ලොව පුරා පැතිරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය



 

ලොව වෙනත් යුගයක සිදු නොවූ තරමේ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ලක් අද හැම තැනටම විහිද යන්නට පටන් ගෙන ඇත්තේය. සුප්‍රසිද්ධ “ටයිම්” සඟරාවේ ප්‍රධාන සංස්කාරක තැන්පත් එඞ්වර්ඞ් ෆෙල්සන්තාල් විද්වතා මෙසේ කියන්නේය. 2019 වර්ෂයේ පළමු වන දින 220 තුළදී පමණක් ත්‍රස්තවාදී වෙඩි තැබීම් 250කට වැඩි සංඛ්‍යාවක් ලෝකයෝ සිදු වූයේය. ලෝකයේ මහාම බලවත් රාජ්‍යය වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන ඝාතන සංඛ්‍යාව අතිශයින්ම කම්පාදායීය. ඒ රටේ සාමාන්‍ය පුරවැසියන් සතු ගිනිඅවි සංඛ්‍යාව දෙකෝටි හැටපන් ලක්ෂයකි.

සිතා ගන්න බැරි තරමේ මෙවැනි ඝාතන සංඛ්‍යාවක් ත්‍රස්තවාදීන් විසින් මානව සංහතියට විරුද්ධව සිදු කළ මෙවැනි නපුරු කාල පරිච්ඡේදයක් උදා වූයේ කෙසේද? ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාර සිදු නොවන රටක් වශයෙන් සිටි අපගේ මේ සාමකාමී ශ්‍රී ලංකාවට ද අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණේය. ඉන් සිදු වූ මහා මානසික කම්පනය අදත් මේ දේශයේ ජනතාවට දැනෙන්නේය. ත්‍රස්ත ප්‍රහාරය, හුදෙක් ජීවිත විනාශය පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. සමාජයක් එවැනි පහරකට මූණ දුන්නාට පසුව ඒ ඛේදවාචකය නිසා මුළු මහත් ජන කණ්ඩායමක් ද ඇලලෙන්නේය.

විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලබන පරිදි එවැනි ඝාතනයකින් පසුව ඒ ජන කණ්ඩායමේ ඇතැම්මු දැඩි මානසික පීඩනයකට ලක්ව මානසික රෝගීහු බවට පත් වෙති. තවත් සමහරු ඔවුන්ගේ දෛනික ජීවන රටාවෙන් බැහැර වී වෙන අනික් ක්‍රියාවල යෙදෙන්නට පෙළෙඹෙති. ඇමරිකාවේ ඇතැමුන් ඒ කම්පනයට මූණපාන්නේ වීඩියෝ ක්‍රීඩා ආදියට බහුල ලෙස ඇබ්බැහි වීමෙනි. මෑතක දී ලොව පුරා සිදු වූ එවැනි ත්‍රස්ත ප්‍රහාරවලින් දැඩි ලෙස කම්පනයට පත් වූ ඇමෙරිකානු විද්‍යාර්ථීන් කිහිප දෙනකු විසින් නොබෝදා ප්‍රකාශයට පත් කරන ලද විග්‍රහයක ලෝක ත්‍රස්තවාදයේ ප්‍රධාන හේතු දැක්වෙන වාර්තාවක් සැපයුණේය. 2018 ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පාක්ලන්ඞ්හි උසස් අධ්‍යාපන ආයතනයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් බොහෝ දෙනෙක් මිය ගියහ. 2017 දී ඇමෙරිකාවේ ලාස්වේගාස්හි පැවැති සංගීත සංදර්ශනයකට ඉවක් බවක් නැති ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියා 58 දෙනකු ඝාතනය කළේය. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලියට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා බැතිමත්හු 58 දෙනෙක් මිය ගියහ. ඒ මේ වර්ෂයේ මුල් සමේදීය. ඇමෙරිකාවේ පීටර්ස්බර්ග්හි ‘ටී්‍ර ඔෆ් ලයිෆ්’ යුදෙව් සිද්ධස්ථානයකට ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේය. අපේ දේශයට භයානක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණේ කිතුණු බැතිමතුන්ගේ උතුම් උත්සව දිනයක් වූ අප්‍රේල් 21 වන ඉරිදා පාස්කු මංගල දිනයේදීය. මේ ත්‍රස්තවාදීන් කවුද? මෙවැනි අමානුෂික කෲර ක්‍රියාවලට ඔවුන් මෙහෙයෙන්නේ ජන ඝාතනයෙන් ලැබෙන කවර නම් තෘප්තියක් නිසාද? මේ ප්‍රශ්න දෙසට මේ රටේ අප සියලු දෙනාම තියුණු අවධානයක් යොමු කළ යුතු වන්නේ අහිංසක ජනයා ත්‍රස්ත ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා අප විසින් කවර නම් ප්‍රතිපත්තියක් අනුමනය කළ යුතු දැයි කල් තියා දැන ගන්නා පිණිසය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අලුත්ම ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේ අගෝස්තු තුන්වනදා ය. එදා එක්තරා තරුණයෙක් ටෙක්සස් ජනපදයේ එල් පසෝ නම් ස්ථානයෙහි වෙළෙඳ පොළකින් පිරිසක් දරුවන්ගේ පාසල් අවශ්‍යතා මිලදී ගනිමින් සිටි තැනට කඩා වැදී ඉවක් බවක් නැතිව යටත් පිරිසෙයින් 22 දෙනකු හෝ ඝාතනය කළේය. මේ විවිධාකාරයේ තැන්වලදී සිය නපුරු ප්‍රහාරවලින් අහිංසක ජනතාව නසා දමන ත්‍රස්තවාදියා යම්කිසි බලවේගයක අතකොළුවකි. නොඑසේ නම් මනෝ විකෘතියකින් පෙළෙන්නෙකි. සංඛ්‍යා ලේඛන දෙසට යොමු වෙමු. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දී 2003 වර්ෂයෙන් මෑත සමයේදී ත්‍රස්තවාදීහු විසින් මිනිසුන් 663 දෙනෙක් නසා දමනු ලැබූහ. මේවා විවරණය කරන ලද්දේ ‘ඉවක් බවක් නැති’ ඝාතන වශයෙනි. එහෙත් විචාරකයන් යුවළක් විසින් පැවසෙන්නේ ත්‍රස්තවාදී ඝාතනයෙන් මිය ගිය අයගෙන් හතරෙන් පංගුවක්ම නසා දමන ලද්දේ යම්කිසි අන්තවාදී ධර්මයක පිහිටි ඝාතකයන් විසින් බවයි.

එක්කෝ ඔවුහු දක්ෂිණාංශික අන්තවාදීහු වෙති. නොඑසේ නම් වාමාංශික ත්‍රස්තවාදීහුය. එසේත් නැත්නම් ඔවුහු ඉස්ලාමීය අන්තවාදීහු වෙති. කවර හේතුවක් හෝ නොමැතිව ඉවක් බවක් නැතිව ජන ඝාතනයේ යෙදෙන ත්‍රස්තවාදීහු හතර වන වර්ගයකට අයත්ය. මේ දේශයේ පාස්කු ඉරිදා දිනයෙහිදී ජීවිත විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ කණ්ඩායම කවර වර්ගයකට අයත් දැයි අප විසින් සොයා බැලිය යුතුයි. එවැනි විග්‍රහයක යෙදී කෙරෙන තියුණු පර්යේෂණයන් මගින් අනාගතයේදී මෙවැනි අමානුෂික ඝාතන සිදු නොවන තැනට ක්‍රම සකස්කොට ගත හැකි වේ. ඇමෙරිකාවේ ත්‍රස්තවාදය මුල් බැස ගැනීමේ ප්‍රධාන හේතුවක් වශයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා දකින්නේ ගිනිඅවි භාවිතය පාලනය කරන නීති රීති පද්ධතිය ප්‍රමාණවත් නොවීම බවයි. ඒ මහතා විසින් පැවසෙන ආකාරයට, නොබෝදා ඇමෙරිකාවේ ස්ථාන දෙකක සිදු වූ ප්‍රහාරයන්හිදී ඒ ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද ප්‍රහාරක ගිනිඅවි යුද හමුදාවේ භාවිත වන ගිනිඅවිවලට සමාන බවත් ඒවා ලබාගෙන තිබෙන්නේ මිල ගෙවා බවත්ය. මේ ත්‍රස්ත ප්‍රහාර සිදු වූයේ එකම දිනයෙහි පැයක් ඇතුළතදීය. ස්ථාන දෙක ටෙක්සස් ජනපදයේ එල් පසෝ සහ ඕහයෝ ජනපදයේ ඬේට්‍රන් හිදී බවත්ය.

ඒ සිද්ධි දෙකේදී ජීවිත 11ක් නැති වී ගියහ. තවත් දහ පහළොස් දෙනෙක් තුවාල ලදහ. මේ ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද හමුදා භාවිතය සඳහා ගන්නා ප්‍රහාරයක ගිනිඅවි සකස්කොට තිබෙන්නේ ඉතාම සුළු කාලයක් තුළ ඉතාම අධික ප්‍රතිඵල ලබා ගත හැකි වන ආකාරයෙන් බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා විසින් පෙන්වා දෙනු ලැබේ. ත්‍රස්තවාදී ප්‍රහාරකයන් මිනිසුන් විශාල සංඛ්‍යාවකට හානි පමුණුවන්නේ ඒ හමුදා ගිනිඅවි භාවිතයෙනි. ඬේට්‍රන් ස්ථානයේ සිටි ත්‍රස්තවාදියා විසින් සිය ගිනිඅවියෙන් තත්පර තිහකදී උණ්ඩ 41ක් යවා තිබිණි. පොලිස් නිලධාරීහු ඔහු නැසූහ. ඔහු විසින් නව දෙනකු මරා දමන ලදී.

14 දෙනකුට තුවාල කරන ලදී. මේ අනුව, ඔහු විසින් තත්පරයක දී එක් මිනිසකු සිය ප්‍රහාරයට ගොදුරුකොට ගන්නා ලදී. අප බොහෝ දෙනා සතු සාමාන්‍ය ගතියක් වන්නේ ඈත එපිට රාජ්‍යයක ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන අසන්නට ලැබුණු විට එය අපට අයත් දෙයක් නොවේ යැයි සිතාගෙන ඒ පිළිබඳව නොතකා සිටීමයි. එහෙත් මෙවර පාස්කු ඉරිදා දින සිදු වූ අතිශය ඛේදදායී ත්‍රස්ත ප්‍රහාරය මේ අපේ ශ්‍රී ලංකා දේශයේ හැම දෙනාගේම පාහේ කම්පාවට තුඩු දුන් සිද්ධියක් බවට පත් වූයේය. ක්‍රිස්තු භක්තිකයන් පාස්කු දිනයන් ගත කරන්නේ දැඩි සංතාපයෙනි. මෙයට හේතුව ඒ දින කීපය තුළ ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දුක් විඳීමයි. බැතිමත් කිතුණුවන්ගෙන් බොහෝ දෙනා පාස්කු දිනවල ආහාර සඳහා ගන්නේ කටුක දේවල්ය. ඔවුහු ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාව තමන් විඳින දුකක් සේ සලකති.

ඇතැම් රටක ඉතා දැඩි ක්‍රිස්තු භක්තිකයෝ ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාව බෙදා ගනිමින් තම සිරුරට ද කස පහර දී ගනිති. ඒ දැඩි වේදනාවලින් පසුව ක්‍රිස්තුස් වහන්සේ මරණින් නැගී සිටි විට ඔවුන්ගේ උද්‍යෝගය සතුට ඉතාම ඉහළ මට්ටමක පවතී. කිතුණුවෝ සිය හිතවත් සෙසු සමයවාදීන් ද එක් රැස්කොට ගෙන පාස්කු ඉරිදා ඒ මහා ආගමික ප්‍රමෝදය විඳිති. ඒ කිතු බැතිමතුන්ට ඒ සා ප්‍රමෝදයක්, සතුටක්, ආගමික තෘප්තියක් සපයන මොහොතේදීම මේ අමානුෂික තිරස්චීන ත්‍රස්තවාදී අපරාධකාරී ත්‍රස්තවාදීහු කිතු බැතියන්, ක්‍රිස්තු භක්තික සිද්ධස්ථාන කේන්ද්‍රකොට ගෙන සිය ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කළහ. අපගේ මේ දේශයේ සියලු දෙනාම ඒ කෲරතර ක්‍රියාව නිසා මානුෂික බැම්මෙන් තව තවත් තහවුරුව එක් කරනු ලැබුවේය. අප විසින් අද යුගයේදී ජාත්‍යන්තර හා දේශීය ත්‍රස්තවාදයේ යථා තත්ත්වය මහත් ඕනෑකමින් හැදෑරිය යුතු වේ. මිනිසුන් වශයෙන් අප සතු පොදු බැම්ම කපා දමන්නට ත්‍රස්තවාදීන් විසින් දැරෙන ප්‍රයන්ත කල් ඇතිව හරි හැටි තහවුරුකොට ගෙන ඒ දරුණු කුරිරු ත්‍රස්තවාදය පරදන්නට හැමවිටම අවධානයෙන් සිටිය යුතු වේ. එදා පාස්කු ඉරු දින ත්‍රස්තවාදීන්ගේ කෲරතර ප්‍රහාරයට ගොදුරු වූ අහිංසක පිරිස, හැමවිටම අවධානයෙහි තබාගෙන, ඉන් දිවි තොර වූ අයට අපගේ ගෞරව පූර්වක අනුස්මරණය යොමු කරනු මැනවි. ඒ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වී දිවි ගලවා ගත් අයගේ දුක සැප සොයන්නට ද අපි යොමු විය යුතු වෙමු. මෙවැනි දුර්දාන්ත නිහීනකම් නැවතත් අප සමාජයේ පැන නඟින්නට මතිමාත්‍ර වූ හෝ ඉඩක් නොතබා ත්‍රස්තවාදී ලකුණක් දුටු හැටියේ ඒ ගැන සංවේදී වන්නට අපේ දරුවන්ටත් ඉතා හොඳින් කරුණු කියා දෙන්නට මේ ඛේදදායී සිද්ධිය මහා පෙළඹවීමක් සේ දකිමින් අපගේ සන්සුන් යහපත් ලෝකය රැක ගැනීමට කැප වෙමු.

 

 

 


 

ඉවතලන කසළ ගොඩෙන් මහ ධනයක් ලැබූ වාසනාවන්තයා

 

ඔහුගේ රක්ෂාව කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමයි. එනම් අහක දමන කුණු කසළ පුළුස්සා හෝ විනාශකොට දැමීමයි. වරක් වැරදීමකින් ඔහු හිස් සපත්තු පෙට්ටියක් විනාශ කරන්නට දැම්මේය. පසුව ඒවා විනාශ කරන කොම්පැනියට මේ බව දන්වා එතැනට ගියේය. සපත්තු පෙට්ටිය, ගින්නට දමන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු එය බේරා ගත්තේය. එහි තිබුණේ මුදල් ගොඩකි. ඩොලර් 23,000 කි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් හතළිස් ලක්ෂ හතළිස් දාහකි. මුදල සම්පූර්ණයෙන්ම පාහේ ඉතිරි වී තිබිණි.

 

 

 

 

 

 

 

 

 

 

 


ආචාර්ය සැමුවල් ජොන්සන්ගේ ඉංගිරිසි ශබ්ද කෝෂය

පැරැණි පත පොත

 

1747 “ඬේලි ඇඞ්වෙන්චර්” නම් පුවත්පතේ මෙවැනි ප්‍රකාශයක් දවසක් දා පළ වූයේය. “සර්ව සම්පූර්ණ විස්තර හා නිරුක්ති ආදියෙන් සපිරි ඉංගිරිසි ශබ්ද කෝෂයක් දැන් ශීඝ්‍ර වේගයෙන් මුද්‍රණය සඳහා සකස් වෙමින් පවතී. මෙවැනි දැවැන්ත සාහිත්‍යයික කාර්යයක් ඉටු කළ හැකි ජගතා කවුදැයි ජනයා විස්මයෙන් බලා සිටියහ. 1755 දී කාණ්ඩ දෙකක එම ශබ්දකෝෂය ප්‍රකාශයට පත් වූ විට එහි කර්තෘ වන ආචාර්ය සැමුවල් ජොන්සන් අතිශයින් ජනප්‍රිය විය. එදා පටන් ඔහු හැමදාම කීර්තියට පත් වූයේ ‘ශබ්දකෝෂ ජොන්සන්’ හැටියටයි. එදා පටන් ඔහුගේ නම ලොව පුරා පැතිර ගියේය. ඔහු තනිවම ශබ්දකෝෂය ලියන බව සැලවූ විට සමහරු මෙසේ විමසූහ. ‘ආචාර්ය ජොන්සන්, ඔබ මේ ශබ්දකෝෂය කරනවාද?’ නව වසක් ඉතාම අපහසුවෙන් කකුල් තුනක පුටුවක හිඳගෙන ආචාර්ය සැමුවල් ජොන්සන් ඒ කාර්යය ඉෂ්ට කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

දියසේන කුමරු පහළවන්නේ 2020 දී

 

සවන පරාක්‍රමබාහු රජිදුන්ගේ සමයේ දී කරන ලද “ පැරකුම්බා සිරිත” නම් ඓතිහාසික කාව්‍යයෙහි එක් තැනක දෙබසක් වාර්තා වන්නේය. ඒ මෙසේය. කියහ, මගිය එනු කොහි සිට, දද සමනොළ ගොසිනා, නොය, කිය’මුතු එදිග බමුණ සුමන සුරිඳු විසිනා ගිය කල දෙදහස් පන්සිය එතෙයි රජෙක් දියනා මෙහි පසුබිම මෙසේය. මගියෙක් මහ මඟ යමින් සිටී. අලුත් දේ (අමුතු ප්‍රවෘත්ති) දැන ගැනීමට කුහුලක් ඇති බමුණෙක් මඟ අසල සිටී. ඔහු මගියාගෙන් මෙසේ විමසයි. ‘කියහ, මගිය එනු කොහි සිට’ (මගිය, තමා එන්නේ කොහි සිට දැයි කියන්න). මගියා පිළිතුරු දේ. ‘දද සමනොළ ගොසිනා (බමුණ, මා එන්නේ සමනොළ පර්වතයට ගොහින්). බමුණු තෙමේ තවත් පැනයක් විමසයි. ‘නොය, කිය- ’මුතු එදිග බමුණ’ (ටිකක් නවතින්න. ඒ පළාතේ අමුතු අමුතු ආරංචි මොනවද?) මගියා පිළිතුරු දෙයි. ‘ගිය කල දෙදහස් පන්සිය එතෙයි රජෙක් දියනා’ (අවුරුදු දෙදහස් පන්සීයක් පිරුණු තැන දියසේන නම් කුමරෙක් පහළ වේ යැයි සුමන සුරිඳු විසින් ප්‍රකාශ කොට තිබෙනවා.) මගියා විසින් කියන ලද 2500 යන කාලය, පසුව ආ අය ගණන් බැලුවේ බුද්ධ වර්ෂවලිනි. එහෙත් එදා 2500 ගණන් බැලුවේ රාජ කාලවලිනි.

ඒ අනුව රාජ කාල 2500ක් ගිය විට දියසෙන් කුමරු එයි. එසේ නම් ශ්‍රී ලංකාවේ රාජ කාලය පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂයට පෙර 480වේදීය. එයින් පසුව 2500ක් එළඹෙන්නේ ලබන අවුරුද්දේයි. විජය රජු නියම වශයෙන් රජ පැමිණියේ ක්‍රිස්තු පූර්ව 480 දී නිසා ඒ අනුව 2500 පිරෙන්නේ ලබන වර්ෂයේදීය. 2020 දීය. ගණන් බැලීම මෙසේය: ලබන වසරේ රාජ කාලය අවුරුදු 2020 යි. විජය රජුගේ රාජ කාලය ආරම්භ වූ ක්‍රිස්තු පූර්ව 480ත්, ඒ 2020ට එකතු කරන්න. එවිට පැහැදිලිවම 2500යි. ඒ මෙසේය. 480 ූ 2020 යි. ඒ නිසා ශ්‍රී ලංකාවට ලබන වසරේදී 2500 රාජ කාලය පිරේ. එසේ ගණන් ගත් කල්හි රාජ කාලයෙන් 2500ක් පිරේ. දියසේන කුමරු මෙහි පහළ වන 2500, ලබන අවුරුද්දයි.


RECOMMEND POSTS

RELATED POSTS