’’නිදහස’’ සදා ජපකළ යුතු දිව්‍ය මන්ත්‍රයක්



 

 

සමස්ත ලෝකයේම, ඓතිහාසික වංශ කතා පද්ධතියෙහි, අපගේ මේ සිඟිති දිවයිනට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එයට හේතුව මෙයයි. ලෝකයේ සියලු රාජ්‍ය සමූහයෙහිම, අඛණ්ඩ, ලිඛිත ඉතිහාසයක් ඇත්තේ අපගේ මේ දේශයට පමණි. චූල වංශයේ දෙවන කාණ්ඩයෙහි, අපගේ පාලක පාලිකාවන් 186 දෙනෙකුගේ නම් සහ පාලන සමයයන් සඳහන් වන්නේය. ප්‍රථම පාලකයාවන විජය රජුගෙන් ආරම්භ වූ අපගේ රාජවංශය නිමාවූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙනි. ඒ සම්පූර්ණ කාලය තුළ මේ දිවයින කිසිවකු විසින් යටත් කර නොගන්නට විය. ඇතැම් විටෙක මුහුදුබඩ සමහර පෙදෙස්, විදේශික පාලනය යටතේ පැවැත්තේය. එහෙත් අපගේ සම්පූර්ණ දේශය කිසිම බලවතෙකුට යටත් වූයේ නොවේ.

මහා වංශය, චූල වංශය (එක), චූල වංශය (දෙක) යන කොටස් තුනෙන් සමන්විත වූ ශ්‍රී ලංකා වංශ කතාව අසහාය ඉතිහාස වාර්තාවකි. මෙසේ ඉතිහාසය පෙරට ගමන් කරද්දී බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින්, ශූර තන්ත්‍රවාදියෙක් ශ්‍රී ලංකාවට එවනු ලැබුවේය. ඔහුගේ මූලික අරමුණ වූයේ, මේ රටේ නායකයන්, එකිනෙකා විශ්වාස නොකරන තැනට පත්කිරීමය. ඔහු විසින් ශ්‍රී ලංකාවේ නායකයන්, ඔවුනොවුන් විශ්වාස නොකරන තැනට පත්කරන්නට විය. තමාගේ තන්ත්‍රය සාර්ථකවී, ශ්‍රී ලංකා නායකයන් සිය රජු පාවාදෙන තරමට පිරිහුණු විට, ඔහු, බි්‍රතාන්‍ය යටත් විජිත ලේකම් වරයාට රහසිගත ලිපියකින් ලියා දැන්වූයේය. ඒ රහස්, ලිපිය මෙසේය: “ද බිග් ෆිෂ් ඉස් ඉන්, අවර් නෙට්, ෂැල් වී රෙයිස් ඉට්?” අරුත: “මහ මාළුවා, අපේ දැලේ වැටිලා. අපි දැල උස්සමුද?” පෙරළා, බි්‍රතාන්‍ය යටත් විජිත ලේකම් එවූ පිළිතුර මෙසේය. “ඩූ නොට් වොරි. ද සිංහල පීපල් දෙම් සෙල්ව්ස් විල් රෙයිස් ද නෙට් ෆෝ අස්.” අරුත: “කලබල වෙන්න එපා. සිංහල මිනිසුන්ම දැල ඔසොවා අපට මහ මාළුවා බාර දේවි.” සියවස් ගණනක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සතුව තිබුණු නිදහස, නැතිවී ගියවිට ජනතාව තුළ හටගත් කම්පනය, ඉතා ව්‍යක්ත ලෙස පළ කෙරෙන කතාවක් වෙයි. මේ කතාව, ඉන්දියාවේ මුල්ක් රාජ් ආනන්ද් නම් නිර්මාණකරුවකුගේ කෘතියකි. ඒ මෙසේය: මවක් සිය කුඩා දරුවා හා සමඟ සැණකෙළි බිමකට යන්නීය. විශාල ජනකාය මැද්දේ ගමන් කරන කුඩා දරුවා, සිය මාතාවගේ අත තදින් අල්ලාගෙන සිටී. මෙසේ සැණකෙළිබිමේ අසිරිය බලමින් යන කුඩා දරුවා වර්ණවත් බැලුන් බෝල දකී “අම්මේ, මට බැලුන් බෝල ඕනෑ” යැයි දරුවා කියන්නේය.” නෑ පුතා අපි යමුයැ”යි කියමින් මව, දරුවා ඇදගෙන යන්නීය. දරුවා, ඉනික්බිතිව දකින්නේ රසකැවිලි සල්පිලකි. “නෑ පුතා අපි යමුයැ” යි කියා මාතාව, දරුවා ගෙන යන්නීය. දරුවා, වරින් වර, සෙල්ලම් බඩු, වෛවර්ණ ඇඳුම් පැළඳුම් ඉල්ලා සිටී. මව ඒ කිසිත් නොතකා දරුවා පෙරට ගෙන යන්නීය. මෙසේ යන අතර, දරුවාට සිය මාතාවගේ ග්‍රහණය අත හැරේ. අම්මාගේ ඇඟිලි තුඩුවල ග්‍රහණය නැතිව යන දරුවා, මහ හඬින් කෑ ගසන්නට වෙයි. දරුවා අඬනවිට, සැණකෙළියේ සංවිධායකයෝ ඔහු වෙත එති. “දරුවා, ඔබට බැලුන් බෝල ඕනෑද?” “නෑ මට, අම්මා ඕනෑ.” “දරුවා, රසකැවිලි ඕනෑද?” “නෑ, මට ඕනෑ මගේ අම්මා” අම්මාගේ අතේ එල්ලී යනවිට, ඉල්ලූ කිසිම දෙයක් දැන් දරුවාට ඕනෑ නැත. දරුවාට ඕනෑ කරන්නේ අම්මාය.

නිදහස නැතිවූ විට දැනෙන සංතාපය එවැනිය. ඒ දැඩි පසුතැවිල්ල ආරම්භ වූයේ 1815 මාර්තු 2 වැනිදාය. මේ ශ්‍රී ලංකා දේශය, බි්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පාලනය වූ සමය, මට තරමකට මතකයි. බි්‍රතාන්‍ය පාලකයන්, ඒ යුගයේදී, මේ රට තමන්ගේ බව, ශ්‍රී ලාංකිකයන්ට දැනෙන ලෙස යෙදූ එක් ප්‍රධාන උපක්‍රමයක් විය. එහිදී, ශ්‍රී ලංකාවේ පාසල්වල, එක්තරා චාරිත්‍රයක් තිබිණි. දරුවන් සියලු දෙනාම නැඟී සිට, සුදු රජෙකුගේ හා ඔහුගේ බිසොවගේ රූපය දෙස බලාගෙන ගීතයක් ගායනය කළ යුතුව තිබුණේය. ඒ ගීතයේ කොටසක් මෙසේය. “ගුණ සාගර භූරි, තේජෝ භූෂණ, පංචම ජෝජ් මහ රාජාය.” ඒ කාලයේ බි්‍රතාන්‍යය අධිරාජයා වූයේ පස්වන ජෝජ් රජුය. අප විසින් විශේෂයෙන්ම සිත් යොමු කළ යුතු වන්නේ, ශ්‍රී ලංකාවට යළිත් නිදහස ලැබුණු ආකාරය දෙසටයි. දෙවන ලෝක මහා යුද්ධය කෙළවරවීමෙන් පසුව, ඉන්දියාව සිය නිදහස් සටන ඇරඹුවේය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉවත්වී, නිදහස ලබාගන්නා පිණිස, ඉන්දියාව විසින් කරන ලද නිදහස් සටනේදී, ලක්‍ෂ සංඛ්‍යාත ජන කණ්ඩාමකගේ ජීවිත නැතිව ගියේය. රට, තුනකට බෙදුණේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ශ්‍රී ලංකාවේද නිදහසේ සටනක් ආරම්භ විය. ශ්‍රී ලංකාවේ පාලනයෙහි සිටි, ඇතැම් බි්‍රතාන්‍ය නිලධාරීහුද, මේ දේශයේ ප්‍රභූවරුන්ට සහ නායකයන්ට, විවිධ ආකාරයේ හිරිහැර පැමිණ වූහ. ශ්‍රී ලංකාවේ සිටින, බි්‍රතාන්‍ය නිලධාරීන්ගේ නොපනත්කම් ගැන විරුද්ධ වුවහොත්, මේ රටේ සිංහල ප්‍රධානීන්ටද විවිධ අතවරයන්ට මූණ පාන්නට සිදුවිය. එහෙත්, ලන්ඩන්හි ඇතැම් බි්‍රතාන්‍ය නිලධාරීහු, ඒ ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය නිලධාරීන්ගේ අසාධාරණකම් දැන නොසිටියහ. එවැනි පසුබිමක ඒ අසාධාරණකම්, දරුණු ගති ලන්ඩනයට කියා යවන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය. එසේ ඉදිරිපත් වුවහොත්, ඒ තැනැත්තාට අත්වන ඉරණම පැහැදිලි වූ හෙයිනි. ශ්‍රී ලාංකික නිදහස් සටනේ, ඇතැම් නායකයෝ, මෙහි සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසින් බන්ධනාගාරගත කලහ. එක් සිංහල නායකයක්, වෙඩි තබා මරණයට පත් කෙරිණ. මෙවැනි අර්බුදයකට අසුව සිටියදී, ශ්‍රී ලංකාවේ ජාතික නායකයෙක් අභීත පියවරක් ගත්තේය. ඒ නායකයා, ඊ.ඩබ්ලිව්. පෙරේරා ජාති හිතෛෂියායි. ඔහු සිංහල ජනතාවට සිදුවන බැරෑරුම් අසාධාරණකම්, නොසැලකිළි හා කෲරකම් පිළිබඳ වාර්තාවක් ලියූවේය. ඔහු ඒ වාර්තාව සපත්තුවක අඩියක තබා මස්සවා, එය පැළඳගෙන නැවෙන් ලන්ඩන් නුවරට ගියේය.

උණවටුනේ ඒ දේශමාමකයා, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය පාලකයන්ගේ අසීමිත දරුණුකම් සහිත වාර්තාව එසේ සපත්තු අඩියේ තබා මස්සවා ගෙන, ලන්ඩනයට රැගෙන යද්දී, කිසි විටෙකවත්, ඒ රහස අසුවූයේ නැත. ලන්ඩන්හි බි්‍රතාන්‍ය යටත් විජිත නිලධාරීහු, බි්‍රතාන්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ වැසියන්ට කෙරෙන තාඩන - පීඩන - මැඩලීම් ගැන හරිහැටි කරුණු දැන නොසිටියහ. ශ්‍රී ලංකා නිදහස් සටනේ සුවිශේෂී ලක්‍ෂණය වූයේ, අපගේ දේශයේ නායකයන්, ඉතාම කිට්ටු සබඳතාවකින් බැඳී, නිදහස් සටන මෙහෙයීමයි. ජාතික, ආගම්, වර්ග ආදී හේතු කිසිවක් ගැන නොසිතා, ශ්‍රී ලංකාවේ නායකයෝ, එකට එකතුවී මේ දේශයට නිදහස පතා සිටියහ. ඩී.එස්. සේනානායක මහතාගේ පුරෝගාමීත්වයෙන්, ශ්‍රී ලාංකික නායකයෝ, ආගම්, ජාති ආදී භේද නොතකා එකට එක්වීගෙනම නිදහස ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබෙන තැනට, හේතු සාධක හොඳින් සකස් වෙද්දී, අදිසි බාධාවක් ඉදිරිපත් විය. අපගේ නායකයන්ට, බි්‍රතාන්‍ය නියෝජිතයෝ මෙසේ කියා සිටියහ. “අප විසින් ශ්‍රී ලංකාවට, පිරිනැමිය හැක්කේ “ඩොමීනියන් තත්ත්වය” පමණි. ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස දෙන්න බෑ.” “ඒ ඇයි දැ”යි ඩී.එස්. සේනානායක මහතා විස්මයෙන් විමසා සිටියේය. “ඔබගේ අතීතය, දේශය විශිෂ්ටයි. එහෙත් ඔබේ දේශයේ වැසියෝ, නවීන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තරමට ඉංගිරිසි නොදනිති. ඒ නිසා, ඔබට පිරිනැමිය හැක්කේ “ඩොමීනියන්” තත්ත්වය පමණි.” ඩී.එස්. සේනානායක මහතා, මේ ප්‍රකාශය නිසා, බොහෝ සේ කම්පාවූයේය. එහෙත්, ඩී.එස්. සේනානායක දේශප්‍රේමියාද, සූක්‍ෂම තන්ත්‍රවාදියෙකි. වරක්, ඩී.එස්. සේනානායක මහතා, බි්‍රතාන්‍ය නියෝජිතයන් හා සමග ගමන් කරද්දී, මේ ප්‍රශ්නය ඉස්මතු කළේය. සේනානායක මහතා රියැදුරාට මෙසේ කීහ. “නවත්වන්න” රිය නැවතුනේ වෙල් යායක් අසලයි. ඒ වෙල් යායේ, අමුඩ ගසාගෙන උදැල්ලෙන් කුඹුරු කොටන අය පෙන්වා, සේනානායක මහතා, “මේ ගොවියකු සමග කතා කරන්නැයි” යි බි්‍රතාන්‍ය දූත පිරිසට කීයේය. රිය වෙත ආ, මඩින් වැකුණු ගතැති, අමුඩය ඇඳ කුඹුරේ වැඩ කළ ගොවියෙකු හා සමග බි්‍රතන්‍ය දූත පිරිස කතා බහ කළහ.

ඒ අමුඩ ඇඳ කුඹුරේ වැඩ කළ ගොවීහු, බි්‍රතාන්‍ය දූත පිරිස හා සමග අති ව්‍යක්ත ඉංගිරිසි බසින් සංවාදයේ යෙදුනහ. මේ “විස්මය’ නිසා, බි්‍රතාන්‍ය දූත පිරිත, අතිශය ප්‍රසාදයට පත්වූහ. “ඩී.එස්. අප ඔබගේ ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස දෙනවා.” මේ අපූරු සිද්ධිය ගැන මවිසින් අසා ඇති කරුණක් වෙයි. ඩී.එස්. විසින්, එසේ කුඹුරේ වැඩකරනු පිණිස ගෙන්වා තිබුණේ නුවර උසාවියේ පිරිසකැයි ඇතැම්හු පවසති. හරියටම එතැනදී, ඩී. එස්. ඉංගිරිසි භාෂා ප්‍රශ්නය ඉදිරිපත් කළේය. 1948 පෙබරවාරි හතර වනදා, ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට, අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වූවෙමු. නිදහස් චතුරශ්‍රය තිබුණේ, අපගේ විශ්වවිද්‍යාලයට ඉතා කිට්ටුවෙන් වුවද, එදා, අපට ඒ ස්ථානයට යන්නට අවසර ලැබුණේ නැත. එසේ වුවද, අපි හැකිතරම් කිට්ටුවී, නිදහස් ශ්‍රී ලංකාවේ “උදාව” දෙස බැලුවෙමු. ඉංගිරිසි කොඩිය පාත වැටුණේය. සිංහල ධජය ඉහළ නැගුණේය. ප්‍රථම නිදහස් දිනය පිළිබඳ එතරම් හෝ මතකයක් සහිත අය අද වෙතොත්, ඒ ඉතාම සුළු කණ්ඩායමකි. මේ කාලය වන විට (1948) ශ්‍රී ලංකාවේ ප්‍රධාන පවුල්වල නායකයෝ, නිදහස් සටනෙන් නිමග්නව සිටියහ. 1815 මාර්තු දෙවනදා පාත හෙලන ලද, අපගේ ජාතික කොඩියත් සොයා ගන්නා ලදී. එයද, එවකට ලන්ඩන්හි සිටි සිංහල ප්‍රභූ පවුලක කෙනකු විසිනි. 1815 මාර්තු දෙවනදා, අපගේ මේ දේශය, උඩරට නායකයන් විසින්, බි්‍රතාන්‍යයට පවරනු ලැබුවාට පසුව, ශ්‍රී ලංකාවේ ජනතාව, නිදහස නැතිව යෑම ගැන තැවෙන්ට වූහ.

කුහුඹුවන්ට පවා රජෙකු සිටියත්, අපට රජෙකු නැතැයි, සිංහල ජනතාව වැලපෙන්නට පටන් ගත්හ. “නිදහස” සතු ප්‍රධාන විශිෂ්ට ගුණය නම්, එය නැතිවී ගියවිට එහි අගය දැනෙන්ට පටන් ගැනීමයි. “නිදහස” පවත්නා විට, අප එහි අගය භුක්ති විඳිනවිට, එය ඉඩ ඇත්තේය. එහෙත් එය නැතිවී ගියවිට, දැනෙන සංතාපය තියුණුය. 2020 පෙබරවාරි හතරවනදා, අපි, සම්මතය පරිදි නිල උත්සව පවත්වන්නෙමු. ඒ සමගම, අප විසින් විශේෂයෙන්ම කළ යුතු වන්නේ, අපගේ නව පරපුරට, “නිදහසෙහි” අගය ඉතා හොඳින් උගන්වාලීමයි. අපගේ බණ පොතක, වන ගහණයෙන් ගෙන්වා ලද්දා ලද රාජ හස්තියෙකුගේ කතාව සඳහන් වේ. රාජ පුරුෂයෝ, ඒ වන විට අලි රාජයා උදෙසා, විශේෂ “නිවසක්” සැපයූහ. අලි රජාට රාජ භෝජන සැපයුණේය. එහෙත්, ඒ වන අලි රාජයා, කිසිම අහරක් නොගත්තේය. දිය බිඳක්වත්, පානය කළේ නැත.

මේ හස්තිරාජයාට අවශ්‍ය වන්නේ “නිදහස” බව දැනගත් ජනයා, ඒ වනරජා නැවත වන ගහණයට මුදා හැරියහ. විවිධ පර්යේෂණ සඳහා වනයෙන් අල්ලාගෙන එනු ලබන “චිම්පන්සීන්’ ගැන අපි අසා ඇත්තෙමු. වනයේදී භුක්ති විඳින ලද නිදහස නැතිකම නිසා හටගත් සංතාපය දරාගත නොහැකිව, ඇතැම් චිම්පන්සියෝ, තමන්ගේ කාමරයෙහි බිත්තියේ හිස හප්පාගෙන දිවි නැතිකොට ගනිති. ලෝකයේ, ලොකු, කුඩා බොහෝ රාජ්‍ය විසින් “නිදහස්” දින පැවැත්වේ. චීන, රුසියා, ජපාන, ඉන්දියා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය වැනි රටවල, නිදහස් දින උත්සව, අතිශයින් විභූතිමත්ය. ප්‍රතාපවත්ය. එවැනි ඇතැම් උත්සව, “ජාතික දින උත්සව” වශයෙන්ද නම් කෙරේ. “නිදහස” සැමරීමේ මූලික අරමුණ වන්නේ, යම්කිසි දේශයක, රටක හෝ ජාතියක පුද්ගලයන්ට, තමන් නිදහස් යැයි කියන හැඟීම ඉතා තහවුරු ලෙස අවබෝධ කොටලීමයි. නැතිවී ගිය නිදහස, යළි ලබාගන්නා පිණිස ජාතීන්, ආත්ම ත්‍යාගයෙන් වුවද සටන් කරන්නට සැරසෙන්නේ මක්නිසාද? තමන්ගේ දේශයේ, ජාතියේ විශිෂ්ඨත්වය, ජනතාවට දැනෙන්නට පටන් ගන්නේ තමන්ගේ නිදහසේ වටිනාකම හරිහැටි පැහැදිලිවන්නට පටන් ගත්තේ, නැතිවූ නිදහස ගැන සිතෙනවිට හෙයිනි. ශ්‍රී ලංකාවේ අපිද එවැනි කාලපරිච්ඡේදයක් ගත කළෙමු. 1815 පටන් 1948 දක්වා අවුරුදු 133 වසක්, ශ්‍රී ලංකාව නිදහසෙන් තොරව සිටියේය. ඒ කාලයේදී, අපගේ දේශයද, බොහෝ සේ, ඒ අතීතයේ පැවති නිදහස් ශ්‍රී ලංකාව ගැන ආවර්ජනා කරන්නට වූයේය. අපගේ නිදහස යටපත් කළ, බි්‍රතාන්‍ය යටත් විජිතවාදී පාලකයෝ, ඔවුන්ගේ සංස්කෘතියට ගරු කරන, ඒ සංස්කෘතියට අනුරූපවූ චර්යා, සහිත පිරිසක් මේ ශ්‍රී ලංකාවේ තැනූහ. ඔවුහු ඉංගිරිසි කතා කරන, බටහිර ගති පැවතුම් කෙරේ ගෞරවය දක්වන පිරිසක් බවට පත්වූහ. ඔවුන්ගේ හැසිරීම් රටාව, බොහෝ සේ බටහිරට නැඹුරු විය. එසේ දේශජ සංස්කෘතියෙන් පිරිහුණු ඇතැම් දෙනා, නැවත නිදහස් ශ්‍රී ලංකාවක් ගැන සිතන්නට පුරුදු වූණේත්, එක් අතකින්, ඒ බටහිර ගැතිකම නිසාමය.

මෙය පෞද්ගලික අත්දකීමකින් පැහැදිලි කළ හැකිවේ. මා ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩලයෙහි රාජකාරි කරන කාලයේදී, ඒ ආයතනයේ අපේ එක් සගයෙක්, ශ්‍රී ලංකාවේ දේශජ සංස්කෘතිය, අඩු තක්සේරුවෙන් දකින්නට පුරුදුව සිටියේය. ඔහුට, එංගලන්තයේ හැදෑරීමට, ශිෂ්‍යත්වයක් ලැබුණේය. ඔහු ආපසු ශ්‍රී ලංකාවට ආවිට, ඔහු ඉතා ඕනෑකමින්, මා සමඟ කතා කරන්නට වන්නේය. ඔහු මට මෙසේ කීයේය. “යාළුවා, මට ටිකක් කියා දෙන්න, අපේ රටේ මහා වංශය, බණදහම් පොත පත ආදී දේ ගැන.” සිදුවූයේ කුමක්දැයි මම විමසුවෙමි. ඔහු එංගලන්තයට ගියවිට සිදුවූදේ, මට කියා සිටියේය. ඔහුගේ මනස දැවැන්ත වෙනසකට පත්ව තිබුණේය. “තමාට, මහාවංශය අපගේ සාහිත්‍ය පොත්. අපගේ සංස්කෘතික නිධාන ආදිය ගැන උගෙන ගත හැකි ක්‍රමයක් කියා දෙන්නැයි ඔහු ඇවිටිළි කළේය.” ඒ, විප්ලවීය වෙනසට හේතුවූයේ මෙයයි. එංගලන්තයට ගියවිට, එහි මිනිස්සු ඔහුට සිනාසුනහ. “ඔයාලා තාම වැඩ කරන්නේ අපේ තේවතුවල නේද?, ඔබ ජීවත් වන්නේ කැළේද? ඉංගිරිසි ටිකක් උගෙන ගත්තේ. එන ගමන් නැවේදිද?” මේ ඔහුගෙන් ඇසූ ඇතැම් දේයි. ඔහු බොහෝ ලජ්ජාවට පත්විය. අද, මේ ලිපියෙහි ප්‍රධාන අරමුණක් වෙයි. අප නිදහස සමරන සමයන්හිදී අප විසින්, අපගේ බාල පරපුරට අපගේ, උදාරතර අතීතය උගන්වන ක්‍රමාවලියක් සකස් කළ යුතුවේ. එසේ නොවී නම්, අපට කල් යෑමේදි අපේ නිදහසේ ගැඹුරු අරුත් අමතකවී, නැවත මේ නිදහස පිරිහී යන්නට ඉඩ ඇත්තේය. ඒ නිසා, නිදහස් දිනය, මුළු දේශයේම ජාතියේම අප නිදහස ගැන ඉතා ගැඹුරට සිතන සුභ දවසක් බවට පත් කොට ගත යුතුවේ. එසේ “නිදහසේ” අරුත හැදෑරීමේ ක්‍රියාව, නිදහස් දින උත්සව හා සමග බැඳුණු ප්‍රධාන චාරිත්‍රයක් බවට පත්කොට ගත යුතුමය. “නිදහස” යන වචනය නිසා, අපගේ හිත්වල නැඟෙන සුවදායී දෝංකාරය විඳගන්නට, අපි සැරසෙමු.

නිදහස් දිය මතකයෙහි රඳවන උත්සව මාලාවට තවත් එක් අංශයක් එක් කරමින් අප විසින් “නිදහසේ” නියම අරුත ගැන සිතන්නට කැපවෙමු. අමතක නොවන නිදහස් දිනකට ආශිංසන.

 

 


අගතා ක්‍රිස්ටිගේ රහස් පරීක්‍ෂක නවකතා

පැරැණි පොතපත

 

1891 උපත ලබා 1976 දී අභාවයට පත්වූ අගතා ක්‍රිස්ටි ලේඛිකාව, රහස් පරීක්‍ෂක කතා ලිවීමෙන් අති පෘථුල ජගත් ප්‍රසාදයකට පත් ලේඛිකාවකි. මේ ලේඛිකාවගේ කෘති සංඛ්‍යාව 70 කටත් අධිකය. එතුමිය විසින් නිර්මාණය කරන ලද රහස් පරීක්‍ෂකවරයාගේ නම හර්කියුල් පොයිරෝය. ලන්ඩන්හි රඟහලක, අඛණ්ඩව, ඉතාම දිගුකලක් පෙන්වන ලද නාට්‍යය වන්නේ එතුමියගේ “ද මවුස්ට්‍රැප්” (මී උගුල) නම් කෘතියයි. මේ ලේඛිකාවගේ නිර්මාණවලින් කිහිපයක්ම ජනප්‍රිය චිත්‍රපට සඳහා තේමා බවට පත්විය. බි්‍රතාන්‍ය රජය විසින් මේ ලේඛිකාවට “ඬේම්” නම් ගෞරවනාමය පිළිගැන්විණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS