සාම කතා බහට සෙනසුරු දසාව



 

“සාමය, යුද්ධයට වඩා යහපත්ය. මෙසේ පැවසීමට හේතුවක් ඇත්තේය. සාම කාලයේදී, දරුවෝ තමන්ගේ පියවරුන් භූමදාන කරති. එහෙත්, යුද්ධ සමයේදී පියවරු තමන්ගේ දරුවන් භූමදාන කරති.” 
ෆ්‍රැන්සිස් බේකන් (1561 - 1626)
ඉංගිරිසි ජාතික දර්ශනවාදී, 
පාලනතාන්ත්‍රිකයා 

“යුද්ධ, ආරම්භ වන්නේ, මිනිසුන්ගේ සිත්වලයි. ඒ නිසා සාමය ගොඩනැගිය යුතු වන්නේත් මිනිසුන්ගේ සිත් තුළයි.”
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ පූර්විකාවෙන් - 1945

 

පසුගිය අප්‍රේල් 27 වන සිකුරාදා, ලොව පුරා, සාමය, සංහිඳියාව පිළිබඳ, සිතුවිලි ප්‍රවාහයක් පැන නැංගේය. මෙයට, හේතුකාරක වූයේ උතුරු කොරියාවේ අත්තනෝමතික පාලකයා වශයෙන් සලකනු ලැබූ කිම් ජොං උං ජනාධිපතිවරයා, දකුණු කොරියා පාලක මූන් ජේ ඉං හා සමග පැවැත්වූ සාර්ථක සාකච්ඡා මාලාවයි. 


උතුරු කොරියාවත් - දකුණු කොරියාවත් බෙදා වෙන්කරන යුද මුක්ත කලාපයෙන්, ප්‍රථම වරට දකුණට ආ කිම් ජෙං උං, න්‍යෂ්ටික අවි හරණය කරන්නට ප්‍රතිඥා දුන්නේය.


සාමකාමී ලෝකයට, සැනසිලි හුස්මක් හෙළන්නට ඉඩ සැලසූ, මේ හමුවීම, සාමය තහවුරුවන ඓතිහාසික කාල පරාසයක මුල වනු ඇතැයි බොහෝ දෙනා ඇදහූහ. 


ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන්, කිම් ජොං උං - ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමේ සිද්ධියක් දෙසටද, ලෝකය ගමන් ගත්තේය. ඒ දුර්ලභ හමුවීමට පූර්විකාවක් වශයෙන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉං, මැයි මස 22 දා, ධවල මන්දිරයට පැමිණ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මුණගැසෙයි.


දින කීපයක් මුළුල්ලේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපති, පුන - පුනා කියා සිටියේ කිම් ජොං උං හා තමා අතර මුණ ගැසීම, සිදුවන කාලවේලා හා ස්ථානයද තීරණය වී තිබෙන බවයි. 


එහෙත් පසුගිය සතියේ ඒ සාම චර්යාවට නපුරු “ග්‍රහයෙක්” එරෙහිවී සිටින සේ පෙනෙන්ට පටන්ගෙන ඇත්තේය. 


ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් කිම් ජොං උං කුපිත වී සිටී. “සාකච්ඡාවට මා කැමති වුවත්, නොයෙක් අනවශ්‍ය ප්‍රකාශවලින්, මා අවුස්සන්නට එපා යැ” යි කිම් ජොං උං, අනතුරු ඇඟවීමක යෙදී කියා සිටියේය. කිම් ජොං උං චෝදනා නඟන්නේ, “ට්‍රම්ප් ජගත් ජනමතය නොමඟ යවන්නේ යැ” යි කියාය.


මෙසේ හිටිහැටියේ තරමක අර්බුදකාරී පරිසරයක් හටගත්තේ, ඉරානයත්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත් අතර පවත්නා න්‍යෂ්ටික ගිවිසුමක් හේතුකොටගෙනයි.


එය සැකෙවින් ගෙනහැර දැක්විය හැකිය. 


ඉරාන ජනරජය හා සමග 2015දි, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත්, චීනය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය සහ බි්‍රතාන්‍යයත් ගිවිසුමකට එළඹුණහ. යුරෝපා සංවිධානය ද එයට බැඳුණේය.


මෙහි අරමුණ වූයේ, ඉරානයට පනවන ලද සම්බාධක ඉවත් කිරීමත්, ඒ වෙනුවට, ඉරානය න්‍යෂ්ටික අවි පරීක්‍ෂණ නවතාලීමට පොරොන්දු වීමත්ය. 


ඒ පොරොන්දු ඉෂ්ට කරන බවට සහතික කරනු පිණිස, ඇමෙරිකා ජනාධිපතිවරයා, දවස් 90 කට වරක් ඉරානයේ න්‍යෂ්ටික අවි පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණයක යෙදෙන්නටද, එකඟත්වය පළ කළේය. ඒ ගිවිසුමට එකඟව, ඉරානය න්‍යෂ්ටික අවි පර්යේෂණ නවත්වා ලන ලද බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බල අධිකාරිය විසින් සහතික කෙරිණි. 2015 දී මාස කීපයක් ඇතුළත ඉරානයට න්‍යෂ්ටික බෝම්බ ශීර්ෂයක් තැනිය හැකිව තිබුණු පර්යේෂණාගාර සියල්ලම පාහේ ඉරානය විසින්ම සිය කැමැත්තෙන් ඉවත් කරන ලදී. ඒ බව තියුණු අධීක්‍ෂණයෙන් තහවුරු කෙරිණි. 


න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කළ රාජ්‍ය සියල්ලේම බලාපොරොත්තු ඉටු කෙරිණි. එහෙත්, ජනපති ට්‍රම්ප්ට ඒ මදිය. තවත් කිසිම විදියක සිද්ධියක් සිදුනොවනු පිණිස ඒ 2015 ගිවිසුම අලුත් කළයුතු යැයි ට්‍රම්ප් ජනපති කියයි. ඒ අතර, ට්‍රම්ප් ජනපතිවරයාට ඒ අදහස ඉටුකොට ගන්නට ඉමහත් සාධකයක් ලැබුණේය. එය නම් ඉස්රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ රහස් පරීක්‍ෂක “මොසාඞ්” කණ්ඩායම ඉරානයේ ගුප්ත න්‍යෂ්ටික අවි සම්පාදක ව්‍යාපාරයක තොරතුරු ප්‍රවාහයක් සොයා ගැනීමයි. පිටු 55,000 කින් දත්ත තැටි 183 කිනුත් සමන්විත, මේ මහා අනාවරණය නිසා දැන්, ට්‍රම්ප් ජනපතිවරයා තීරණයකොට සිටින්නේ 2015 ගිවිසුමෙන් ඉවත් වන්නටය. ගිවිසුම අධීක්‍ෂණය කළයුතු දිනය මැයි 12 වනදායි. එදා, මේ ගිවිසුම අවලංගු කළහොත් නැත්නම් වෙනස් කළහොත් “ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයට සදාකාලිකවම පසුතැවිල්ලට පත්වන්නට සිදුවන ප්‍රතික්‍රියාවක් හටගත හැකි බව ඉරාන ජනපති හස්සාන් රුහානි නායකයා දැඩිවම කියා සිටී.


2015 ගිවිසුමට අත්සන් කළ අනෙක් රාජ්‍යයත් ඒ ගිවිසුම වෙනස්කරනවාට අකැමැත්තක් පළ කරති. බි්‍රතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් ධවල මන්දිරයට ගොස් ට්‍රම්ප් ජනපතිගේ අදහස් වෙනස්කොට ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඔහු පොළඹවන්නට ප්‍රයත්නයක යෙදුණේය.


“ගිවිසුමෙන් ඉවත්වන්නට ඕනෑම පිදුරු ගහක් වුවත් අල්ලාගන්නට සැරසී සිටින ජනපති ට්‍රම්ප්ට, ඉස්රායෙල් අගමැතිගේ “අධිරහස්‍ය” වාර්තාව දේව දායාදයක් සේ පෙනෙන්නට ඇතැ” යි ජාත්‍යන්තර විචාරකයෝ දක්වති. 


උතුරු කොරියා නායකයා කිම් ජොං උං තුළ ට්‍රම්ප් විරෝධී ආවේගයක් හටගත්තේය. මේ ගිවිසුම වෙනස් කරන්නට දැරෙන ප්‍රයත්නය නිසාය. ඒ. 2015 ගිවිසුමට ජනපති ට්‍රම්ප් විසින් ගරු කරේ නම් කිම් ජොං උං එයට කැමතිය. කිම් ජොං උං ප්‍රකාශකොට තිබෙන්නේ සිය දේශය ආක්‍රමණය නොකරන බවට ට්‍රම්ප් පොරොන්දු වන්නේ නම්, ඔහු න්‍යෂ්ටික අවි සහමුලින්ම ඉවත් කරන බවයි. 


මැයි 12 වනදායින් පසුව ට්‍රම්ප්ගේ තීරණය කවරේ වේද? ගිවිසුම එසේම තිබෙන්නට ඉඩ අරීද? නොඑසේනම් ගිවිසුම ඉවත්කොට ගන්නට හෝ වෙනස් කරන්නට ජනාධිපති ට්‍රම්ප් පියවර ගනීද ? ලෝකයේ සාමකාමී චින්තනයට එම තීරණය ප්‍රබල ලෙස බලපාන්නේය. මැයි 22 වනදා දකුණු කොරියා නායක මූන් ජේ ඉං ජනපතිවරයාගේ “ධවල මන්දිර” ගමන නම් වෙනස්වන ලකුණු පෙනෙන්නට නැත.


ඒකාධිපති ලක්‍ෂණ සහිතව පාලනයේ යෙදෙන ඇතැම් රාජ්‍ය නායකයන් පිළිබඳව විවරණයක යෙදෙන ඉයන් බ්‍රෙමර් නම් කීර්තිමත් ලේඛකයා “අද ලෝකය, බලගතු පුද්ගලයන්ගේ යුගය” වශයෙන් දකින්නේය. ඔහු විසින් නම් කෙරෙන එවැනි බලගතු නායකයන්ගෙන් කෙනෙක් නම් ජනාධිපති ට්‍රම්ප් ය. එවැනි බලගතු නායකයන් පාලන බලය ලබන්නේ සමකාලීන සමාජය සතු ඇතැම් අර්බුද හේතුකොටගෙනයි. සමහර කාලවලදී පාලනය කළ නොහැකි තරමේ වේගයකින් සමාජය විකාශනය වන්නට පටන් ගනී. ආර්ථීක ආතති හටගනී. නාගරික පෙදෙස්වල අපරාධ අධික වේ. ලොව ඇතැම් පෙදෙස්වල නිරර්ථක යුද්ධ පැන නඟී. එවැනි තැන්වලදී නොපමාව ඒ අර්බුද විසඳිය හැකි බලගතු නායකයෝ අවශ්‍ය වෙති. අවශ්‍ය වූ විටෙක එවැන්නක් පහළවීමත් ඉතිහාසයේ දැකිය හැකි සිද්ධිය.


ඉයන් බ්‍රෙමර් විචාරකයා විසින් පැවසෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් ද ඒ ආකාරයේ පසුබිමක් හේතුකොටගෙන “බලවන්තයෙකු වූ” නායකයෙකි. විවිධ වර්ගවල අසාධාරණකම්වලින් ජනතාව ගලවාගන්නට පහළවන “බලකාර පාලකයන්ගේ” යුගයක අද අපි වෙසෙමුයි ඒ විචාරකයා පවසන්නේය. 


අද ලොව සිටින එවැනි “බලවන්ත පාලකයෙකු’ නම් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. 


මාර්තු මාසයේ පැවැත්වූ ජනපති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබ රුසියානු ජනාධිපති පදවිය ලද පුටින් ජන නායකයා නිල වශයෙන් ඒ පදවියට පත්වූයේ සඳුදා ය. (මැයි 07). ව්ලැඩිමියර් පුටින් මෙසේ රුසියානු ජනාධිපති පදවියට පත්වූයේ හතරවන වරටයි. පාලන කාලය අවුරුදු හයයි. සිවුවන වර පදවි ප්‍රාප්ත වනවිට ජනපති පුටින්ගේ වයස 66 යි. ඒ වනවිට ජනපති පුටින් අවුරුදු 24 ක් රුසියාව පාලනය කළ නායකයෙක් වශයෙන් ඉතිහාසයට එකතු වේ.


“බලගතු පාලකයකු” වුවද ඔහු සිය පදවි කාලය තුළදී සාමය රැක ගන්නට බැරෑරුම් ප්‍රයත්නයක යෙදුණේය. “මගේ පෞද්ගලික ශුභ සිද්ධිය උදෙසා, මම කිසි කලෙක පාලන ව්‍යවස්ථාව වෙනස් නොකළෙමි” යි ජනාධිපති පුටින් කියා සිටින්නේ එවැනි ක්‍රියාවක් මගින් යාවජීව ජනාධිපති පදවිය ලබාගන්නට ඔහු අකැමැති බව දක්වනු පිණිසයි. 


සිවුවන වරට ජනපති පදවියට පත්වන අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා තමන්ගෙන් පසු බලයට පත් කළ හැකි නායකයකු සෙවීම ගැනද සිත් යොමුකොට සිටී. මා එසේ සිතුවද, අවසානයේදී ඒ නව පදවි ප්‍රාප්තිකයා තීරණය කරනු ඇත්තේ රුසියානු ජනතාව විසින් යැයි ඔහු පවසන්නේය. අලුත් පදවි ප්‍රාප්ත ජනපති පුටින්ගේ අගමැතිවරයා ඩිමිට්රි මෙඞ්වෙඩෙව් ය. 


මේ බලගතු නායකයන්ගේ යුගයෙහි ඒ ඒ දේශයේත්, ජගත් මට්ටමේත් සාමය රැකෙන්නේ කෙසේද? සාමය රැකෙන්නේ ඇතැම් අවස්ථාවල ඒ බලගතු නායකයන් නීතිය සියතට ගැනීම නිසාය. 


ජනපති ට්‍රම්ප් අද එවැනි තැනකට පත්ව සිටී. සෙසු රාජ්‍ය ගැන නොතකා ජනාධිපති ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවහොත් ලෝකය අනිවාර්යයෙන්ම ‘ගිනිගොඩකට” වැටෙන්නේය. න්‍යෂ්ටික රාජ්‍ය තමන් කැමති කැමති විදියේ න්‍යෂ්ටික අවි තනන්නට පටන් ගනිති. මෙය ලෝක සාමයට දැවැන්ත තර්ජනයක් වනු නිරනුමාන ය. 


ඒ නිසා මේ මොහොතේ ලෝක සාමය සඳහා අවශ්‍යවන්නේ ට්‍රම්ප් ජනපතිගේ වචනයයි “නෑ, මා න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතැ” යි ඔහු පවසන්නේ නම් ලෝක සාමය රැකගන්නට එය බලවත් උපකාරයකි. එහෙත්, ට්‍රම්ප් එවැනි ප්‍රකාශයක් නොකොට ගිවිසුමෙන් ඉවත්වන ලකුණු බොහෝ ය.


ඒ අතර සාම සාකච්ඡා සඳහා මේ “මහා බලකාරයන් දෙදෙනා” (ට්‍රම්ප් - කිම්) හමුවන්නේ කවදාද? කොතැනද? මේ මොහොත වන තෙක්ම ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් නැත. තැන් කිහිපයක් නම් කෙරේ: “උතුරු - දකුණු කොරියා අතර “යුද මුක්ත කලාපය; ස්විට්සර්ලන්තය හා සිංගප්පූරුව” ඒ ස්ථානවලින් කීපයකි. 


දිනය: ජුනි මස මැද භාගය.


ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නය, ඉරාන න්‍යෂ්ටික අර්බුදයයි. න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොවන්නැයි බොහෝ නායකයන් ට්‍රම්ප්ට පුන- පුනා කියා සිටියද ඔහු පැවසුවේ අඟහරුවාදා සිය තීරණය ප්‍රකාශ කරන බවයි. බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය වැනි රාජ්‍ය, “ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් නොවන්නැ” යි ජනපති ට්‍රම්ප්ට ඇවිටිලි කරද්දී ඒ නොතකා ට්‍රම්ප් ජනපති, ලෝක සාමය අවුල් කරමින් ඒ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වේද? මගේ විශ්වාසය ඔහු ඉවත්වේය යන්නය. 


ඔහු ඒ ගිවිසුමෙන් ඉවත්වන්නට දැඩිව තීරණය කළහොත් ලෝකයේ සාම තත්ත්වයට කවර ඉරණමක් අත්වේදැයි සිතා ගැනීම පවා අපහසුය.


ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමේ කර්කශ තීරණයට ට්‍රම්ප් එළඹුනහොත් උතුරු කොරියා නායක කිම් ජොං උං හා පැවැත්වෙන්නට නියමිත සාම සාකච්ඡාවලට කවර ඉරණමක් අයත්වේදැයි කියාත් සිතිය හැකි නොවේ. 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මේ මොහොතේ පවත්නා අදහස් හා මතවාදවලින් පැහැදිලිවම පෙනී යන්නේ ජනාධිපති ට්‍රම්ප් ඉරාන ගිවිසුමෙන් ඉවත්වන බවයි. 


ඉරාන ගිවිසුමෙන් ට්‍රම්ප් ඉවත්වීම ඍජුවම බලපාන්නේ ඊශ්‍රායලයට යැයි ඒ දේශයේ විශේෂඥයෝ එකහෙලා ප්‍රකාශ කරති. ඉරානය කිසිම සීමා කිරීමකින් තොරව සිය දේශයට පහර එල්ල කරනු ඇතැයි කියන බියක් ඉස්රායෙලයෙහි පැතිර යෙයි. 


ඉරානය කැමති පරිදි සිය අවි ගබඩාව තරකොට ගන්නට පෙළඹුණොත් මැදපෙරදිග තවත් රාජ්‍ය ඒ අනුව යෑම වළක්වාලිය නොහේ.
ජනාධිපති ට්‍රම්ප් බලගතු ලෙස අත්තනෝමතික තීරණයකට එළඹිවිටෙක උතුරු කොරියා නායක බලවතාත් ඒ මඟින් නොයනු ඇතැයි සිතිය නොහේ. ජගත් සාමය දැඩි අඳුරකට අසුවේද? 


 

හවායි පාරාදීසයක් ගිනි ගනී

හවායි දිවයින, ලෝකයේ ඉතාම සුන්දර ප්‍රදේශවලින් එකකි. එහි, පත්තෑ, ගෝනුසු, සර්ප ආදී විසිකුරු සත්තු නොමැතියහ. එහි, ඕනෑම කාලයක, දිවයිනේ වෙසෙන මිනිසුන්ට බොහෝ සේ අධික සංචාරක පිරිසක් සිටිති. එහි වායිකිනී වෙරළ, ලෝකයේ රළ - පදින  විනෝදකාමීන්ට, පාරාදීසයකි. 


නොබෝදා ඒ ප්‍රදේශයට බැරෑරුම් ස්වාභාවික විපතක් කඩා වැදුණේය. මෙය ආරම්භ වූයේ 6.9 ක භූම්පනයකිනි. ඒ එක්කම ගිනි කඳු පිපිරීමක් සිදුවිය. එහි කිලායුයිආ ගිනිකන්ද පිපිරී ලෝදිය ප්‍රවාහ ගලන්නට පටන් ගත්තේය. ඒ පෙදෙසේ නිවාසිකයන් 7500 ක් පමණ දෙනාට තාවකාලිකව සිය නිවෙස් අතහැර යන්නට සිදුවූයේය.


භූකම්පනය වරින්වර සිදුවිය. සුළු භූකම්පන 4000 ක් පමණ සිදුවූයේය. වෙරළාසන්න ගල් පර්වතනයක් ගැලවී සාගරයට ඇදී ගියේය. 
ඇතැම් වීථි පුපුරා ගියේය. ඒ පිපිරීම් තුළින් ලෝදිය ධාරා උතුරන්නට විය. 


ඒ දැවැන්ත සොබාවික ව්‍යසනය මැද්දේ සහන ව්‍යාපාර ජනතාවට අවශ්‍ය දේ සම්පාදනය කිරීම් ඉතා ක්‍රමවත්ව සිදුවූයේ ඒ එහි ජනතාව ඔවුනොවුන්ට උපකාර කිරීම සඳහා සැදී - පැහැදී සිටින හෙයිනි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනපදයක් වන හවායි හි ආණ්ඩුකාරවරයා ඬේවිඞ් ඉගේය. ඒ ආණ්ඩුකාරවරයා සිය නිලධාරි පිරිස හා සමග එක්ව ජනතාවගේ සහයෝගයෙන් සාර්ථකව මේ විපතට මුහුණපාන්නට අවශ්‍ය සංවිධානය සැකසුවේය. 


මමද වරක් ආරාධනයෙන් හවායි ජනපදයට සම්මන්ත්‍රණයක් සඳහා ගියෙමි. එහි ජනතාවගේ ආගන්තුක සත්කාර ක්‍රමය ප්‍රශස්තයි. ඒ නිසාම ඒ දිවයින “අලෝහා දිවයින” වශයෙන් ප්‍රසිද්ධයි. (ආගන්තුක සත්කාර දිවයින). 


දින කිහිපයකින් ගිනි කඳු පිපිරීම්, භූකම්පන, ලෝදිය ගලා යෑම් අවසානවූ විට ඒ මුළු ප්‍රදේශයේම භූ නිර්මාණ වෙනස්ව තිබුණේය. නිවී ගල් බවට පත්වන ලෝදිය ප්‍රවාහ ඒ පෙදෙසේ මුහුණුවර වෙනස් කරන්නේය. 


ගිනිකඳු හා ජීවත්වීම ඒ ප්‍රදේශවාසීන්ට උපතින්ම පුරුදු ය. 


 

දර්ශනවාදී බර්ට්‍රන්ඞ් රසල්ගේ “බටහිර ප්‍රඥාව”

සර් බර්ට්‍රන්ඞ් ආතර් විලියම් රසල් වඩාත් කීර්තිමත්ව සිටින්නේ බර්ට්‍රන්ඞ් රසල් යන නමිනි. 1872 උපත ලැබ අනූඅට වසක් මිහිතලයේ වාසය කොට, දිවියෙන් සමුගත් මේ දර්ශනවාදියා විශිෂ්ට ලේඛකයකු වශයෙන්ද සම්මතය. ඔහු ඉතා පැහැදිලි ලෙස සිතමින් ඒ දර්ශනය සිය ග්‍රන්ථයන්ගෙන් පැහැදිළි ලෙස හා ඇතැම් විට ආක්‍රමණශීලී ලෙසත් ලෝකවාසීන්ට පිරිනැමුවේය. ඉංගිරිසි භාෂාව විචිත්‍ර ආකාරයෙන් ලෙළ කළ විශාරදයන් අතර, සර් බර්ට්‍රන්ඞ් රසල් මුල් තැනක් ගනී. 


කුලීන පරපුරක උපන් සර් බර්ට්‍රන්ඞ් ග්‍රන්ථ රාශියක් කළේය. දර්ශනවාදය සහ උසස් ගණිත විද්‍යාවත් සිය විෂය ක්‍ෂේත්‍රය කොටගෙන සිටි දර්ශනවාදී රසල්, පරමාණු අවි විරෝධී පෙළපාළිවලටද සහභාගී වී, සිය මානව හිතවාදී බව පළ කළේය. ඔහු 1950 දී සර් බර්ට්‍රන්ඞ් රසල්ට, නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිවූයේය. එතුමන් විසින් විරචිත ආත්ම චරිත කතාව පාඨකයන්ගේ භක්තියට පාත්‍රවන සම්භාව්‍ය කෘතියකි. 


එතුමා විසින් ලියන “බටහිර ප්‍රඥාව” නම් විශිෂ්ට කෘතිය, බටහිර ලෝකයේ ඉතා අතීතයේ පටන් පළවූ පණ්ඩිතයන්ගේ කෘති හා චරිත අළලා සම්පාදිත අතිප්‍රශස්ත ග්‍රන්ථ රත්නයකැයි කිව යුතු වේ. එතුමා එහිදී ගැඹුරු විෂය ධාරා ඉදිරිපත් කරන්නේ සරල, ආස්වාදදායී භාෂා ශෛලියකිනි. 


සොක්‍රටීස් ආදි පැරැණ්නන්ගේ පටන් ලුඞ්විග් විට්ගන්ස්ටෛන් (1889 - 1951) වැනි අතිනවීන දර්ශනවාදීන් දක්වා විහිදෙන බටහිර ප්‍රඥාව සිය ඥානාලෝකයෙන් බබුළුවමින් සර් බර්ට්‍රන්ඞ් රසල් විසින් ලියැවුණු මේ කෘතිය මා මගේ ජීවීය හා බැඳුනු අත්පොතක් සේ සලකන බවද මෙහිලා පැවසිය යුතුවේ. බර්ට්‍රන්ඞ් රසල් හැමවිටම අලුතින් සිතුවේය. ඒ නිසා සමහරු කියන්නේ බර්ට්‍රන්ඞ් රසල් ගේ දර්ශනය කුමක්දැයි විමසූවිට “කවර වර්ෂයේදැ” යි පෙරළා ඇසිය යුතුය කියාය. 


 

 

පක්ෂීන්ගේ රජු සෙවූ හැටි 

වරක් පක්‍ෂීහු සියල්ලෝම එක්රැස් වූහ.


ඔවුන්ගෙන් එක් පක්‍ෂියෙක් මෙසේ කීයේය; 


“මිනිසුන්ට රජෙක් ඉන්නවා. එහෙත් මේ සා විශාල සංඛ්‍යාවක් සිටින පක්‍ෂීන් වන අපට රජෙක් නෑ. අප විසිනුත් රජෙක් පත්කොට ගත යුතු වෙයි.”


“ඒත් රජා තෝරන්නේ කෙසේද?”


“ඉතාම පහසුයි. අහසේ ඉතාම ඉහළට පියාඹන පක්‍ෂියා අපේ වර්ගයේ රජා කරමු.” 


කවුරුත් එකඟ වූහ. සුදුසුකම් තිබෙන පක්‍ෂීහු, ඉහළට පියාඹන්නට වූහ. ඇතැම්හු, අතරමගදී තරගය නවත්වා පහළට පියාඹා ආහ. 
නොනවත්වාම ඉතාම ඉහළට පියෑඹුවේ රාජාලියා පමණි. රාජාලියා තමාට පියෑඹිය හැකි තරම් පියාඹා, වට - පිටත් උඩත් බැලුවේය. තමාට ඉහළින් කවුරුත් නැත. පාතට පියෑඹුවේය. 


අදිසියේම පක්‍ෂීහු සියලු දෙනාම මුර දෙන්නට වූහ; 


“අන්න රාජාලියාටත් ඉහළින් තවත් පක්‍ෂියෙක්.”


රාජාලියාටත් ඉහළට පියාඹා තිබුණේ කුඩා බට්ටිත්තෙකි. ඌ රාජාලියාගේ පිට උඩ, සැඟවී සිටියේය. රාජාලියා පාතට පියාඹන විට, බට්ටිත්තා, රාජාලියාගේ පිට උඩින් ඉවත්ව, තව ටිකක් ඉහළට පියෑඹුවේය. ඒ අනුව ඉතාම ඉහළට පියෑඹූ පක්‍ෂියා වශයෙන් බට්ටිත්තා පක්‍ෂීන්ගේ රජු බවට තෝරා ගන්නා ලදී. 


නියමිත නීතියට අනුව, වෙන අන් කිසිවක් කරන්නට පක්‍ෂීන්ට ඉඩක් තිබුණේ නැත. 


 

හද - සිත සනහන ඡායාරූපයක් 


මෙම කුමරියගේ වයස අවුරුදු තුනකි. ඡායාරූපය ගන්නා ලද්දේ ඒ සිඟිති කුමාරියට වයස තුන සපිරි දිනය වන මැයි 2 වනදායි.


ඡායාරූපයෙන් පෙනෙන්නේ ඒ සිඟිති රාජකීය “අක්කා” අලුත උපන් සිය රාජකීය “මල්ලී” සිප ගන්නා ආකාරයයි. රාජකීය “මල්ලීගේ” වයස (මේ ඡායාරූපය ගන්නාවිට) දින හයකි. ඒ කුමරා උපත ලැබුවේ අප්‍රේල් 26 වනදායි.


දෙදෙනාම, බි්‍රතාන්‍ය කිරුළ හිමි රාජකීයෝයි. අක්කා (ෂාලට් කුමාරිය) කිරුළ හිමි 4 වන රාජකීයයායි. අලුත උපන් ලුයී ආතර් චාල්ස් කුමරු කිරුළ හිමි පස්වන රාජකීයයායි. 


මේ දෙදෙනාම, කිරුළ හිමි විලියම් කුමරුගේ හා ඒ කුමරුගේ ආර්යාව වන කේට් ආදිපාදවරියගේ දරුවෝයි. ඒ දෙදෙනාට දරුවෝ තිදෙනෙකි. ඒ දෙදෙනාගේ වැඩිමල් දරුවා ජෝජ් කුමරුය (වයස අවුරුදු 5 යි). ඒ කුමරා කිරුළ හිමි තුන්වන රාජකීයයායි. මේ ඡායාරූපය ගන්නා ලද්දේ ඒ සිඟිති රාජකීයයන්ගේ මාතාව වන කේට් ආදිපාදවරිය විසිනි.


RECOMMEND POSTS

RELATED POSTS