2016 සිට 2017 තේ ලෝකයට



 

“මිනිසා සතු සියලු වස්තු අතරින් ඉතාම වටිනාවූත් එසේම ඉතා ඉක්මනින් නැති වී යන්නා වූත් වස්තුව වන්නේ කාලයයි”
රෝ අනෝකේහි ජෝන් රැන්ඩොල්ෆ් 
(1773-1833) ඇමෙරිකානු පාලන තන්ත්‍රවේදියා.

 

වසරකැයි කියන්නේ සාමාන්‍යයෙන් නම් දින 365 ක කාලයකි. 2016 වැනි දීර්ඝ වර්ෂයක දී අවුරුද්දට දවස් 366 කි.


සරත් ගෙවීම යැයි කියන්නේ කුමක්දැයි මහා සන්නිවේදන ඉසිවර ආතර් සී ක්ලාර්ක් ශ්‍රීමතා මෙසේ විවරණය කළේය.


“අවුරුද්දක් ගෙවනවාය කියන්නේ පෘථිවිය නමැති යානයෙන් සූර්යා වටා වරක් ගමන් කිරීමයි.”


මේ ප්‍රකාශයට අනුව මම මෙතෙක් අනූහතර වාරයක් සූර්යයා වටා ගමන්කොට සිටින්නෙමි. දැන් මා අරඹා සිටින්නේ සූර්යයා වටා මා ගමන් කරන අනුපස්වන සංචාරක වාරයයි.


2017 තේ ජනවාරි පළමුවනදා නව වසර උදාවෙයි. “පෘථිවිය” නමැති අපගේ මේ අජටාකාශ යානය, එදින උදෑසනින් ‘මගීන්’ හත්සිය පණස් කෝටියක් දෙනා “පටවාගෙන” සූර්යයා වටා තවත් අලුත් ගමන්වාරයක් ආරම්භ කරන්නේය.


ලෝකයේ විවිධ ජාතීහු නොයෙක් නොයෙක් දවස්වල අලුත් අවුරුදු උළෙල පවත්වති. ශ්‍රී ලංකාවේ අප සිංහල හින්දු නව වසර අරඹන්නේ අප්‍රේල් මස දහතුන්වදා හෝ දහ හතර වනදායි. අලුත් අවුරුද්ද පැවැත් වෙන්නේ ඒ ආදී වශයෙනි.


එහෙත් අද ලොව හැම දෙනාම පාහේ චිරාගත සම්මුතියකට අනුව, හැම ජනවාරි මාසයකම පළමුවනදා අලුත් අවුරුදු උත්සව පවත්වති. එසේ ජනවාරි පළමුවන දින අලුත් අවුරුදු උළෙල පැවැත්වීම ජාති, ආගම්, දේශ පිළිබඳ බෙදුම් නොතකා කෙරෙන ජනමංගල්‍යයකි. 


අලුත් අවුරුද්දට මුල්වන ජනවාරි මාසය ගැනද සුළු පූර්විකාවක් ඉදිරිපත් නොකොටම බැරිය.


වර්ෂය ආරම්භ කරන මාසය “ජනවාරි” යැයි හඳුන්වන ලද්දේ පැරණි රෝම ජාතික විද්‍යාඥයන් විසිනි. ජනවාරියට ඒ නම ලැබෙන්නේ “ජේනුස්” නම් දෙවියාගේ නාමය ආශ්‍රයෙනි.


මේ ඉපැරණි රෝම දෙවියා විස්මය උපදවන ලක්‍ෂණ සහිතයි.  ඔහුට මුහුණු දෙකකි. ඒ නිසා ඒ දෙවියාට අතීතය සහ අනාගතය යන කාල දෙකම එකෑවර දැකිය හැකිවේ. ඒ දෙවියාගේ හිසේ ඉස්සරහ පැත්තේත් මුහුණක්. පසු පැත්තේත් මුහුණකි.


ඔහු පටන් ගැනීම් හා අවසන් කිරීම් යන දෙකටම අධිපතිය. දොරටු, වරණ්ඩ, වාහල් කඩවල් සහ සාරුවීම් ද ඒ දෙවියාට භාරයි.


මේ සියල්ල සලකා බලන කල්හි, ජේනුස් දෙවියා ගෙවුණු අවුරුද්ද මෙන්ම ලබන අවුරුද්දත් බලන්නට බොහෝ සුදුසුකම් සහිත කෙනෙකි.


එහෙත්, ගතවී ගෙන යන 2016 දෙස බලමින් උදාවීගෙන එන 2017 තේ වර්ෂය දෙසට නෙත් යොමුකරන විට, ජේනුස් දෙවියාට වුවද තරමක චිත්ත කම්පනයක් දැනෙනු නිසැකයි.


2016 යේ පටන් ගැන්මේ දී, ඒ තරම් සිත පාරන ලකුණු පහළ වූයේ නොවේ. 2016 යේ අවුරුද්දේ මුල් මාසවල ලෝකයාගේ අවධානයට පත්වූ ප්‍රධාන ප්‍රුස්තුත අතර සුවිශේෂී කාන්තාවන් දෙදෙනෙක් වූහ.


ඉන් එක් කාන්තාවක් වූයේ ජර්මණියේ චාන්සලර්චරිය වන අන්ජෙලා මර්කේල් මහත්මියයි. 2016 යේ ආරම්භය ගෙන ආ කාල පරිච්ජේදයේ දී ලෝකය, අතිශයින්ම හද පාරන මානව අර්බුදයක හිරවී සිටියේය. ඒ සරණාගතයන්ගේ කර්කශ ඉරණමයි.


ඒ අධිෂ්ඨාන පූර්වක කාන්තාව, උදාවන 2016 යේ ලෝකයට, රැව් දෙන ප්‍රතිරාව නඟන උද්යෝග පාඨයක් කියා දුන්නාය. ධෛර්ය සම්පන්නව, අභියෝගවලට මූණපාන ආකාරය එතුමිය 2016 යේ ලොවම පුරුදු කළාය. 


2016 යේ වර්ෂයට මානව වංශය එළඹුණේ ඒ උද්යෝග පාඨයේ බෙලෙනි.


ඒ ජීවමාන කාන්තාව මෙන්ම තවත් කාන්තාවක්ද 2016 යේ උදාව හා සමග ජන මතකයට ආවාය. මේ කාන්තාව ප්‍රවෘත්තිවලට මුල් වූයේ එතුමියගේ අභාවය නිසාය. 2016 යේ ආරම්භයේදී අනුපස් හැවිරිදිව මියගිය නැන්සි රේගන් මහත්මිය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිව සිටි රොනල්ඞ් රේගන් මහතාගේ භාර්යාවයි.


මේ කාන්තාවගේ අචල පතිභක්තිය නිසාත් සිය ශ්‍රේෂ්ඨ සැමියාගේ දිවිපෙවෙතෙහි ජීවය වෙමින් ඒ ජනනායක පුරුෂයාගේ අවසාන සමයට ආලෝකය සැපයූ මහා ප්‍රදීප ස්ථම්භයක් වීම නිසාත් නැන්සි රේගන් කාන්තාව 2016 වර්ෂයේ ආරම්භය ඉතිහාස ගත කළාය.


2016 යේ වර්ෂය ආරම්භයේදී එවැනි සුබ නිමිති තිබුණද ඉන් පසුව මේ ගෙවී යන වර්ෂය අවිනිශ්චිත ගමනක යෙදුනාක් සේ පෙනෙයි. අතීතාවර්ජනයක යෙදී 2016 යේ ලෝක සිද්ධිදාමය දෙස විචාර පූර්වකව බලන්නෙකුට ලොව පුරා සිදුවූ සමාජ විරෝධී ජීවිත නාශක රැල්ලක් දැකිය හැකිවූයේය.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි, 2016 යේ ජුනි මාසයේදී රාත්‍රි සමාජ ශාලාවකට කඩාවැදුණු විකෘති මනසැති පුද්ගලයෙක්.

විනොදකාමී පිරිසකගේ ජීවිත විනාශ කළේය. ජුනි මස 12 වනදා ඇමෙරිකා වේ ඕර්ලැන්ඩෝහි ‘පල්ස්’ නම් ස්ථානයේදී ඒ ඝාතකයාට අමු අමුවේ බිලිවූ සංඛ්‍යාව 49 කි. 


එතැන් පටන් දිගටම පාහේ ලෝකයේ බොහෝතැන්වල එවැනි ඝාතන සිදුවූයේය. යුරෝපා සංවිධානයේ අගනුවර වන බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයත් මේ දුර්දාන්තයන්ගේ ඉලක්කය බවට පත් විය. ආසියාකරයේ බංග්ලාදේශයේ අගනුවරටද ඔවුන්ගෙන් බේරීගත හැකි නොවීය. ප්‍රංශ රාජ්‍යය සිය නිදහස් උළෙල පැවැත් වූ සමයේදී ත්‍රස්තවාදීන් ගේ රථයක්, මහමග ඉඳගෙන උන් පිරිසක් යටකොටගෙන මාරක ධාවනයක යෙදුණේය. මේ නාශක ප්‍රවාහනය අත්‍යන්තයෙන්ම කෘර මුහුණුවරක් ගත්තේ සාමයික උත්සව පැවැත් වූ බැතිමතුන්ගේ ජීවිතත් ඔවුන්ගේ බිල්ල බවට පත්වූ හෙයිනි.


මේ අමානුෂික ඝාතන ප්‍රවාහය, ලොව විවිධ පැතිවල පැතිර යද්දී තුර්කි ජනාධිපති හැට දෙහැවිරිදි රෙසොප් ටෙයියිප් එර්ඩොගන් තමාගේ පාලනයට එරෙහිව නැඟී සිටි කැරලිකාර කණ්ඩායමක් සහමුලින් පරදා ලමින් සිය පාලනය ස්ථාවර කොට ගත්තේ.


“අයිඑස්අයිඑස්” නමින් හැඳින්වෙන අධි අමුනුෂික මරදූත කණ්ඩායමේ ජන ඝාතකයෝ මැද පෙරදිග ඇතැම් රාජ්‍ය හා නගරත් රුධිර යායවල් බවට පත් කළහ. සිරියාවේ ඇලප්පෝ නගරය මේ රුහිරු කාමීන්ගෙන් බේරාගන්නට දරන ලද ප්‍රයත්නද අසාර්ථක විය. අයිඑස්අයිඑස් කොල්ලයට එරෙහිව ඉරාකය විසින් අරඹන ලද ප්‍රහාරයද කිසිසේත් සාර්ථක නොවීය.


මිනිස් රකුසන් විසින් අහිංසක ජනකාය ගොදුරු කොට ගන්නට දරුනු ලබන හද දෙදරන ඝාතන කන්දරාව මදිවූ කලක් සේ 2016 යේ ලෝකයට  අධි අන්තරායකාරී මාරාන්තික රෝගයක්ද කඩා වැදුණේය.


මේ රෝග කාරක වයිරසය නම් කෙරෙන්නේ ‘සීකා’ වශයෙනි. එයට හේතුව ඒ වයිරසය 1947 තේදී අෆ්‍රිකාවේ උගන්ඩා දේශයේ ‘සිකා’ නම් වන ප්‍රදේශයෙන් සොයා ගනු ලැබීමයි.


මෙය අද ලොව පෙළ “වයිරස්’ අතුරින් ඉතාම භයානක වර්ගයකි. ගර්භණී මාතාවක් මේ රෝගයට ගොදුරු වී නම් ඇයගේ කුසහි ඔත් දරුවා කෙරෙහිද ඒ ‘වයිරසය’ බලපාන්නේය. දරුවා එවිට බිහිවන්නේ උපතින්ම ලද අඩුපාඩු සහිතවයි. ඒ නිසා මෙවැනි දේ කල්තියාම දැන ගැනීම මගින් එවැන්නකින් සිදුවිය හැකි හානිය වළක්වා ගත හැකිවන්නේය.


ඒ නිසා වාර්ෂිකව කෙරෙන ප්‍රවෘත්ති සමාලෝචනයන්හි මෙවැනි දේ ගැන පාඨක අවධානය තියුණු ලෙස යොමු කළ යුතුවේ. අවශ්‍ය වාරක පියවර ගන්නට එය උපකාරී වේ.


ප්‍රබල දේශපාලන සිද්ධි කිහිපයකින් 2016 යේ ලෝකය බොහෝ සේ ආලෝලනය විය.


ජුනි මාසයේදී ක්‍රියාවේ යෙදුනු ජනමත විචාරයක ප්‍රතිඵලයක් වශයෙන් මහා බි්‍රතාන්‍යයේ පාලනය නව මාවතකට එළඹියේය. බටහිර ලෝකයේ පරිපාලන රටාව දෙදරවමින් 2016 යේ ජුනි මස විසි තුන්වනදා බි්‍රතාන්‍ය ජන්ද දායකයෝ සිය දේශය යුරෝපා සංවිධානයෙන් ඉවත්විය යුතුයැයි තීරණය කළහ. මේ ඡන්ද ව්‍යාපාරය නම් කෙරුණේද ‘බ්‍රෙක්සිට්’ වශයෙනි. යුද්ධයකින් තොරව එක්කෝටි හැත්තෑ ලක්ෂ ජනකායකගේ ඡන්දයෙන් බි්‍රතාන්‍යය, යුරෝපා සංවිධානයෙන් ඉවත් වූ යේය.


බි්‍රතාන්‍ය දේශය මෙසේ යුරෝපා සංවිධානයෙන් වෙන්වුණේ තමා විසින් එළඹෙන ලද තීරණයක් නිසායැයි පිළිගත් අගමැති ඬේවිඞ් කැමරන් සිය පදවියෙන් ඉල්ලා අස්විය.


 හිස් වූ බි්‍රතාන්‍ය අගමැති පදවියට පත් වූයේ තෙරේසා මේ කාන්තාවයි. බි්‍රතාන්‍ය අගමැති නිල නිවාසය වන ඩවුනිං වීදියේ අංක දහය දරන ස්ථානයට සපැමිණි පනස් නව හැවිරිදි තෙරේසා මේ දේශපාලන නායිකාව මෙසේ කියා සිටියාය.


“බි්‍රතාන්‍යය ප්‍රබල ජාතික වෙනසකට මුහුණ පා සිටියි. බි්‍රතාන්‍යයේ අපි අර්ථවත් නව අභීත ප්‍රතිපත්තියක් තනාගෙන ලෝකයට එළඹෙන්නෙමු.


බි්‍රතාන්‍යයේ නව අගමැතිනිය සිය දේශය යුරෝපා සංවිධානයෙන් බැහැර වීමේ දී අනුගමනය කරන අලුත් පාලන ක්‍රියාදාමය ඉතා පැහැදිලිව ප්‍රකාශ වන්නේ 2017 තේ මුල් කාල පරිච්ජේදයේදීය.


බි්‍රතාන්‍යය වෙන්වී යෑම නිසා යුරෝපා සංවිධානයේ අනාගත ව්‍යුහය පිළිබඳ කවර වෙනස්කම් සිදුවිය හැකිද යන ප්‍රශ්නය 2016 යේ ලෝකයේ ජනමතයෙන් රැව් පිළිරැව් දුන් අර්බුදයක් විය. මේ ඓතිහාසික සිද්ධිය නිසා බි්‍රතාන්‍ය පාලන සම්ප්‍රදායෙහි සිදුවන ඇතැම් වෙනස්වීම් ශ්‍රී ලංකාව කෙරේත් බලපෑ හැකි දැයි මේ අපගේ දේශයේ ඇතැම්මුද කුකුසට පත් වූහ.


ජගත් දේශපාලන වේදිකාවේ සිදුවූ තවත් ප්‍රබල සිද්ධියක් ප්‍රකාශයට පත්වුණේ ඇමෙරිකා එක්සත් ජනප ද රාජ්‍යයෙනි.


2016 යේ නොවැම්බර් මස නවවන දා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සිය 45 වන ජනාධිපති තෝරා පත් කරගනු පිණිස ඡන්දය ප්‍රකාශ කළේය.


තරගය පැවැත්තේ ඩිමොක්‍රැටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් කාන්තාවත්, රිපබ්ලිකන් පාක්‍ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් අපේක්‍ෂකයාත් අතරයි.
එවැනි විවාදාත්මක ජනාධිපති තරගයක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ඉතිහාසයේ මෙයට පෙර නොපැවැති තරම්ය.


ඉලෙක්ට්‍රල් කොලෙජ් (ඡන්ද පීඨ) ප්‍රතිඵලවලට අනුව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබීමෙන් ඩොලන්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පදවි ප්‍රාප්ත වූයේය.


මහජන ඡන්දවලින් බහුතරයක් ලැබුණද හිලරි කාන්තාවට ජනපතිනි පදවිය නොලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඉලෙක්ට්‍රල් කොලෙජ් ඡන්දය මහජන ඡන්දයට වඩා ඉහළින් සැළකෙන හෙයිනි.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය මුළු ජගත් බල මණ්ඩලයටම ආලෝලනය වන ආකාරයේ ජනාධිපති ඡන්ද විමසීමක් පවත්වා තෝරාගත් ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් ජනාධිපති පදවියෙහි තහවුරු වන්නේ 2017 තේ ජනවාරි විසිවනදා නිල වශයෙන් දිවුරුම් දීමෙන් පසුවයි.


2017 තේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් පදවියට අලුතින් පත්වන්නේ පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වූ අන්ටෝනියෝ ගුටේරිස් පාලන තන්ත්‍රවේදියායි.


ආසියාකරයත් මැද පෙරදිග කලාපයත් වෙසෙසින්ම ආලෝලනය වී සිටින සමයක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘නියමුව’ පදවිය ලබන ගුටේරිස් මහතා හැටහත් හැවිරිදි කෘතහස්ත පරිපාලන තාන්ත්‍රිකයෙකි.


හිටපු මහලේකම් තැන්පත්වරයා බවට පත්වන බෑන් කී මූන් මහතා ඇතැම්විට සිය නිජ දේශය වන දකුණු කොරියාවේ ජනාධිපති පදවිය සඳහා 2017 දී ඉදිරිපත් වනු ඇතැයි ඇතැම් මු පවසති.


2016යේ වර්ෂයේදී ජීන ජීවිතයෙන් සමුගත් තායිලන්තයේ භූමිබෝල් අදුල්‍ය ඬේජ් රජතුමාගේ ඇවෑමෙන් එතුමාගේ පුත් කුමරු ‘දශවන රාමා’ යන ගරු නාමය සහිතව තායි රාජයා බවට පත්වේ.


ඒ කුමරු සිය නිල මෞලි මංගල්‍යය පවත්වන්නේ සිය පියරජතුමන් උදෙසා ජාතිය හා දේශය ගතකෙරෙන ශෝක සමය නිමා වීමෙන් පසුවයි.


මේ ගෙවී යන වර්ෂයේ දී මනුලොවින් නිකුත්ව ගිය පුද්ගලයන් කීප දෙනෙක් ප්‍රවෘත්ති ලෝකයේ මුල් තැනක සිටියහ.
මානව ශූර බොක්සිං ක්‍රීඩක මොහමඞ් ක්ලේ ජීවන සටනින් පැරදුණේ හැත්තෑ හතර වසක් ලෝ කරළියෙහි සිටීමෙන් පසුවයි.
මෑත යුගයේ විප්ලවීය නායකයන් අතරෙන් දිගු කලක් දිවි පෙවෙත පවත්වාගෙන ගිය ෆිදෙල් කස්ත්‍රෝ අනූ හැවිරිදිව 2016 යේදී අභාවයට පත්වූයේය.


කිසිකලෙක සිය විප්ලවය අත්නොහළ ඔහු සිය බලය තමාගේ මලනුවන් වන රවුල්  කස්ත්‍රෝට භාර කළේ කියුබාවට නව දේශපාලන යුගයක් අවශ්‍ය බව හරි හැටි අවබෝධ කොට ගෙනයි.


ජනකාන්ත ඉන්දීය නායිකාවක් වූ ජයලලිතා මහත්මිය සංවේගී ජනකායකගේ ශෝකාලාපය මධ්‍යයේ ජීවිතය හැර ගියාය. සඳුන් මංජුසාවක බහාලන ලද එතුමියගේ දේහය මිහිදන් කෙරිණි. මෙය හින්දු චාරිත්‍රයනට මදක් පරිබාහිරව වූයේ ද ඇතැම්මු දුටුවහ.


2016 හෝ ලෝකයේ සිද්ධිදාමය සතු විවිධත්වය හේතුකොට ගෙන මේ ගෙවී යන වර්ෂය මානව ඉතිහාසයේ මෑත යුගයේ එලඹි අමතක නොවන ආකාරයේ වර්ෂයකි. 2017 තේ සුබාසිරිය මුළු ලොවටම ශාන්තියක් ගෙන එනු ඇතැයි කවුරුත් පතති.


RECOMMEND POSTS