සිරිලක ජන සංස්කෘතිය වැනසේද ?



 
 
“ජන කලා ජන සංස්කෘති නමින් හැඳින්වෙන්නේ යම්කිසි ජන කණ්ඩායමක් සතු ඒ ජන කොට්ඨාසයේ හැම දෙනකුටම පොදු නිර්මාණ සමූහයයි. ගායන, නර්තන, පුද පූජා, ක්‍රීඩා, වෘත්තීය කියමන්, අස්ත, යාදිහි ආදී වශයෙන් මේ නිර්මාණ සතු ප්‍රභේද අතිශයින්ම පෘථුලයි. ඒ සියල්ල එකට එකතු කළවිට, ඉන් තැනෙන්නේ ජන මනසින් උද්ගත වුණු නිධාන සමූහයකි.”
 
සිරිලක ජන සංස්කෘතිය හා සබැඳුණු ජන නිර්මාණ සම්භාරය, ලොව අන් බොහෝ රටවල නොමැති තරම් විශාලය. එමෙන්ම, ඒවා මේ දේශයේ ජන මනසට ආවේණික වූ විචිත්‍ර බවකින් යුක්තයි. අපේ ගැමි කතා, නැළවිලි ගී, සීපද ගායන වර්ග නැටුම් ප්‍රභේද ආදිය ලොව අන්දේශවල විරලය.
 
එහෙත්, ඒ විස්මය දනවන විවිධතාවයකින් හෙබි, අපගේ ජන සංස්කෘතික නිර්මාණ දැන් ශීඝ්‍ර වේගයෙන් පිරිහෙමින් පවතී. ඒ පිළිබඳව කෙරෙන වගකිවයුතු අධ්‍යයන ද සීමිතය. එවැනි පරිහානියක් මැද්දේ මෑතකදී ඇතැම් අගයැති පර්යේෂණ කෘති පළ විය. එයද, ආරම්භයේදීම කිවයුතු වේ.
 
ඒ අතුරින් ශාස්ත්‍රපති තරුපති මුණසිංහ විද්වතාගේ “සිංහල නාට්‍ය සංගීතයේ ප්‍රවණතා 1956-1996” නම් 2018 මේ ප්‍රකාශනයත්, “දකුණුලක යාතුකර්ම හා චිකිත්සක නර්තන පිළිබඳ සාහිත්‍යය” නමින් ජයසේන කෝට්ටේගොඩ මහාචාර්යවරයා විසින් පළකෙරුණු කෘතියත්, අතිශයින්ම ප්‍රශස්ත පර්යේෂණ ග්‍රන්ථයි. (මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ පර්යේෂකයාගේ පොතේ ප්‍රථම ඉංග්‍රීසි සංස්කරණය 2018 දී ප්‍රකාශයට පත්විය.)
 
කෙමෙන් මැකී - වැනසී යන සිරිලක ඇතැම් ජන සංස්කෘතික නිධාන පිළිබඳ අනුවේදනීය සිතුවිලිවලට මේ ආකාරයේ පොතපත විසින්, ජනතාව යොමු කෙරෙයි.
 
එහෙත්, අප සතුව කාටත් නාම මාත්‍රයෙන් හෝ ඉතිරි වී තිබෙන ජන සංස්කෘතික නිධන් ගබඩාවේ ‘තරම’ අපගේ ජනතාවගේ සිත්-සතන් තුළ මේ වනතෙක්ම සනිටුහන් වී නොමැත. ඒ නිසා සිරිලක් දේශයේ අසාමාන්‍ය ජන කලා පද්ධතිය, පළමුවෙන් නාම මාත්‍ර වශයෙන් හෝ හඳුන්වාලීමේ වගකිවයුතු ප්‍රයත්නයක් සඳහා දැන් කල් එළඹ ඇත්තේය.
වැනසී යන දේශජ ජන සංස්කෘතිකය පිළිබඳව මා තුළ දැඩි කම්පනයක් ඇති වූයේ ඉතාම මෑතකදී සිදුවූ සිද්ධියකිනි. සංස්කෘතික අමාත්‍යාංශයේත්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේත් සම සංවිධානයෙන්  නොබෝදා, කොළඹදී අතිශයින් අර්ථවත් සංකථනයක් පැවැත්විණි. එහිදී ප්‍රකාශ වූ එක් සිද්ධියක් අතිශයින්ම සිත් කළඹන සුළුය. එයට මුල්වූයේ ආදිවාසි නායකයා විසින් අනාවරණය කරන ලද පුවතකි. ඒ නායකයා පැවසූ දේ මෙසේය.
 
“අවුරුදු දහස් ගණනකටත් අධික කාලපරිච්ඡේදයක් මුළුල්ලේ පැවත එන ආදිවාසීන්ගේ ගායනා විශේෂයක් ඇත්තේය. ඒ ගායනය, සම්ප්‍රදායික ස්වරූපයට අනුව නිසි සේ ගායනා කළ හැකි අයගේ පරපුරෙන් අද ඉතිරි වී සිටින්නේ හුදෙන් පස් දෙනෙක් පමණි.”
 
මේ අනාවරණය අපගේ තවත් සෙසු බොහෝ ජන සංස්කෘතික අංගෝපාංගවලට පොදුය. ඒවා සම්ප්‍රදායානුකූලව ඉදිරිපත් කළ හැකි අයගේ සංඛ්‍යාවත් අද ශීඝ්‍ර වේගයෙන් පාත බැස ඇත්තේය. ඊටත් වැඩි ඛේදවාචකය වන්නේ එවැනි ඇතැම් ජනකලා අංගෝපාංගවල නම් පවා අද ජන මනසින් මැකීගොස් තිබීමයි.
 
සිරිලක ජන සංස්කෘතික අංගෝපාංග කිහිපයක් නම් කිරීමෙන් අපගේ කතාබහ අරඹමු. ගායනයට - රිද්මික ලයාන්විත උච්චාරණයට මුල් තැන දෙන ඇතැම් ශ්‍රී ලාංකික ජනකලා විශේෂ සලකා බලමු.
 
එවැනි අංශ පිළිබඳ ලේඛනයකට අයත් වන ඇතැම් වර්ග මෙසේය: වෘත්තීන් ආශ්‍රිත ගායන: මෙහිදී අප බහුල වශයෙන් දන්නේ ගොයම් වගාව ආශ්‍රිත ගායනා වර්ගයි. ඒවා බෙහෙවින්  පැල්කවි, ගොයම් කැපීමේදී ගයන කවි, මල් නෙළීමේ ගායන ආදිය ද ගොයමට යා වූ ජන කලායි. එවැනි තැන්වලදී ඇතැම් ගද්‍ය පාඨ වුවද රිද්මයකින් උච්චාරණය වේ. කමතේ අඬහැරය ද ගායන විශේෂයකි. කමතේ බස ද විචිත්‍ර කලාත්මක ලක්ෂණ සහිතය.
 
සෙසු වෘත්තීය මාර්ග ආශ්‍රිතවන ගායන විධි පවතී. කරත්ත කවි, පාරු කවි, පතල් කවි ආදිය ඉන් සමහරකි. බොහෝ දෙනා නොදන්නා ඇතැම් ජන ගායන වර්ග ද ඇත්තේය. පන් කවි ඉන් එකකි. තවමත් ඇතැම් ගම්මානවල පවතිනා වෘත්තීය ගායන ක්‍රමයක් නම් මුළුතැන් ගායනයයි. කීර්තිමත් සුපවේදී ආචාර්ය පබ්ලිස්, සිය පර්යේෂණයන්ගෙන් සොයාගත් එක් ගායන විශේෂයක් වන්නේ ඇතැම් ගැමි ගෘහනීන් අතර පිසීමේදී ගයන ජන කවි වර්ගයි. ඒ කාන්තාවනට ආහාර පිසීම වෘත්තියකි. ඒ නිසා ඔවුන්ට ‘මුරුතැන්’ (මුළුතැන්) ගෙයි ගායනය ද වෘත්තීය ජන ගායන අංගයකි.
 
මේ වෘත්තීය ගායන අතුරින් ‘පතල් කවි’ සතු ප්‍රධාන හැඟීම් වේගය නම් චිත්ත වේදනාවයි.
 
පතල් කවි කිහිපයක් දෙස බලමු.
පස්කඳ විනා මා රකිනා කෙනෙක් නැතේ
රස්සනය නිසා ගත තෙත්වෙයි සුළං නැතේ
දස්කම තමා වටපිට බැලුම එහි නැතේ
වැස්මක් දුටොත් ඉල්ලම අත නෑර යතේ
 
වාසි නැතේ කෙලෙසද එන්නේ ගමට
රාසි බොරළු මැද තනිවෙයි එනිල් කැට
ඒ දකිනා ඔබ සිහිවෙයි මගෙ සිතට
මා එන කල් නොගනින් දුක ඔබෙ හිතට
 
‘මැණික් කවි’ දූර්ලභ ජනකවි විශේෂයකි. ඒවායේ ප්‍රස්තුතය, මැණික් කපන ආකාරයයි. මේ ජනකලා ගායනය අද මුළුමනින්ම නැතිවී ගිය සේය.
වෘත්තීය ගායන පංතියට අයත් වන ‘හේන්’ ගිනි තැබීමේ ආයාචනය රිද්මානුකූල ගද්‍ය විශේෂයක් මුල්කොට ගත්තකි.
 
‘අස්න’ නම් ගායන විශේෂයද අද සහමුලින්ම පාහේ අභාවිත වූ ජන ප්‍රකාශන විශේෂයකි.
 
දේවාලවල කපුවන් සිය වෘත්තිය වශයෙන් කරන්නේ ‘යාතිකා’වන්හි යෙදීමයි. එවැනි ගායනා දෙවියන් ඇමතීම සඳහා කෙරෙන ගැයුමක් වැන්න.
අපේ දේශයේ ජන සංස්කෘතියෙහි ඉතා ප්‍රබල අංශයක් සේ මා දකින්නේ අපටම විශේෂ වූ ජනකතා පද්ධතියයි.
 
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව තුළ පවත්නා අහිංසක, එහෙත් තියුණු උපහාසය ඉතාම ජනප්‍රිය ජන කතාවන්ගෙන් පිළිබිඹු වේ.
 
‘මහදැනමුත්තා සහ ගෝල පිරිස’ හුදෙක් ග්‍රන්ථ ඥානය සහිත වුවද, ප්‍රායෝගික දර්ශනයෙන් තොර, ‘පොතේ ගුරුන්ට’ කෙරෙන අපූරු අවඥාවකි. මෙවැනි ගැමි කතා පද්ධතියක්, වෙන අන් කිසිම දේශයක ජනශ්‍රැතියෙහි අන්තර්ගතයැයි මට නොසිතේ. ඊසොප්ගේ උපමා කතාවල වුවද, එවැනි මහදැනමුත්තෝ නොමැත.
 
‘කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කථාද’ එවැනිය. අත්‍යන්තයෙන්ම අසාධාරණ තීන්දු දෙන පාලකයන් දෙස උපහාසයෙන් බලන මේ ‘කැකිල්ලේ’ කථා පෙළ අතිශය ව්‍යක්ත ජන නිර්මාණයකි.
 
අන්දරේගේ කතා, සිරිලක ගැන කතාවනට අමුතු හාස්‍යමානයන් එක්කරන නිර්මාණ ය. මෙය ඓතිහාසික පුද්ගලයකු වටා එක්රැස්වුණු ප්‍රවාදය. 
 
ඒවාත් ජන මනසින් උද්ගත වූ ප්‍රවාදයැයි මට සිතේ.
 
ගැමි කතා සිරිලක ජන සංස්කෘතිය හා යාවූයේ ඉතා ඈත යුගයකදී විය යුතුය. ශ්‍රී ලංකාවේ ගැමි කතා පිළිබඳව තියුණු අවධානයක් යොමුකළ පාකර් විද්වතා, අපගේ ආදි ගම්මානවල ඒ කතා ඉදිරිපත් කෙරුණු විලාශත් ඉන් ඉටු වූ ප්‍රායෝගික ප්‍රතිඵලයත් සඳහන් කරන්නේය. දරුවකු ‘නිදි කරවන’  වැඩිහිටි කාන්තාව, ළමා මනසට හුරුවන රිද්මයකින් කතාව කියාගෙන යන්නීය. කතාව කියවෙන්නේ ‘යති’ සහිතවයි. ඒ කෙටි ‘යතිය’ දරුවාගේ අවධානය දිනා ගනී. එක් එක් යතියෙන් පසුව දරුවා, ප්‍රතික්‍රියා දක්වයි. දරුවා එක්කෝ ‘හුම්’ කියයි. නො එසේනම් ‘ඉතිං’ යැයි කියයි. අඳුරු කුටියක සිට දරුවා නිදිපත් කරන වැඩිහිටි කාන්තාව දරුවාගේ නිදි-අවදි බව දැනගත්තේ ඒ ප්‍රතික්‍රියාවෙනි. ඒ ප්‍රතික්‍රියා ‘හුම්මිටි කැවීම’ යැයි පැවසිනි. කෙමෙන් ලිහිල්ව යන ප්‍රතික්‍රියාව මුළුමනින්ම නවතී. දරුවාට නින්ද ගොස් ඇති බව ඒකාන්තව දැනගනී. එසේ දැන දරුවා ‘උණුසුම්’ කරන්නීය. ගැමි කතාවල එක් ප්‍රායෝගික අංශයක් වූයේ එයයි. අනික නම් දරුවා තුළ කුතුහලය ඇති කිරීමයි. වැඩිහිටි ලෝකයේ ක්‍රියාකලාප ගැන දරුවා උගෙන  ගන්නේ ඒ කතා මගිනි.
වැඩිහිටි උදවිය එක්වුණු තැන ද ගැමිකතා පැතිරේ. පිරිමි-පිරිමි කතා මඳක් නුරාවට බරය. හොර ගැමියන්ගේ කතා ආදිය ඒ ගණයට අයත්ය.
 
සිංහල ගැමි කතා ශෛලියෙත් සම්ප්‍රදායික ලක්ෂණ කිහිපයක් ඇත්තේය. කතා බොහෝවිට පටන් ගන්නේ ‘එකෝමත් එක රටක’ යන පාඨයෙනි.
 
ගැමි කථාවලින් ඇතැම් ඒවා විවිධ දේ පිළිබඳ උපත කියන ප්‍රවාදයි. ‘බතල’ උපන් හැටි ආදී කතා එයට නිදර්ශනයි.
මෙවැනි ‘වාග්මය’ නිර්මාණවලින් බැහැරව, සිංහල ජන සංස්කෘතියෙනි තවත් අංශ හා ප්‍රභේද රැසක් ඇත්තේය.
 
ඉන් එකක් නම් ගෙදර-දොර අය අතර භාවිත වන ‘තේරවිලි’ ක්‍රමයයි. එවැනි තේරවිලි අතුරින් සමහර ඒවා තුන් තේරවිලිය. එවැන්නකට නිදර්ශන මෙසේය. ‘බුදු කුස්සිය’ යනු කුමක්ද? පැණය එයයි. තේරවිල්ල මෙසේය: “බුදු” නම් “මුනි”. කුස්සිය නම් “පැළ”. “මුනිපැළ” පද පෙරළිකොට ගත්විට “පැනි මුල”. විද්‍යුත් මාධ්‍ය විසින් හා ආගන්තුක නාගරික ආවේග නිසා එවැනි දේ නැත්තටම නැති වී ගිය තරම්ය.
 
නිදැල්ලේ සිටින ඇතැම් අවස්ථාවල ගැමියෝ, කවියෙන් ද තේරවිලි ඉදිරිපත් කරති.
 
ඇතැම් ගැමියන් අතර “දහම්ගැට” ද ඇත්තේය. රහස් බේත් වට්ටෝරු ලියා තබනු පිණිස ඇතැම්මු මේ දහම් ගැට ක්‍රමය භාවිත කළහ. වට්ටෝරුව හැමෝගේම අතට නොගොස් ඒ “ගැටය” ලිහාගත හැකි අය අතට පමණක් යැවෙනු පිණිස ඒ ක්‍රමය භාවිත කෙරිණි.
 
නැසී වැනසී යන ජන සංස්කෘතිකාංග අතර, ඉතාම ප්‍රබල අංශයක් දෙසට අපි යොමුවිය  යුත්තෙමු. ඒ අංශය නම්, ගැමි නාට්‍ය සම්ප්‍රදායයි.
 
ගැමියන්ට විනෝදය සපයන ජන නාට්‍ය විශේෂ ව්‍යවහාරයෙහි පැවති බවට, ලෝවැඩ සඟරාවෙන් සාධකයක් සැපයේ.
 
එහි 51 වන පද්‍යයෙහි මෙසේ එයි:
කාලා රසමුසු භෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අභරණ නිසිලෙස සැරසුම්
පාලා ගියවැනි බහු රූ කෝලම්
 
ලෞකික වශයෙන් කෙරෙන ශෝභන දේ අනිත්‍යයැයි දක්වනු පිණිස මේ පද්‍යය විරචිතය. එවැනි ජීවිත ගෙවීම ‘නොයෙක් රූප දක්වන වෙස්මුහුණු පැළඳ’ මඳවේලාවක් නැටුම් පාමින් සිට, ඉවත්ව යෑම වැනි යැයි මින් පැවසේ.
 
එවැනි කෝලම්, නාඩගම් දැක්වීම එදා ගැමියන්ට හුරු - පුරුදු බව මින් ඉතා පැහැදිලිය.
 
එවැනි ජන නාටක සහමුලින්ම අද ජන සිංහල සංස්කෘතියෙන් බැහැර ගොස්ය.
 
අස්වැන්න කපා පාගාගෙන, තෘප්තියෙන් වෙසෙන ගැමි පිරිස, එවැනි ජන නාට්‍ය නැරඹූහ. එවැනි ජන නාට්‍ය අතර නාඩගම් (හුදු නර්තනය), කෝලම් (වෙස්මුහුණු සහිත නර්තනය) ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය.
 
විශේෂ අවස්ථාවලදී රූකඩ දර්ශන ද පැවැත්තේය. ඉතා ජනප්‍රිය ජන නාට්‍ය විශේෂයක් වූ රූකඩ නාට්‍ය සම්ප්‍රදාය, අද යන්තමින් හෝ රැකෙන්නේ අම්බලන්ගොඩ ආශ්‍රිත ජනකලාවේදීන්ගේ ආභාසයෙනි.
 
ඉහත යුගයෙන්හිදී රූකඩ කලාව මෙන්ම සම්රූ නාට්‍ය ක්‍රමය ද මේ දේශයේ ජනකාන්තව පැවැත්තේය.
 
සම්රූ කලාව යැයි කියන්නේ ‘සෙවණැලි නාට්‍ය’ ක්‍රමයටයි. මෙහි දී ලීවලින් තැනූ රූකඩ වෙනුවට භාවිත වූයේ ‘සම්වර්ග’වලින් තනන ලද රූප පෙළකි. සුදු තිරයක් හමුවේ මේ සම්රූ තබා, ඒවා ඉදිරියේ පහන් දල්වන ලදී. පහන් එළියෙන් ඒ සම්රූවල සෙවණැලි සුදු තිරය මත දිස්වේ. ඒවා නටවන ශිල්පීහුම දෙබස් සහ ගායනා සපයති.
 
ඇතැම් බලවතුන් ඒ ‘සමරූ’ වැනි නාට්‍ය වර්ග දක්වන දෙමළ ආදී සංචාරක නාට්‍ය කණ්ඩායම් නැටුම් දක්වන්නන් සේ සතුරු නිවාසවලට යැවූහ. එසේ යවන ලද්දේ චර පුරුෂයෝය. සංචාරක නාට්‍ය කණ්ඩායම් එදා නගර - ගම්වල සැරිසැරූහ.
 
ගැමි විනෝදය සැපයූ තවත් නාට්‍ය වර්ග නම් ‘සොකරි’, ‘ජසයා සහ ලෙංචිනා’ වැනි ජන නැටුම්ය.
 
එදා සිංහල නාට්‍ය ශිල්පීහු එවැනි ගැමි නැටුම් මගින් ද ඇතැම් බලවතුන්ට උපහාස එල්ල කළහ.
 
මේ සියල්ල අද සහමුලින්ම පාහේ වැනසී ගොස්ය.
 
ඊටත් වඩා සංකීර්ණ ජන නාට්‍ය විශේෂයක් ශීඝ්‍ර වේගයෙන් නැතිවෙමින් පවතී.
 
ඒ වර්ගය නම්, ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියට උසස් ‘මානයක්’ සම්පාදනය කළ ‘යාතුකර්මයි’. බලි-තොවිල් ආදී වශයෙන් නම් කෙරුණු ඒ නාට්‍ය විශේෂ සඳහා භාවිත වුණු වෙස් මුහුණු හේතු කොටගෙන, ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතිය කෙරේ ජගත් අවධානය යොමුවේ. දහඅට පාලිය සඳහා භාවිත වන වෙස් මුහුණුත්, නාග රාක්‍ෂාදී වෙස් මුහුණුත් අද ලොව ඉතාම දියුණු දේශවල රසිකයන් පවා විස්මය පත්කරන සුළුය.
 
එසේ නැතිවීගෙන යන ජන සංස්කෘතිකාංග අතර සම්ප්‍රදායික ඇඹීම් වර්ගත් ඇත්තේය. බලි රූප නැතිනම් කලාවට අද කිසිම තැනක් නැති තරම්. සම්ප්‍රදායික බිතු සිතුවම් ශෛලිය නම් අදත් බෞද්ධ සිද්ධස්ථාන නිසා සුරැකේ.
 
මෙසේ අප සතු සම්ප්‍රායික ජන සංස්කෘතික නිධාන රැක ගැනීම සඳහා නොපමාවම ඉතා ප්‍රබල පියවරක් ගත යුතුව ඇත්තේය.
 
ආදීවාසී නායකයා විසින් ප්‍රකාශිත වූ පරිදි වසර දහසක දේශජ ආදිවාසී ගායන ශෛලිය ඉදිරිපත් කළ අයගේ පරපුරෙන් අද ඉතිරිවී සිටින පස් දෙනාගේ ගායන විලාශය ස්ථාවර ලෙස වාර්තාකොට තැබීමෙන්, අපගේ සිරිලකට උරුම විශිෂ්ට ජන සංස්කෘතිය මුළුමනින්ම සෝදාපාළුවට ලක්වීම නතර කොට ගැනීමේ දැවැන්ත සංස්කෘතික මෙහෙවර ඇරඹිය හැකිවේ.
 
ඒ හා සමගම අපගේ දේශයේ ඒ ඒ ගම්මානවල තාමත් යන්තම් හෝ ඉතිරි වී තිබෙන ජන සංස්කෘතික නිධාන නවීනතම විද්‍යුත් මාර්ග මගින් ආරක්‍ෂා කොට ගැනීමේ ව්‍යාපාරය දෙසට රජයේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය කා විසිනුත් පිළිගත යුතුවේ.
 
දැනටමත්, විනාශ මුඛයට පත්වෙමින් තිබෙන අපගේ චිරාගත අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රත් අවුරුදු ජන ක්‍රීඩා රටාත් සලකා බලන්න. සම්ප්‍රදායික ඔන්චිලි වාරම්, රබන් පද, ගැමි ක්‍රීඩා ආදිය ගැන සිතන්න. මේ සියල්ල සහමුලින් විනාශයට යා නොදී ඒවා රැක ගැනීම, අපගේ ජාතියේ ‘ආත්මය’ ආරක්‍ෂාකොට ගැනීමකි. ගමින් ගමට ගොස් ඒවායේ සිටින වයෝවෘද්ධ පිරිසගේ අත්දැකීම් නිසි විද්‍යුත් තාක්‍ෂණ ක්‍රම මගින් සටහන් කොට තැබිය යුතුවෙයි. මෙසේ අප, ඒ අපට උරුම දේශය, සංස්කෘතිය රැකබලා ගත්තේ නැත්නම් අප අහසින් කඩා වැටුණ පිරිසක් වන්නෙමු.
 
 
 
 
 

ජේන් ඕස්ට්න්ගේ ප්‍රයිඞ් ඇන්ඞ් ප්‍රිජුඩිස්

ලොව පැරණි පත පොත 

 

 

ජේන් ඕස්ට්න් කීර්තිමත් නවකතා කලාකාරියකි. බි්‍රතාන්‍ය ජාතික ජේන් ඕස්ට්න් උපත ලැබුවේ 1775හේ දීය. ඉසුරුමත් පවුලකට අයත් වූ ඒ කාන්තාවගේ පියා පූජකවරයෙකි.


සිය ප්‍රබන්ධ කතාවලින්, මුල් කාලයේ නිර්මාණවලදී ඒ කාන්තාව, සමකාලීන සාහිත්‍යයේ තිබුණු අධිසංවේදී කෘති උපහාසයට ලක් කළාය.


ජේන් ඕස්ට්න් ලේඛිකාව විසින් ශ්‍රේෂ්ඨ නවකතා හයක් සම්පාදනය කරන ලදී. ඉන් හතරක්ම ව්‍යාජ නම්වලින් ලියැවිණි. එතුමියගේ ප්‍රධාන ප්‍රබන්ධ කතාවලින් විශිෂ්ටතම නවකතාව වශයෙන් සලකනු ලබන්නේ ඒ කාන්තාව විසින් 1813 දී විරචිත ‘ප්‍රයිඞ් ඇන්ඞ් ප්‍රිජුඩිස්’ නම් කෘතියයි. මේ නිර්මාණය විද්වතුන් හා විචාරකයන් විසින් අගය කරනු ලබයි. එහෙත් එහි නියම විශිෂ්ටත්වය නම් ඒ නිර්මාණය කියවීම මගින් පාඨක පරම්පරා කිහිපයක් විසින්ම ආස්වාදයත් ආධ්‍යාත්මක තෘප්තියත් ලැබීමයි.


ජේන් ඕස්ට්න් කාන්තාව අභාවයට පත්වූයේ 1817 දීය. මිය යනවිට ඇයගේ වයස 42 යි.

 

 

 

 

 

 


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝජ් හර්බට් බුෂ්ගේ අභාවය

විශිෂ්ට ජාත්‍යන්තර නායකයකු වශයෙන් නමක් දිනූ ජෝජ් හර්බට් බුෂ් මහතා පසුගිය 30 වනදා අභාවයට පත් විය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 41 වන ජනාධිපතිවරයා වූ ඒ මහතා ලෝක සාමය තහවුරු කළ කීර්තිමත් පාලනවේදියෙකි. 


1924 උපත ලද එතුමා අභාවයට පත් වූයේ 94 වන වියේදීය. රිෂබ්ලිකන් පාක්‍ෂික එතුමාගේ පුත්‍රයෙක් ද ජනාධිපති පදවියේ සිටියේය.
එතුමා රැසියාව හා චීනය සමගත් සුහද සබඳතා පැවත්වූයේය.


එතුමාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූයේ දෙසැම්බර් පස්වන බදාදායි. ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ ආර්යාවත්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරුත් ඒ අවස්ථාවට සහභාගි වූහ.


ජෝජ් බුෂ් මහතා කලක් රෝගීව සිටියේය.


එහෙත් ඒ මහතා ඉතා හොඳ සිහියෙන් සිය අවසාන මොහොත ගතකළේය. ඒ අවස්ථාවේදී එතුමාගේ ඉතාම කිට්ටු හිතවතෙක් එතුමා වෙත සිටියේය. බුෂ් මහතා ඉතා හොඳින් දෑස් විවෘත කොට, අතිශයින් ප්‍රසස්ථ ලෙස සිය හිතවතාගෙන් මෙසේ විමසීය. “හලෝ බේක්, අප යන්නේ කොහේද?”. “දිව්‍ය ලෝකයට” යැයි මිතුරා කීය. “හොඳයි. මට යන්න ඕනෑ එහේ තමයි.”

 

 


‘ප්‍රේමයේ මූර්තිය’දිරාපත් වෙයි

 

ජගත් සංචාරකයන් ආකර්ශනය කරන ලෝක පූජිත නිර්මාණ අතුරෙන් ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි ටාජ් මාහල් මන්දිරය ප්‍රමුඛ ස්ථානයක් ගනී. 
ටාජ් මාහල් මාලිගය, මුළු ලෝකයේම ජනාදරය දිනාගෙන සිටින්නේ, ‘ප්‍රේමයේ අසහාය සංකේතය’ වශයෙනි.


මෙය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අග්‍රා නගරයෙහි පිහිටුවන ලද්දේ 1639 සිට 1648 දක්වා කාල පරිච්ඡේදය තුළදීය. ටාජ් මාහල් මන්දිරය තනන ලද්දේ ෂා ජහාන් රජු විසිනි. 1592 සිට 1666 දක්වා රාජ්‍ය කළ ෂා ජහාන් රජු මේ විශිෂ්ට මන්දිරය තනාලූයේ සිය මෙහෙසිය වන මුම්ටාස් මාහල් බිසොව වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් හැටියටයි. ඒ බිසොව මියගියේ 14 වන දරු ප්‍රසූතියේදීය. මෙය ප්‍රධාන වශයෙන් තනන ලද්දේ රාජස්ථාන් පෙදෙසේ කිරිගරුඬ ගලෙනි. මේ කිරිගරුඬ වර්ගයේ විශේෂ ලක්‍ෂණයක් වෙයි. ඒ මෙසේය. ඒ ගල් වර්ගය උදේට ලා රත් පැහැය ගනී.


සවස් කාලයේදී එය සුදුය. රෑට එය කිරිපාට වේ. මහා කවි තාගෝර්, ටාජ් මාහල් මන්දිරය දුටුවේ ‘කාලයේ කොපුල්තලය මත පතිත වූ කිරිගරුඬ කඳුළු බිඳුවක්’ ලෙසිනි. 2010-2015 අතර කාල පරිච්ඡේදයේදී සංචාරකයෝ හැට ලක්ෂයක් පමණ දෙනා ටාජ් මාහල් මන්දිරය නැරඹූහ.


එහෙත්, ටාජ් මාහල් මන්දිරයේ දිලිසීම අඩුවන්නට පටන්ගෙන ඇත්තේය. පදනම දුබලව  ගොස්ය. උඩ කූටාගාර දිරාපත්ව ඇතැයි පැවසේ.


මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය බේරා ගැනීම සඳහා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පියවර ගෙන ඇත්තේය.


එය ආරක්‍ෂා කොට ගැනීම සඳහා දැඩි පියවර ක්‍රියාවේ යෙදෙයි.


මේ නීති-රීති පිළිබඳව කාර්මික ව්‍යාපාරිකයින් විරෝධය පෑ නමුදු ටාජ් මාහල් මන්දිරය සුරක්ෂිත කිරීමේ කාර්යයට ධෛර්යය දෙනු පිණිස ප්‍රබල පියවර සකස් වී තිබීම උදාර නිර්මාණවලට කැමති රසඥ ලෝකයට ඉමහත් සතුටට හේතුවකි. දඹදිව, උත්තරීතර ජනී ජනයා මේ මහා කලාත්මක නිධානය රැක ගැනීමට කැපවනු ඇතැයි ලෝකයම බලාපොරොත්තු වේ.


ශ්‍රී ලංකාවේ රෝස තිරිවාන ගල් ද ටාජ් මාහල් මන්දිරය තැනීම සඳහා ගෙනයන ලදැයි කියන ප්‍රවාදයක් ද ඇත්තේය.

 


කටේ බලයෙන් මරණින් බේරුණු හැටි

මෙය පැරණි කතාවකි. වරක් රජතුමෙක් භුක්කුණ්ඩ නම් පුරුෂයකුට මරණීය දණ්ඩනය නියම කළේය.


මරණයට නියම කරණු ලැබූ භුක්කුණ්ඩ, වචනයක් පවසන්නට රජුගෙන් අවසර පැතුවේය. “කතාකරන්නැයි” රජු ඔහුට කීවේය. 
භුක්කුණ්ඩ මෙසේ පැවසීය. 


“මහ රජතුමනි, මගේ නම භුක්කුණ්ඩ. දැන් මරුවා, මරණයට පත් කරන්නේ ‘භ’ යන්නෙන් නම පටන් ගන්නා අයයි. මගේ නම පටන් ගන්නේ ‘භූ’ යන්නෙන් නිසා ඊගාවට මරණයට පත්වන්නේ ‘භූ’ අකුරෙන් නම පටන් ගන්නා ‘භූපති’ වූ ඔබයි”.


රජු ඒ තර්කය පිළිගත්තේය. භුක්කුණ්ඩ නිදහස් කළේය. කටේ බලයෙන් ඔහු මරණයෙන් නිදහස් විය.

 

 

 
 

RECOMMEND POSTS

RELATED POSTS