සිරිලක ජනකතා නිධාන අපට අමතකවීද ?



 

“මානව සංහතියේ හදගැස්ම වැඩෙන්නට පටන් ගත් කාලයේ සිටම ජනකථා මිනිසාගේ ජීවන න්‍යාය පත්‍රය කෙරේ බලපාන්නට වූයේය. කතා කීමේ කලාවෙන් තොර කිසිම ජනයුගයක් ගැන හෝ මිනිස් සාමාජික කණ්ඩායමක් ගැන හෝ සිතන්නට බැරිය. ජනකතා කලාව, එක් එක් පරම්පරාවේ බුද්ධිය උකහා ගනිමින් ඒ ඒ පරපුරේ සංස්කෘතික ඉඟි බද්ධ කොට ගනිමින් වැඩෙන්නේය.”
සින්ධි ජනකතා විශේෂඥ 
නයියාරා රහ්මන්

 

සාහිත්‍යය, සංස්කෘතිය ගැන නිරන්තරයෙන් ලියන කියන ඇතැමුන් ජන කථා දකින්නේ ඒවා සරල නොඑසේ නම් නොදියුණු පොදු මිනිසුන්ගේ පුංචි හිත්වලින් පහළ වූ සූළු දේවල් හැටියටයි. එහෙත් අද ජනකලාව ආශ්‍රිත, ප්‍රවාද මාලා ප්‍රවීන විද්‍යාඥයන්ගේ ගැඹුරු පර්යේෂණ ක්ෂේත්‍රයට අයත්වන මානව නිර්මාණ ධාරාවකි.


ජන කතා කලාව පිළිබඳ කතා බහට පූර්විකා වියයුත්තේ මානව සංහතියේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති වශයෙන් බොහෝදෙනා විසින් සලකනු ලබන නිර්මාණ දෙසට තියුණු අවධානය යොමු කිරීමකි.


ඊසොප්ගේ “උපමා කතා” ලොව බොහෝ දෙනා දන්නා නිර්මාණ පෙළකි. මේ කතාවල කර්තෘවරයා වශයෙන් නම් කෙරෙන ප්‍රවීණයා ක්‍රිස්තු වර්ෂයට පෙර හයවන සියවසෙහි පමණ විසු ග්‍රීක ජාතිකයෙකි. ඔහු වහල් මෙහෙයෙන් නිදහස ලැබ ග්‍රීසිය පුරා සංචාරය කළේය. ඔහුගේ උපමා කතා සැදී තිබෙන්නේ සතුන් පවා චරිත වශයෙන් ගනිමින් සකස් කළ උපදේශවලිනි. ඔහුගේ ප්‍රවාදවලින් බොහොමයක් ඊට පෙර යුගවල ජනතාව අතර ව්‍යවහාර වූ ජනකතා බව අද පර්යේෂකයෝ පෙන්වා දෙති.


ඉන්දියාවේ සම්භාව්‍ය සාහිත්‍යය දෙසට හැරෙමු. පංචතන්ත්‍රය, හිතෝපදේශය, රාමායනය, මහා භාරත ආදී අති කීර්තිමත් ඉන්දියානු මහා ග්‍රන්ථයට මුල් වුයේත් ජනකතාය. “කතා සරිත් සාගර” නම් ඉන්දියාවේ මහා සාහිත්‍ය කෘතියත් එසේය.


මෙය තරමක විවරණයට භාජන විය යුතුවේ.


ආධ්‍යාත්මික හා ලෞකික හේතු නිසා ප්‍රබල සාමාජික කණ්ඩායම් දෙකක් ඒ කාලයේ ලොව සැරිසැරූහ. පූජක පක්ෂයට අයත් සංචාරකවරුත්, වන්දනාකාරයෝත් ආධ්‍යාත්මික අභිප්‍රාය ඉටුකොට ගන්නා පිණිස ලෝක චාරිකාවන්හි යෙදුණාහ.


එවැනි කණ්ඩායම් ඒ දිගු ගමන් බිමන් අතරතුර එක්ව නවාතැන් ගත්හ. එසේ නිදැල්ලේ සිටින විට ඔවුහු තමන් ආ ගිය පෙදෙස්වල ප්‍රචලිත කතා අන් අයට කියා දුන්හ. පූජකවරු මිනිසුන් අතර ගැවසෙමින් සාමාන්‍ය ජනතාවගේ කතාවලට සවන් දුන්නේ ඒ කතා මගින් සාමාන්‍ය පිරිසගේ ආධ්‍යාත්මය අවබෝධ කොටගත හැකි හෙයිනි. ඒ මගින් ඒ පූජක පක්ෂයේ උදවියට ගිහියන්ගේ මනසට දැනෙන ආකාරයෙන් බණ දහම් උගැන්විය හැකි වේ.


ලෞකික අංශයේ දීර්ගකාලීන පළපුරුද්දක් සහිත වාණිජ ව්‍යාපාරිකයන් වෙළෙඳ සංචාරකයන් ආදිහුද බොහෝවිට ගමන් බිමන්වල යෙදුණහ. ඒ වාණිජ කණ්ඩායම් විවේකය සඳහා එකට එකතුවන තැන්වලදී විවිධ දේශ නානාවිධ රාජ්‍ය ආදියේ ඇවිදිමින් තමන්ට දැන උගෙනගත හැකි වූ කතා ඔවුනොවුන් හා සමග බෙදා හදා ගත්හ.


එවැනි කතා අනුක්‍රමයෙන් පෘථුල ලෙස පැතිර ගොස් ජනකතා සම්භාරයක් තැනුණෝය.


ඉතා ඈත යුගවල එවැනි ජනකතා ජන කවීන් විසින් ගායනා කෙරිණි. එවැනි ඇතැම් අය සංචාරක ජනකවිකාරයෝ වූහ. මිනිසුන් ගැවසෙන තැන්වල එවැනි කතා ගායනා පැවැත්වීම ඔවුන්ගේ වෘත්තිය විය. ඇතැම්විට එවැනි ගායකයෝ රාජ රාජ්‍යාමාත්‍යාදීන්ගේ නිවාසවල වෙසෙමින් ඒ අයගේ විනෝදය සඳහා කවි ගී ගැයූහ.


ග්‍රීසියේ හෝමර් ද එවැන්නෙකැයි සලකනු ලැබේ. ඔහු විසින් කරනා ලදැයි සැලකෙන “ඉලියඞ්” සහ        “ඔඩිසි” මහා කාව්‍ය එවැනි ජනගායනා ඇසුරෙන් හැඩගැසුනේ යැයිද ඇතැම් විචාරකයෝ ප්‍රකාශ කරති. ඒ ජන ගායකයෝ “මික්ස්ට්‍රල්” නම් පදයෙන් හඳුන්වනු ලැබූහ.


යම් යම් ස්ථානවල එක්රැස්වන පිරිස් උදෙසා එසේ “කවි ජනකතා” ගයන අය ඉන්දියාවේ සිටියහ. අද පවා ඇතැම් තැන්වල එවැනි ගායකයන්ගේ ජනකතාවලට ඉතා ඕනෑකමින් සවන් දෙන අය ඉන්දියාවේ නගර හා ගම්මානවල සිටිති.


“අරාබි නිසොල්ලාසය” නම් කතා එකතුවද ජනකතා සමූහයකින් සැදුනේ වේ. එය ඉන්දියාවේදී නම් කරනු ලැබුවේ “ආරබ්‍ය උපනිෂද්” වශයෙනි.


හැම රටකම හැම ජන කණ්ඩායමකම එයට උරුම වූ ඒ අයට ආවේණික වූ “ජන කතා” සම්ප්‍රදායයක් ඇත්තේය. ආසියාකරයේ බොහෝ දේශවල විචිත්‍ර ජනකතා පද්ධති ඇත්තේය.


ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රාජ්‍යවල “නරියාට” (සිවලාට) තැනක් ඇත්තේය. ඊසොප්ගේ සුප්‍රසිද්ධ කතාවකට මුල් වන්නේ “මිදි පොකුරක්” කඩා ගන්නට වෑයම් කරන නරියෙකි. උඩ පැන වෙහෙසුණද නරියාට මිදි පොකුර කඩා ගන්නට බැරිවේ” මිදි හරි ඇඹුල් යැයි කියමින් නරියා පරාජය වහගෙන එතැනින් යන්නේය.


සිංහල ජනකතාවල “නරියා” බහුලව පෙනී සිටී. ඉන් එක් ජන කතාවකදී නරියෙක් ගෙදරකින් කුකුලෙකු ඩැහැගෙන දුවන්නේය. මිනිස්සු ගල් මුගුරු ගෙන නරියා ලුහුබඳිති. නරියා ගමරාළගේ ගෙට දිවගොස් ගමරාළට මෙසේ කියයි. “ගමරාළ මම ඔබගේ ගෙය පිටුපස මඩුවේ හැංගෙනවා. අනේ ගමරාළ මං එතැන හැංගී සිටින බව ඒ මිනිසුන්නට කියන්නට එපා” නරියා හැංගුණේය. දුවගෙන ආ මිනිස්සු නරියා ගැන ගමරාළගෙන් විමසූහ. ගමරාළ නරියාට ඇසෙන සේ මහ හඬින් මෙසේ කීවේය. “නරියා මෙහේ ආවේ නෑ. අර පැත්තෙන් දිව්වා” එසේ කටින් හයියෙන් කියන ගමන්ම ගමරාළ නරියාට නොපෙනෙන්ට අර මිනිසුන්ට නරියා හැංගී සිටින තැන ඇඟිල්ල දික්කොට පෙන්නුවේය. සිදුවිය හැකි දේ දැක නරියා එතැනින් පැන ගත්තේය. මිනිසුන් ගියාට පසුව නරියා ගමරාළ වෙත ආයේය. නරියා මෙසේ කීයේය. “ගමරාළ ඔයාගේ කටේ තියෙන කරුණාව ඔයාගේ අතේ නෑනේ. මං බේරුනා ඔයාගේ අතේ සංඥාව දැකලා. මං යනවා” ගමරාළ අන්ද මන්ද විය.


ආසියාකරයේ ජනකතා සම්ප්‍රදාය බොහෝ රටවලට විහිදිගොස් ඇත්තේය. එකම කතාව ඒ ඒ රටවලදී තරමකව වෙනස් වූ ස්වරූපයක් ගනී.


සුදීන් එන්. ඝෝෂ් නම් විද්වතා විසින් එකතු කරන ලද ඉන්දීය ජනකතා පද්ධතියක උගුලක අසුවු දිවියාගේ කතාව සඳහන් වේ. උගුලේ හිරවූ දිවියා ඒ අසලින් යන බමුණකු දකී. බමුණාට ඇවිටිලිකොට දිවියා උගුලෙන් බේරෙන්නේ බමුණා ලවා උගුලේ දොර අරවා ගැනිමෙනි. උගුල තුළ සිටි දිවියා බමුණාට පොරොන්දු වූනේ ඌ කවදාවත් බමුණා නොමරණ බවටයි. එහෙත් එළියට ආ හැටියේ දිවියා තමා නිදහස් කළ බමුණා මරාගෙන කන්නට සැරසුනේය. අනිත් අයගෙන් මේ ගැන අහමු යැයි බමුණා කීවිට සාක්කිකරුවන් කීප දෙනෙක්ම කීවේ බමුණා මරාගන්නට දිවියාට අයිතියක් තිබෙන බවයි. අවසානයේදී එතැනට ආ නරියකුගෙන් අවසාන තීන්දුව කුමක්දැයි විමසන ලදී. නරියා මෙසේ කීවේය. “දිවියා හිටි හැටි මට පැහැදිලි නෑ. දිවියා ඒ නිසා නැවත ඔබ උගුල තුළට යන්න” දිවියා ආපසු උගුල ඇතුළට ගියේය.


වහාම දොර වසා අගුල් දාන්නැයි බමුණාට කී නරියා බමුණාට මෙසේ කීයේය. “බමුණ ඔබ කවදාවත් නපුරන්ට මෙහෙම උපකාර කරන්න එපා. දැන් යන්න පණ බේරාගෙන”


මේ එකම කතාව ආසියාවේ විවිධ රටවල විවිධ ස්වරූපයෙන් කියවේ.


“ජන කතා” ඉන්දියාවේදී නම් කෙරෙන්නේ “ලෝක සාහිත්‍යය” වශයෙන්. ඉන්දියාව, බංග්ලා දේශය, සියම (තායිලන්තය) වියට්නාමය, ලාඕසය වැනි දේශයන්හි ජන කතා එකතු කරන පොත් මට මෑතකදී කියවන්නට ලැබුණේය. ඇෆ්ගනිස්ථානයේ පශ්තුන් සංස්කෘතියෙහි උද්ගත වූ කෙටි කතා කාණ්ඩ තුනකින් පළ කෙරෙන “ජාතික කැඩපත” නම් කතා සංග්‍රහයක් ද මට නොබෝදා ලැබුණේය.


“ජාතික කැඩපත” යන යෙදුම පශ්තුන් බසින් සඳහන් වන්නේ “මෙලී හින්දාරා” වශයෙනි. මුළු පොතේම කතා 34ක් අඩංගුය. ඒවා ලියැවී තිබෙන්නේ කතා කියන ශෛලියෙනි.


මේ කථා සංග්‍රහයෙහි එන කථාවක් එක්ටැම් ගෙයි සිටි “චිත්‍රා” කුමරියගේ චරිතය සිහිපත් කරවන්නේය. එක කුමරෙක් දැවයෙන් අහස් යානයක් තනාගෙන ඒ එක්ටැම්ගෙයට ගොස් කුමරිය පැහැරගෙන යන්නේය. බංග්ලාදේශ් රාජ්‍යය, ජනකතා බහුල පෙදෙසකි. ඒ දේශයේ සුප්‍රසිද්ධ සාහිත්‍යධරයෙක්ව සිටි කබීර් චෞදරී විද්වතා විසින් “බංග්ලාදේශ්හි ජන කථා” නමින් කතා සංග්‍රහයක් පළකොට ඇත්තේය. බංග්ලාදේශ්හි ජනකතා සම්ප්‍රදායය අළලා ඒ ලේඛකයා විසින් රචිත “හැඳින්වීම” විශිෂ්ට ලේඛනයකි.


ලොව ජනකතා ඈත අතීතයේ සිට පැවත ආයේ ස්මෘති පරම්පරාවෙනි. (කට වචනයෙනි) ජනකතා ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යයෙහි පුරෝගාමීන් වුයේ ජර්මන් ජාතික ග්‍රිම් සහෝදරයන් දෙදෙනායි. ජේකබ් ලූඞ්විග් කාල් (1785-1863) සහ විලෙල්ම් කාල් (1786-1859) නම් වූ ඒ දෙසොහොයුරෝ “ග්‍රීම් සුරංගනා කතා” නම් කාණ්ඩ තුනේ ජන කතා සංග්‍රහය 1812-1822 කාල සමයේදී පළ කළහ.
එදා මෙදා තුර ජනකතා සංග්‍රහ සහ ජනකතා විවරණ දහස් ගණනින් පළවේ.


එසේ වුවද ශ්‍රී ලංකාවේ අප සතුව ඇති විචිත්‍ර ජනකතා සම්ප්‍රදාය ගැන මෙතෙක් ලැබී ඇති අවධානය අතිශයින්ම සීමිතය.


බි්‍රතාන්‍ය පාලන යුගයේදී ඇතැම් ඉංගිරිසි ජාතික ලේඛකයෝ ශ්‍රී ලංකාවේ ජනකතා සම්ප්‍රදාය කෙරේ තරමක අවධානයක් යොමු කළහ. සිංහල ජනකතා කලාවේ ඇතැම් ප්‍රායෝගික පැති ඔවුහු දුටුවහ. ඒ කාලයේ අපේ රටේ ගැමි ගෙවල, ඇත්තන් නින්දට ගියේ තරමක් වේලාසනින්ය. මක්නිසාද යත් රෑ පහන් දැල්වීම එතරම් දැඩිව පිහිටි පුරුද්දක් නොවු හෙයිනි. ගෙදර වැඩි මහලු කාන්තාව දරුවන් උකුලේ හොවා නිදි කරන්නීය. දරුවාට තරමක් තේරෙන වයසේදී ඔවුහු දරුවන්ට කතාවක් කියති. දරුවා ඒ කථාව අසාගෙන -හූමිටි” දෙයි. ඒ කියන්නේ කතාව ඇසුනු බව දක්වන්නට වරින්වර “හූම්” යැයි කීමේ ගතියයි. දරුවා “හූමිටි” දීම නැවැත්තු විට දරුවා නිදිය. එවිට කාන්තාව දරුවා “උණුහුම්” කරන්නීය.


අපේ රටේ තරම් විවිධ ලක්ෂණ සහිත ජන කතා කලාවක් වෙත අන්රටක තිබිණි දැයි සැක සහිතයි.


“පණ්ඩිතමානී” පුද්ගලයන්ගේ ආඩම්බර කමට සිනාමුසුව ප්‍රහාර එල්ල කරන “මහදැනමුත්තාගේ” කතා පෙළ හාස්‍ය රසමුසු අවඥශීලිතාවයකින් හැඩගැසුණු අපුරු ජන කතා නිර්මාණයෙකි. මහදැනමුත්තාගේ සහ ඔහුගේ ගෝල පිරිසගේ පණ්ඩිතමානී මෝඩකම් ගෙනහැර දක්වන ඒ ජනකතා පෙළ තියුණු උපහාසාත්මක නිර්මාණ පද්ධතියකි.


“කැකිල්ල රජ්ජුරුවෝත්” එවැනිම ජනකතා කලාත්මක චරිතයකි. අසාධාරණ පාලකයන් වෙත සහ ඔවුන්ගේ විකෘති තීරණ දෙසත් ඒ චරිතය මගින් ඈනුමක් එල්ල කෙරෙන්නේය. ජනකතා කලාවට ඇලුම් කළ ඒවාට අනුග්‍රහය දැක්වූ මේ දේශයේ සාමාන්‍ය ජනයා තුළ කොයිතරම් මුහුකුරා ගිය වින්දන ශක්තියක් තිබිණි දැයි යන්නට මේ කාව්‍ය සාක්ෂි දරති.


සිංහල ජන ජීවිතයෙහි එක්තරා අවධියක ජන කතා කලාව පෘථුල ලෙස විහිද තිබිණි.


වැඩිහිටියන් විසින් දරුවන් උදෙසා එවැනි කතා කියන ලද්දේ ළමා උද්‍යෝගය දැනවෙන පරිද්දෙනි. අපේ ජන කතා බොහෝවිට ආරම්භ වන්නේ “එකෝමත් එකරටක” යන ප්‍රවේශයෙනි.


මේ ජනකතාවල ප්‍රධාන චරිත වුයේ “ගමරාළ” සහ “ගම මහගේ”යි. ඔවුන් හා ආශ්‍රිත විවිධ සිද්ධි කතාවට නගා පවසන විට සමාජ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ ඇතැම් අංශද ඉස්මතු වන්නේය.


ශ්‍රී ලංකාවේ ජනකතා සම්ප්‍රදායයෙහි සිනා වීරයන් අතර අවිවාදයෙන්ම ප්‍රධාන ස්ථානය ලබන්නේ “අන්දරේ”යි. 


“අන්දරේ” ඓතිහාසික චරිතයකැයි ඇතැමුන්ගේ විශ්වාසයයි. කෙසේ වුවද ඔහු රාජ සභාව ආශ්‍රිතව සිටි “රාජ කවටයකු” වශයෙන් සලකනු ලැබේ.


ඉන්දීය රාජ සභාවන්හි “විදුෂක” නම් රාජකීය කවටයෙක් සිටියේය. ඒ තනතුර සම්මත රාජ්‍ය පාලන තන්ත්‍රය හා සබැඳුනු පදවියකි. බොහෝවිට දඹදිව රාජ සභාවල ඒ පදවිය දරන ලද්දේ විචක්ෂණ, බ්‍රාහ්මණයකු විසිනි. පාලකයා සිය මානුෂික ප්‍රභවය අමතකකොට ජනතාව කෙරේ කර්කශ අසාධාරණකම් කුරිරු ප්‍රතිපත්ති යොමු කෙරේ නම් එවැනි අවස්ථාවන්හිදී පාලකයාගේ ක්‍රියා කලාපය දෙස සිනාමුසුව විවරණයේ යෙදෙමින් ඒ රාජයා සිය වැසියන් දෙස සානුකම්පිතව කරුණා පූර්වකව බලන තැනට පාලකයාට හාස්‍ය රසාලිප්තව කරුණු කියා දෙනු ලබන්නේ විදුෂකයා විසිනි.


අන්දරේගේ චරිතය හා සබැඳුණු කතා ඉතා තියුණු සිනා රැසකින් පරිපෝෂිතය. “අන්දරේ සීනි කෑ හැටි” වැනි කතාවක් දරුවන්ගේ මනස තුටු පහටු කරන සුළුය.


ජනකතා කලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ සිත් පහන් කරමින් ඔවුන්ට එදිනෙදා මූණ පාන්නට සිදුවන ප්‍රශ්න තැන්පත් ලෙස නිරාකරණය කළ හැකිවනු පිණිස ඔවුන්ට නිවුණු මනසක් සකස් කොට ගන්නට ඉඩකඩ සපයා දීමයි.


අප විසින් මුඛ්‍යතාව දියයුතු වන්නේ විජය යුගයෙහි පටන් අද දක්වාම වැඩෙන ශ්‍රී ලංකාවේ ජන කතා කලාව ස්ථාවර කොට තබා ගන්නා පිණිස නොපමා ක්‍රියා කලාපයකට මුල පිරීමයි. ලෝකයේ බොහෝ දේශ සිය දේශයේ ජනකතා කලාවක් ඒ හා ආශ්‍රිත ගායන හා නැටුම් ශෛලිත් වැනසී යා   නොදී රැක බලා ගන්නට දැඩි ප්‍රයත්නයක් දරති. අද යුගයේ අති දියුණු ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඒ ජනකතා කලාවේ සියලුම අංගෝපාංග ආරක්ෂා කොට ගන්නට දියුණු රාජ්‍ය පවා විවිධ ක්‍රම යොදති. 


ශීඝ්‍ර වේගයෙන් විහිද පැතිර යන විද්‍යුත් මාධ්‍යයීය ප්‍රකාශන ධාරාවට ඔරොත්තු දෙන්නට සම්ප්‍රදායික ජනකතා කලාවට ශක්තියක් නැත.
මෙයට අඩ සියවසකට පෙර අපගේ ගම්මානවල ප්‍රචලිතව තිබුණු ඒ රසබර ජනකතා දැන් කෝ? සිය සිඟිත්තන්ට ජන කතාවක් කියමින් ඔවුන්ගේ පුංචි සිත් තුටුපහටු කරන අම්මලා තාත්තාලා ආච්චිලා සීයලා නැන්දලා මාමලා අද විද්‍යුත් මාධ්‍යයනට යටවී සිටිති.


අප විසින් යටත් පිරිසෙයින්වත් කළ යුතු වන්නේ දැනට හෝ ඉතිරිව තිබෙනව ජනකතා නිර්මාණ අතළොස්ස ස්ථාවර ලෙස වාර්තාකොට තබා ගැනීමයි.


අපේ අසල්වැසි ඉන්දියා, නේපාල, භූතාන, පාකිස්තාන, ඇෆ්ගනිස්ථාන වැනි රාජ්‍ය සිය ජනකතා සම්ප්‍රදායයෙන් ඉතිරි වී තිබෙන දේ යටත් පිරිසෙයින් ග්‍රන්ථාරූඪ කරන්නට වත් දරන දැඩි පරිශ්‍රමය අපි මේ දිනවල නිරන්තරයෙන්ම දකිමු. ඒ නිසා අප සතු අසහාය විචිත්‍ර ජනකතා කලාව රැක බලා ගන්නට වගකිවයුත්තන්ගේ සිත් නොපමාව යොමුවේවා.


 

 

රාජකීය විවා මංගල්‍යයේ විචිත්‍ර තැන්

ගිය සෙනසුරාදා එංගලන්තයේ වින්ඞ්සර් මාලිගය ආශ්‍රිත දේවස්ථානයේදී හෙන්රි සහ මෙගන් රාජකීය විවාහ මංගල්‍යය සිදුවුණේය. ජගත් රූපවාහිනී ඉතිහාසයෙහි විශාලතම සංඛ්‍යාවක් මෙතෙක් සජීවි ලෙස නැරඹු සිද්ධිය එයයි. අද ලැබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව කෝටි 19කට අධික සංඛ්‍යාවක් ඒ විවාහ මංගල්‍යය සජීවී ලෙස නැරඹූහ.


මනාලිය චාරිත්‍රානුකුලව මනාලයට බාරදීමේ වතාවත් ඉටුකරන ලද්දේ මනාලයාගේ පියාණන් ද වන චාල්ස් කුමරු විසිනි. දෙවන මනාලයා වූයේ මනාල කුමරුගේ “අයියා” වන විලියම් කේම්බි්‍රජ්හි ආදිපාදවරයායි.


මනාලිය පැළඳ සිටියේ සිනිඳු සියුම් සිදුරු සහිත වූල් සේද වේල් පටකි. එහි දිග මීටර් පහකි. (අඩි 15යි) එහි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 53යේ නිල පුෂ්ප වර්ග එම්බ්‍රොයිඩර් කොට තිබිණි. මනාලියගේ මාතාව වන ඩෝරා උත්සවයට සහභාගි වූවාය. තුන්දහස් අටසියයක් දෙනා ආරාධිත අමුත්තන් වශයෙන් උත්සවයට සහභාගි වූහ. යුවළ විවෘත ඇස්කෝට් ලැන්ඩෝ අශ්ව රියෙන් වින්ඞ්සර් පෙදෙස හරහා ගමන් ගනිද්දී ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඒ මංගල්‍යය චාරිකාව එහි සිට නැරඹූහ. විවාහයෙන් පසුව හෙන්රි කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා වේ. මෙගන් මනාලිය සසෙක්ස්හි ආදිපාදවරිය වන්නේය. හෙන්රි කුමරු ඩැම්බර්ටන් අර්ල් පදවිය සහ කිල්කිල්හි බැරන් (සිටු) තනතුරද ලබන්නේය. නව යුවළ කොන්සිංටන් මාලිගයේ නොටිංහැම් නිවසේ පදිංචි වෙති. අසල්වැසියන් වන්නේ කේම්බි්‍රජ් ආදිපාද විලියම් කුමරු හා එම ආදිපාදවරියත්ය.


 

රොබට් නොක්ස්ගේ ලංකාවේ ඉතිහාස කතාව

රොබට් නොක්ස් ලංකාවට ආයේ අහම්බෙනි. ඔහුගේ පියා නියමුවකම කළ නැවේ කුඹගස බිඳුණේය. අලුත් කුඹගසක් සොයා නැවේ සියලු දෙනා ත්‍රිකුණාමලය අසල ගොඩබිමට ආහ. එහිදී රාජ පුරුෂයෝ ඔවුන් අල්ලාගෙන ගොස් පදිංචි කළහ. ඒ 1659දීය. ලංකාවට එනවිට රොබට් නොක්ස්ගේ වයස 18යි. “ඇත්” නැවේ නෞපති නොක්ස්ගේ පුතාවන රොබට් නොක්ස් උපන්නේ 1641කේ පෙබරවාරි අටවනදායි.


රොබට් නොක්ස් සහ පිරිස සිර කළ නමුදු ඔවුන්ට පුර්ණ නිදහස තිබුණේය. ඔවුන්ගෙන් ඇතැම්හු මෙහි කාන්තාවන් විවාහ කොට ගත්හ. රොබට් නොක්ස් ලංකාවේදී කුඹුරු කළේය. මුදල් පොලිසීයට දුන්නේය.    “කැප්” තොප්පි තනා විකිණුවේය. ඒ සියල්ල අතරේ ඔහු මේ දේශයේ ස්වභාවය අපේ සංස්කෘතිය ජනයාගේ චර්යා ඉතා හොඳින් අවබෝධ කොට ගත්තේය.


රොබට් නොක්ස් 19 වසරක් ලංකාවේ සිට පලා ගියේය. ඔහු මෙහි එනවිට වයස 18යි. යනවිට ඔහුගේ වයස 37යි. රොබට් නොක්ස් “සීසර්” නම් ඉංගිරිසි නෞකාවෙන් එංගලන්තයට ගියේය. ඒ 1680වේදීය. රොබට් නොක්ස් සිය ලංකා කතාව ලියුවේ නැවේදීය.

1681කේදී ඔහු එය පළ කළේය. ඒ තරම් පුර්ණ ලංකා කථාවක් එතෙක් ලියැවී නොතිබිණි. මේ පොතේ ශ්‍රී ලංකාවේ විස්තර අන්තර්ගත වෙති. එහි ඉතාම වටිනා අංශය වශයෙන් මා දකින්නේ රොබට් නොක්ස් තමන්ට ඇසුණු සිංහල වචන හා ඒවා උච්චාරණය කළ ආකාරයන්ට ලියා තැබීමයි. අපට පැරණි ශිලා ලේඛන තිබුණද ඒවායේ වචන උච්චාරණය කළ ආකාරය අපි නොදනිමු. එහෙත් රොබට් නොක්ස් අපගේ වචන උච්චාරණය ලියා තැබුවේය. රොබට් නොක්ස්ගේ “ලංකා පුවත” බටහිර ලෝකයේ අතිශය ජනප්‍රිය වූවේය.

ඩැනියල් ඩිෆේ නම් ඉංගිරිසි ප්‍රබන්ධ කතා කලාකාරයා “රොබින්සන් කෘසෝ” නම් ඔහුගේ සම්භාවනීය කෘතිය කළේ රොබට් නොක්ස්ගේ “ලංකා කතාවේ” ආභාෂයෙන් යැයි පැවසේ.


රොබට් නොක්ස් අවසාන කාලයේදී “ටොන්ක්වීන් මර්චන්ට්” නම් නැවේ නියමුවා වශයෙන් සේවයේ යෙදුණේය.


දෙවන රාජසිංහ රජු සමයයෙහි (1635-1687) ශ්‍රී ලංකාවේ සිටි රොබට් නොක්ස් 1720 ජුනි 19 වනදා අභාවයට පත්වුයේ වයස 79 දීය.
ඔහු ජීවිතයේ අග දක්වාම පොත පත කළේය. ඔහු ඉසුරුමත් ජීවිතයක් ගත කළේය. ඔහු අවිවාහක ජීවිතයක් ගත කළේය. අද පවා ඔහුගේ  “ලංකා කතාව” ජනප්‍රියයි.


 

නිධානය පුදාලූ යහපත් මිනිසා

නිව්යෝක්හි ස්ටැටන් දිවයිනේ පදිංචි යුවලකට සිය නිවස පිටුපස බිමේ වැළලී තිබුණු “නිධානයක්” ලැබුණේය.


මේ යුවල මැතිව් සහ මරියා එම්මානුවෙල්ය. ඔවුනගේ නිවස පිටුපස බිම හාරද්දී පැරණි සේප්පුවක් ලැබුණේය. එය පිරී තිබුණේ තෙතබරිත මුදල් නෝට්ටු මිටිවලිනි. දියමන්තිවලින්, ජේඞ් මැණික්වලින් හා මුදු විශාල ගණනකින් හා රන්වලිනි. ඒ සේප්පුවේ අසල්වැසියන්ගේ ලිපිනය සහිත කඩදාසි කැබැල්ලක් තිබුණි. ඒ අස්ලවැසියන් කීවේ මේ සේප්පුව සොරකම් කළ අය ඒ අසල නිවෙසේ සේප්පුව දමා පලාගොස් ඇති බවයි. නිධානය ලද අය ඒ කෝටි ගණනක් වටිනා නිධානය අයිති අයට දුන්හ.
“ඇයි එය දුන්නේ” යැයි විමසු විට ඔහුගේ පිළිතුර කෙටිවිය. “ඒ සියල්ල අපේ නොවේ නේ”.


RECOMMEND POSTS

RELATED POSTS