂණයෙන් අනාවරණය වූ සියලු දේම කිව නොහෙන නමුත් නාඳුනන පියාඹන පීරිසි” සත්තකින්ම තිබෙන බව නම් නිලධාරියා තහවුරු කරයි.


සෙන් භික්ෂුවගේ කාලය


 
වරක් සෙන් බෞද්ධ සිද්ධස්ථානයක සාමනේර භික්ෂු කෙනෙක් උදෑසන පාත්‍රය ගෙන පිණ්ඩපාතය සපයා ගන්නට වැඩියේය. ඔහු පාත්‍රය පිරුණු විට ආපසු ආරාමයට එන්ට පිටත් විය. අතරමඟ වන ලැහැබක් මනඃකාන්ත පක්ෂීහු, ඉමිහිරි ගී ගැයූහ. සාමනේර හිමියෝ ඒ දර්ශනයෙන් වශීවී එදෙස බලා සිටියහ. හිමියන් ආපසු පන්සලට එන විට ආරාමය ගරා වැටී තිබිණි. ඔහු හා සමග සිටි ඇතැම් භික්ෂුන් වහන්සේලා මහළුව උන්හ. ඒ සාමනේරයන් දුටු ඇතැම් භික්ෂුන් වහන්සේලා මෙසේ කීහ. -අනේ අපි අවුරුදු 17 ක් ඔබ එනකල් බලා හිටියා අප දාලා ඔබ කොහේද ගියේ?”


තමා ගත කළේ සුළු මොහොතක් වන ලැහැබේ ශ්‍රියාව බලමින් යැයි සාමනේර හිමි ඔවුන්ට නොපැවැසූහ.


 


නොස්ට්‍රොඬේමස් ගේ - අනාවැකි” ග්‍රන්ථය 

 සමහර දෙනෙක් මේ අනාවැකි ප්‍රකාශක නොස්ට්‍රොඬේමස් ගැන නොදනිතත් ඔබ අද ලෝකයේත් බොහෝ අය දන්නා ඉසිවරයෙකි. 
ලෝක ඉතිහාසයෙහි සිදුවන්නට තිබෙන දේ ගැන -නොස්ට්‍රොඬේමස්” විසින් ප්‍රකාශිත අනාවැකි, මුලින් ලියැවුණේ සීපද කවි වශයෙනි. මිෂෙල් ද නොටුඬේම් නම් ඔහු ප්‍රංශ ජාතිකයෙකි. ඔහු උපත ලැබුවේ 1503 නේ දෙසැම්බර් 21 වන දාය.


 ඔහු ශික්ෂණයෙන් වෛද්‍යෙවරයෙකි. එහෙත් ඔහු කීර්තියට පත්වූයේ ලෝකය ගැන අනාවැකි කියන ඉසිවරයෙකු වශයෙනි. ඔහුගේ අනාවැකි සංග්‍රහය ඉතාම ජනප්‍රියයි. ඔහුගේ අනාවැකි නම් ග්‍රන්ථය පළ වූයේ 1553 හේදීය.


 ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ ඒ කාලයේදී ඔහු විසින් පුවත්පත් මගින් කරන ලද අනාවැකි ප්‍රකාශන නිසාය. නැපෝලියන්ගේ පරාජය ආදි සිද්ධි ගැන ඔහු අනාවැකි පළ කළේය.


 ඔහුගේ පවුලේ නව දෙනෙකි. පියා ධාන්‍ය වර්ග අලෙවි කරන පොලියට මුදල් ණයට දෙන ව්‍යාපාරිකයෙක් විය. නොස්ඬේමස් යන නමේ -අපගේ පූජනීය මාතාව” යන්නයි. මුලින් ඔහු වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ව්‍යාපාරවල යෙදී වසංගත  රෝග වළක්වන බේත් පෙත්තකුත් තැනුවේය. බෙහෙත් පැළෑටි ගැන පර්යේෂණයන්හි යෙදුණේය.


 වයස විසි අටේදී විවාහ වීමෙන් පසුව ඔහුගේ ජීවිතය සාර්ථක වූයේය. ඔහු ගුප්ත විද්‍යාවට නැඹුරු විය. ඔහුගේ ලිත් ජනප්‍රිය වන්නට පටන් ගැනීමත් සමගම ඔහුගේ අනාවැකිය ලෝකයාගේ කුහුලට පාත්‍රවන්නට පටන් ගත්තේය. ඔහු විසින් ලියන ලද සිව්පද අනාවැකි සංඛ්‍යාව 6338 ක් වේ.


 ධනවත් අනුග්‍රාහකයෝ සිය හඳහන් ලියවා ගැනීම සඳහා ඔහු වෙත ආහ. ඔහු ගුප්ත අනාවැකි කවි (දහම් ගැට) දහසක් පමණ රචනා කළේය. ඒ අනාවැකි කවි කොපමණ ජනප්‍රිය වීද යත් ප්‍රංශයේ දෙවන හෙන්රි රජුගේ බිසොව වන කැතරින් ද මෙස්කි රැජින ඔහු කෙරේ දැඩි විශ්වාසය තැබුවාය. තමාගේ වැරදි අනාවැකි නිසා රැජින තමාට දඬුවම් කරතැයි ඔහු සිතුවද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. බිසොව විසින් නෙස්ටේ‍රඬේමස්ගේ පුත්‍රයා 14 වන චාල්ස් රජුගේ උපදේශක පදවියට පත් කෙරිණි.


 ඔහු විසින් කියන ලද අනාවැකි බොහෝය. ලන්ඩන් හි මහා ගින්න, නැපෝලියන් බලයට ඒම. හිට්ලර්ගේ නැගීම පමණක් නොව, නිව්යෝර්ක් හි වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමද ඔහුගේ අනාවැකිවලින් පැවැසුනැයි ඒ අනාවැකි පිළිබඳ අරුත් සපයන ඇතැම් විචාරකයෝ පවසති. මැද පෙරදිග යුද්ධ ආදියද ඔහුගේ අනාවැකිවලට පෙන්නැයිද සඳහන් වේ.


 ඔහු ඉතාම පැහැදිලි අනාවැකියක් පළ කළේ තමා ගැනමය. දවසක්දා සවස ඔහු තමාගේ ලේකම් ගෙන්නුවේය. -දැනගන්න හෙට එළිවන විට මා නෑ.” ඇත්තටම පසුදා උදෑසන ලේකම් ඔහුගේ කාමරයට ගිය විට දුටුවේ ඔහු මැරී සිටින ආකාරයයි. ඇතැම් අය කියන පරිදි නෙස්ටේ‍රඬේමස්ගේ මතය වූයේ 3797 දී ලෝක විනාශය වන බවයි. ඊට ඈත කාලය ගැන ඔහු අනාවැකි ලීවේ නැත.


RECOMMEND POSTS