‘කෑම’ සූත්‍රය මිනිසාගේ පළමුවන අවශ්‍යතාවය



බටහිර ලෝකයෙහි වෙසෙසින්ම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි නව ප්‍රවණතාවක් ශීඝ්‍ර වේගයෙන් පැතිරෙයි. එහි ‘ගයිසිංගර් සෞඛ්‍ය වැඩසටහන’ නම් ක්‍රියාදාමය මගින්, රෝගීන්ට බේත් වට්ටෝරු ලියා දෙන ගමන්ම ඔවුන්ට නිරෝගී බව රැක ගැනීම සඳහා නිසි ආහාර වර්ග භාවිතය ද උගන්වනු ලැබේ. වෙනෙකක් තබා ඒ වෛද්‍ය විශේෂඥයෝ ‘අලුත් ආහාර වර්ග සම්පාදනය කරන ඔසු සල් ද’ පවත්වති. එන්ට එන්ටම අධික වන පර්යේෂණවලින් පෙන්වා දෙනු ලබන්නේ නිසි ආහාර වර්ග භාවිත කිරීමෙන් මිනිසුන්ට බැරෑරුම් රෝග පාලනය කොටගත හැකිවනු පමණක් නොව ඔවුන්ට එවැනි රෝගවලට ගොදුරුවීම සහමුලින්ම වළක්වා ගත හැකිවන බවත්ය.’ 
- ඇලිස් පාක් ලේඛිකාව

සදාකාලිකවම මිනිසුන්ගේ මුඛ්‍ය අවශ්‍යතාව වශයෙන් පවත්නේ ආහාරයයි. මෙය හුදෙක් මිනිසාට සීමා වූයේත් නොවේ. සකල ජීව ලෝකයටම එය එසේය. මේ හේතුකොටගෙන ඉතා ඈත අතීතයේ පටන්ම ආහාර කෙරේ විශේෂ අවධානයක් දැක්වීම මිනිසාගේ සිරිතයි. 


අවුරුදු තුන්දහසක් පමණ පැරැණි මිසර ලේඛනයක ආහාර පිළිබඳව සැපයෙන සටහනකින් අපූරු පුවතක් හෙළිවෙයි. පිරමීඩ තැනීමේ යෝධ කර්මාන්තයේ යෙදී සිටි මිනිසුන්ට ‘රාබු’ අනිවාර්ය ආහාරයක් සේ සලකන්නට ආදි මිසර රජවරුන් නියම කළ බව ඉන් ප්‍රකාශ වේ. නවීන පෝෂණ විද්‍යාඥයෝ ඒ නියමය පිළිබඳව අටුවාවක් සපයති. ඔවුන් පවසන්නේ ‘රාබු’ මිනිසාගේ පෙණහළුවල ශක්තිය බොහෝ සේ අධික කරන බව මිසරයේ පැරැන්නන් දැන සිටියේය කියායි.


හින්දු භක්තිකයන්ගේ ආදි ආහාර රටා සඳහා ඉන්දීය ඍෂිවරයන් විසින් දේශික නීති මාලාවේ වෙසෙසින්ම සඳහන්වන උපදේශයක මෙසේ එයි. ‘ඉණං ගන්ත්‍වා ඍතං පිභේක්’ (ණය වී හෝ ගිතෙල් පානය කරන්න). ප්‍රඥාව, ආධ්‍යාත්මික ශක්තිය, අනුස්මරණ බලය එමෙන්ම රෝග වාරණයෙහි සමත්කම ආදී ගුණ සමුදායක් ගිතෙල් සතුව තිබුණු බව ඒ පඬිවරු ඇදහූහ.


ශ්‍රී ලංකාවේ, දිගු ඉතිහාසය පුරාම ආහාර වර්ග පිළිබඳව විවිධ මත පළ කෙරේ. ඒ පිළිබඳව ක්‍රමවත් පර්යේෂණයක යෙදුණු එකම සූප ප්‍රාඥයා නම්, ආචාර්ය පබ්ලිස් සිල්වා යි. රාජ භෝජනයෙහි අඩංගු විය යුතු ආහාර වර්ග දෙතිස පිළිබඳව ප්‍රායෝගික පර්යේෂණ පැවැත්වූ ඒ සූපවේදී විශේෂඥයා විසින් අනාවරණය කරන ලද තොරතුරු විස්මය දනවනසුළුය. එක්තරා ඈත සිංහල ගම්මානයක ගෘහණියක ළිපේ බත පිසෙන තෙක් ගී ගායන කරන බව ආචාර්ය පබ්ලිස් සිල්වා විසින් වාර්තා කෙරේ. මෙය සිංහල ගැමිලියන්ගේ ඉපැරැණි සූප චාරිත්‍රයක ‘නෂ්ටාවශේෂයක්’ විය හැකිය.


සිංහලයෙහි ‘මුළුතැන් ගෙය’ යන්න ද ආදි සිංහලයන් ආහාර පිසීම සඳහා දක්වන ලද ඉමහත් භක්තියෙන් ඉතිරිවී තිබෙන පදයකි. ඉපැරැණි සිංහල යෙදුම වූ ‘මුරුතැන් ගෙය’ (දෙවියන් - මුරු - පිළිබඳ ස්ථානය) යන්න, අද ‘මුළුතැන් ගෙය’ බවට පත්ව ඇත්තේය. දැන් පවා දේවාල, කෝවිල් ආදියේ දෙවියන් උදෙසා පිදෙන ආහාරය ‘මුරුතැන්’ වශයෙන් නම් කෙරේ.


ශ්‍රී ලංකාවේ ‘සූප වංශය’ ලෝකයේ සෙසු දේශජ ආහාර සම්ප්‍රදායයන්ටත් වඩා සරුසාර යැයි විචිත්‍ර යැයි මට හැඟේ.


එයට සාධකවන ඓතිහාසික හේතු රාශියක් වේ. අපගේ ද්විපික රාජධානිය, ඉන්දීය මහා සාගරයෙන් ආරක්ෂිත වූ ‘බලකොටුවක්’ වැනිය. එහි දිගුකලක ඉතිහාසයේදී අපටම සුවිශේෂ වූ ආහාර පාන රටා හා බොදුන් භාවිතය පිළිබඳ සංකීර්ණ චාරිත්‍ර වාරිත්‍ර සරුසාර ලෙස වැඩුණේය. 


එසේ වුවද ඉතිහාසයේ නවත්වාලිය නොහෙන ප්‍රගමනය නිසා අපගේ පරිපාලන සම්ප්‍රදා ආදිය මෙන්ම ආහාර සම්පාදනය හා භාවිතය පිළිබඳ සම්මුති ද වෙනස්වීම්වලට භාජන විය. දඹදිවින් ආ ආර්ය වර්ගයා තමන්ගේ භෝජන විධි මෙහි ගෙන ආහ. දේශයේ ආදිවාසී පාලක පංතියේ විශිෂ්ට කාන්තාවක් වූ කුවේණිය, සිය ආර්ය වාර්ගික සැමියාගේ සිත් දිනන ආහාර විශේෂ ඔහුටත් ඔහුගේ පිරිසටත් හඳුන්වා දුන්නාය.


මේ භෝජන වාර්ගික සංකලනය කෙරේ අපගේ ඉතිහාසයේ මුල් යුගයන්හිදී හුදෙක් දඹදිවින් ආ භෝජන විධි පමණක් බලපාන්නට විය. භද්දකච්චනා කුමරියත් ඇයගේ නෑ පිරිසත් සිය ශාක්‍ය රාජ වාංශික සූප විශේෂ අපගේ රාජකීයයන්ගේ භෝජන චර්යාවන්ට එක් කළහ. ශ්‍රී මහා බෝධි ශාඛාව ගෙන ආ මෞර්ය රාජවාංශික සංඝමිත්තා මෙහෙණින් වහන්සේ කැටුව පැමිණි දස අටක් පරිවාරක කුලීනයෝ සාමයික චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ආහාර පාන වැනි ලෞකික අවශ්‍යතා ද සපුරා ලූහ.


විස්මය මෙයයි. ක්‍රිස්තු පූර්ව 483 සිට පෘතුගීසින් ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිස්තු වර්ෂ 1505 දක්වා අවුරුදු 1988ක් ගත වන තෙක්ම ශ්‍රී ලංකාවාසීන් යුරෝපීය ආහාර නොදැන සිටීමයි. රාජ මාළිගයෙහි වාර්තා තබා ඇති ආකාරයට එදා පෘතුගීසින් හා ඔවුන්ගේ සිරිත් විරිත් දුටු ජනී ජනයා පවසා තිබෙන්නේ මෙසේය. ‘ඔවුහු සුදුගල් සපා කමින් ලේ බොන්නෝය’ (පෘතුගීසීන් පාන් කමින් රතු වයින් පානය කළ හැටි එදා සිංහලයන්ට පෙනුනේ එසේය).


එහෙත් 1505හේ පමණ පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංගිරිසි ජාතිකයන් අපගේ දේශයට ආක්‍රමණිකයන් සේ පැමිණීමෙන් පසුව ඒ යුරෝපීයයන්ගේ කෑම් බීම් වර්ගත් ඉවුම් පිහුම් ක්‍රමත් අපගේ රටට බොහෝ සේ හුරු පුරුදු විය.


දේශජ සංස්කෘතියෙන් පරිබාහිර වූ ඒ ආගන්තුක චර්යා පද්ධති, මුලින් ඉතාම උද්‍යෝගිමත් ලෙස ඇද වැළඳ ගන්නා ලද්දේ අපගේ නාගරික පෙදෙස්වල සිටි අනුකාරක පවුල්වල අය විසිනි. එහෙත් පසුගිය සියවස තුළදී ගැමි දිවි පෙවෙතෙහි ඇතැම්මු ද දේශජ නාගරික පවුල්වලට අනුව සෙමින් අපේ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායට හා ගති පැවතුම් ඉතිහාසයටත් නුපුරුදු ආහාරපාන ක්‍රම සිය ජීවන රටාවට යා කොට ගත්හ.


අද විසිඑක් වන සියවසෙහි දහනව වන වසර වන මේ සමයයෙහි ජගත් ජන මණ්ඩලයේ බොහෝ දෙනා සිය දේශජ ආහාර පාන උරුමය වසා විහිදෙන විශ්ව ව්‍යාප්ත කෑම සූත්‍රයක ග්‍රහණයට අසුව සිටිති. 


ක්ෂණික ආහාර පාන වර්ග අලෙවි කරන, ජාත්‍යන්තර කෑම සංවිධාන අපේ දේශයේ පමණක් නොව ලොව බොහෝ රටවල මුල් බැසගෙන සිටිති. ශ්‍රී ලංකාවේත් බොහෝ නිවෙස්වල දරුවන් බහ තෝරන්නේත් ඒ ක්ෂණික ආහාර පාන වර්ග ඉල්ලමිනි. 


භෝජනාගාරවලින් ආහාර ගැනීමේ පුරුද්ද, ගම්මානවලට පවා පැතිර ගොස් ඇත්තේය.


ඇතැම් අප්‍රධාන ආහාර වර්ග ඇතැම් කාල පරිච්ඡේදයන්හි, අතිශය ජනකාන්ත කෑම බවට පත්වේ. කොත්තු රොටි කලක් එසේ වැජඹුණේය. වරක් මම කොළමින් ඉතා ඈත පෙදෙසක සම්මන්ත්‍රණයකට සහභාගි වූවෙමි. එහි සංවිධායකයෝ පෙරළා කොළඹ එනු පිණිස මට යහපත් වාහනයක් සැලසුම් කොට තැබූහ. එහෙත් කිට්ටු භෝජනාගාරයක රාත්‍රිී ආහාරය ගන්නට ඔවුහු මට ආරාධනා කළහ. මගේත් මගේ හිතවතාගේත් අසුන් තිබුණේ ‘කොත්තු’ තනන තැනට ඉතා කිට්ටුවෙනි. අප එතැනට නුදුරින් ආහාර ගනිද්දී ‘කොත්තු’ තනන්නා වෙත එළඹෙන සුදු ජාතික ළමයෙක් අපට පෙනුනේය. මේ සුදු ළමයා කලක් ශ්‍රී ලංකාවේ සිටි දරුවෙකැයි අපට වැටහුණේය. දරුවා කොත්තු තනන්නා වෙත ගියේය. ඔහු කොත්තු හදන්නාගෙන් මෙසේ විමසුවේය. ‘කැන් යූ මේක් මී එ කොත්තු ටූ ද බයිලා ටියුන්?’ (බයිලා තාලයට අනුව මට කොත්තුවක් තනා දිය හැකිද?)
පුදුමයට හේතුව ඒ දරුවා මේ අහරට පුරුදු වී සිටීම නොවේ. ඒවා තැනීමේදී භාවිත කරන තාලය ඒ දරුවා දැන සිටීමයි. 


කලක් රටපුරා ව්‍යාප්ත වූ තවත් ආහාර විශේෂයක් නම් ‘ෆ්‍රයිඞ් රයිස්’ ය. චීන ආහාර වර්ගයක් වශයෙන් නම් කළ ද එවැන්නක් චීනයේත් නැත. මෙය ‘නාසි ගෝරං’ නම් මැලේසියානු ආහාර විශේෂයකි. මෙහි සිනාමුසු පැත්තක් වෙයි. වරක් අවුරුදු සමයයෙහි කෙනෙක් ‘ෆ්‍රයිඞ් රයිස්’ සඳහා චීන කඩයකට ගියේය. එය වසා තිබෙනු ඔහු දුටුවේය. අසල්වැසියෙක් ඔහුට මෙසේ කීවේය. ‘ඔය චීන්නු අලුත් අවුරුද්දට ගමේ ගිහිල්ලා.’


මෙතෙක් මා ඔබ හමුවට පත් කළේ හුදෙක් පූර්විකාවක් පමණි.


මෙහි ප්‍රධාන අංශය අතිශයින්ම කම්පාදායීය.


බටහිර විශේෂඥයෝ මෙසේ කියති. “අද රෝගීන්ගේ ලෙඩ දුක් සුව කරනු පිණිස අවශ්‍ය වන්නේ හුදෙක් ඖෂධ වර්ග සහ පරීක්ෂණ පමණක් නොවේ. ඔවුන් භාවිත කරන ආහාර වර්ගත් අද ප්‍රබල රෝග කාරකයකි.’ විශේෂඥ වෛද්‍ය ජේමන් රියුගේ අදහස මෙසේය. ‘ඔබ ආහාරයට මුල්තැන දී සෞඛ්‍යයට හිත ඇති ආහාර සකස් කොට ගන්නා ආකාරය ජනතාවට කියා දුන් විට විස්මයකට මෙන් එහි ප්‍රතිඵල ඖෂධ වර්ග තරම්ම ප්‍රබල වන්නේය.’ 


සෞඛ්‍යයට හිතකර ආහාර ඒ රටවලට මෙන් අද ශ්‍රී ලංකාවට ද අත්‍යවශ්‍ය වේ. මේ ලිපිය ලියන මොහොතේදී මෙහිලා ඉතාම අර්ථදායි සිද්ධියක් පිළිබඳ පුවත මට දැනගත හැකිවූයේය.


ජනහිතකාමී සංවිධානයක් විසින් ‘වස විස නැති ආහාර’ පිළිබඳව, ජනතාවට කරුණු කියා දෙනු පිණිස, අදට අතිශයින් වැඩදායී ක්‍රියාදාමයක් තෙදිනක් පුරා පැවැත්වේ. මේ ව්‍යාපෘතියේ උද්‍යෝග පාඨය මෙයයි. ‘වස විස නොකමු - වස විස නොකවමු’ 


නිසි, නොකිළිටි, වස විසෙන් තොර ආහාර පිළිබඳව අද මේ දේශය පුරාම දැඩි අවධානයක් ඇති කොටලීම, අත්‍යන්තයෙන්ම කාලෝචිත ජන මෙහෙයකි.


එහෙත්, අපරදිග විද්‍යාඥයන් විසින් ඉතා ව්‍යක්ත ලෙස පෙන්වා දෙන පරිදි එවැනි ආහාර පාන වර්ග සපයා ගන්නට දැඩි වෙහෙසක් දරන කෙනෙකුට වුවද එවැනි ආහාර පාන ලද හැකිවීම සොයා ගැනීම අතිශයින්ම අපහසුය. එවැනි තැන් තිබුණ ද ඒ ආකාරයේ ආහාර පාන බොහෝ සේ මිල අධිකය. අපරදිග රටවල ඇතැම් වෛද්‍යවරු එවැනි සෞඛ්‍යයට හිතකර ආහාර පාන අලෙවි කරන වෙළෙඳුන්ට, තමන් විසින් සපයන ලද වට්ටෝරුවක් සහිතව පැමිණෙන අයට ඒ අවශ්‍ය පලතුරු හා සෙසු හිතකර ආහාර පාන වර්ගත් අඩු මිලකට සපයන්නැයි කියා සිටී.


එසේ සෞඛ්‍යයට හිතදායී ආහාර පාන වර්ග රජයෙන් සහතික කොට නිකුත් කෙරෙන වවුචරයකට අනුව පහසු මිලට ලබාදෙන සේ ගොවි ද්‍රව්‍ය අලෙවි කරන සංවිධානවලින් ඉල්ලා සිටිනු ලැබේ.


වස විසවලින් තොර ආහාර පාන වර්ග ව්‍යාප්ත කරනු පිණිස සෞඛ්‍යයට හිතැති කෑම ජාති තනා ගැනීමේ ක්‍රමය ඉතා පහසු මිලකට උගන්වන පංති ද ඇතැම් වෛද්‍ය සංවිධාන විසින් පැවැත්වෙයි. මේ ව්‍යාපෘතිය සාර්ථකවීම නිසා ඉන් ආදර්ශයක් ලබා ගන්නට ආරෝග්‍ය ශාලාවල සහ සායනවලත් නියෝජිතයෝ රටේ නොයෙක් පළාත්වලින් එහි පැමිණෙති. 
මෙය ශ්‍රී ලංකාව විසින් ද අනුගමනය කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළකි. 


මේ ‘වස විස තොර ආහාර සම්පාදනය පිළිබඳ විප්ලවය’ හුදෙක් වෛද්‍යවරුන් විසින් පමණක් ඉටුකළ හැකි ජන මෙහෙයක් නොවේ. සෙසු සංවිධාන ද දේශයේ යහ සෞඛ්‍යයේ නාමයෙන් මෙයට සහභාගි විය යුතුය.


ඇමෙරිකාවේ උභය මන්ත්‍රණ සභාව විසින් ද මෙවැනි රෝගවලට ගොදුරු විය හැකි අයට මිල පහසු, ආහාර පාන සම්පාදනය කිරීම පිළිබඳව ගවේෂණයක යෙදෙනු ලැබේ.
හෘද රෝග විශේෂඥයෙකු වූත් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයකු වූත් වෛද්‍ය ඬේරියුෂ් මොසැෆ්ෆේරියන්ගේ මතය මෙසේය. ‘මෙය හුදෙක් කාලෝචිත ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය, මේ දේශයේ සෞඛය සංරක්ෂණ කාර්ය රටාව සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාදාමයකි.’


විවිධ මාරාන්තික රෝග වාරණය සඳහා, සෞඛ්‍යයට වඩාත් හිතැති ආහාර ගැනීම අවශ්‍ය බව බොහෝ දෙනා දනිති. එහෙත් ඒ අවබෝධය පමණක් මදිය. එයට විද්‍යාවේ සහ විශ්වාසයේත් සහයෝගය අවශ්‍යය. ලොව වෛද්‍යවරු මේ අවබෝධයත් ඒ අනුව ප්‍රායෝගිකව ක්‍රියා කිරීමත් යන දෙක අතර පරතරය අඩු කරන්නට ප්‍රයත්නයක් පටන් ගත්තේ තරමක් මෑතකදීය. 


ආහාර පානත් ඖෂධ තරම්ම බලගතු යැයි කියන අදහස විද්‍යාඥයන්ගේ සම්මුතියට පාත්‍රවූයේ 2002 සිට යැයි ඇලිස් පාක් ලේඛිකාව පවසන්නීය.


බටහිර ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ඇතැමුන් විසින් ආහාර වර්ග හැටියට සලකනු ලබන්නේ ඔලිව් තෙල්, ඇට ජාති, පලතුරු වර්ග සහ ‘ඔමෙගා 3’ අඩංගු මත්ස්‍ය වර්ගත්ය. මෙය වෙසෙසින්ම, මධ්‍යධර්ණී සාගරය හා ආශ්‍රිත අදහසකි.


ඇතැම් විට වෛද්‍යවරු සිය රෝගීන් හා සමග යහපත් ආහාර වර්ග අලෙවි කරන වෙළෙඳසල්වලට යන කාලයක් ද උදාවන්නට ඉඩ ඇත්තේය.


ශ්‍රී ලංකාවේ ආහාර පාන ඉතිහාසයෙත් සෞඛ්‍ය සම්පන්න කෑම් බීම් වර්ග බහුලය. එහෙත් ඒවා අද බාල පරපුරේ අවධානයට ලක්වන්නේ ඉතා කලාතුරකිනි.


අද බාල තරුණ බොහෝ දෙනා ක්ෂණික ආහාර පාන වර්ගවලට ඇබ්බැහි වී සිටිති. වගකිවයුතු දෙමාපියන් සතු ප්‍රධාන යුතුකමක් වන්නේ තමන්ගේ දරු පරපුරට අලුත් ‘කෑම’ සූත්‍රයක් කියා දීමය. 


මෙහිදී, අප සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාට විශේෂයෙන් කෘතඥතා පූර්වක විය යුතුය. බටහිර පන්නයේ ‘කෑම’ සූත්‍රවල පැටලී සිටින අය පවා ඉන් ගලවා ගනු පිණිස ආචාර්ය පබ්ලිස් සිල්වා ඉපැරැණි ආහාර පාන වර්ගවලට අති නවීන ලක්ෂණ එක් කළේය.


සම්ප්‍රදායික ‘පාතරාගය’ වන (බ්‍රෙක්ෆස්ට්) කැඳ වර්ග ආදියට සුපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා විසින් සපයන ලද නවීනතම ලක්ෂණ නිසා විවිධ ජාත්‍යන්තර සූප වර්ගයන්ට ඇබ්බැහි වූ විදේශිකයෝත් දේශජ ආහාර පාන වර්ගවලට ලැදි වූහ.


ඒ නවමු පන්නයට හැඩ ගැසුණු, සුපුරුදු බත් වර්ග සහ කොස් ඇට ආදී ව්‍යංජන වර්ගත්, ජාත්‍යන්තර ක්ෂණික ආහාරයෙන් අපේ ළමා පරපුර මුදවා ගන්නට මේ දේශයේ ගෘහණිය පුරුදු විය යුතුය. එසේ නොවී නම් ජාත්‍යන්තර අහරින් රෝග දියුණු කොට ගත් අකාලයේ ස්ථුලව ඉක්මණින් රෝගවලට ගොදුරු විය හැකි පිරිස අපේ මේ රමණීය දේශයට ලැබෙන්නට ඉඩ ඇත්තේය. ආහාරය ඖෂධයකි. එය ආදර්ශ පාඨයයි.

 

 

 


අධික මිල සත්ව වර්ග

බෙල්ජියමේ ආමන්ඩෝ නම් පරෙවියා, ඉතාම දුර පියෑඹිය හැකි පක්ෂියා වශයෙන් නොබෝදා ප්‍රසිද්ධියට පත්විය. ඒ සතා මාර්තු 17 වනදා ඩොලර් 14 ලක්ෂයකට වෙන්දේසි කරනු ලැබුවේය.


ලොව මිල අධික සතුන් අතර තවත් ඉතාම වටනා සත්වයෙක් නම් ‘පැන්ඩා’යි. චීනය ‘පැන්ඩා’ බද්දට දෙන්නේය. ලොව සත්වෝද්‍යානයක් විසින් පැන්ඩා ජෝඩුවක් වර්ෂයකට බද්දට ගන්නා ලද්දේ ඩොලර් දශ ලක්ෂයක් ගෙවීමෙනි.


ඇල්බර්ටා වර්ගයේ එළදෙනක් උදෙසා 2009යේදී ආයෝජකයන් ඩොලර් 900,000ක් ගෙවන ලද්දේ ඒ සතා තාවකාලිකව භාවිත කරනු පිණිසය.


ඒ ආයෝජකයෝ එළදෙනගේ ‘පරම්පරාව’ අගේ කළහ. එයට හේතුව ඒ සතාගේ නඩත්තුවට යන වියදමට වැඩි මිලක් උගෙන් ලද හැකි කිරි ප්‍රමාණයක් සපයා ගත හැකි හෙයිනි.
සුරතල් බල්ලා මළ විට උගේ සිරුරේ කොටසකින් ඒ හා සමාන වූ තවත් බල්ලෙකු විද්‍යාත්මක ලෙස උපදවනු පිණිස ෆ්ලොරීඩා ජනපදයේ යුවළක විසින් ඩොලර් 155,000ක් වැය කරන ලදී. මළ සුනඛයාගේ නම සර් ලැන්සිලොට්. කෘත්‍රිම ලෙස තනාගත් සුනඛයාගේ නම සර් ලැන්සිලොට් එන්කෝ (එන්කෝ යන පදයේ අරුත නැවත පැමිණීම යන්නයි).


 

ඩැනියෙල් ඩිෆෝගේ රොබින්සන් කෲසෝ

පැරැණි පතපොත

 

ඉංගිරිසි ජාතික ඩැනියෙන් ඩිෆෝ, එංගලන්තයේ ප්‍රධාන පෙළේ සාහිත්‍යවේදියෙකි. 1660 උපත ලද ඩිෆෝ අභාවයට පත්වූයේ 1731 දීය.


ගද්‍යයෙන්, පද්‍යයෙන් කෘති සම්භාරයක් කළ ඔහුගේ ප්‍රථම නවකතාව ‘රොබින්සන් කෲසෝ’ යි. අතිශයින් ජනප්‍රි යවූ මේ නවකතාව ශ්‍රී ලංකාව හා සමග කිට්ටු සබඳතා සහිත ප්‍රබන්ධ කථාවකි.


මෙයට හේතුව වන්නේ ඔහු රොබින්සන් කෲසෝ චරිතය නිර්මාණය කළේ සිරකරුවකු වශයෙන් මේ දිවයිනේ කලක් ගත කළ රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ නම් ආත්ම චරිත කතාව ආශ්‍රයෙන් හෙයිනි.


රොබට් නොක්ස්ගේ කථාව ලියූ විට ඔහු විවිධ පද්‍යමය නිර්මාණ ද සකස්කොට තිබුණේය. ඔහු අවඥාශීලී ශෛලියකින් ලියන්නට පුරුදුවී සිටි තැනැත්තෙකි.
රොබින්සන් කෲසෝ කෘතියෙන් ලද ජනප්‍රියතාවය නිසා ඔහු ඒ චරිතය ආශ්‍රයෙන් තවත් පොත් ද කළේය. 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS