ලෝකය නුදුරේදී විනාශවේද ?



 

“ඉසගිනි ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කුසල මඳකුත් පමා නොවනු මිස” (වීදාගම වෙහෙරෙයි මෙත් තෙරිඳුන් විසින් කරන ලද ලෝවැඩ සඟරාවෙනි) (22)

“කෝටි 360ක් පමණ දෙනා (ලොව ජනගහණයෙන් හරි අඩක් පමණ ජනකායක්) ජීවත් වන්නේ වර්ෂයේ එක් මාසයක්වත් ජල හිඟයෙන් පීඩා විඳිමිනි.”

(ලෝක ජල සංවර්ධනය පිළිබඳව 2018 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවෙනි) “වැලි, විවිධ ගොඩනැගිලි තැනීම සඳහා අවශ්‍යවේ. සාගරය විසින් ගොඩබිම යට කොට ගැනීම වළක්වන පවුරක්. වැල්ලයි. අද මේ ආරක්ෂක පවුර ශීඝ්‍රවේගයෙන් අවභාවිතයට ලක්වේ.” (එක්සත් ජාතීන්ගේ සංවිධානය) සමස්ථ මානව වර්ගයාටම මූණ පාන්නට විය හැකි ව්‍යසනයක් නුදුරු කලක හටගනීදැයි අද විද්‍යාඥයෝ මහත් සැකයක් පළ කරති. මේ සමයේ මුළු මිනිස් සමාජය වාසින්ම මුල් තැන දිය යුත්තේ ඒ ප්‍රශ්නයට මූණ පෑ යුතු ආකාරය සෙවීමේ ප්‍රයත්නයටයි. “ලෝවැඩ සඟරාව” කළ මෙත් තෙරිඳුන්ගේ ප්‍රකාශය සලකා බලන්න. සිය හිස ගිනි ගත් අයෙකුට වෙන අන් කිසිම ප්‍රශ්නයක් ගැන සිතන්නට කියන්නට බැරිය. ඔහු විසින් පළමුවෙන්ම කළ යුතු වන්නේ හිසෙහි ගින්න නිවාගැනීමයි. අද ලෝකයාමත් එසේමය. කෑම් - බීම්, ඉඳුම්, හිටුම් ආදී සියල්ලටම වඩා අද අප සාමුහිකව සෙවිය යුතුව තිබෙන්නේ සිදුවිය හැකි ලෝක විනාශය වළක්වා ගැනීමේ නියත මගකි.

ශ්‍රී ලංකාවේ අපිත් ප්‍රසිද්ධ කථා - බහ බොහොමයකදී නොයෙක් මතභේද ප්‍රශ්න ගැන කෑ කෝ ග සන්නෙමු.

එහෙත් අද ශ්‍රී ලංකාවේ අප විසිනුත් කළ යුතු වන්නේ මේ “ඉසගින්න” නිවා අපගේ අනාගතය වෙසෙසින්ම දරු පරපුරේ හෙට දවස බේරා ගන්නා මගක් නොපමාව සකස් කිරීමයි. සකළ මිනිස්වග විසින්ම අද මහා ජයග්‍රහණ ලබාගෙන ඇත්තේය. මිනිස් ජීවිතවලට හානි කරන බැරෑරුම් රෝග බොහොමයක් අද සහමුලින්ම විනාශ කොට ඇත්තේය.

දීර්ඝායුෂ ලබන ක්‍රමවේද මේ වන විට ඉතා ඉහළ මට්ටමෙන් දියුණු වී පවතී. ඇතැම් සොයාගැනීම්, සිනාවට තුඩු දෙන තරම්ය. මුඩුහිස්වල, අලුතින් කෙස් වගා කළ හැකි ක්‍රමයක් ජපානයේ ආයතනයක් විසින් සාර්ථක ලෙස අත්හදා බලා ඇත්තෝය. මේ ක්‍රමය 2020දී ලෝකයාට (ශ්‍රී ලංකාවත් ඇතුළුව) ලබාගත හැකිවේ. ශීඝ්‍රවේගයෙන් සුවපහසු ලෙස ග මනාගමනයෙහි යෙදීම අද මිනිසා විසින් ලබා ඇති දායාදයකි. විද්‍යුත්, ස්වයංක්‍රීය මොටෝරිය තව නොබෝ කලකින් ලොව පුරා ව්‍යාප්ත වේ. මෙසේ විස්මය උපදවන ජීවන ශෛලියක් අද මිනිසා හමුවේ තිබේ නම් ලෝක විනාශයක් ගැන බිය සැක ඇතිකොට ගන්නට හේතුවක් තිබේද? එවැනි සන්තාපයකට හේතු කාරක වූ සිද්ධි අතර ප්‍රධාන තැන ගන්නා ව්‍යසන කීපයක් සළකා බලමු. මිහිතලයේ ජන කණ්ඩායම වැනසී යාහැකි එක් ක්‍රමයක් නම් අජටාකාශයෙන් පෘථිවියට එල්ල විය හැකි අත්‍යන්තයෙන්ම ප්‍රබල තර්ජනයකි. “ඇස්ටරොයිඞ්” නම් අජටාකාශ වස්තු, සූර්යයා වටා භ්‍රමණය වෙති. මින් ඇතැම් ඇස්ටරොයිඞ්ස් (ග්‍රහක) පෘථිවිය මත පතිත වෙති. විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය මතට ඉතා ශීඝ්‍රවේගයෙන් ඇදවැටුණුවිට ඒ ඝට්ටනය නිසා දැවැන්ත දූවිලි කැටයක් අහසට නගී.

මේ පෘථුල දූවිලි කැටය සූර්යතාපය වළක්වමින් පැතිරෙන්නට පටන්ගනී. දින කිහිපයක් එසේ සූර්යතාපය අවුරමින් ඒ දැවැන්ත දූවිලි තට්ටුව අහසෙහි රැ ඳෙන විට පෘථිවිය පුරා ඉතා දැඩි ශීතලක් හටගනී. ඒ හේතුකොට ගෙන පෘථිවිතලය මත ඝන හිම තට්ටුවක් තැනේ. පෘථිවියේ සියලුම ජීවිහු ඒ තද ශීතලෙන් හිම තට්ටුවට යටවී නැසී යති. මිහිතලය ජීවීන්ගෙන් හිස්ව යන්නේය. ඩයිනෝසරයන් මෙයට අවුරුදු හයකෝටි පනස් ලක්ෂයකට පෙර නැතීව ගියේ එවැනි ග්‍රාහකයක් නිසා හටගත් ඝන හිමතට්ටු නිසා යැයි පුරා ජීව විශේෂඥයෝ සලකති. ඒ ආකාරයේ ස්වභාවික, පෘථිවි ජීවි විනාශයක් දැන් අපට පාලනය කොටගත හැකි නොවේ. එහෙත් තව නොබෝ කලකින් එවැනි තර්ජනාත්මක “ග්‍රහක” පෘථිවි තලය මතට පතිත වන්නට පෙර ඉහළ අහසේදීම විනාශ කළ හැකි ක්‍රම සකස් කෙරෙණු නියතයි. මිනිසාගේ අයහපත් චර්යාව නිසාද එවැනි භයානක ව්‍යසනයක් හටගත හැකිය. මේ මතය පළ කරනු ලබන්නේ පවුල් කෘට්සන් නම් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙකු විසිනි.

ඔහුගේ අදහස මෙසේය: අද යුගයේ මිනිස්සු ඔවුනොවුන්ට විරෝධීව සටන්වල යෙදෙති. අද පවත්නා ඉතා දියුණු තාක්ෂණය නිසා ඇතැම් පෞද්ගලික දාමරික කල්ලිවලට පවා න්‍යෂ්ටික අවි තනාගත හැකි කාලයක් එළඹේ. ඔවුන් එවැනි න්‍යෂ්ටික අවි භාවිත කරන්නට හටගත්විට ඒ රණබිම්වල වහා ගිනිමැල හටග නී. යකඩ වානේ හා කොන්ක්‍රීට් පවා ගිනිබත්වේ. එහෙත් දැවැන්තම හානිය සිදුවන්නේ ඒ ගිනිමැලවල අග්නි ජාලා නිසා නොවේ. ඒ ගිනිමැලවලින් ඉතා ඝන දුම් වලාකුළු අහසට නගී. මේ දුම් තට්ටු ඉර එළිය වසා ගනිමින් ලොව පුරා පැතිරෙන්නට වෙයි. සූර්යයා එසේ දින ගණනක් ආවරණය වූ විට පැතිරයන අත්‍යයන්තයෙන්ම දැඩි ශීතල නිසා පෘථිවිය මත ඝන හිතමට්ටු ඇතිවේ. සහරා කාන්තාරය පවා ඝන හිමතලාවට යටවනු ඇතැයි විද්‍යාඥ පවුල් කෘට්සන් පවසයි. මහපොළොවේ වළක් කපාගෙන සැඟවුණත් ඒ මහා ශීතලෙන් මිදෙන්නට බැරියැයි විද්‍යාඥයා කියා සිටී. දැවැන්ත ශීතලක් මහා හිම තට්ටුත් දින කීපයක් පැවැතුනාට පසුව ඒවා කෙමෙන් තුනීවේ. එහෙත් එසේ සීතලත් හිම කාලයත් පහවී ගියද මිහිතලයෙහි කිසිම ජීවියෙක් ඉතිරි නොවේ. ජීවීන් සියල්ලෝම මැරී යති. එහෙත් පවුල් කෘට්සන් විශේෂඥයා විකල්ප දෙකක් පළ කරන්නේය. ශීතල කොපමණ තද වුවද සතුන් දෙවර්ගයක් එයට ඔරොත්තු දී ජීවත් වෙති. ඒ ඇඳ මකුණන් සහ කැරපොත්තන්ය. තවත් විකල්පයක් වෙයි. ශාන්තිකර සාගරය, ශීතල වන්නේ ඉතා හෙමිහිටයි.

ඒ නිසා එහි මධ්‍ය ප්‍රදේශයේ කුඩා දිවයිනක ස්ත්‍රී පුරුෂයන් කීප දෙනෙක්ද ඒ මහා ව්‍යසනයට අසුනොවී පණ නළ ගළවා ගනිති. අනාගත මානව පරපුර පැවතෙනු ඇත්තේ ඒ ඉතිරි වූ ශාන්තිකර සාගර නරයන් ගෙනි. විද්‍යාඥ පවුල් කෘට්සන් මෙසේත් පවසයි. මේ දුම්කූටය පහවී ගිය හැටියේ අරුණෝදය හා සැඳෑව ඉතා අලංකාරවේ. මක්නිසාද යත් අහසේ ඉතිරි වූ දුම් අංශු, සූර්යතාපයෙන් අපූරුවට බැබළෙන හෙයිනි. එහෙත් ඒ අපූරු අලංකාරය දකින්නට ඉතිරිවන්නේ ඇඳ මකුණන්, කැපොත්තන් සහ ඉතිරි වූ නරයන් කීප දෙනෙකුත් පමණි. මේ “ලෝක විනාශය” නම් කෙරෙන්නේ “න්‍යුක්ලියර් වින්ටර්” (න්‍යෂ්ටික සිසිරය) වශයෙනි. ඒ අරුණු විට මිනිසාගේ සෙසු නාශක චර්යා නිසාද ලෝකය වැනසෙමින් පවතී. ඉන් එක් ව්‍යසනයක් නම් ඉන්ධන දහනය නිසා සිදුවන්නකි. මිනිසා ඉවක් බවක් නැතිව ඉන්ධන දහනයෙහි යෙදුනු විට පෘථිවය වටා කාබන් ඩයොක්සයිඞ් ස්ථරයක් තැනේ. සූර්යකිරණ පෘථිවියට වැටුණු විට ඒ කිරණයේ “ආලෝක” අංශය පෘථිවියෙන් පරාවර්තනය වී යන්නේය. එහෙත් ඒ කිරණයේ අඩංගු “තාපය” ඉවත්ව නොගොස් කාබන්ඩයොක්සයිඞ් ස්ථරයේම රැඳේ. එසේ රැඳුනු තාපය හේතුකොටගෙන පෘථිවි තලය රත්වෙයි. උත්තර ධ්‍රැව, දක්ෂිණ ධ්‍රැව (ආර්ක්ටික්, ඇන්ටාටික්) හිම තට්ටු දිය වෙන්නට පටන් ගනී.

ඒ මහා ස්ථාවර හිම තට්ටු දියවන විට සාගර ජල මට්ටම ඉහළ නගී. සාගරාශ්‍රිත දේශවල ගොඩබිම යටවේ. මාලදිවයින් දේශය, බංග්ලාදේශය මේ යටවීමට මුලින්ම අසුවන පෙදෙස්ය. ශ්‍රී ලංකාවටද මේ ඉරණම අත්පත් විය හැකි යැයි විද්‍යාඥයෝ කියති. වන ආවරණය විනාශ කිරීමද ව්‍යසනයට තුඩු දෙන්නකි. ජාත්‍යන්තර විවරණයන්ට අනුව පසුගිය වර්ෂ තිහ ඇතුළත ලෝකයේ වන ආවරණයෙන් සීයට පණහක් වැනසී ගොස් ඇත්තේය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඉතා කම්පාදර්ශීය. පසුගිය සියවස තුළ ශ්‍රී ලංකාවේ වනාවරණය සීයට 75කින් අඩුවී ගොස්ය. වනාවරණය නැතිවීයෑමෙන් සිදුවන හානි බහුලය. යම්කිසි පෙදෙසක වන ගහණය පරීක්ෂාවෙන් තොරව විනාශ කළ විට මානව ජීවීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙන පැළෑටි වර්ග පවා විනාශ වී යාහැකිය. වන ආවරණය විනාශ කිරීමෙන් සිදුවන මහාම හානිය නම් කාන්තාරකරණයට ඉඩහසර ලැබී ජල සම්පාදන මාර්ග වියලී යෑමයි. පෘථිවිය රත්වීම එන්ට එන්ටම අධිකවශයෙන් සිදුවෙයි. 2019 වර්ෂය මිනිස් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉතාම උණුසුම් වසර විය හැකිය. ඒ විද්‍යාඥ මතයයි. මිනිසා විසින් කෙරෙන ප්‍රබලතම පරිසර හානියට පාත්‍ර වී තිබෙන්නේ මිනිස් සංහතිය සතු මහාම නිධානයක් වන මහා සාග රයයි. මිනිසා විසින් කෙරෙන පරිසර හානිය සිතාගත නොහෙන තරම්ම දරුණුය. “මිනිසා” යැයි නම් කෙරෙන සත්ත්වයා පදිංචිව සිටින්නේ දළ වශයෙන් පෘථිවියේ ගොඩබිමෙන් සීයට දහයක් තරම් වූ පෙදෙසකයි. එහෙත් ඔහු පෘථිවි තලයෙහි සීයට 70ක් තරම් වූ මහා ප්‍රදේශයක් දූෂණය කරන්නේය. එහෙත් එසේ සිටිමින් ඔහු පෘථිවි තලයෙහි සීයට 70ක් තරම් වූ මහා ප්‍රදේශයක් දූෂණය කිරීමේ කාර්යයේ බොහෝ සේ යෙදී සිටින්නේය. අද සිදුවන සාගර විනාශයේ ප්‍රමාණය සිතන්නටවත් බැරි තරම්ය. ඉතාම මෑතකදී විද්‍යාඥවරියක විසින් පැවසුනු පරිදි එක්තරා කාලයක මහා සාගරය රසායනික වශයෙන් හා ශිතෝෂ්ණාකාවයෙනුත් සර්ව සම්පූර්ණයෙන්ම සමබරව පැවති මිහිතලයේ සකළ ජීවීන්ගේම මව් කුස විය. අද මේ මහා සාගර වැනසී යෑමේ ප්‍රමාණය කම්පාදායීය. මහා සාගර, ලෝකයේ විශාලතම පාරිසරික පද්ධතියයි.

මුළු ලෝකයේම ජෛව විවිධත්වයෙන් සීයට අසූවකට නිවාසය වන්නේ සාගරයයි. එසේම මිහිතලයේ ජල ස්කන්ධයෙන් සීයට 97කටම වග කියන්නේ සාග රයයි. එපමණක් නොවේ. මේ පෘථිවි තලයේ අම්ලකර වායුවෙන් හරි අඩක්ම පාහේ නිෂ්පාදනය කරනු ලබන්නේ සාගර විසිනි. සාගර නැතිව ගියහොත් අපට හැම දෙයක්ම නැතිවේ. මහා සාගරයකින් වටවී මේ උතුම් දිවයිනේ වාසය කරන දරු පෙළට යහතින් ජීවත් වන්නට ඉඩ දෙනු පිණිස මේ සාගර සම්පත රැක ගන්නැයි ඉතා ඕනෑකමින් හැම දෙනෙකුටම කියා සිටිය යුතු කාලය එළඹ ඇත්තේය. ආක්ටික් ප්‍රදේශයේ දියවීගෙන යන හිමතලාවලින් හැම තත්පරයක් පාසාම ජලය ටොන් 14,000ක් මහා සාගරවලට එකතුවන බව අලුත්ම වාර්තාවලින් ප්‍රකාශ වේ. නාසා ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව සාගර ජල ප්‍රමාණය වර්ෂයකට මිලිමීටර් තුනක ප්‍රමාණයෙන් ඉහළ නගී. මැරී ගිය මූදු කැස්බෑවෙකුගේ කුසෙහි තිබුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දැකීමෙන් ඕනෑ කෙනෙකු තුළ කිව නොහෙන තරමේ වේදනාවක් හට ගනී. ගංගාවලින් ගසාගෙන එන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් එකොළොස් ලක්ෂ පණස් දහසක් සහ ටොන් විසි හතර ලක්ෂ දස දහසක් අතර ප්‍රමාණයක් සාගරවලට එකතුවේ.

ලෝකයේ සාගරවල ස්ථාන පහක දැවැන්ත ප්‍රමාණයෙන් අපද්‍රව්‍ය එකතුවේ. ඒවායින් විශාලතම ස්ථානය පිහිටියේ ශාන්තිකර සාග රයේ හවායි සහ කැලිෆෝනියා අතර ප්‍රදේශයේයි. ඒ දැවැන්ත අපද්‍රව්‍ය සම්භාරය එක්රැස්වී තිබෙන ප්‍රදේශයෙහි විශාලත්වය වර්ග කිලෝ මීටර් දහසය ලක්ෂයකි. මෙවැනි මහා පරිසර විනාශයකට, අපේ රටේ දරුවන් ගොදුරුවීම වළක්වා ගන්නට මේ යහපත් දිවයිනේ හැම දෙනාම එක්විය යුතුවේ. දරුවන් තුළ පාරිසරික ශික්ෂණයක් ඇති කිරීම, ඒ සිඟිත්තන්ගේ ඉතාම කුඩා අවදියේ පටන්ම සිදුවිය යුතුය. පරිසරය රැකගන්නා ආකාරය දරුවන්ට උගන්වාලිය යුතු බව අතිශය වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන ජගත් කීර්තිමත් විද්‍යාඥවරියක් නම් මහා වානර වර්ගය පිළිබඳව පර්යේෂණ පවත්වනු පිණිස තමන්ගේ මුළු ජීවිතයම කැපකොට සිටින ජේන් ලැවික් ගැඩෝල් නම් ශ්‍රේෂ්ඨ කාන්තාවයි. අනාගතය ගැන අප වෙත තිබෙන එකම බලාපොරොත්තුව අපේ දරුවන් සතු ආවේග යයි. අප දරුවන්ගේ බසට ඇහුම්කන් දිය යුතුවේ.

අප විසින් ඔවුන්ට වගකීම් පැවරිය යුතුවේ. ඔවුහු පරිසරය රැකගන්නට බලවත් කැමැත්තෙන් සිටිති. “දරුවන්ට පරිසරය පිළිබඳව වග කීමෙන් ක්‍රියා කළ හැකිවනු පිණිස මම 1991දී ව්‍යාපාරයක් ආරම්භ කළෙමි. මිනිසුන්ට සතුන්ට සහ පරිසරයට හිත ඇති ව්‍යාපෘති පටන් ගන්නට මම ඔවුන්ට අවස්ථාව දුන්නෙමි. අද රටවල් අසූවක ඔවුහු ව්‍යාපාර කරගෙන යති. වැඩිහිටියන් විසින් පරිසරයට සහ ජීවීන්ට කරන ලද හානිය වළක්වන්නට දැන් ඔවුහු සැදී පැහැදී සිටිති. අප කවරාකාරයෙකින් බැලුවද මේ කමනීය දේශයෙහි පාරිසරික සෞන්දර්යය අතිශය ඛේදදායි ආකාරයෙන් වැනසෙමින් පවතී. මිනිසුන්ට සතුන්ට සළකමින්, අවශ්‍ය විටෙක ඕනෑම කෙනෙකුගේ ආධාරය ලබාගන්නට සැරසෙමින් මේ දේශයේ පාරිසරික විනාශය වළක්වා ගන්නට මේ ළමා පරපුරට උපකාරවීම ජාතික මට්ටමේ ඉතාම ප්‍රශස්ත කාර්ය රටාවකි. අනාගත පරම්පරාව බේරාගැනීමේ මහා පින්කමකි.

 

 


ඉන්දියාවේ කුම්භ්මේලා ලොව මහාම ආගමික උළෙල

 

දඹදිව මේ සමයෙහි පැවැත්වෙන “කුම්භ් මේලා” උත්සවය ලෝකයේ විශාලතම ආගමික උළෙලයි. ඒ සඳහා දින 48ක් ගතවේ. එය නිමා වන්නේ මාර්තු සිව්වනදායි. මේ පූජාවේ ප්‍රධාන අංගය වන්නේ ගංගා තුනක් එකට එකතුවන ප්‍රයාග තීර්ථයෙහි බැතිමතුන් ස්නානයේ යෙදීමයි.


ඒ ගංගා ත්‍රය නම් ගංගා, යමුනා හා සරස්වතී නදියයි. දැඩි ශීතල නොතකා ඒ ස්ථානයේ ස්නාන වතාවතේ යෙදුනු ඇතැම් පූජකවරු අසිපත් සහ ත්‍රිශූල ලෙළ වූහ.
පොලිස් නිලධාරීන් 30,000ක් පමණ දෙනා විශේෂ රාජකාරිවල යෙදී සිටියහ.


පව් සෝදා මෝක්ෂය ලබාගැනීමේ අටියෙන් ස්නානයේ යෙදෙනු පිණිස සමාරම්භක දිනයේදී එහි පැමිණි බැතිමතුන්ගේ සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂයක් පමණ වූයේය. මුළු උත්සව සමයයේදී බැතිමතුන් දොළොස් කෝටියක් පමණ දෙනා මෙහි සහභාගි වෙති. සමහරු, බැතිමත්හු, ස්නානයෙන් පසුව දවස මුළුල්ලේදීම මෞනවෘතය රකිති. (කතා නොකොට සිටීම) 


හින්දු සම්ප්‍රදායට අනුව “කුම්භ්” උදෙසා සුරා සුර සටනක් සිදුවිය. කුම්භයේ (ඝටයේ) තිබුණේ අමෘතයයි. ඒ සෟරා - අසුර සටනේදී අමෘත බින්දු කිහිපයක් මහ පොළෙවට වැටිණ.
ඒවා වැටුණේ අලහබාද් නම් ස්ථානයේයි. (මේ ප්‍රයාග තීර්ථයේය)


සාමයික භක්තිය නිසා මේසා විශාල ප්‍රමාණයක් එකට එකතුවන ලොව ප්‍රධානම ස්ථානය මෙයයි.

 


මාළු කරියේ කථාව

ගෙහිමියා ආහාර ගනිමින් සිටියේය.


ඔහු උදහසින් මෙන් සිය කෝකියා කැඳවුයේය. ඒ කෝකියා ඒ ගෙදර සේවයට අලුත ආ තැනැත්තෙකි.
ගෙහිමියා කෝපයෙන් මෙසේ කියාගෙන ගියේය.


“බලනවකො මේ මාළු කරියේ ලුණු බිඳක්වත් නැහැනේ”


අලුත් කෝකියා යටත් පහත්ව මෙසේ පිළිතුරු දුන්නේය.


“සර් මේ මාළු අලුතෙන්ම කරදිය මූදෙන් ගෙනාපු නිසා මං මාළු කරියට ලුණු දැම්මේ නෑ”

 

 

 

 

 

 


කෝටි ගණනක් වටිනා “හදවතක්” අජටාකාශයෙන්

 

 

 

වාසනාව පෑදෙන විට එය අජටාකාශයේ සිට වුවද එන්නට ඉඩ ඇත්තේය. එවැනි දුර්ලභ වාසනාවක පුවත මේ දිනවල මාධ්‍යවලින් පැවසේ.


ඒ කථාව සැකෙවින් මෙසේය.


අවුරුදු කෝටි 32කට පමණ පෙර අජටාකාශයේ උල්කාපාත කලාපයෙන් දැවැන්ත අයෝමය වස්තුවක් ගැලවී ආයේය. එසේ පෘථිවිය දෙසට පැමිණි එම වස්තුව පෘථිවිය වටා විහිදී වායු ගෝලය පසා කොට ගෙන අවුත් මහ පොළොව මතට වැටුණේය. එය සයිබීරියා පෙදෙසට පතිතවූයේ 1947 පෙබරවාරි 12 වන දීය. එය වැටෙන විට කුඩා කැබලිවලට කැඩී බිඳී ගියේය. ඒ අවස්ථාවේදී ඒ උල්කාපාතය සුර්යයාටත් වඩා බැබලුණෝය. එය පැයට සැතපුම් නවයක වේගයෙන් අවුත් මහ පොළොවේ ගැටුනු විට ඒ කම්පනය නිසා ගෙවල් දොරවල් පුපුරා ගොස් ගස්මුලින්ම ගැලවී ගියේය. ඒ ඝට්ටන හඬ සැතපුම් 200ක් පමණ ඈතට පවා ඇසුණේය. ඉන් නැගුණු දුම්කූටය සැතපුම් 20ක තරම් පෙදෙසක විහිදුනේය. ඒ මුල් වස්තුවෙන් බිඳී ගිය කොටස් පොළොව මත වැටීම නිසා ආවාට 200ක් පමණ තැනුනේය. ඉන් ඇතැම් ඒවා අඩි 85ක් තරම් පුළුල්ය. ඒවායින් ඉතිරි වූ ඒ කැබැල්ලක් හදවතක රුව ඇති අති දුර්ලභ ගණයේ අජටාකාශ වස්තුවකි. එය “වැලන්ටයින් දිනයේදී” (පෙම්වතුන්ගේ දිනය වන පෙබරවාරි මස 14 වනදා) එංගලන්තයේ ක්‍රිස්ටි නම් වෙන්දේසි සමාගමේදී අලෙවි වන්නට නියමිතය.


මේ අජටාකාශයෙන් ආ “හදවත” යටත් පිරිසෙයින් ඇමෙරිකානු ඩොලර් 500,000කට වත් අලෙවි වෙතැයි සැළකේ. (ශ්‍රී ලංකා රුපියල් මිලියන 88ක් පමණවේ).

 


ජෝන් කීට්ස්ගේ කාව්‍ය

පැරණි පත පොත

 

ලන්ඩන්හි උපත ලද ජෝන් කීට්ස් බි්‍රතාන්‍ය කවියා සෞන්දර්යවාදී පද්‍යමය නිර්මාණ සඳහා නම් දරන්නේය.


ඔහු උගෙනුම ලද්දේ වෛද්‍ය වෘත්තීය සඳහාය. එහෙත් ඔහු ඒ වෘත්තියේ යෙදී සිටියේ අවුරුදු දෙකක් පමණ කෙටි කාල පරිච්චේදයක් තුළ පමණි.


පද්‍ය කලාවේ නියැලුණු ජෝන් කීට්ස්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1817දීය. ඔහුගේ ජීවිතයේ අතිශයින්ම කම්පාදායි සිද්ධිය වුයේ ඔහුගේ බාල සොහොයුරාගේ අකල් මරණයයි.


ජෝන් කීට්ස්ගේ පද්‍ය කලා නිර්මාණාත්මක ජීවිතයෙහිදී ඔහු අගනා කෘති සමූහයක් ලොවට දුන්නේය. ඉන් ප්‍රධාන පෙළේ කෘතියක් වන්නේ “හයිපීරියන්” රචනයයි. 1818දී කිට්ස් කවියා විසින් විරචිත “එන්ඩිමියන්” නම් පැද පෙළ පෘථුල සංවාදයකට ලක්වූයේය.


ඔහුගේ බාල සොහොයුරා මෙන්ම ඔහුද ක්ෂය රෝගයෙන් පෙළුණේය. ඔහු රෝගයට සුවයක් පතා ඉතාලියට ගියේය. එහෙත් ඔහු රෝමයේදී අභාවයට පත්වූයේය. ඔහු ගත කළේ ඉතා කෙටි දිවිපෙවෙතකි. (1795-1821) විසිහය වසකි. එහෙත් ඔහුගේ නිර්මාණ සම්භාවිතය.

 

 

 

 

 

 

 

 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS