2017 දරුවෝ



“අද ලොව නව දරු පරපුර නම් කරනු ලබන්නේ “සහස්‍රකයන්” වශයෙනි. එයට හේතුව, ඔවුන් විසි එක්වන සියවසෙහි වැඩුනු හෙයිනි. ඔවුන් වැඩුනේ පරිගණකය සමග හෙයින්, ඔවුන්ට හිතෙන් ගණන් හදන්නට ඕනෑකමක් නැත. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි එවැන්නන් අටිකෝටියක් පමණ සිටිති. ඉතාම නවීන, අධිවේගී සන්නිවේදන තාක්ෂණ ක්‍රම නිසා ඔවුන්ගේ අදහස් ශීඝ්‍ර වේගයෙන් ලොව පුරා පැතිරේ. ඒ නිසා මේ නව පරපුරේ සහස්‍රක දරුවෝ අලුත් මානව සංස්කෘතියක් තනති.”

විචාරක -ජොයෙල් ස්ටෙයින්

 

සුබ නත්තලක් යන ආශිර්වාදය, මේ කාලයෙහි ලොව පුරා රැව් දේ. ආගම්, ජාති, වර්ග ආදී භේදවලින් තොරව, මිහිතලය මුළුල්ලේ නත්තල් ආසිරි විසිර විහිද යන්නේය. ප්‍රේමය, දයාව, මානව භක්තිය, කුළුණුබර චේතනා සහ සුහද මිනිස් භක්තියත් නත්තල හා සමඟ ප්‍රබල ලෙස බැඳේ.


නත්තල වෙසෙසින්ම මවත් බිළිඳු දරුවාත් අතර පවත්නා සනාතන ආදර බැම්මේ පරිශුද්ධ භාවයේ මූර්තියයි.


මූලික වශයෙන්ම කිතුනු උළෙලක් සේ ලොවට එළඹෙතත්, නත්තල, ජගත් ජන කණ්ඩායමේ හැම දෙනෙකුටම සහභාගී විය හැකි පූජනීය මානව මොහොතකි. මක්නිසාදයත්, මවත් දරුවාත් අතර ස්නේහය, නත්තල විසින් දිව්‍යමය අවස්ථාවක් බවට පත්කෙරෙන හෙයිනි.


මේ එළඹ තිබෙන කාල පරිච්ඡේදය “දරුවන්” පිළිබඳව කතා බහට අත්‍යන්තයෙන්ම උචිත අවස්ථාවකි. මේ නත්තල හා සමඟ ලෝකයට නව වර්ෂයක් ද උදාවේ. ඒ නව වර්ෂයෙහි ලොව හැමතැනකම, ප්‍රධාන ප්‍රස්තුතය වශයෙන් ඉස්මතුවන්නේ 2017 වර්ෂයේ දරුවන් කෙවැනි පරපුරක් විය හැකිදැයි යන ගැඹුරු ප්‍රශ්නයයි.


නත්තල් කාලයට සමගාමීව, මැද පෙරදිග පෙදෙසේ දරුකැලට, අත්‍යන්තයෙන්ම අවාසනාවන්ත යුගයක් උදාවී ඇත්තේය. සිරියාව ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන අති දරුණු ජන සංහාරයෙන් බේරී පලාගොස් දිවි ගලවාගන්නට ප්‍රයත්න දරන සරණාගතයන්ට තමන්ගේ දරුවන් සඳහා යන්තමට හෝ රැකවරණ දෙන “අභය භූමියක්” සොයා ගැනීම, ජීවිතයත් මරණයත් අතර අර්බුදයකි.


මැද පෙරදිග දරුවන්ගේ ඛේදවාචකය කෙනෙකුට සිතාගන්නටවත් බැරි තරම් දුක්බරය. පණ රැකගන්නා පිණිස පලායන බොහෝ කාන්තාවෝ තමන්ගේ කුසෙහි ඔත් දරු සිඟිත්තාට, මෙලොව එළිය දෙමින්, ඒ ජීවියා ප්‍රසූත කරන්නට යන්තම් හෝ තැනක් ලබාගැනීම සඳහා අති දුෂ්කර ක්‍රියාදාමයක යෙදෙති.


ඒ සරණාගත ගැබිණි මාතාවන්ට ගොඩින් දියෙන් ගමනේ යෙදෙමින්, සිය දරු ප්‍රසූතිය සඳහා තැනක් සොයා ගැනීම, සිතිය නොහෙන තරම් අපහසුය.


යේසු දේව බිලිඳා නත්තල් රැයේදී, ගව මඩුවක උපත ලැබීමේ සාමයික ප්‍රවාදය, මේ මොහොතේ සිදුවන ඒ සරණාගත බිලිඳුන් බිහිවීමේ දුක්ඛදායක ක්‍රියාවලිය විසින් අනුකරණය කෙරෙන්නේ වැනිය.


තමන්ට පුරුදු පෙදෙස් අතහැර දමා ජීවිතය බේරාගෙන යම්කිසි අගු කොණකට හෝ ගියද, ඒ සරණාගත ගැබිනි මාතාවන්ගේ දුක ඉන් කෙළවර නොවේ. ඔවුන්ට ලැගුම් දෙන රටක් විසින් කරුණා පෙරදැරිව සැපයෙන පිහිටක් වුව ද ඒ සරණාගත ගැබිණි මාතාවන්ට හරිහැටි ලබාගත නොහේ. ඒ සරණ සපයන රටේ, වෛද්‍යවරු කතා කරන භාෂාව බොහෝවිට ඔවුන්ට නොතේරේ.


මේ නත්තල් සමයෙහි සිදුවන එවැනි ඛේදදායී දරු උපත්වලට හේතුව පනස් ලක්ෂයක් පමණ ජනතාවට සිය නිජබිම වන සිරියා දේශය අත්හැර යා හැකි කවර දේශයකට හෝ පැන යන්නට සිදුවීමයි. 


එවැනි ඇතැම් සරණාගතයන්ට මේ දිනවල ග්‍රීසියේ නවාතැන් ලැබෙන්නේය. ප්‍රකාශ වී තිබෙන සංඛ්‍යා ලේඛනවලින් දැනගත හැකිවන්නේ, මේ දිනවල සිරියානු සරණාගතයන් අතර සිටි ගැබිණි මාතාවන් දහසකටත් අධික සංඛ්‍යාවක් සිය දරුවන් ප්‍රසූත කළේ ග්‍රීසියේ තාවකාලික වාසස්ථානවලදී බවයි.


මිනිසුන්ගේ කුරිරු යුද කෝලාහල හේතුකොටගෙන මෙවැනි අහිංසක දරු පරපුරකට සහ ඒ දරුවන්ගේ මවුපිය නෑදෑ හිතවතුන්ටත් විඳ දරාගන්නට සිදුවී තිබෙන දැඩි දුක නත්තල් උළෙල හා ආශ්‍රිත, සාමකාමී හැඟීම් හා මානව සුහද බවටත් හාත්පසින්ම වෙනස්ය.
සරණාගත දරු පරපුර, අද යුගයේ ලෝකයේ ළමා පරම්පරා අතුරින් විශේෂිත කණ්ඩායමකි.


ඔවුන්ගෙන් බොහෝදෙනා, මවුපිය නෑදෑ හිතුවතුන්ගෙන් වෙන්ව කුඩාකල පටන්ම අනාථයන් බවට, අසරණ ජීව වර්ගයක් බවට පත්වෙති. ඇතැම් සරණාගත දරුවන්, ඒ මට්ටමෙන් හෝ ජීවිතය රැක ගත්ත ද, තවත් ඇතැම් සරණාගත දරුවෝ, ඉන්නට තැනක් සොයා සාගර තරණයේ යෙදෙද්දී මූදට බිලිවෙති.


මේ සරණාගතයන්ගේ සෝබර ඉරණම අපට කිට්ටු නැතැයි, ඇතැම් දෙනාට සිතෙනු ඇත. එහෙත් මිනිසුන් වශයෙන් ලොව හැමදෙනාම, ඒ සරණාගත දරුවන්ගේ ජීවිත දෙස කම්පාවෙන් බැලිය යුතුවේ.


එය වෙසෙසින්ම, මානව ආදරය දිව්‍යමය තත්ත්වයකට පත්කරන නත්තල් සමයයේදී ලොව කාගේත් බැල්මට ලක්විය යුතු ශෝකාලාපයකි. ශ්‍රී ලංකාවේ අප විසින් ද, මේ සරණාගත දරුවන්ගේ කටුක දිවිපෙවෙත දෙස මෙවැනි සමයයකදී නෙත් යොමු කළ යුතුවන්නේත් අපගේ මේ කුළුණුබර, මෛත්‍රී පූර්වක රාජ්‍යයේත් එවැනි දුක්බර අඳුරු ජීවිත ගතකරන ළමා පරම්පරා වෙසෙන හෙයිනි.
අපගේ ලෝකයේ තවත් වර්ගවල ළමා පරම්පරා වෙසෙති.


අද “සහස්‍රකයන්” යැයි නම් ලබන යොවුන් ජන කණ්ඩායමක්, මිහිතලය පුරා පැතිර සිටිති.


සමාජ විද්‍යාඥයන් විසින් ඔවුන් හඳුන්වනු ලබන්නේ ඵෑල ඵෑල ඵෑ (මම, මම, මම) පරපුර වශයෙනි.


මේ යොවුන් පරපුර පෙර කී සරණාගතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ය.


සමාජ විද්‍යාඥයන් විසින් ඔවුන්ගේ ගති ලක්ෂණ ඉතා පෘථුල ලෙස හදාරා ඇත්තේය.


මේ සහස්‍රකයෝ හැමවිටම පාහේ, කැමරා අතින්ගෙන සිටිති. ඔවුන් බොහෝවිට කරන්නේ තමන්ගේම ඡායාරූප ගැනීමයි. එසේ බහුලව ස්වයං රූප (සෙල්ෆි) ලබාගන්නා ඔවුහු, ඒවා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ යැවීමෙන් තෘප්තියක් ලබති. මේ සහස්‍රක පරපුර “ආත්ම ප්‍රේමී” යොවුන් කණ්ඩායමක් හැටියටත් සමාජ විද්‍යාඥයන් විසින් නම් කෙරේ.

 


“ආත්ම ප්‍රේමී” යන සංකල්පය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ “නාසිස්ටික්” යන පදයෙනි. ඒ වචනය “නාසිසස්” නම් ග්‍රීක දෙවියා නිසා උපත ලැබූවකි. ඒ දෙවියා, ශෝභා සම්පන්න යොවුන් දේව පුත්‍රයෙකි. මේ රූප සම්පන්න යොවුන් දෙවියා, පොකුණක පෙනුනු තමාගේම රූපය කෙරේ පෙම් බැඳගත්තේය. ඒ රූමත් තරුණ දෙවියා, නොකා - නොබී තමන් පිළිබිඹුව දෙසම බලා සිටින්නට පුරුදු වී, වැහැරීගොස් “මලක්” බවට පත්වුණේ යැයි, ඒ ග්‍රීක දේව කතාවෙන් පැවසේ.


ලොව නවීන යොවුන් පරපුරේ දරුවෝත්, බොහෝ සේ ආත්මාවර්තීය. තමන් කෙරෙහිම නැඹුරු වූවෝය.


මේ පරපුරේ අය දියුණු සන්නිවේදන මාධ්‍ය මගින් සිය අදහස් - උදහස් ලොව පුරා වපුරති. 


ඒ නිසා, මේ සහස්‍රකයන්ගේ සිතුම් පැතුම්, මේ දශකයේ ලෝකයේ ස්වභාවය තීරණය කරන ප්‍රධාන බලවේගය බවට පත්වේ. බුද්ධිමත් ජංගම දුරකතනය, සිය භාවනාව සඳහා “කමටහන” බවට පත්කොටගෙන සිටින ඔවුහු, තමන්ගේ ජීවිතය හැඩගස්සා ගන්නේ ඒ දියුණු මාධ්‍ය තාක්ෂණ අනුසාරයෙනි.


ශ්‍රී ලංකාවේත්, ඉතා පෘථුල සහස්‍රක පරපුරක් තැනී ඇත්තේය.


මේ ප්‍රබල යොවුන් බළ ඇණියේ ක්‍රියාකාරීකම්, සමාජ හිතවාදී, සුහද සහ ජීවනයට තුඩුදෙන සේ සකස් කරන්නට අද මවුපියන් ආගමික නායකයන්, ගුරුවරුන් හා සමාජ ශාස්තෘවරුන් ඇතුළු හැමදෙනාම, තියුණු අවධානයෙන් සිටිය යුතුවේ.


මේ සහස්‍රකයේ දරුවන් යහමඟට යොමු කරනු පිණිස, ඔවුන්ට ධෛර්ය සැපයීම, සමාජයේ වැඩිහිටි කාගේත් ප්‍රබල වගකීමයි. සිය යොවුන් දරුවන්, හොදින් හදා ගත් පියෙක් තමන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය මෙසේ විස්තර කරයි. තමන්ගේ කුඩා දියණියන් නිදා සිටින විට, ඒ පියා ඔවුන්ගේ කනට වචන පහක් කෙදිරියේය. වචන පහ “ෂ  ජ්බ ්බා ෂ උසකක”


(මට හැකිය, මම එය කරමි) 


මෙහි පුදුමය නම්, දරුවන් උදේ අවදි වූ විට, සිය පියා තමන් නිදනවිට කනට කොඳුරා කී උපදේශ, මතකින් කියන්නට පටන් ගැනීමයි.


අද යුගයේ දරුවන් - 2017 යොවුන් පරපුර නිසි මඟ යවන්නට බණ - භාවනා දියත් භාවිත කරන්නට සිදු වෙනු ඇත.


එසේ වුව ද, මේ තාක්ෂණික උපකරණවලින් ලෝකය සිය හදාගන්නට බලන අද යුගයේ දරුවන්ට මානුෂික හැඟීම්, යහපත් උගන්වන්නට, වැඩිහිටි ලොව ඉතා හොඳින් හැදී  පැහැදී සිටිය යුතුවේ.


යන්ත්‍ර  සූත්‍ර මෙවලම් ආදියට පමණක් දරුවන් සීමාවීම වැඩිහිටි සමාජය විසින් ආයාසයෙන් වළක්වා ගත යුතුවේ.


ඇමෙරිකාවෙන් ලැබෙන “යොවුන්” පුවතක් කම්පාව දනවන සුළුය.


“ඇතැම් යොවුන් වියේ දරුවෝ, හුදෙකලාවේ වෙසෙන්නට යොමුවෙති. ඔවුහු, පවුලේ කටයුතුවලින් පවා බැහැර වී, තමන්ගේම ලෝකයක ගුලිවී සිටින්ට බලති” යි සමාජ විද්‍යාඥයෝ අනතුරු අඟවති.


අප 2017  ලෝකය උග්‍රවනු දකිනවිට, අපගේ යොවුන් පරපුර ඒ නව වර්ෂයේ ද උදාර ප්‍රතිඵල ලබන තැනට, වැඩිහිටි අදහසින් ඉටු කළ යුතුව තිබෙන යුතුකම් ගැන ද, ගැඹුරට සිතිය යුතුවේ.


ලොව යොවුන් පරපුරට, ඉතා වැඩදායී 2017 වර්ෂයකට අප විසින් සුබ පැතිය යුතුවේ. ඒ නව වර්ෂය, ඵලදායී කාල සමයක් හැටියට ගත කිරීමට මාර්ගෝපදේශ සලසන්නට, අද යුගයේ වැඩිහිටි පරපුර ඉතාම ඕනෑකමින් සූදානම්ව සිටිය යුතු බව ද ඒ හා සමගම මතක් කළ යුතුවේ. 


සුබ 2017 වසරකට ආසිරි.


RECOMMEND POSTS