සාමය ජීවත් කළ යුතු සමය එළඹෙයි



 

 

“ජීවමාන බෝධි සත්වයන් වහන්සේ වශයෙන්, ලොව බහුතරයකගේ සම්මාන පූර්වක වන්දනාවට පාත්‍රවන, දහහතරවන දලෙයි ලාමා තුමා, භාවනාවේ යෙදී වැඩ වසන්නෝය. දැහැනින් මිදෙන ඒ අසූ තුන් වියැති, මහා බෞද්ධ නායක තුමානෝ, තමන් බැහැ දකින්නට පැමිණි බැතිමතුන්ට ආශිර්වාද කරති. ඔවුන් හා සමග සතුටු සාමීචියේ යෙදෙන එතුමානෝ මෙසේ දේශනා කරති. “අද ලොව වෙසෙන කෝටි 700ක් වූ අපි හැමෝම, හැඟීම්වලින්, මානසික ස්වභාවයෙන්, කායික ලක්ෂණවලින්, එක සමාන වෙමු. හැමෝටම අවශ්‍යවන්නේ සතුටින්, සුවයෙන්, එකට එක්ව ජීවත්වීමයි. මගේ අංක එකේ අවවාදය නම් අප ලෞකික දේට නැඹුරු නොවී, හානිදායී හැඟීම් වේග පාලනයකොට, සාමකාමී මනසින් වාසය කළ යුතු බවයි. දරුවන්ටද මෙය උගන්වාලිය යුතුවේ.”

 

ශ්‍රේෂ්ඨ බෞද්ධ නායක තුමාණන් විසින්, සාමකාමී හැඟීමෙන් යුක්තව එකට එක්ව ජීවත්විය යුතු යැයි වදාරන අවවාදය අපට මේ මොහොතේ අසහාය මාර්ගෝපදේශ ශුද්ධ භාෂිතයකි. 


මේ අපගේ උදාර දේශය, නමක්, ගමක්, ආගමක්, ජාතියක් තබා සුළු මිනිස්කමක් හෝ නොමැති දුර්දාන්ත තිරශ්චීන කණ්ඩායමකගේ අමානුෂික ප්‍රහාරයට ලක්වූයේය.
මේ සිද්ධිය දෙස අසීමිත කෝපාවිෂ්ට බැල්මක් හෙළා අප විසින්ද පහරට පහර දිය යුතු යැයි ඒ මොහොතේ මේ දේශයේ ජනතාවත් දරුණු ලෙස ක්‍රියා කරන්නට වූයේ නම් ඒ ‘නපුරන්’ විසින් කරන ලද හානිය තව කීප ගුණයකින් වැඩි වන්නට බොහෝ සේ ඉඩ තිබුණේය.


තැන්පත්ව ඒකාබද්ධවී අප මේ ප්‍රශ්නයට මූණපෑ යුතු යැයි අපගේ ගරු සාමයික නායකයන් වහන්සේලාත්, නොපමාවම ප්‍රකාශ කොට සිටියහ.


මෙහිදී අප ඒ ව්‍යසනය දෙස මැදිහත්ව බලන විට ඉතාම පැහැදිලි ලෙස ප්‍රකාශවන උදාරතර සිද්ධියක් වෙයි. ඒ ගැනද අප සළකා බැලිය යුතුවේ.


සිද්ධිය සිදුවූ හැටියේම පාහේ, අතිගරු මැල්කම් රංජිත් කාදිනල්, කොළඹ අඟරදගුරු තුමානෝ අති උත්තරීතර ආදර්ශයක් සැපයූහ.


අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ඍජුවම එල්ලවූයේ කිතුනු බැතිමතුන්ටය. කිතු දහමෙහි සඳහන් වන පරිදි යේසුතුමන් මරණයෙන් නැඟී සිටියේ පාස්කු ඉරිදායි. ඊට පෙර දින කිහිපය තුළ බැතිමත් කිතුනු පිරිස්, කුරුසිගත යේසු තුමන්ගේ වේදනාවෙන් දුක් විඳිති. එවැනි වේදනාවෙන් පසුව පාස්කු ඉරිදා දිනයෙහි මරණයෙන් නැඟී සිටි යේසු තුමන් උදෙසා, තුති පුදමින් ඔවුහු ප්‍රබල සාමයික මංගල්‍යයක් පවත්වති.

 

 


අමානුෂික ත්‍රස්තවාදීහු ඒ මහා කිතුනු මංගල්‍යයට පහර දෙමින් ජන ඝාතනයක යෙදුනහ. කිතුණු දේවස්ථාන පාස්කු මංගල්‍යය සඳහා සුහදව බැතිමතුන් රැස්වන ප්‍රධාන භෝජනාගාර ඔවුන්ගේ ඉලක්ක විය. 


මේ සියල්ලෙන්ම අතිශය කෝපයට පත්විය යුතු වූයේ කිතුණු නායක අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමාය. එතුමෝ එවැනි තැනකදී ප්‍රදර්ශනය කළ තැන්පත්බව ප්‍රශස්තය. එතුමෝ මෙසේ ප්‍රකාශ කළහ. “සන්සුන්ව ඉන්න නීතිය ඔබ අතට නොගන්න. මේ පහරින් තුවාල ලද අය උදෙසා ලේ පරිත්‍යාග කරන්න. මේ තුච්ඡ ක්‍රියාව කළ තැනැත්තන් හැසුරුණේ තිරශ්චීනයන් හැසිරෙන ආකාරයටයි. 


අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදතුමා අඛණ්ඩවම ඒ දැඩි සාමකාමී ප්‍රතිපත්තියෙහි නිමග්නව සිටියහ. මීගමු පෙදෙසේ බීමත් කණ්ඩායම් දෙකක් අතර ආරවුල, පෘථුල, බැරෑරුම් සටනක් බවට පත්වීම වළක්වමින්, එතුමා මත්පැන්හල් වසා දමන ලෙසද, කියා සිටියහ.


ජනාධිපති - අගමැති නායකයන් හා සමග එක්ව දේශයේ සාමය රැක ගන්නට එතුමන් විසින් දරන ලද ප්‍රබල ප්‍රයත්නයට සාමකාමී ජනතාවගෙන්ද, ක්ෂණික ප්‍රතිචාර ලැබුණේය. අතිගරු, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා ‘නොබෙල් සාම ත්‍යාගයට’ සුදුසු යැයිද ජන මතයක් පැන නැගුණේය.


මුළු මහත් දේශයම ප්‍රබල තර්ජනයකට භාජන කළ ත්‍රස්තවාදී කණ්ඩායම් සොයා ත්‍රිවිධ හමුදා, පොලිස් නිලධාරින් හා බුද්ධි අංශයේ නියෝජිතයෝත් යුහුසුළු මෙහෙයුම්වල යෙදුණහ.


ජීවිත බේරා ගැනීම් හැර තවත් අප්‍රමාණ සොයා ගැනීම් රැසකටද ඒ අවධානය විසින් මං පාදන ලදී. 


ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ ගබඩා ඔවුන්ගේ රුපියල් කෝටි 700ක් තරම් වූ ධනස්කන්ධය ඒ නපුරන් හා බද්ධ වූ විවිධ සංවිධාන, ඔවුන්ගේ විනාශකාරී සැලසුම් ආදිය මේ අප දේශයේ විශිෂ්ට නිලධාරින් විසින් අනාවරණය කොට ගන්නා ලද්දේ ඒ ව්‍යසනය සිදුවූ මොහොතේ අත්‍යන්තයෙන්ම කුපිතව, අපගේ සමාජය අවුල්කොට නොගත් නිසාය.
පටු පෞද්ගලික අභිමතාර්ථ ඉටුකොට ගැනීමේ සීමිත චේතනාවෙන් ඔවුනොවුන්ට දොස් පවරමින් දේශයේ ජාතියේ ස්ථාවර ඒකාබද්ධතාවය පළුදු කිරීමෙන් වැළකී සිටීමේ ශික්ෂණය මේ අවාසනාවන්ත සිද්ධිය නිසා ජනතාව විසින් ඉතා පැහැදිළිව දක්නට ලැබිණි. එවැනි ශික්ෂණයෙකින් තොරව රටේ ඇතැමුන් තමන්ට සිතෙන සිතෙන පරිද්දෙන් ඔවු නොවුන්ට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්විට රටේ ස්ථාවරත්වය පිළිබඳව අපේ යහපත් ජනතාව තුළ තිබෙන විශ්වාසය හීනවේ. ඒ මගින් මහජනයා තුළ ඇතිවන සැකය හා බිය නිසා ත්‍රස්තවාදීන් විසින් බලාපොරොත්තුවන ලද හානිය ඒ වගකීමෙන් තොර කතා බහෙන් ඉබේම ඉටු වන්නේය. 


නිදර්ශනයක් ගනිමු. රට තාම අස්ථාවරය. මේ වනතෙක්ම මේ දේශයේ තර්ජන පවතී. ආදී වශයෙන් ඇතැම් අය කිය කියා සිටින්නට වූ විට දරුවන් පාසල් යැවීම් ආදී සාමකාමී චර්යාවලින්ද පුරවැසියන් වැළකී සිටින්නට ඉඩ ඇත්තේය. තමන්ගේ ආත්මාර්තකාමී න්‍යාය පත්‍ර ඉතා අකාරුණික ලෙස ක්‍රියාවේ යොදවන්නට නොපෙළඹී අපේ මේ උත්තම දේශයේ කවුරුත් අපගේ ස්ථාවරභාවය ඉතා හොඳින් ප්‍රදර්ශනය වන සේ හැසිරීම කතාබහා කිරීම මේ මොහොතේ ඉතාම ශ්‍රේෂ්ඨ ජාතික මෙහෙයක් වන්නේය. 


මීට සුළු කලකට පෙර මහා බි්‍රතාන්‍යයේ දරුවන් සහභාගිවූ සංගීත ප්‍රසංගයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේය. ජගත් කීර්තිමත් අරියානා ග්‍රෑන්ඞ් ගායිකාව එහිදී ගායනා කරන්නට නියමිතව තිබිණි. ඒ ප්‍රහාරයෙන් පසුව ඒ දේශයේ නායකයෝ ඔවු නොවුන්ට දොස් පවරමින් රට ගැන සැක ඇති කරවන්නට ප්‍රයත්න නොදැරූහ. 


මේ දේශය මූණ පෑ සිද්ධියෙන් පසුව ජනතාව ස්ථාවර ලෙස අන්‍යොන්‍ය විශ්වාසයෙන් ඒකාබද්ධවන තැනට උපදේශ දෙන්නට අපේ දේශයද සැදී පැහැදී සිටිය යුතුවේ. 


අප එවැනි සාමකාමී මෙත් පෙරටු සංකල්පයකින් යුක්තව මේ ව්‍යසනය දෙස බැලිය යුතු වන්නේ ප්‍රබල හේතු කීපයක් නිසාය. අප මේ පසුකරමින් සිටින්නේ මහා කරුණා, සම්බුදු අමා මෑණියන්ගේ ත්‍රිවිධ මංගල්‍යයක් සිදු වූ වෙසක් මාසයයි. බහුතර බොදු ජන ගහණයක් සහිත අපේ දේශයේ සත්පුරුෂයන් ඒ වෙසක් හැඟීම ගැනද සිතිය යුතු වන්නේය. මෙවැනි මහා කරුණා සමයකදී අපි ඉවක් බවක් නැතිව ප්‍රහාර දීමනා පරිභව කිරීම් ආදියේ යෙදෙමු නම් එය බොදු ගතියට කැළලකි. අද ලොව බෞද්ධයන් පනස් දෙකෝටියක් දෙනා සිටිති. ඔවුන්ටද අපගේ මේ බොදු දේශය විසින් ආදර්ශයක් සම්පාදනය කළ යුතුවේ.


තවත් අතිශයින්ම ප්‍රධාන කරුණක් වෙයි. අපි මේ සිද්ධියෙන් කෝපාවිෂ්ටව, අරගල පටන් ගතහොත් එය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දරු පරපුරටයි. වැඩිහිටියෝ සටන් කරති. දරුවන්ට සිය ළමා කාලයේදී වැඩි හිටියන්ගෙන් ලැබෙන ආදරය, ප්‍රේමය, සුරක්ෂිතවම සපයන්නේ කවුද? අප විසින් ඉටුකළ යුතු ප්‍රධාන පෙළේ මානව යුතුකමක් වෙයි.
මේ දේශයේ ආරක්ෂක හමුදා, පොලිස් නිලධාරින්, බුද්ධි අංශයේ විශිෂ්ටයන්, දිවා රෑ නැතිව මේ අමානුෂිකයන් සොයා යමින් රටේ ජනතාවට සහනය සපයා දුන්හ.


මේ සා විශාල පරිමාණයේ ජීවිත හානියක් වී තිබෙන තැනක ඒ නිලධාරි පිරිස ශීඝ්‍ර පරිශ්‍රමයෙන් ක්‍රියා කරමින් ජනතාවට අපහසුවක් නොවන පරිද්දෙන් ජන ජීවිතය රැකගන්නට දරන ලද ප්‍රයත්නය දේශයේ නායකයන් විසින් මෙන්ම පුරවැසියන් විසින්ද එකසේ කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුවේ.


දේශයේ ජනතාවගේ ඒකාබද්ධතාවයට ආරක්ෂාවට සහ ඔවුන්ගේ අධ්‍යාත්මික සහනයටත් මුඛ්‍යථා සපයමින් වගකීමෙන් යුතු හැම දෙනකු විසින්ම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාකරවීමේ අකාරුණික ව්‍යායාමයෙන් වැළකී සිටීම සම්මා සම්බුදු හිමියන්ගේ මහා කරුණා මහිමයේ නාමයෙන් ඉටුකළ යුතු පරම මානව මෙහෙයවේ. 


පාස්කු ඉරිදා, ව්‍යසනයෙන් පසුව මේ දේශයේ ප්‍රභූවරුන්ගේ පුරෝගාමිත්වයෙන්, නායකත්වයෙන් සහ අනුග්‍රහයෙන්, අපගේ ළමා පරපුර තුළ දේශ මාමකත්වයත්, ජාතිආලයත් දැනවීමේ ප්‍රබල ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීම අනාගත පරපුර රැකගැනීම සඳහා නොපමාව ඉටුවිය යුතු මහා කර්තව්‍යයකි.


ජාති, දේශ, ආගම් ආදී වෙනස්කම් ඉක්මවා නැඟී සිටින උත්තරීතර මානව භක්තියක් මේ වාසනාවන්ත දේශයෙහි තහවුරුව පිහිටුවාලිය යුතුවේ.


ඒ සඳහා මේ නපුරු සිද්ධිය විසින් අපට බල කෙරෙන්නේය. එසේම දේශයේ ජාතික ආගමික හා වාර්ගික නායකයන් විසින්ද අප සියලු දෙනාම එකම එක ජන කණ්ඩායමක් වශයෙන් සැලකෙන තැනට ජනාදාරය පෙරදැරිකොට ගෙන මහා ‘සටනක්’ දියත් කළ යුතු වන්නේය.

 

 

 

 

 


අද ලොව ඉතාම ජනප්‍රිය රජකුමාර උපත

 

මේ දිනවල ලොව පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍ර ලෙස පැතිරයන අතිශයින් ජනකාන්ත පුවතක් වෙයි.


ඒ ප්‍රවෘත්තිය නම් බි්‍රතාන්‍යයේ හැරී කුමරුට හා ඒ කුමාරගේ දේවියට පුතෙකු ලැබීමය. මේ රාජකුමාර උත්පත්තිය සිදුවූයේ මේ මැයි මස හයවනදා එංගලන්තයේ වේලාවෙන් උදේ 5.16 ය. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.12 ය.


මේ කුමරා එළිසබෙත් මහ රැජිනගේ අටවන මුනුපුරාය. කිරුළ හිමි රාජකීයයන් අතර හත්වැන්නාය.


සිය පුත් කුමරුගේ උපතින් තමා ලත් සතුට නිම් හිම් නැතැයි හැරී කුමරු අධි ප්‍රමෝදයෙන් පවසන්නේය.


උපතේදී නව රජ කුමරාගේ බර රාත්තල් හතයි. අවුන්ස දෙකයි. මේ රාජකීය විවාහය සිදුවූයේ 2018 මැයි මාසයේදීය.


රාජකීය යුවළ දාරුකොත්පත්තියක් බලාපොරොත්තු වූයේ 2018 ඔක්තෝබර් මාසයේය. මේ රාජකීය උපත බලාපොරොත්තුවෙන් මහජනයා උනන්දුවෙන් රැස්වී සිටි ආකාරය විස්මය දනවන සුළුය. 


රජකුමරුට නම් දීම කෙරේත් ලෝකයා උද්‍යෝගයෙන් බලා සිටී. එය දැවැන්ත උද්වේගයකි.


ඇලෙක්සැන්ඩර් ස්පෙන්සර් ආදී නම් යෝජිත වුවත් ඔහුගේ නම ප්‍රසිද්ධ කෙරුණේ හාචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඞ්සර් ලෙසය. විවිධ කර්කශ පුවත් පිරි සමයක මේ නව කුමර උපත සිත සනසන කතාවකි. 

 

 

 

 


බොරිස් පාස්ටර්නක්ගේ ඩොක්ටර් ෂිවාගෝ

පැරැණි පොත පත

 

සමස්ත ලෝකයේම සාහිත්‍යකාමීන් හොඳින් අඳුනන බොරිස් පාස්ටර්නක්ට 1958 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුනේය. එහෙත් ඒ ත්‍යාගය පිළිගනු පිණිස ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට යන්නට ඔහුට අවසර ලැබුණේ නොවේ. ඔහුට අවසර නොදෙන ලද්දේ රුසියානු රජය විසිනි.


බොරිස් පාස්ටර්නක්ගේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ කෘතියෙහි ප්‍රධාන චරිතය දෙලොවක් අතරට අසුවූ අයෙකි. 


ධනවාදී කඳවුර හා ශ්‍රමවාදී කඳවුරත් යන ලෝක දෙක අතර සිදුවන ප්‍රබල ගැටුමේදී ඩොක්ටර් ෂිවාගෝ මධ්‍යම ප්‍රතිපත්තියක් රකින්නට වෑයම් කරන්නේය. බාරිස් පාස්ටර්නක් ලේඛකයා උපත ලැබුවේ ඉසුරුමත් කලාකාමී පවුලකයි. ඔහු යුදෙව් පෙළපතකින් පැවත එන්නෙකි. ඔහු 1890 දී ජනිත වූයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා හැටියටයි. ඔහුගේ පියා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් රූප අඳින උසස් පෙළේ චිත්‍ර ශිල්පියෙක් විය. ඔහුගේ මාතාව සංගීත විශාරද කාන්තාවකි.


රුසියානු මහා ග්‍රන්ථකාර ලියෝ ටෝල්ස්ටෝයි පවුලේ හිතවතෙක් වූයේය. පාස්ටරනක් ඔහු දැන ඇඳින ගත්තේ ළමා කාලයේදීමය. තමා ළමා සමයේදී ආශ්‍රයට පත්වූ ලියෝ ටෝල්ස්ටෝයි ජීවිතය පුරාම තමා සමග සිටියේ යැයි පාස්ටර්නක් ප්‍රකාශකොට ඇත්තේය. කුඩා කල පටන්ම ඔහු සොබාදහමේ අලංකාරය ආස්වාදය කළේ අභිරුචියකිනි. 
විවිධ වෘත්තීන් කෙරේ සිත් යොමු කරමින් ඔහු ගතකළ තුරුණු වියෙහි ඉතාම විචිත්‍ර අවස්ථාව වූයේ දහඅට වන වියේදී ඔහු යුවතියක් හා සමග පෙම් බැඳ ගැනීමයි.
ඈ ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ විට ඔහු කිහිප දවසක්ම ගත කළේ ඇඬු කඳුළෙනි. 


ලේඛකයකු වශයෙන් නිර්මාණශීලී වූ හෙතෙමේ සම්මත කාව්‍ය සම්ප්‍රදායයන්ගෙන් බැහැර වූයේය. ඔහුගේ පද්‍ය ශෛලිය, නවතම උපමා උපමේය සහිත වූයේය. සාමාන්‍ය දේ අපූරු ලෙස පෙනෙන පරිද්දෙන්ද, අපූරු දේ සාමාන්‍ය යැයි දැක්වෙන පරිද්දෙන්ද ඔහු පද්‍ය නිර්මාණයේ යෙදුණේය. 


පාස්ටර්නක් ජගත් කීර්තියට පාත්‍ර වූයේ ඔහුගේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ නම් ප්‍රචණ්ඩ කතාවෙනි. පොතේ නම ‘ජීවක දොස්තර යැ’යි සිංහලයට නැඟිය හැකිවේ. එය ලොව පුරා විවිධ භාෂාවලින් ඉතා පෘථුල ලෙස අලෙවි වූයේය. ලද නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට සිදුවීම ගැන ඔහු එතරම් ඛේදයට පත් නොවීය. ‘ඩොක්ටර් ෂිවාගෝ’ චිත්‍රපටයත් අත්‍යන්තයෙන්ම කීර්තිමත් සිනමා කෘතියක් විය. 

 

 


පැහැරගත් දරුවකු බේරා ගැනීමේ කතාව

 

පැහැර ගන්නා දරුවන් පිළිබඳව නොපමාව තොරතුරු ලබාගෙන ඔවුන් බේරා ගැනීමේ ක්‍රමයක් ප්‍රංශයේ භාවිත වෙයි.


ප්‍රංශයෙහි මේ ක්‍රමය භාවිත වන්නේ 2006 පටන්ය. එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ පැහැරගත් දරුවන්ගේ සංඛ්‍යාව විස්සකටත් අධිකය.
මේ ක්‍රමය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ලා කහ පැහැති සොයා ගැනීමේ ක්‍රමය ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලද්දකි. ඇමෙරිකාවේ ඒ ක්‍රමය ආරම්භ වූයේ 1996 දීය. මේ ක්‍රමය මගින් අලුතින්ම සොයා ගන්නා ලද දරුවා දෙහැවිරිදිය. ඔහු අතුරුදන් වූයේ මාසෙල්ස් නගරයේදීය.


දරුවා සොයා ගන්නා ලද්දේ ඒ නගරයට කිලෝ මීටර් දෙසීයක් පමණ ඈත තැනකිනි. දරුවාගේ නම ඔස්නාචි. දරුවා පැහරගෙන යන ලද්දේ මව ආගමික වතාවතක යෙදී සිටියදීය. දරුවා නිරුපද්‍රිතය.


මෙසේ සොයා ගැනීමේ සිද්ධිවල අපූරු පැත්තක්ද ඇත්තේය. වරක් දරුවා පැහැරගෙන යන ලද්දේ දරුවාගේම පියා විසිනි. ඔහුට උවමනාකොට තිබුණේ ළමා රෝහලක සිටි දරුවා රැගෙන ගොස් වෙන ආරෝග්‍යශාලාවකට බාර දෙන්නටයි. 

 


RECOMMEND POSTS

RELATED POSTS