සඳට ගොස් අඟහරු ලොවට යන මිනිසා



 

“සඳ හුදෙක්ම තාරකාවනට යන මාර්ගයේ මුල් පියවර පමණි. අජටාකාශ ගවේෂණය නොකඩවා කෙරීගෙන යන ක්‍රියාදාමයක් වෙයි. ඒ ගවේෂණවල අරමුණු කියා නිම කරන්නට බැරිය. අපේ මුණුපුරු මිණිපිරියන් අපගේ පෘථිවිය දෙස බලනු ඇත. ඔවුන්ට පෙනෙනු ඇත්තේ විශ්ව ගවේෂණය සුළු ක්‍රියාවක් හැටියටයි. අප භාවිත කරන මෙවලම් කවරේ වුව ද දැන් විශ්වයේ දොරටු අපට විවෘත වෙමින් පවතී. මෙය අප වෙසෙන මේ යුගයේ කේන්ද්‍රීය සත්‍යයකි.”
1969 ජුලි 21 වනදා ප්‍රථම වරට මිනිසුන් සඳ මත පා තැබූ අවස්ථාවේ ආතර් සී. ක්ලාර්ක් විසින් පවසන ලද අනාවැකියකිනි. ඇපොලෝ 11 යානයේ අජටාකාශගාමීන්ගේ සඳ තරණය නරඹන්නට නිල වශයෙන් ආරාධිත වූ මහා විද්‍යාඥයන්ගෙන් කෙනකු වූයේ අපගේ ආතර් සී. ක්ලාර්ක් ඉසිවරයායි.

 

සඳ පිළිබඳ කෙරෙන කතා බහ හැම කලකටම හැම රටකටම පොදුය. එහෙත් මෑත දින කීපයේදී ‘සඳ කතා’ මුළු ලෝකයාගේම විශේෂ අවධානයට ලක්විය.


මෙයට ප්‍රධාන හේතු කීපයකි. ජීවය මහ පොළොවේ පහළ වී අවුරුදු හැට කෝටියකට පමණ පසුව පෘථිවියේ ජීවීන්, අසල්වැසි සඳ තලයට ගොස්, අවුරුදු 49 සම්පූර්ණ වූයේ ජුලි 21දායි. 2019 වනවිට අවුරුදු 50කි. පෘථිවියේ මහා ආයු ප්‍රමාණයේ මට්ටමෙන් බලන විට ඒ සුළු කාල පරිච්ඡේදය ‘ඇස්පිල්ලන් ගසන’ කාල මාත්‍රයක් තරම්.


එතෙක් පෘථිවි ජීවීහු ඔවුන්ගේ ‘තොටිල්ලේම’ ජීවත් වූහ.


මේ සඳ ගමනේ මානව වීර ක්‍රියාවට 49 ලැබීම ගැන බොහෝ කතා බහ ඇති විය. මේ මානව වීර ක්‍රියාවේ අගය දරුවන්ට කියා දිය යුතු වේ. මක් නිසාද යත්, ආතර් සී. ක්ලාර්ක් විසින් ඉහත පෙන්වා දෙන ලද පරිදි තව පරම්පරා කිහිපයකින් අජටාකාශයේ සිට දරුවන් අපේ පෘථිවිය දෙස බලනු ඇති හෙයිනි.


තවත් හේතු කීපයක් නිසාත් මේ දිනවල සඳට විශේෂ ස්ථානයක් අයත් වේ. පසුගිය ජුලි විසිහත්වන සිකුරාදා පසළොස්වක පෝ දිනයේදී විසි එක්වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිදුවිය. සඳ එදා රෑ රතු පැහැ ගත්තේය. ග්‍රහණයට අසුවූ අහස් පෙදෙසෙහි අඟහරු ග්‍රහයා ද බැබලුණේය.


තවත් සුවිශේෂී කරුණක් වෙයි. අජටාකාශ තරණය සඳ සහ අඟහරු ලෝචාරිකා වැනි දහස් ගණන් දේ ඉටු කිරීම සඳහා සැරසී සිටින නාසා :භ්ි් භ්එසදබ්ක ්ැරදබමඑසඑසජි ්බා ීච්ජැ ්ාපසබසිඑර්එසදබ* ජාතික අජටාකාශ විද්‍යා සහ අජටාකාශ කාර්ය පරිපාලක ආයතනය පිහිටුවා හැටවන වස සපිරෙන්නේත් මේ 2018 වර්ෂයටයි. මෙය පිහිටුවන ලද්දේ ඇමෙරිකානු ජනාධිපති අයිසන්කාවර් මහතා සහ ඇමෙරිකා උභය මන්ත්‍රී සභාව විසින් සපයන ලද ඉමහත් ධෛර්යය නිසාය.


නාසා ආයතනය විසින් කරන ලද සැලසුම්වලට අනුව, මානව ඉතිහාසයෙහි ප්‍රථම වරට සඳ තලය මත පා තැබුවේ ඇපොලෝ 11 යානයෙන් ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඕල්ඩි්‍රන්ය.


මානව ඉතිහාසයේ ප්‍රථම වරට සඳ තලය මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝං දැන් ජීවතුන් අතර නැත. ඔහු උපත ලැබුවේ 1930 අගෝස්තු පස්වනදායි. ඔහුගේ විපත සිදුවූයේ 2012 අගෝස්තු 25 වන දිනයි. ඔහු ජීවතුන් අතර සිටියේ නම් 2018 මේ අගෝස්තු පස්වනදා වනවිට ඔහුගේ වයස 88කි.


ඇපොලෝ 11 යානයෙන් ගමන් කළ දෙදෙනාගෙන් දෙවන වරට සඳ මත පා තැබූ අජටාකාශ වීරයා එඞ්වින් යූජින් ඕල්ඩි්‍රන්ය. ඔහුගේ දැන් වයස අවුරුදු අසූ අටයි. මෙසේ මුලින්ම සඳ මත පා තැබූ දෙදෙනාගෙන් දැනට ජීවත්ව සිටින්නේ ඒ එඞ්වින් ඕල්ඩි්‍රන් සඳගාමියායි. 
අලුත්ම, අලුත් අජටාකාශ චාරිකා පුවත ප්‍රකාශයට පත්වන්නේ මෙහිදීය.


මිනිසුන් හඳට යවන ඇපොලෝ ව්‍යාපෘතිය 1972 දී කෙළවර විය. ඒ ඇපොලෝ චන්ද්‍රචාරී යුගය කෙළවරට පත්වී, දැනට අවුරුදු 46කි. 
අද ලොවට ලැබෙන අලුත්ම චන්ද්‍රචාරී ප්‍රවෘත්තිය මෙසේය.


නව චන්ද්‍රචාරී කියා පද්ධතියක් ආරම්භ කරන්නට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් අනුමැතිය සපයා ඇත්තේය. ඒ සඳහා අවශ්‍ය අණ පනත් ලිපි ලේඛන සියල්ල සම්පූර්ණ වී තිබේ යැයි ද පැවැසෙන්නේය.


මේ තීරණය හේතු කොටගෙන විශ්වය ජය ගැනීමේ ප්‍රබල වික්‍රමයට නව පරිච්ඡේදයක් එකතු වෙයි.


සඳට මිනිසකු යැවීමේ වීර වික්‍රම ක්‍රියාව ආරම්භ කරන ලද්දේ ඇමෙරිකානු ජනාධිපති ජෝන් ෆිට්ස් ජෙරල්ඞ් කෙනඩි (1917-63) විසිනි. “අප ජාතිකයන් විසින් මේ දශකයේ නිමාවට පෙර අජටාකාශගාමියකු සඳට යවා ඔහු ආපසු ගෙන්වා ගැනීමේ අරමුණට කැප විය යුතු වේ” ජනාධිපති ජෝන් කෙනඩි මේ ප්‍රකාශය කළේ 1961 මැයි මස 25 වනදා ජාතියත්, උභය මන්ත්‍රණ සභාවත් අමතමිනි. 


ඒ වනවිට 1961 අප්‍රේල් 12 වනදා රුසියානු යූරි ගගාරීන් නම් අජටාකාශචාරියා වොස්ටොක් 1 යානයෙන් පෘථිවිය වටා අජටාකාශයේ ගමන් කොට සිටිනුයේය.


ජනාධිපති කෙනඩි සඳ තලය මතට ඇමෙරිකානු අජටාකාශචාරීන් යවන්නට තීරණය කළේ රුසියානු අජටාකාශ චාරිකාවට වඩා ඉහළ වීර ක්‍රියාවක යෙදෙමින්, ඇමෙරිකාවේ ජාතික ගෞරවය රැකගනු පිණිස විය හැකිය.


මේ සඳ තරණය දිනන්නටත්, අජටාකාශ චාරිකා ඉතිහාසයේ පුරෝගාමීන් වන්නටත්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත්, රුසියාවත් විසින් දරන ලද දැඩි පරිශ්‍රමය නිසා අජටාකාශ තරණ විද්‍යාව දැවැන්ත පියවරක් ඉදිරියට ගියේය.


මෙහිදී පුරෝගාමී මානව අජටාකාශගාමීන් පමණක් නොව, සත්ව වර්ගය උඩු ගුවනට යවමින් බලවත්තු තරගයක යෙදුණාහ. රුසියානු ජාතිකයෝ ලයිකා නම් සුනඛයාත්, ඇමෙරිකානු විශේෂඥයෝ ‘හැම්’ නම් ජනප්‍රිය චිම්පන්සියකුත් අත්හදා බැලීම සඳහා උඩද ගුවන්ගත කළහ.


සඳ ගමනට ප්‍රාරම්භක වූ මේ මහා පරිච්ඡේද සහ විස්මය දනවන නිර්මාණත්, සිතිය නොහෙන තරම් දැවැන්තය. සංකීර්ණය. සඳ ගමනේ පූර්ව යුගය පිළිබඳ වීර කතාව අපගේ දරුවන්ට උගන්වාලිය යුත්තේ, එහි අලුත්ම අවස්ථාව දිග හැරෙන්නේ අද දවසේ දරුවන්ගේ වර්ධනයත් හා සමඟ හෙයිනි.


දැන් අපි ඒ අලුත්ම සඳ ගමන් හා අඟහරු ගමන් සැලැස්ම දෙස බලමු.


අලුත් ‘සඳ අඟහරු ගමන්’ පෙර පැවැති ඇපොලෝ ව්‍යාපෘතියට ප්‍රධාන වශයෙන්ම වෙනස්වන එක් තැනක් වෙයි. ඇපොලෝ ව්‍යාපෘතිය හුදෙක්ම ඇමෙරිකානු ධන ආයෝජකයෙන් සිදුවූවකි. 


එහෙත් යෝජිත අලුත් අජටාකාශගාමී ව්‍යාපෘතියේ ජාත්‍යන්තර මට්ටමේ සහකාර පිරිසක් හා සමඟ එක්ව සකස් කෙරෙන ජගත් මට්ටමේ අනුග්‍රහයක් සහිත අජටාකාශ ගවේෂණ සංවිධානයකි.


මේ අජටාකාශ ව්‍යාපෘතියේ ඒ ඒ අංගෝපාංග පිළිබඳව දැනටමත් විවිධ දේශ හා ජාත්‍යන්තර කණ්ඩායම් ද සිය ප්‍රසාදය පළ කොට ඇත්තේය. මුළු මහත් ව්‍යාපෘතියේ කවර අංගෝපාංග සඳහා තමන්ගේ සහයෝගය සැපයෙන්නේ දැයි දැනටම තීරණයන්ට එළඹීත් ඇත්තේය.


ජපානය, රුසියාව, කැනඩාව සහ ජාත්‍යන්තර මට්ටමේ මහා සංවිධානත්, මේ ව්‍යාපෘතියේ සාර්ථක බව තහවුරු කරන්නට ප්‍රතිඥා දී සිටිති.
මේ යෝජිත සඳු-අඟහරු ගවේෂණ ව්‍යාපෘතිය නම් කරනු ලැබෙන්නේ ‘දොරටු ව්‍යාපාරය’ (ගේට්වේ ප්‍රොජෙක්ට්) වශයෙනි.


ඇපොලෝ අජටාකාශ ව්‍යාපෘතියේදී කිව නොහෙන තරමේ බැරෑරුම් නාස්තියකට හේතු වූයේ එක්වරක් පමණක් භාවිත කොට ඉවත දමනු ලබන දැවැන්ත මට්ටමේ යන්ත්‍රෝපකරණ හේතුකොටගෙනය.


සඳගාමීන් රැගෙන යනු පිණිස රොකට්ටුවක්, චන්ද්‍රාකාශ යානයක් සහ සඳට ගොඩබසින යානයක් වශයෙන් ප්‍රධාන යන්ත්‍ර වර්ග තුනක් අවශ්‍ය වූයේය. මේවා භාවිත කළ හැකි වූයේ හුදෙක් එක් වරක් පමණි. එක් ගමනකින් පසුව ඒ මහා මිලක් යොදවා තැනූ යන්ත්‍ර සූත්‍ර විනාශ වේ.


මෙවර සඳට සහ අඟහරු ලොවටත් අජටාකාශගාමීන් ගෙන යන යන්ත්‍රෝපකරණ යළි යළිත් භාවිත කළ හැකි වේ. 


ඇපොලෝ යුගයේදී සිදුවූයේ එක් ගමනක් සඳහා භාවිත කළ මෝටර් රියක් හෝ දුම්රියක් ඒ ගමන ගියාට පසුව ඉවත විසි කිරීම වැන්නකි.


මෙසේ සඳට සහ අඟහරු ලොවට යවනු ලබන යානා අඩංගු යන්ත්‍ර පද්ධතිය නම් කෙරෙන්නේ ‘දොරටු ව්‍යාපෘතිය’ වශයෙනි.


අලුතෙන් යෝජනා කොට තිබෙන ‘දොරටු ව්‍යාපාරය’ පටන් ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ෆ්ලොරිඩාහි අජටාකාශ අංගනයෙනි. එහිදී යානය උඩු ගුවනට යවන රොකට්ටුව ඉවත් වූ විට සඳ ගමනේ යෙදෙන ‘ඔරියන්’ නම් අජටාකාශ යානය සිය ගමන අරඹයි. අජාටාකාශගාමීන් ඉන්නේ ඒ ‘ඔරියන්’ යානය තුළයි. ගමන අරඹා දින තුනකින් පමණ පසුව ‘ඔරියන්’ යානය සඳ වටා ගමන් පථයට ඇතුළු වෙයි. ඇතුළු වී ‘දොරටු’ අජටාකාශ මධ්‍යස්ථානයට එකතු වේ. ඉන් පසුව ඒ යානයට සඳ වටා ඕනෑම වාර ගණනක් යාත්‍රා කළ හැකියි.


ඇපොලෝ ව්‍යාපාරයේදී සඳට ගිය යානාවලට චන්ද්‍රයාගේ අඳුරු පැත්තට ගොඩබසින්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් මේ අලුතින් සඳ වෙත යන ඔරියන් යානයට සඳේ අඳුරු පැත්තටත් ගොඩබැසිය හැකි වේ.


මේ අලුත් චන්ද්‍ර සංචාරයේ විශේෂ ලක්ෂණය නම්, සඳට ඉහළින් පිහිටුවනු ලබන නේවාසික අජටාකාශ මධ්‍යස්ථානයයි. මෙහි සිට වරින් වර සඳ තලය මතට බැස පර්යේෂණ පවත්වන්නට අවස්ථාව ලැබේ.


මේ නව චන්ද්‍ර සංචාරයේ ඉතාම අලුත් අංගය නම්, අඟහරු ලෝකයට ගමන් කරන යානා සඳහා නැවතුම්පොළක් හැටියට ද චන්ද්‍ර අජටාකාශ නේවාසික මධ්‍යස්ථානය භාවිත කළ හැකි වීමයි.


චන්ද්‍ර චාරිකාවේ යෙදෙන අජටාකාශගාමීන්ට අවශ්‍ය අම්ලකර (ඔක්සිජන්) සහ ජලය, සඳ තලයේ හිමවලින් (අයිස්වලින්) ලබා ගන්නට ක්‍රම සකස් කොට ගැනීම මේ නව ව්‍යාපෘතියේ අලුත්ම අංගයකි.


සඳ තලය ආශ්‍රිත නේවාසික අජටාකාශ යානය භාවිත කරමින්, අජටාකාශගාමීන්ට අඟහරු ග්‍රහයා වෙත යා හැකි වන පරිදි මේ ‘දොරටු ව්‍යාපෘතිය’ සකස් කෙරේ.


සඳට සහ අඟහරු ලොවට යෑම සඳහා සැලසුම් කෙරෙන මේ නව ව්‍යාපෘතිය ක්‍රියාවේ යෙදෙන්නේ 2022 සහ 2023 දී විය හැකිය.
මේ ‘දොරටු ව්‍යාපෘතිය’ ස්ථාවර ලෙස දියත් කළ විට ඉන් සිදුවන්නේ මුළු මහත් මානව ඉතිහාසයෙහි මෙතෙක් නොවූ ආකාරයේ විප්ලවීය වෙනසකි. 


විසි එක්වන සියවසේ අග හරිය වනවිට සඳ ගමන් සහ අඟහරු ගමන් ‘ගෙදර යන්නාක්’ වැනි සිද්ධි බවට විකාශනය වේ.


අපේ දරුවන්ගෙන් ඇතැම් දෙනාටත්, ඒ චන්ද්‍ර-අඟහරු පර්යේෂණ චාරිකාවල යෙදීමේ වාසනාව උදාවන්නට බොහෝ සේ ඉඩකඩ ඇත්තේය. එසේ නොවේ යැයි කිව හැක්කේ කාට ද?


ඒ නිසා අධ්‍යාපනික ප්‍රභූන් විසින් සහ සාමාජික නායකයන් විසින් ද අපගේ ළමා හා යොවුන් පරම්පරා සඳහා අජටාකාශ පර්යේෂණ සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, අපගේ නව පරපුර අනාගතයට මූණපාන්නට සර්වප්‍රකාරයෙන්ම සමත් දරුවන් කණ්ඩායමක් බවට පත්කොටලීමේ අත්‍යවශ්‍ය පියවරක් වේ. අලුත්ම අජටාකාශ ප්‍රවෘත්තිවලින්, නොබෝදා ප්‍රකාශ වූයේ පවිත්‍ර ජලය සහිත විශාල වැවක් අඟහරු තලයේ පවත්නා බවයි.


එවැනි ජලාශයක් අඟහරු ලොවෙහි තිබේ නම් ජලාශ්‍රිත ජීවීහු ද එහි වෙසෙතියි සිතිය හැකි වේ.


මා මෙම අජටාකාශ පර්යේෂණ පිළිබඳ ප්‍රවෘත්ති, වෙසසින්ම දරුවන්ගේ අවධානයට යොමු කළ යුතු යයි කියා සිටින්නේ හේතු කිහිපයක් නිසාය.


ඉන් ප්‍රධාන වන්නේ අජටාකාශ පර්යේෂණ පිළිබඳ කතා, ළමා මනසට ඉතාම විචිත්‍ර ආස්වාදයක් සපයන ප්‍රස්තුත වීමයි. ඉර, හඳ, තාරකා, දේදුනු ආදිය ගැන ළමා මනසෙහි නොනිත් කුහුලක් ඇත්තේය. ඒ කුහුල සපුරමින් අජටාකාශ පර්යේෂණ කතා ද ළමයින්ට කිව හැකිය.


දෙවන හේතුව ද ඉතාම ප්‍රබලය. මින් පසුව ලෝක ජනතාවට අජටාකාශ පර්යේෂණ තමන්ට අයත් නැති දෙයකැයි නොසලකා සිටිය නොහේ. මක්නිසාද යත්, අද වැඩෙන සිඟිති දරු-දැරියන්ගේ ජීවිත කෙරෙහි අජටාකාශ සිද්ධි ඉතා බොහෝ සේ බලපානු නියත හෙයිනි. 


 

 

ආනන්ද කුමාරස්වාමිගේ “මධ්‍යකාලීන සිංහල කලා”

ආනන්ද කුමාරස්වාමි, ශ්‍රී ලංකාව විසින් මුළු ලොවටම පිළිගන්වන ලද, චමත්කාර විද්‍යා ඉසිවරයෙකි. ඒ මහා විද්වතා, ලොව බොහෝ පෙදෙස්වල කලාත්මක සම්ප්‍රදායයන් ගැඹුරෙන් හදාරා, කලා රසාස්වාදය, උසස් දර්ශනවාදයක් බවට පත් කළේය.


ආනන්ද කුමාරස්වාමිගේ කෘති සම්භාරය අතුරින් ශ්‍රී ලංකාවේ හැමෝටම ඉතා වටිනා කෘතිය නම් ‘මධ්‍යකාලීන සිංහල කලා’ නම් මා හැඟි ග්‍රන්ථයයි. මෙය මුලින් ඉංගිරිසියෙන් පළ වූයේ 1908 දීය. ඉංගිරිසි නම (MEDIAEVAL SINHALESE ART)
මේ විශිෂ්ට අධ්‍යයනය නිසා ඉටු වූ ප්‍රධාන මෙහෙය නම්, අපට උරුම වූ අපගේම කලා නිධානයෙහි අගය අපටම කියාදීමයි. අප සතු විශිෂ්ට කලා උරුමය ලෝකයා දැන ගනිද්දී, අපි ද අපගේම සරුසාර උරුමයේ නියම තතු, ඒ නිර්මාණය තුළින් ප්‍රථම වරට දැන ගත්තෙමු.


මේ ශාස්ත්‍රීය කෘතිය සකස් කරනවිට ආනන්ද කුමාරස්වාමි තිස් එක්වන වියේ පසුවූයේය.


ඔහු එංගලන්තයෙන් ලංකාවට පැමිණ කලක් මෙහිදී පර්යේෂණ පවත්වා, යළි එංගලන්තයට ගියේය. මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ මුල් ඉංගිරිසි කෘතිය 1908 දී එංගලන්තයේ පළවිය. මුලදී පළවූ පිටපත් සංඛ්‍යාව 425 යි.


ආනන්ද කුමාරස්වාමි, මහනුවර නගරයට නුදුරු තැනක, ‘රොක් හවුස්’ (ගල්ගෙය) නම් සන්සුන් නිවසෙහි සිටිමින් පර්යේෂණ කටයුතුවල හා ලේඛන කාර්යයන්හි යෙදුණේය.


‘මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ අන්තර්ගත ඡායාරූපවලින් බහුතරයක්, කුමාරස්වාමි ආර්යාව වූ එතල් මේරි පාටි්‍රජ්ගේ කැමරාවෙන් සකස් කොට ගන්නා ලද දේය.


ආනන්ද කුමාරස්වාමිගේ ‘රොක් හවුස්’ නිවාසය, ‘මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථය ආශ්‍රිත කාර්යයවලදී ඔහුට සෙවණ සැපයූ නිවසයි.
ශ්‍රී ලංකාවේ ස්වාධීන විශ්වවිද්‍යාලය ආරම්භ වූ කාලයේදී එහි පුරෝගාමී විද්‍යාර්ථීන් වූ යොවුන් අයගෙන් බොහෝ දෙනා ‘ආනන්ද කුමාරස්වාමි’ මහතාගේ කෘතිය හදාළේ, ගෞරව පූර්වක භක්තියකිනි. නව ශ්‍රී ලාංකික පරම්පරා කිහිපයකටම තමන්ගේ උදාර සංස්කෘතික හා කලාත්මක උරුමය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් සපයන ලද්දේ මේ ග්‍රන්ථය විසිනි.


 

 

යශෝධරා තෙරණිය සහ රාහුල ස්ථවිරයෝ

සාහිත්‍ය ලෝකයේ අමරණීය නමක් දිනාගත් බි්‍රතාන්‍ය ජාතික චාල්ස් ඩිකන්ස් ලේඛකයා, ජගත් ප්‍රබන්ධ කතා කලාවේදී, අද්විතීය නාමයක් දිනාගෙන සිටී. ඩිකන්ස්ගේ නාමය, අලුත්ම ප්‍රවෘත්තියකට ආයේ පුදුම කරුණක් නිසාය. චාල්ස් ඩිකන්ස් (1812-70) විසින් සිය ලේඛන කටයුතු සඳහා භාවිත කළ කනප්පුව එංගලන්තයෙන් බැහැර කෙරෙන්නට යන බව නොබෝදා ප්‍රකාශ විය. (කනප්පුවකැයි කියන්නේ වටකුරු කුඩා මේසයකි)


මේ කනප්පුව සඳහා රන් පවුම් 67,600ක මිලක් ගෙවා එය බි්‍රතාන්‍යයෙන් පිටතට ගෙන යෑමේ සූදානමක් තිබිණි.


බි්‍රතාන්‍යයේ, කලා, උරුම සහ සංචාර ව්‍යාපාර ඇමැති මයිකල් එලිස්, එම ඓතිහාසික කනප්පුව, එංගලන්තයෙන් බැහැර ගෙන යෑම තහනම් කළේය. ඩිකන්ස්ගේ කනප්පුව, මැහෝගනී ලීයෙන් කළ වටකුරු තට්ටුවක් සහිතයි. එය 1835 දී පමණ තනන ලද්දකි. උඩ තට්ටුව කැරකෙන පරිදි තනා ඇත්තේය. ලාච්චු දහයකි. මතුපිට කොළ පැහැති සමින් වැසී ඇත්තේය. ඩිකන්ස් සිය ලේඛන කලා ජීවිතය මුළුල්ලේම මෙය භාවිත කළේය.


මේ කනප්පවු, පවුලේ උරුමය වශයෙන් තිබී 2017 දෙසැම්බර් මාසයේදී වෙන්දේසි කෙරිණි. ඩිකන්ස්ගේ සුප්‍රසිද්ධ ‘මධු’ (වයින්) කාමරයේ යතුරු තිබුණේත් මේ කනප්පුවේයි. 


බි්‍රතාන්‍යයේ මහාම සංස්කෘතික ප්‍රභූවරයකුට අයත්ව තිබුණු වස්තුවක් වශයෙන්, මේ කනප්පුව මුළු ජාතියේම සුබසෙත උදෙසා අප විසින් ආරක්‍ෂාකොටගත යුතු යැයි මයිකල් එලිස් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


 

මහා නවකතා කලාකාර චාල්ස් ඩිකන්ස්ගේ කනප්පුව

සාහිත්‍ය ලෝකයේ අමරණීය නමක් දිනාගත් බි්‍රතාන්‍ය ජාතික චාල්ස් ඩිකන්ස් ලේඛකයා, ජගත් ප්‍රබන්ධ කතා කලාවේදී, අද්විතීය නාමයක් දිනාගෙන සිටී. ඩිකන්ස්ගේ නාමය, අලුත්ම ප්‍රවෘත්තියකට ආයේ පුදුම කරුණක් නිසාය. චාල්ස් ඩිකන්ස් (1812-70) විසින් සිය ලේඛන කටයුතු සඳහා භාවිත කළ කනප්පුව එංගලන්තයෙන් බැහැර කෙරෙන්නට යන බව නොබෝදා ප්‍රකාශ විය. (කනප්පුවකැයි කියන්නේ වටකුරු කුඩා මේසයකි)


මේ කනප්පුව සඳහා රන් පවුම් 67,600ක මිලක් ගෙවා එය බි්‍රතාන්‍යයෙන් පිටතට ගෙන යෑමේ සූදානමක් තිබිණි.


බි්‍රතාන්‍යයේ, කලා, උරුම සහ සංචාර ව්‍යාපාර ඇමැති මයිකල් එලිස්, එම ඓතිහාසික කනප්පුව, එංගලන්තයෙන් බැහැර ගෙන යෑම තහනම් කළේය. ඩිකන්ස්ගේ කනප්පුව, මැහෝගනී ලීයෙන් කළ වටකුරු තට්ටුවක් සහිතයි. එය 1835 දී පමණ තනන ලද්දකි. උඩ තට්ටුව කැරකෙන පරිදි තනා ඇත්තේය. ලාච්චු දහයකි. මතුපිට කොළ පැහැති සමින් වැසී ඇත්තේය. ඩිකන්ස් සිය ලේඛන කලා ජීවිතය මුළුල්ලේම මෙය භාවිත කළේය.


මේ කනප්පවු, පවුලේ උරුමය වශයෙන් තිබී 2017 දෙසැම්බර් මාසයේදී වෙන්දේසි කෙරිණි. ඩිකන්ස්ගේ සුප්‍රසිද්ධ ‘මධු’ (වයින්) කාමරයේ යතුරු තිබුණේත් මේ කනප්පුවේයි. 


බි්‍රතාන්‍යයේ මහාම සංස්කෘතික ප්‍රභූවරයකුට අයත්ව තිබුණු වස්තුවක් වශයෙන්, මේ කනප්පුව මුළු ජාතියේම සුබසෙත උදෙසා අප විසින් ආරක්‍ෂාකොටගත යුතු යැයි මයිකල් එලිස් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS

RELATED POSTS